W3lanka.com

NEWS IN
ENGLISH

refugee camp
මුළු උදයම වැසිකිළි පෝලිමේ; නෑම දින හතරකට වරක්
'සුබසාධන කඳවුරුවල' දුෂ්කර ජීවිතය ගැන නිදසුන් දෙකක්

(W3Lanka, ජුනි 15, 2009)
එක්සත් ජාතීන්ගේ සංඛ්‍යාලේඛන අනුව, වවුනියාවේ සරණාගත කඳවුරුවල ඇත්තේ වැසිකිළි 3150කි. අනාථයන් සංඛ්‍යාව පිළිබද සංඛ්‍යා ලේඛන පරස්පර වන අතර මෙහිදී අවම සංඛ්‍යාවක් වන 277,000 සැලකිල්ලට ගතහොත්, වැසිකිළි ඇත්තේ 88දෙනෙකුට එකක් බැගිනි. බොහෝ දෙනා උදය කාලයේ වැසිකිළි යාම පුරුද්දක් කරගෙන ඇති අතර එක් අයෙකු ඒ සඳහා විනාඩි තුනක කාලයක් ගත කරන්නේ නම් වැසිකිළි පෝලිම පැය හතරහමාරක් දිගය. එනම් මුළු උදය කාලයම වැසිකිළි පෝලිමට ගත වේ. සේදීමට ප්‍රමාණවත් තරම් වතුර නැති නම්, මෙම වැසිකළිවලින් කෙතරම් දුර්ගන්ධයක් නිකුත් කරනවා ඇද්ද? ඇතැමුන් පිරිසිදුකම ගැන දක්වන්නේ අවම උනන්දුවකි. කඳවුරුවාසීන්ට එය ඉවසා සිටීමට සිදු වේ.

277,000ක් සරණාගතයන් වෙනුවෙන් නාන ස්ථාන ඇත්තේ 200ක් පමණි. ඒ අනුව, එක් ස්ථානයක් 1385 දෙනෙකුට බෙදාහදාගැනීමට සිදු වේ. ප්‍රමාණවත්තරම් වතුර ඇතැයි උපකල්පනය කරමු. එක් අයෙකු නෑම සඳහා විනාඩි පහක් ගත කරන්නේ නම්, සියලු දෙනාට නෑම සඳහා ගත වන කාලය පැය 115කි. එයින් කියැවෙන පරිදි, ගිනිගහන අව්වේ ටකරං තහඩු යට ජීවත් වන මෙම උවතැන් වූවන්ට නාන්නට ලැබෙන්නේ දින හතරකට වරකි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය කියන පරිදි, මෙම කඳවුරුවලට වැසිකිළි 6000ක් තිබුණොත් 50 දෙනෙකු වෙනුවෙන් එක් වැසිකිලිය බැගින් සැපයිය හැකිය. එහෙත් ඇත්තේ 3150කි. නාන ස්ථාන 1200ක් අවශ්‍යමුත් ඇත්තේ 200කි.

මේ වනාහි අපට සිතා ගත හැකි තත්වයන් දෙකකි. තවත් ප්‍රශ්න කෙතරම් නම් ඇද්ද? රජයත්, කොටි සංවිධානයත් විසින් මෙම ජනයාට දී තිබෙන ජීවිතය කුමක්ද?

යුනිසෙෆ් සංවිධානයේ සංඛ්‍යාලේඛන අනුව, කඳවුරුවල සිටින ළමුන්ගෙන් 15%ක් වයස අවුරුදු පහට අඩු අයයි. අනාථයන්ගෙන් 3%ක් දරුවන් රැක බලා ගන්නා මව්වරුය. රජය කියන පරිදි, මව හා පියා යන දෙදෙනාම මිය ගිය දරුවෝ 850ක් කඳවුරුවල ජීවත් වෙති.

ඇමතිවරයෙක් වරක් කීවේ තරු පහේ හෝටල්වල සැලකිල්ල කඳවුරුවලදී බලාපොරොත්තු විය නොහැකි බවයි. අපි අර්බුදය නිර්මානය කළෙමු. දැන් දේශපාලකයෝ හා රජයේ නිලධාරීහු එක්සත් ජාතීන්ට හා වෙනත් මානුෂීය සංවිධානවලට චෝදනා කරන්නේ ඔවුන් ආධාර ලබා දීම සීමා කරන බව කියමිනි. අපි ආපදා නිර්මානය කරමු. ඔවුහු ඒවා කළමනාකරණය කළ යුතුය.

පසුගිය කාලයේ රතිඤ්ඤා පත්තු කිරීමට හා නිමාවක් නොමැති ජයපැන් බීමේ මහෝත්සව සඳහා කළ වියදම්වලින් මේ අසරණ මිනිසුන්ට වැසිකිළි කීයක් නම් හදන්නට තිබුණාද?


Bookmark and Share

RSS icon
Facebook සමග බෙදා ගන්න
අදහස් දක්වන්න
නිවහන් පිටුවට | ඉංග්‍රීසි පිටුවට
¤ W3lanka පුවත් විද්‍යුත් තැපෑලෙන් ලබාගන්න
¤ RSS News Feed හා එක්වන්න

© POWERED BY W3LANKA