W3lanka.com

NEWS IN
ENGLISH

ඇමති මහදැනමුත්තෙක් බිලියනයක් වියදම් කර බිලියනයක් ඉතිරි කරන්න සැලසුම් කරයි
ජනාධිපතිවරණය වෙනුවට ජනමතවිචාරණයක්

(W3Lanka, ජුනි 21, 2009)
ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ධුර කාලය නැවත ජනාධිපතිවරණයක් නොපවත්වා තවත් සය වසරකින් දීර්ඝ කිරීමේ වැඩපිළිවෙලක් පළාත් සභා හා පළාත් පාලන ඇමති ජනක බංඩාර තෙන්නකෝන්ගේ මූලිකත්වයෙන් මේ දිනවල ආරම්භ කර තිබේ.

එහි මූලික පියවර ලෙස මධ්‍යම ආණ්ඩුවෙන් ලැබෙන අරමුදල් මත යැපෙන ප්‍රාදේශීය සභා හරහා ජනාධිපති ධුර කාලය දීර්ඝ කිරීමේ යෝජනා සම්මත කරවා ගැනීම මේ දිනවල සිදු වෙමින් තිබේ. මෙවැනි යෝජනා සම්මත කිරීමක කිසිදු ඵලදායීතාවක් නැති මුත් මෙම පියවර සඳහා මහජන සහාය ඇතැයි පෙන්වීම සඳහා එසේ කරමින් තිබේ. ඊට අමතරව තවත් විශාල මුදලක් වැය කරමින් තැන් තැන්වල උද්ඝෝෂණ සංවිධානය කිරීමද සිදු වෙමින් පවතී.

රජයේ ප්‍රබලයන්ගේ ඍජු අනුග්‍රහයකත් මෙම වැඩසටහනට ලැබෙන බවක් දක්නට නොලැබෙන අතර, මීළඟ ජනාධිපතිවරණය ජයගැනීමට ප්‍රමාණවත් බලයක් හා ජනප්‍රියත්වයක් හිමි ජනාධිපතිවරයා මෙම පියවර හරහා ප්‍රජාතන්ත්‍ර විරෝධී ඒකාධිපතියකු ලෙස නම් වීමට ඉඩ තිබෙන බව රජයේ බොහෝ ප්‍රධානීන්ගේ අදහස වී තිබෙන බව වාර්තා වේ. අදාළ ඇමතිවරයා ජනාධිපතිවරයාගෙන් පෞද්ගලිකව ලකුණු දමාගැනීම සඳහා මෙසේ කරන බවටද අදහසක් පැතිරෙමින් තිබේ.

රටේ පවතින ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරණයකින් තොරව ජනාධිපතිවරයකුගේ ධුර කාලය දීර්ඝ කිරීම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් ව්‍යවස්ථා සංශෝධනයක් කළ යුතු අතර ජනමතවිචාරණයකින් ජනතා අනුමැතිය ලබාගැනීමද අවශ්‍ය වේ.

ඇමතිවරයා කියන්නේ මෙම පියවර හරහා ජනාධිපතිවරණයකට වැය වෙන රු. බිලියනයක පමණ මුදල ඉතිරි කරගෙන සංවර්ධනයට යෙදවිය හැකි බවයි. ජනමතවිචාරණයක් පැවැත්වීමටද රු. බිලියනයක පමණ මුදලක් වැය වන අතර, එයින් ජනාධිපති ධුර කාලය දීර්ඝ කිරීම අනුමත නොවුවහොත්, නැවත ජනාධිපතිවරණයක් පැවැත්වීමටද සිදු වේ.


Bookmark and Share

RSS icon
Facebook සමග බෙදා ගන්න
අදහස් දක්වන්න
නිවහන් පිටුවට | ඉංග්‍රීසි පිටුවට
¤ W3lanka පුවත් විද්‍යුත් තැපෑලෙන් ලබාගන්න
¤ RSS News Feed හා එක්වන්න

© POWERED BY W3LANKA