75 හැවිරිදි මල්ලී 80 හැවිරිදි අක්කා මරා සියදිවි නසා ගත්තේ ඇයි?

1965 වැනි වසරවල උපන් මෙවැනි පුද්ගලයන් තරුණ වියේදී ගැටලුවලට මුහුණ දුන්නා සේ ම ඔවුන්ගේ වැඩිහිටි විය ද බරපතල ගැටලු සහිත සමයක් වනු ඇත.
1965 වැනි වසරවල උපන් මෙවැනි පුද්ගලයන් තරුණ වියේදී ගැටලුවලට මුහුණ දුන්නා සේ ම ඔවුන්ගේ වැඩිහිටි විය ද බරපතල ගැටලු සහිත සමයක් වනු ඇත.

හැටහත් හැවිරිදි, එහෙත් ඉතා වියපත් ගම්පොළ හුදකලා මවක් ඇය විසින් පන්සාළිස් අවුරුද්දක් රැක බලාගත් ආබාධිත දියණිය මරා දමා රිමාන්ඩ් බන්ධනාගාරගත වූ පුවත පිළිබඳ අප ලියුවා ඔබට මතක ද? ඇය පැවසුවේ ඇය නැති කලෙක දුව බලාගැනීමට කවුරුවත් නැති නිසා ඇය එසේ කළ බවයි. මේ අප ඒ පිළිබඳ තැබූ සටහන.

බුලත්සිංහල ප්‍රදේශයෙන් ද පසුගියදා එවැනි ම කණගාටුදායක සිද්ධියක් වාර්තා වුණා. හදිසි අනතුරකින් තුවාල ලබා ඔත්පලව සිටි 80 හැවිරිදි වැඩිමහල් සොයුරිය ගෙල කපා මරා දැමූ 75 හැවිරිදි වැඩිහිටි පිරිමියකු නිවස අසල රඹුටන් ගසේ එල්ලී සියදිවි නසාගෙන තිබෙනවා.

එම සිද්ධිය පිළිබඳ අනුමාන කරන්නේ මෙම වැඩිහිටියන් දෙදෙනා එකඟතාවකින් මෙසේ කරගන්නට ඇති බවයි. පරීක්ෂණ පැවැත්වේ.

කෙසේ වෙතත්, අප අවධානයට යොමු කරන්නට උත්සාහ කරන්නේ මෙම අසරණකම කෙරෙහි ය. මේ වන විට ශ්‍රී ලංකාවේ වැඩිහිටි ජනගහනය සමස්ත ජනගහනයෙන් 14% ඉක්මවා තිබෙනවා. වසර 2030 පසු වන විට මෙය 25% දක්වා ඉහළ යනවා. ඒ අනුව, ජනගහනයෙන් සෑම හතරදෙනෙකුගෙන් ම එක් අයෙකු වයස අවුරුදු 60ට වැඩි වෙනවා.

වේගයෙන් වියපත් වන ජනගහනය ආශ්‍රිතව මතු වන ප්‍ර‍ශ්න සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සූදානම් ද? අප දකින ආකාරයට නම් මේ සම්බන්ධ ප්‍ර‍තිපත්ති සම්පාදනය ප්‍ර‍මාණවත් නැහැ. ඒ වගේ ම තමයි, ඒ ප්‍ර‍තිපත්ති සම්පාදනය වෙනුවෙන් පෙනී සිටීම් ද ප්‍ර‍මාණවත් නැහැ.

ලංකාවේ වැඩිහිටියන් යනු දිළිඳුභාවය, අනාරක්ෂිතබව, මන්දපෝෂණය, බෝ නොවන රෝග වැනි ගැටලු රැසකට මුහුණ දී සිටින පිරිසක්. බෝ නොවන රෝග යනු හදවත් රෝග, දියවැඩියාව, පිළිකා, වකුගඩු රෝග, ඇදුම වැනි රෝගාබාධයි. සෑම පස්දෙනෙකුගෙන් ම එක් අයෙකු බෝ නොවන රෝග නිසා පරමායුෂ නොවිඳ මිය යනවා.

ශ්‍රී ලාංකිකයකුගේ උපතේදී ආයු අපේක්ෂාව අවුරුදු 74ක සාමාන්‍යයක් වෙනවා. කාන්තාවන්ගේ නම් එය අවුරුදු 78ක් පමණ වෙනවා. පිරිමින්ගේ උපතේදී ආයු අපේක්ෂාවේ සාමාන්‍යය අඩු වෙන්නට හේතුව දුම්බීම, මත්පැන් අවභාවිතාව, හදිසි අනතුරු ආදියයි. ශ්‍රී ලාංකිකයන්ගේ උපතේදී ආයු අපේක්ෂාව ඉහළ යමින් තිබෙනවා. වැඩිහිටි ජනගහනය රටේ සමස්ත ජනගහනයෙන් 25%ක් පමණ වන විට උපතේදී ආයු අපේක්ෂාවත් අවුරුදු 80 ඉක්මවනවා.

හෙල්ප් ඒජ් ජාත්‍යන්තරයේ නිර්ණායක අනුව වැඩිහිටි ජනගහනයේ සුබසාධනය වෙනුවෙන් ආදායම් සුරක්ෂිතතාව, සෞඛ්‍ය තත්වය, ඔවුන්ගේ හැකියාවන් සහ ජීවිතය පහසු කරවන පරිසරය වැදගත් වෙනවා.

වැඩිහිටියන්ගේ ආදායම් සුරක්ෂිතතාව පිළිබඳ කාරණයේදී විශ්‍රාම වැටුප් ඉතා වැදගත්. ශ්‍රී ලංකාවේ විශ්‍රාම වැටුප් පිළිබඳ විවිධ පර්යේෂකයන් විවිධ දත්ත හුවා දක්වා තිබෙනවා. ලංකාවේ වර්තමානයේ ජීවත් වන වැඩිහිටි ජනගහනය අතර කුමන හෝ විශ‍්‍රාම වැටුපක් ලබන්නේ සියයට 25ක් පමණ පිරිසකැයි අනුමාන කරන්නට පුළුවන්. එහෙත්, ගොවි විශ්‍ර‍ාම වැටුප් වැනි බොහෝ විශ්‍රාම වැටුප් ක්‍ර‍ම මගින් වැඩිහිටියන්ට ලැබෙන ආදායම ඔවුන් දරිද්‍ර‍තා රේඛාවෙන් ඉහළට ඔසවා තබන්නට තරම් ප්‍ර‍මාණවත් නැහැ. පෞද්ගලික අංශයේ විධිමත් රැකියා කළ අයට වයස අවුරුදු 55දී සේවක අර්ථසාධක අරමුදල් ලැබෙන මුත්, ඒ හැම කෙනෙකු ම එය අනාගතය සුරක්ෂිත කර ගත හැකි පරිදි ආයෝජනය කරන්නේ නැහැ. දිළිඳු සහනාධාර යනු ඇත්තෙන් ම දිළින්දන්ට යන්තම් හෝ දිවි ගැට ගසා ගැනීමට ප්‍ර‍මාණවත් මුදලක් නොවෙයි. මේ සියල්ලට ම අමතරව ඉතිරි සියයට 20ක් පමණ වන වැඩිහිටි ජනතාවට මොනම ආකාරයක හෝ විශ‍්‍රාම දීමනාවක්වත් ලැබෙන්නේ නැත.

ලංකාවේ වැඩිහිටියන් රැකබලාගැනීමේ පහසුකම් පවතින්නේ ඉතා දුර්වල මට්ටමක. බොහෝ වැඩිහිටියන් රැකබලාගැනීම සිදු වන්නේ නිවෙස්වලමයි. රැකියා කරන දරුවන් හා වෙනත් ඥාතීන්ට වැඩිහිටියන් රැකබලාගැනීමේ බර ද දරන්නට සිදු වී තිබෙනවා. ඔවුන්ට උපකාර කිරීමට කිසිදු වැඩසටහනක් නැහැ. වැඩිහිටියන් වෙනුවෙන් වෛද්‍යවරයකු නිවසට ගෙන්වා ගැනීම ඉතා මිළ අධික දෙයක්. මෑතදී රජය විසින් දියත් කරන ලද සුවසැරිය ගිලන් රථ සේවය නිසා හදිසි තත්වයන්වලදී යම් සහනයක් ලැබෙනවා.

විශ්‍රාම යන වයස වැඩි කිරීම සඳහා යම් පියවර ගනු ලබමින් තිබෙනවා. ඒත්, පෞද්ගලික අංශයේ විශ්‍රාම යන වයස තවමත් අවුරුදු 55යි. පෞද්ගලික අංශයේ විශ්‍රාමිකයන්ට අඩු වැටුප් ගිවිසුම් මත වෙනත් රැකියාවන්හි යෙදෙන්නට සිදු වෙනවා. මෙවැනි විශ්‍රාමිකයන් බොහෝ විට ආරක්ෂක සමාගම්වල සිකියුරිටි ගාඩ්ලා ලෙස සේවය කරනු දැකිය හැකියි. වියපත් වන විට ඔවුන්ට ඒ රැකියාවත් අහිමි වෙනවා. සනීපාරක්ෂක සේවා සමාගම්වල වැඩ කරන අය අතර වැඩිහිටියන් විශාල පිරිසක් ඉන්නවා. වයස අවුරුදු 80 ඉක්මවූ අයත් එවැනි රැකියා කරනවා. වැඩිහිටි හැකියාවන්ගෙන් ප්‍රයෝජන ගැනීම ද ශ්‍රී ලංකාවේ ප්‍ර‍මාණවත් පරිදි සිදු වන්නේ නැහැ. ශ්‍රී ලංකාවේ වැඩිහිටි ජනගහණයෙන් ආර්ථික වශයෙන් සක්‍රිය වන්නේ 25%ක් පමණ පිරිසක් පමණක් බව සමාජ බලගැන්වීමේ හා සුබසාධන අමාත්‍යාංශයේ සංඛ්‍යාලේඛන පෙන්වා ‍පෙන්වා දෙනවා.

වැඩිහිටියන්ගේ ජීවිතය පහසු කරවීම සඳහා ශ්‍රී ලංකාවේ පහසුකම් ප්‍ර‍මාණවත් නැහැ කියන එකට උදාහරණ ඕනැ තරම් තියෙනවා. බුලත්සිංහල සිද්ධිය එකක් විතරයි.

මේ ගැන හඬ අවදි කරන එක අප කාගෙත් යුතුකමක්. ලංකාවෙ ජනගහනයෙන් 25%ක් වැඩිහිටියන් වන සූදානම් විරහිත ලංකාවක වැඩිහිටිභාවයේ කාලකණ්ණිකම උපරිමයෙන් විඳින්නට සිදු වනු ඇත්තෙ මේ ලියන මා අයත් වන වර්තමානයේ මැදි වියේ සිටින පරපුරට. ඒ නිසා මේ ගැන කතා නොකර කොහොම ද?

තවත් විස්තර මෙම ලිපියේ

Please follow and like us:

2 thoughts on “75 හැවිරිදි මල්ලී 80 හැවිරිදි අක්කා මරා සියදිවි නසා ගත්තේ ඇයි?

  1. රටක් හෝ සමාජයක් තමන්ගේ වැඩිහිටියන් ට සහ ආබාධිතයන් ට සලකන විධිය ඒ ජන කොට්ඨාශයේ දියුණුව පිලිබඳ නිර්නායකයක් හැටියට සැලකිය හැකිය. ප්‍රචණ්ඩ මිනිස් සමාජ (සාමාජීය අතින් නොදියුණු, සමහරවිට ආර්ථිකව දියුණු) හෝ සතුන් අතර වයසට ගිය අයට හෝ ආබාධිත අයට දිගු කාලීනව ජීවිතය රැක ගැනීමේ සම්භාවිතාව අඩුවේ.
    ආකල්පමයව දියුණු වෙමින් පැවතුනු සමාජ- වැඩිහිටියන්, ආබාධිතයන් සහ ළමයින් රැකබලා ගැනීමේ ආදීනවත්, ඉන් ලැබෙන සමාජ සුරක්ෂිත භාවය නිසා වර්ගයාගේ ප්‍රගමනයට සිදුවන සේවයත් ක්‍රමක්‍රමයෙන් අවභෝධ කරගත් අතර, ඒවා සංස්කෘතික හෝ සමාජ සාරධර්ම ලෙස තම ජාතික ලක්ෂණයන්ට වද්දවාගත්හ. අදටත් දියුණු හෝ සාමකාමී (පොහොසත් හෝ දුප්පත්) සමාජ මෙවැනි වටිනාකම් අගය කරන බව පැහැදිලිව දැකිය හැකිය.
    නමුත් සීග්‍ර ජනගහන වර්ධනයත්, වෙනස්වන පුරුෂාර්ථත් සමග ලෝකය පුරාම වයස්ගත අය සහ ආබාධිතයන් රකබලාම ගැනීම යනු ආර්ථික කටයුත්තක් හෝ රටේ අය -වැය පිළිබඳ ප්‍රශ්නයක් බවට පත්වෙමින් තිබේ. වයස්ගත අය සහ ආබාධිතයන් සඳහා වන වියදම්, වියදම් අඩු කිරීම් වලදී පළමුවෙන්ම කපාදැමෙන වැය ශීර්ෂ බවට පත් වෙමින් තිබේ. එයට සමගාමීව සමාජ සුරක්ෂිතතාවය පිලිබඳ හැගීමද ක්ෂය වී යනු දැකිය හැකිය. එහි ප්‍රතිඵලය වනුයේ ‘දියුණු සහ සාමකාමී ‘ යන්නෙහි ප්‍රතිවිරුද්ධ ලක්ෂණ වලින් යුතු සමාජයකි.

  2. නිදාගන්න හරිහැටි ඇදක් නැතුව ඉන්න තැනක් නැතුව
    හිටපු මිනිස්සුන්ගේ කිරි දරුවෝ බල්ලෝ ඇදන් ගිහන් කාපු රටක.අසරණකම ගැන තවත් මොන කතාද

Leave a Reply

Your email address will not be published. Required fields are marked *