W3lanka.com

NEWS IN
ENGLISH

ලංකාවට සූකර උණ ලැබුණේ සිංගප්පූරු හා ශ්‍රී ලංකා ගුවන් තොටුපළ බලධාරීන්ගේ නොසැලකිල්ල නිසා

(W3Lanka, ජුනි 18, 2009)
H1n1 හෙවත් සූකර උණ වසංගත තත්වය වාර්තා වූ 77වන රට ලෙස ශ්‍රී ලංකාව හඳුනාගෙන ඇත. මේ වන විට රෝගීන් දෙදෙනෙකු හඳුනාගෙන තිබේ. මංගල්‍යෝත්සවයකට සහභාගි වීම සඳහා ලංකාවට පැමිණි ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ඕස්ට්‍රේලියානු පවුලක් විසින් රෝගය ලංකාවට රැගෙන විත් තිබේ.

සිංගප්පූරු ගුවන් තොටුපළෙන් ලංකාව බලා පියාසර කරන ගුවන් යානයකට මාරු වෙද්දී රෝගී දරුවා සූකර උණ රෝගියෙකැයි සැක කැ තිබෙනමුත් සිංගප්පූරු බලධාරීන් ඒ පිළිබඳව ලංකාවට දැනුම් දී නොමැති බව දැනගන්නට තිබේ. වසංගතය පැතිරීම මැඬලීම සඳහා රෝගියා පැමිණි ගුවන් යානයේ මගීන් හා කාර්ය මණ්ඩලයද, මංගල්‍යෝත්සවයට සහභාගි වූ අය සහ රෝගීන් ආශ්‍රය කළ වෙනත් පුද්ගලයන් වෛද්‍ය පරීක්ෂාවට ලක් වෙමින් තිබේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන පරිදි කටුනායක ගුවන් තොටුපළේ තර්මල් ස්කෑනිං යන්ත්‍ර ක්‍රියා විරහිතව ඇති අතර, රෝගීන් හඳුනාගැනීම සඳහා භාවිතා වන්නේ හුදු ඔවුන්ගේ ප්‍රකාශ මත පදනම් වූ ක්‍රමයකි. මේ වන විට තවත් රෝගීන් රට තුළට ඇතුල් වී සිටීමට ඉඩ ඇති බව සංගමයේ උප ලේකම් උපුල් ගුණසේකර පවසයි. රෝගියා හඳුනාගනු ලැබුවේ ඔහුගේ පියා සිංගප්පූරු ගුවන් තොටුපළේදී මතු කරන ලද සැකය පිළිබඳ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයට දැනුම් දීමෙන් පසුව ඔවුන් රජයේ අදාළ බලධාරීන් දැනුවත් කිරීමෙන් පසුවයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ(මහජන සෞඛ්‍ය සේවා) පාලිත මහීපාල පවසන පරිදි සූකර උණ රෝගීන් වාර්තාවී ඇති රටවලින් ලංකාවට පැමිණෙන සියලූම ගුවන් මගීන් ගුවන් තොටුපළේ පිහිටුවා තිබෙන වෛද්‍යවරුන් හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් සැදුම් ලත් විශේෂ ඒකකයක් විසින් පරීක්ෂාවට ලක් කරනු ලැබේ. ඔවුන් එම ඒකකය විසින් ලබා දෙන පෝර්මයෙහි සමාන රෝග ලක්ෂණ පිළිබඳ සඳහන් කර තිබුණොත්, සූකර උණ වැළදී ඇතැයි සැක සහිත අයෙක් වෙතොත් විශේෂ පරීක්ෂාවට ලක් කෙරෙයි.


Bookmark and Share

RSS icon
Facebook සමග බෙදා ගන්න
අදහස් දක්වන්න
නිවහන් පිටුවට | ඉංග්‍රීසි පිටුවට
¤ W3lanka පුවත් විද්‍යුත් තැපෑලෙන් ලබාගන්න
¤ RSS News Feed හා එක්වන්න

© POWERED BY W3LANKA