W3lanka.com

NEWS IN
ENGLISH

පාර ජාතික ආණ්ඩු යෝජනාවත් සමග එල්.ටී.ටී.ඊ.ය යළි නැඟිටීමේ උත්සාහයක
"පරිකල්පිත මනෝදර්ශනයක්" ආණ්ඩුව කියයි
බටහිර ප්‍රතිචාරය ගැටළුවක්

(W3Lanka, ජුනි 19, 2009)
ශ්‍රී ලංකා රජය විසින් යුදමය වශයෙන් පරාජය කර තිබෙන දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය විදේශයන්හි සිට එහි විවිධ බලවේග ඒකරාශී කරමින් ප්‍රතිසංවිධානය වීමට උත්සාහ කරමින් සිටින බව නිරීක්ෂකයෝ පවසති.

පාරජාතික ඊලාම් ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ඉදිරිපත් වී තිබෙන යෝජනාවට ඉතිරි වී සිටින කොටි නායකයන් වන ජාත්‍යන්තර සබඳතා ප්‍රධානී කේ.පී. සහ විදස්ගත ප්‍රජාවේ කටයුත් පිළිබඳ ප්‍රධානී කැස්ත්‍රෝ වැනි අයගේ සහයෝගය ලැබෙමින් ඇති බව වාර්තා වේ. කේ. පී. මෙන්ම කැස්ත්‍රෝගේ හඬක් ලෙස සැලකෙන ජාත්‍යන්තර බුද්ධි කාර්යාංශ ප්‍රධානී අරිවාලකන්ද මෙම යෝජනාව අගයමින් නිවේදන නිකුත් කර තිබේ. එක්සත් ජනපදයේ වෙසෙන කොටි සංවිධානයේ නීති උපදේශක රුද්‍රකුමාරන් විශ්වනාදන් මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා මූලිකත්වය ලෙන ඇති අතර, ඒ සඳහා ඉහළ පෙළේ උපදේශක මණ්ඩලයක්ද පත් කර තිබේ.

පාරජාතික පාලන යෝජනාවට ප්‍රතිචාර දක්වන ලන්ඩනයේ 'ද ටයිම්ස්' පුවත්පත එල්.ටී.ටී.ඊ.ය බලය ලබාගැනීමේ මාධ්‍යයක් ලෙස ප්‍රචණ්ඩත්වය පාවිච්චි කිරීම අත්හැර දම නැති බවයි.

තවත් නිරීක්ෂණය කළ හැකි තත්වයක් වන්නේ බටහිර රටවල් කොටි සංවිධානයේ මෙම පියවරට එක්කෝ අනුග්‍රහය දක්වන බව හෝ එය ඉවසා සිටින බවකි. බටහිර බල අවකාශයෙන් ඈත් වෙමින් ශීඝ්‍රයෙන් චීනය වෙත සේන්දු වෙමින් සිටින ලංකාව මෙල්ල කර තබාගැනීම සඳහා ඔවුන් මෙම උපාය අනුගමනය කරමින් සිටින්නේ යයි සිතිය හැකිය. එල්.ටී.ටී.ඊ. ජාත්‍යන්තර සබඳතා ප්‍රධානී කේ.පී. අත්අඩංගුවට ගන්නා ලෙස ලංකාව කර තිබෙන ඉල්ලීම කෙරෙහි බටහිර ප්‍රතිචාරයද පැහැදිලි නැත. ඇතැමුන් කියන පරිදි ඔහු දැනටමත් ඉන්නේ සී.අයි.ඒ. සහ එෆ්.බී.අයි. පාලනයට යටත්වයි.

තොරතුරු සහ ජනමාධ්‍ය අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා ඊයේ කැබිනට් පුවත්පත් සාකච්ඡාවේදී පැවසූ පරිදි එල්.ටී.ටී.ඊ.ය තවදුරටත් නොපවතින්නක් බැවින් ඔවුන්ගේ ඉහත කී ආකාරයේ යෝජනාවල ගණන් ගැනීමට දෙයක් නැති බවයි. දෙමළ ජනයා රැක බලාගැනීමේ වැඩි හැකියාවක් රජයට ඇති බවද, ඔවුනට ජීවිතයේ සෑම තලයකදීම සමානාත්මතාව ලබා දෙන බවද හේ පැවසීය.

එහෙත්, 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉක්මවා ගිය බලය බෙදීමක් කිරීමට රජය අදහස් නොකරන අතර, ඒ වෙනුවට කොටි සංවිධානයට යළි නැඟිටීමට අවස්ථාවක් නොලැබෙන අන්දමින් ආරක්ෂක විධිවිධාන තර කිරීමට රජය පියවර ගෙන තිබේ.

මේ අතර, ජාත්‍යන්තර පොලිසියට වඩාත්ම අවශ්‍ය පුද්ගලයන්ගේ ලැයිස්තුවේ සිටින කේ.පී. ළඟදීම අත්අඩංගුවට ගන්නා බවට ඊයේ විශ්වාසය පළ කළේය. "ඔහු එල්.ටී.ටී.ඊ. සංවිධානය යළි පණ ගන්වනු ඇති බවට පරිකල්පනයක් තිබේ. එහෙත් ඉක්මණින්ම ඔහු අත්අඩංගුවට ගෙන මෙහි ගෙන ඒමත් සමගම ඒවා මනෝ දර්ශන බවට පත් වනු ඇත," යි හේ කීවේය.


Bookmark and Share

RSS icon
Facebook සමග බෙදා ගන්න
අදහස් දක්වන්න
නිවහන් පිටුවට | ඉංග්‍රීසි පිටුවට
¤ W3lanka පුවත් විද්‍යුත් තැපෑලෙන් ලබාගන්න
¤ RSS News Feed හා එක්වන්න

© POWERED BY W3LANKA