1971දී, 1989දී කැරැලිකරුවන්ට පොදු සමාවක් දුන්නා ද?

Release political prisonersමෙම සටහන තබන්නේ දේශපාලන සිරකරුවන්ට නිදහස ලබාගැනීමේ අරගලයට සහයෝගය ප්‍රකාශ කරන ගමන් එය සටන් පාඨයකින් ඔබ්බට යථාර්ථයක් කරගැනීම පිළිබඳව සිතමිනි. මේ සමග පළ වන රූපමය සටහනේ ගැටලුවක් තිබේ.

71, 89 කැරැලි සම්බන්ධයෙන් දකුණේ සිංහල තරුණයාට පොදු සමාවක් දුන්නේ නැත. 1971දී බොහෝ නඩු පවරන ලද්දේ අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභා පනත යටතේ කැන්ගරු උසාවි ක්‍ර‍මයකට ය. 1977දී ජේ.ආර්. ජයවර්ධනගේ නායකත්වයෙන් බලයට ආ එජාප ආණ්ඩුව මෙම පනත අහෝසි කරන ලදී. විජේවීර ඇතුළු ජවිපෙ නායකයන් නිදහස් වූයේ එම නිසා ය. එය පොදු සමාවක් නොවේ. නීතියේ වැරැද්දක් නිවැරදි කිරීමකි. අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභා පනත යටතේ එජාප හිතවතුන් ද සිරගත කර තිබුණු බැවින් ඔවුන් නිදහස් කරගැනීමේ උවමනාවක් ද ආණ්ඩුවට තිබිණි.

පසු කලෙක සරත් ප්‍රනාන්දු සමග කළ සාකච්ඡාවලින් දැනගත් පරිදි 1970 දශකයේ මැද භාගය වන විට දේවසරණ සංවර්ධන කේන්ද්‍රයේ ප්‍රධානී යොහාන් දේවානන්ද පියතුමා වැනි අයගේ නායකත්වයෙන් දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීමේ ව්‍යාපාරයක් පැවතිණි. 1977දී විජේවීර ඇතුළු 71 කැරැල්ලේ ප්‍රධාන විත්තිකරුවන්ට නිදහස ලැබෙන්නට එය හේතු විය.

එහෙත්, අපරාධ නීතිය යටතේ වරදකරුවන් වූ සැලකිය යුතු පිරිසකට මේ නිදහස හිමි වුණේ නැත. ඔවුහු සම්පූර්ණ සිරදඬුවම වින්ද හ.

1989දී ද කිසිදු පොදු සමාවක් ප්‍ර‍දානය කෙරුණේ නැත. 1988දී ජවිපෙ තහනම ඉවත් කර තිබුණු නිසා 1994දී ජවිපෙට නැවත දේශපාලනයට එන්නට නීතිමය බාධාවක් තිබුණේ නැත.

මෙම කැරැලි දෙකේදී ම සාමාන්‍ය නීතිය යටතේ නඩු පවරා වැරදිකරුවන් වූ අය සම්පූර්ණ දඬුවම ම භුක්ති වින්ද හ. උදාහරණයක් ලෙස ජවිපෙ වෙනුවෙන් ප්‍රේමකීර්ති ද අල්විස් ඝාතනය කර වැරදිකරුවන් වූ අයට සිර දඬුවම් නියම වූ බව අසා ඇත්තෙමි. අප ද දීර්ඝ අධිකරණ ක්‍රියාවලිවලට අමතරව ඊනියා පුනරුත්ථාපනයකට ද මුහුණ දුන්නෙමු. කිසිදු සමාවක් අපට ද ලැබුණේ නැත. දැන් අප හොඳ ජීවිත ගත කරන නිසා, පොත් ලියන නිසා ඇතැමෙකු අපට පොදු සමාවක් ලැබී ඇතැයි සිතන බව පෙනේ. එය සම්පූර්ණයෙන් ම වැරදි ය. ඔබ නොදන්නා තව බොහෝ කතා තිබේ. මට එරෙහිව නඩු ද, මා පිළිබඳ නඩු ද, මා පැවරූ මානව හිමිකම් නඩු ද ඒ වකවානුවේ තිබිණි.

වාද්දුව හමුදා කඳවුරට පහර දීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් වූ ටිල්වින් සිල්වා ඇතුළු පිරිසක් බරපතල වැඩ ඇතිව සිර දඬුවම් වින්ද හ.

එහෙත්, කුමාර් ගුනරත්නම් වැනි ඇතැමුන් හමුදාව විසින් පොලිසිය වෙත යොමු නොකර, කිසිදු අධිකරණ ක්‍රියාමාර්ගයක් නොගෙන නිදහස් කරන ලදී. ඒ ඔහුගේ වරදක් හෝ පොදු සමාවක් හෝ නිසා නොව, එවැනි දේ ද ඒ කාලයේ සිදු වූ නිසා ය.

පසු කලෙක ජවිපෙ නායකවරයා බවට පත් වූ, 1989 වකවානුවේදී ජවිපෙ දේශපාලන මණ්ඩල සභිකයකු වූ සෝමවංශ අමරසිංහ සම්බන්ධයෙන් රජය කිසිදු චෝදනා නැගීමක් කළේ නැත.

2007දී සිංහල කොටි චෝදනා මත අත්අඩංගුවට පත් වූ සිංහල දේශපාලන ක්‍රියාකාරිකයන් පිරිස ද නිදහස් වූයේ වසර අටක් පමණ නඩු කීමෙන් අනතුරුවයි. ඔවුන් අතරින් ද අඩු තරමේ එක් අයෙකු හෝ හමුදා බුද්ධි අංශ විසින් පොලිසියට භාර නොදී නිදහස් කරන ලදී.

ඒ කිසිවක් මේ ඉල්ලීමට අදාළ නැත. ඒ බව සඳහන් කළේ 1971 හා 1989 සමයේ පොදු සමා ලැබුණු බවට වැරදි අදහසක් මෙහි දැක්වෙන නිසා ය. දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය හා රජය අතර යුද්ධයේදී සිදු වූ අපරාධ සම්බන්ධයෙන් වැරදිකරුවන්ට පොදු සමාවක් දීම හොඳ යෝජනාවකි. එහෙත්, උතුරේ දමිළ තරුණයාට පමණක් පොදු සමාව ඉල්ලීම තුළ ගැටලුවක් තිබේ. එය දේශපාලනික හා මානුෂවාදී ඉල්ලීමක් ලෙස පෙනුණ ද දැන හෝ නොදැන හෝ මේ ඉල්ලීම පසුපස තිබෙන්නේ විසඳුමකට නොකැමැත්තකි.

ජාතික හෙළ උරුමය විසින් කරන ලද ඉල්ලීම මෙහිදී වඩා යථාර්ථවාදී ය. යුද සමයේ සිදුවීම් සම්බන්ධයෙන් ජාතික හා ජාත්‍යන්තර පාර්ශ්ව සමග ඇති කර ගන්නා එකඟතාවකින් රජයේ ආරක්ෂක අංශ හා ඔවුන්ට සහාය දුන් සන්නද්ධ කණ්ඩායම්වල සාමාජිකයන්ටත්, දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය හා යුද සමයේ ක්‍රියාත්මක වූ වෙනත් දෙමළ සංවිධානවලටත් පොදු සමාවක් ප්‍ර‍දානය කරන ලෙස ජනාධිපතිවරයාගෙන්, අගමැතිවරයාගෙන් සහ දෙමළ දේශපාලන නායකයන්ගෙන් ඉල්ලා සිටින බවට ජාතික හෙළ උරුමය විසින් ප්‍රකාශ කරන ලදී.

යම් දැවෙන ප්‍රශ්නයකට විසඳුම් යෝජනා කරන විට, එම ප්‍රශ්නය සම්බන්ධයෙන් සැබෑ විසඳුම් අවශ්‍ය අය කරන්නේ තිබෙන තත්වයන් සැලකිල්ලට ගෙන කරන්නට පුළුවන් දෙයක් ඉල්ලා සිටීමයි.

යුද්ධයට නියමින් හා අනියමින් සහභාගි වූ සෑම පාර්ශ්වයක් ම නීති විරෝධී අන්දමින් කටයුතු කළ ය. ඍජුව යුදවැදුණු පිරිස් පමණක් නොව මාධ්‍යකරුවන් පවා සාපරාධී වැරදි කළ හ. මේ වැරදිකරුවන් අතරින් ඇතැමෙකුගේ වැරදි රජය විසින් නොතකා හරින ලදී. රජයේ හමුදාවලට අමතරව කරුණා, කේපී වැනි කොටි නායකයෝ ද ඒ අතර සිටිති. තවත් ඇතැමෙකු පුනරුත්ථාපනය කර නිදහස් කරන ලදී. තවත් පිරිසකට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගෙන තිබේ. ඒ අතරින් පිරිසකට දඬුවම් පමුණුවා හමාර ය. ඒ අතර හමුදා සෙබළු ද සිටිති.

අවසානයේදී සිරකරුවන්ට අවශ්‍ය නිදහසයි. මෙයට විසඳුම් සෙවිය හැක්කේ සාකල්‍ය ප්‍රවේශයකින් පමණි. සිංහල ජාතිවාදීන් කියන පරිදි හමුදා අතින් කිසිදු වරදක් වී නැති බව හා වැරදි කළේ කොටින් පමණක් ය යන්න කිසිවකු පිළිගන්නේ නැත. එපරිද්දෙන් ම දෙමළ ජාතිවාදීන්ට අවශ්‍ය පරිදි හමුදා සම්බන්ධයෙන් පමණක් ජාත්‍යන්තර පරීක්ෂණයක් කරන්නටත්, සියලු දෙමළ දේශපාලන සිරකරුවන් පමණක් නිදහස් කරන්නටත් බැරි ය.

කළ හැකි වඩාත් ප්‍රායෝගික දෙය වන්නේ සියලු දේශපාලන සිරකරුවන්ට පොදු සමාවක් ලබාදීමයි. එසේම, යුද වකවානුවේදී සිදු වූ යුද්ධය හා සම්බන්ධ අපරාධ සම්බන්ධයෙන් පොදු සමාවක් පිරිනැමිය හැකි ය. යුද්ධය හා සම්බන්ධව සිදු වුණු අපරාධ සහ වෙනත් අරමුණු මත සිදුකරන ලද අපරාධ අතර වෙනස විග්‍ර‍හ කරගැනීම ද මෙහිදී අත්‍යවශ්‍ය ය. මේ සම්බන්ධයෙන් ජාතික හෙළ උරුමය විසින් ඉතා වැදගත් ක්‍ර‍මවේදයක් යෝජනා කර තිබේ. ඒ අනුව, නීතිපති දෙපාර්තමේන්තුවේ ප්‍ර‍ධානත්වයෙන් පත් කරන ලද කමිටුවක් මගින් යුද සමයේ වූ අපරාධ යුදමය අභිමතාර්ථ සාධනයේදී ඇති වූ දේවල් ද, නැතිනම් පෞද්ගලික අභිමතාර්ථ සාධනයේදී වූ දේවල් ද යන්න වෙන් කර හඳුනාගනු ඇත. මෙය ද ඉතා සරල කාර්යයක් නොවේ. යුදමය අරමුණු මෙන් ම පෞද්ගලික අභිමතාර්ථ ද එකට මුසු වූ අපරාධ රැසක් සිදු වී තිබේ.

කෙසේ වෙතත්, යුද සමයේ බොහෝ අපරාධ සම්බන්ධයෙන් සාක්ෂි ප්‍ර‍මාණවත් නැත. සැකයකින් තොරව අපරාධ චෝදනා ඔප්පු කිරීම පහසු නැත. දෙමළ විමුක්ති කොටි සංවිධානයට සම්බන්ධ බවට චෝදනා ලබන සැකකරුවන්ට එරෙහි බොහෝ නඩු ඔප්පු කිරීම සඳහා යොදා ගන්නා ප්‍ර‍ධාන ම සාක්ෂිය වන්නේ විත්තිකරුවා විසින් කරන ලද පාපොච්චාරණයයි. මෙම පාපොච්චාරණ බොහෝ විට ස්වයංව සිදු කරන ලද ඒවාට වඩා බලෙන් හෝ රැවටීමෙන් ලබාගත් ඒවා ය. පාපොච්චාරණයක් ලබාගැනීම යන්න අද වන විට සුලබව භාවිතා වන යෙදුමකි. තත්වයෙහි බරපතලකම එම යෙදුමෙන් ම නිරූපණය වේ. පාපොච්චාරණ යනු කරන දෙයක් මිස ලබාගත යුතු දෙයක් නොවේ.

හමුදා සාමාජිකයන්ගෙන් එසේ බලහත්කාර කටඋත්තර ලබා නොගන්නා නිසා ඔවුන්ට මෙම ගැටලුව නැත. කෙසේ වෙතත්, මෙම චෝදනා සැකයෙන් තොරව ඔප්පු කිරීම ඉතා දුෂ්කර ය. මේ වන විට වරදකරුවන් වී සිටින කොටි සැකකරුවන්ට එරෙහි චෝදනා පවා සැකයකින් තොරව ඔප්පු වුණා ද යන්න ගැටලුවකි. අධිකරණයේදී ඔවුන් සම්බන්ධයෙන් පූර්ව විනිශ්චයන් බලපෑවා ද, ඔවුන් මුහුණ දුන් භාෂා ගැටලු නිසා ඔවුන්ට අසාධාරණයක් සිදු වූවා ද ආදී ගැටලු රැසක් තිබේ.

අවසන් වශයෙන් කියන්නට තිබෙන්නේ එක දෙයකි. පොදු සමාවක් යනු පොදු සමාවකි. එය පොදුවේ පිරිනමන දෙයක් මිස තෝරාගත් අයට පමණක් දිය හැක්කක් නොවේ. දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීමට අරගල කරන විට මෙම ප්‍රායෝගික තත්වය වටහා ගත යුතුව තිබේ. දේශපාලන සිරකරුවන් ඇත්තට ම නිදහස් කර ගැනීමෙහි ලා එය වැදගත් ය.

Please follow and like us:

One thought on “1971දී, 1989දී කැරැලිකරුවන්ට පොදු සමාවක් දුන්නා ද?

  1. please let me know what are your thoughts on below example
    I was JVP cadre during 1989, I was instructed to kill the gramasewaka by the higher authorities. which i carried out
    And there are evidence to prove that I’m guilty of the crime.
    What is the correct action based on your view
    1. Prosecute me under the penal code and give me fair trial. Based on court verdict imprison me
    2. Pardon me as I carried out my crime for a political cause.
    This is a hypothetical situation to only understand your view better

Leave a Reply

Your email address will not be published. Required fields are marked *