|
|||||||||||||||||
|
ඉන්දීය සහයෝගය ලැබෙයිද? ඡන්දයට කලින් සන්ධානය බිඳ දමන්න උත්සාහයක්? දෙමළ දේශපාලනය හැරවුම් ලක්ෂ්‍යයක (W3Lanka, ජුනි 13, 2009) එල්. ටී. ටී.ඊ. සංවිධානයේ පෙරමුණු සංවිධානයක් ලෙස ප්‍රසිද්ධව තිබුණු පාර්ලිමේන්තුවේ ප්‍රබලම දෙමළ දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය වෙත ඉන්දීය සහයෝගය ලැබෙමින් පවතින බවද, එම තත්වය ආණ්ඩුවේ සහ එයට හිතවත් දෙමළ දේශපාලන බලවේගවල නොසතුටට හේතු වී ඇති බවද වාර්තා වේ. දෙමළ ජාතික සන්ධානය නිර්මානය වී තිබෙන ප්‍රධාන පක්ෂ වන දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ කොටස් නියෝජනය කරමින් එහි නායක ආර්. සම්බන්ධන්, දෙමළ රාජ්‍ය පක්ෂයේ (දෙමළ ජාතික සන්ධානය මැතිවරණයට තරග කළේ මෙම පක්ෂයෙනි.) මහලේකම් මාවෛ සේනාධිරාජා, සමස්ත ලංකා දෙමළ කොංග්‍රසයේ මහ ලේකම් ජී. ජී. පොන්නම්බලම්, දෙමළ ජනතා විප්ලවීය විමුක්ති පෙරමුණේ මහලේකම් සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්, දෙමළ ඊලාම් විමුක්ති සංවිධානයේ සභාපති සෙල්වම් අඩෛකලනාදන් යන මන්ත්‍රීවරු දැන් ඉන්දියවේ සිටින අතර ඔවුහු එරට නව විදේශ ඇමති එස්. එම් ක්‍රිෂ්ණා, ජාතික ආරක්ෂක උපදේශක එම්. කේ. නාරායනන්, විදේශ ලේකම් ශිව් ශංකර් මෙනන් හා විපක්ෂ නායක එල්. කේ. අද්වානි හමු වී සාකච්ඡා කළහ. මෙම දෙමළ මන්ත්‍රී පිරිස අතර ඍජුව එල්.ටී.ටී.ඊ.ය නියෝජනය කරන මන්ත්‍රීවරයකු දක්නට නොලැබීම විශේෂ ලක්ෂණයකි. දෙමළ ජාතික සන්ධාන ආරංචි මාර්ග උපුටා දක්වමින් ටැමිල්නෙට් වෙබ් අඩවිය වාර්තා කළේ රජයේ අත්අඩංගුවේ පසුවන පසුගිය කාලයේ යුද මුක්ත කලාපයේ සේවය කළ වෛද්‍යවරුන් තිදෙනා සහ එහි රැඳී සිටි දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී එස්. කනගරත්නම් නිදහස් කරගැනීම, දෙමළ ප්‍රදේශවල මිලිටරිහරණය, කඳවුරුවල රඳවාගෙන සිටින දෙමළ සිවිල් වැසියන් පුනරුත්ථාපනය හා යළි පදිංචි කිරීම, අත්අඩංගුවේ සිටින කොටි සාමාජිකයන්ට පොදු සමාවක් පිරිනැමීම යන කරුණු සාකච්ඡා කළ බවයි. එල්. ටී. ටී.ඊ. සංවිධානයේ පරාජයෙන් පසු දෙමළ ජාතික සන්ධානය ස්වාධීන දේශපාලන බලවේගයක් ලෙස යළි මතු වීමට උත්සාහ දරමින් සිටින අතර, රජයට පක්ෂ දේශපාලන කණ්ඩායම් එයින් තැතිගෙන සිටින බවක්ද දක්නට ලැබේ. නුදුරේදී පැවැත්වෙන යාපනය මහ නගර සභා හා වවුනියා නගර සභා මැතිවරණවලට දෙමළ ජාතික සන්ධානය තනිව තරග කිරීම වැළැක්වීම සඳහා ආණ්ඩුවට පක්ෂ දෙමළ දේශපාලන පක්ෂ ප්‍රබල ප්‍රයත්නයක් දරමින් සිටින බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි. දෙමළ ජාතික සන්ධානය තරග කළහොත් නැඟෙනහිර පළාතේ මෙන් පහසු ජයක් ලබාගැනීමට ආණ්ඩු හිතවාදීන්ට නොහැකි වන නිසා දෙමළ ජාතික සන්ධානය බිඳ දැමීම සඳහාත් මන්ත්‍රීවරුන් කීපදෙනෙකු ආණ්ඩු පක්ෂය වෙත දිනාගැනීම සඳහාත් ආණ්ඩුවේ අනුග්‍රහයෙන් වැඩපිළිවෙලක් දියත් කර තිබෙන බව ආරංචි මාර්ග පවසයි. මේ අතර, ආරක්ෂක හේතු මත දැනට විදේශගතව සිටින්නේ යයි සැලකෙන සෙල්වම් අඩෛයික්කල නාදන්, සේනාධිරාජා ජෙයනන්ද මූර්ති සහ සෙල්වරාජා කජේන්ද්‍රන් යන දෙමළ ජාතික සන්ධානයේ මන්තී‍්‍රවරුනට වෛද්‍ය හේතු මත පාර්ගිමේන්තුව විසින් නිවාඩු අනුමත කරන ලදී. ආණ්ඩු පක්ෂයේ විමල් වීරවංශ මන්ත්‍රීවරයා සහ දිනේෂ් ගුණවර්ධන ඇමතිවරයා වැනි දැඩි සිංහලවාදීහු මෙම නිවාඩු අනුමත කිරීමට විරෝධය පළ කළමුත් මෙවැනි නිවාඩු දැමීමි ලංකාවේ පාර්ලිමේන්තුවේ සුලභ බැවින් එය කතානායකවරයා විසින් අනුමත කර තිබේ. හෘදයාබාධයකින් ඉන්දියාවේදී මිය ගිය දෙමළ ජාතික සන්ධානයේ මන්තී‍්‍ර කනකරත්නම් පද්මනාදන් මහතාගෙන් පුරප්පාඩු වු මන්තී‍්‍රධුරය සඳහා යාපනය දිස්ති‍්‍රක් මන්තී‍්‍රවරයකු වශයෙන් තෝමස් තංගදොරේ විලියම් මහතා කතානායක වි. ජ. මු. ලොකුබණ්ඩාර මහතා ඉදිරියේ පාර්ලිමේන්තුවේදී ඊයේ (12) දිව්රුම් දුන්නේය. යාපනය දිස්ති‍්‍රක් මන්තී‍්‍රවරයකුව සිටියදී මුලතිව්හිදී ක්ලේමෝ බෝම්බයකට හසු වී මිය ගිය කේ. සිවනේෂන් මන්ත්‍රීවරයා වෙනුවෙන් ශෝක යෝජනාවක් ඊයේ පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කෙරිණි. ඔහු ඝාතනය කිරීම එල්. ටී. ටී.ඊ. ය මගින් කළ බව කිසිම සැකයක් නැතැයි ඇමති ඩිලාන් පෙරේරා කීය. 2008 මාර්තු මාසයේදී සිදු වූ මෙම ඝාතනය පිළිබඳ කොටි සංවිධානය චෝදනා කළේ යුද හමුදා ගැඹුරු විනිවිදුම් ඒකකය (Deep Penetration Unit) වෙතයි. කොටි සිවනේෂන් මන්ත්‍රීවරයාට ඔවුන්ගේ ඉහළම සම්මානය වන මාමනිදර් නාමය පිදුවේය. දෙමළ ජාතික සන්ධානයේ මඩකලපු දිස්ත්‍රික් මන්ත්‍රිනී තංගේෂ්වරී කදිරාමන් පාර්ලිමේන්තු සම්ප්‍රදායට පටහැණි අන්දමින් සල්වාර් ඇඳුමක් ඇඳගෙන පැමිණීම නිසා 11දා සභා ගැබෙන් පිටමං කිරීමද දෙස් විදෙස් වශයෙන් ප්‍රසිද්ධ වූ සිද්ධියක් විය. තොටි සංවිධානය ප්‍රබලව සිටි සමයේ වැඩිපුර කතාබහට ලක් වූ දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීහු දැන් නිහඬ පිළිවෙතක් අනුගමනය කරති. කොටි සංවිධානයේ බිඳ වැටීමත් සමග මඟ පෙන්වීමක් නොමැති තත්වයට පත් වී සිටින ලිහිල් ලෙස සකසන ලද සන්ධානයක් වන දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීන් කීප දෙනෙකු දැලේ දමා ගැනීමට රජය උත්සාහ කරමින් සිටින බව වාර්තා වේ. 11දා පැවති හදිසි නීතිය මසකින් දීර්ඝ කිරීමේ විවාදයේදී වන්නි දිස්ත්‍රික් දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී එස්. කිෂෝර් ඡන්දය දීමෙන් වැළකී සිටියේය. යුද මුක්ත කලාපයේ සිට අවතැන් වූ සිවිල් වැසියන් සමග හමුදා පාලන ප්‍රදේශයට එමින් සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට ගෙන සිටින දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. කනගරත්නම් නිදහස් කරන ලෙස ඔහු පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියේය. මේ අතර, ඇමති විනායගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් මඩකලපු දිස්ත්‍රික්කයේ දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීන් කීපදෙනා බිලී බා ගැනීමේ ප්‍රයත්නයක යෙදී සිටින බවද වාර්තා වේ. දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් යුද්ධය නැවත ආරම්භ වීමේ දිට දැඩි පීඩනයක සිටින අතර, ඔවුන්ගෙන් කීපදෙනෙකුම ස්වයංව රට්න් පිටුවහල්ව සිටිති. ජෝසප් පරරාජසිංහම්, නඩරාජා රවිරාජ් සහ කේ. සිවනේෂන් යන මන්ත්‍රීවරු ඝාතනයට ලක් වූහ.
අදහස් දක්වන්න නිවහන් පිටුවට | ඉංග්‍රීසි පිටුවට ¤ W3lanka පුවත් විද්‍යුත් තැපෑලෙන් ලබාගන්න ¤ RSS News Feed හා එක්වන්න |
|
|||||||||||||||
|
© POWERED BY W3LANKA |
|||||||||||||||||