2009-11-28

රජුන්, ජනරාල්වරුන් වෙනුවට ප්‍රජාතන්ත්‍රවාදී නායකයන් තනමු

අජිත් පැරකුම් ජයසිංහ -
විපක්ෂ පොදු අපේක්ෂක සරත් ෆොන්සේකා ජනාධිපතිවරණයේදී විධායක ජනාධිපති ක‍්‍රමය වෙනස් කිරීම හා 17වන ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක‍්‍රියාත්මක කිරීම වැනි ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කිරීමට ඉවහල් වන හා යහපාලනය හා සම්බන්ධ ජනතා බලාපොරොත්තුවල අපේක්ෂකයකු ලෙස චිත‍්‍රනය කිරීමට විපක්ෂය පියවර ගනිමින් සිටිද්දී ජනාධිපති මහින්ද රාජපක්ෂ ද එම පොරොන්දු සිය දෙවන ධුර කාලය තුළදී සපුරන බවට නැවතත් පොරොන්දු නිකුත් කරන්නට පටන් ගෙන ඇත.


පාර්ලිමේන්තුවට බලය ලැබෙන සේ වත්මන් ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ ක‍්‍රමවේදයක් තමන් සතුව ඇතැයි  ද දෙවැනි වරටත් රාජ්‍ය නායක පදවියට පත් වී එම සැලැස්ම හා ක‍්‍රමවේදය ප‍්‍රකාශයට පත් කරන බවද ජනාධිපතිවරයා විද්‍යුත් හා මුද‍්‍රිත මාධ්‍ය ප‍්‍රධානීන් අමතා පැවසී ය. මේ පිළිබඳව 2005 ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන ලද මහින්ද චින්තන ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ සඳහන් වන්නේ මෙසේ ය.


විධායක ජනාධිපති ධූරය අහෝසි කෙරෙන්නා වූ හා රටේ සෙසු ප‍‍්‍රශ්න වලට ද විසඳුම් ලබා දෙන්නා වු නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සියල්ලන්ගේ සම්මුතියෙන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි. එතෙක් ජනාධිපතිවරයා නිල මට්ටමින් පාර්ලිමේන්තුවට වගකියන ලෙසින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට සංශෝධන ඉදිරිපත් කරන්නෙමි.


පාර්ලිමේන්තුව කෙරෙහි ජනාධිපතිවරයා ගේ ඇති වගකීම සහතික කිරීම සඳහා මසකට වරක් පාර්ලිමේන්තු රැුස්වීම්වලට සහභාගි වන්නෙමි.


පාර්ලිමේන්තුවේ  ආණ්ඩු පක්ෂ - විපක්ෂ මන්ත‍‍්‍රීන් කාර්යක්ෂම ලෙස රාජ්‍ය පාලනයට සහභාගිවීම තහවුරු කිරීම සඳහා අමාත්‍යාංශ කාරක සභාවන්හි බලතල පාර්ලිමේන්තූවේ එකඟතාවෙන් වැඩි දියුණු කිරීමට යෝජනා කරමි.

එහෙත් පසුගිය සිව් වසර තුළ සිදු වූයේ මෙහි අනෙක් පැත්තයි. එහෙත් ජනාධිපතිවරයාට දැන් තිබෙන්නේ මේ පොරොන්දු හැකි ඉක්මණින් ඉටු කරන ආකාරය පිළිබඳව නිශ්චිත ප‍්‍රතිඥාවක් දින වකවානු සහිතව නැවත ලබා දීමයි. අවශ්‍ය නම් ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ යෝජනා කෙටුම්පතක් ද ජනවරමක් ලබා ගැනීම සඳහා ඡන්දයට ඉදිරිපත් කිරීමට පුළුවන. මේ කාරණය සම්බන්ධයෙන් තව වරක් ලංකාවේ ජනතාව රවටන්නට යනවාට වඩා හැකි ඉක්මණින් මේ පොදු අවශ්‍යතාව ඉටු කර විධායක අගමැති ලෙස චිරාත් කාලයක් යෙහෙන් වැජඹෙන ක‍්‍රම හදා ගන්නට සිතීම එතුමාට වැඩදායී වේ.


සිරිමා බංඩාරනායක අගමැති ධුරය හෙබවූ 70 -77 සමයේ ඇය පැරණි ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව යටතේ පවා ඒකාධිපති ස්වරූපයකින් කටයුතු කළා ය. වෙනකක් තබා හිතුමනාපෙට පාර්ලිමේන්තු මැතිවරණය කල් දමා ජනවරමකින් තොරව දෙවසරක් බලයේ ද සිටියා ය. විධායක ජනාධිපතිවරියක වෙන ම සිටිද්දී 2002දී රනිල් වික‍්‍රමසිංහ මහතා සටන් විරාම ගිවිසුම අත්සන් කිරීමේ එඩිතර තීරණයට එළඹියේ අගමැති සතු බලතල පාර්ලිමේන්තුව අභිභවා උපරිම අන්දමින් භාවිතා කරමිනි. දේශපාලන ප‍්‍රජාව තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය කෙරෙහි ඇති ඇල්මැරුණු ආකල්ප වෙනස් නො වන්නේ නම් විධායක ජනාධිපති පදවිය අගමැති තනතුරකින් විස්ථාපනය වුවත් සිදු විය හැක්කේ කලින් වූ දේ ම වේ.


ජනාධිපති මහින්ද රාජපක්ෂ ශූර හා කපටි දේශපාලනයකු බැවින් ජනාධිපතිවරණ ව්‍යාපාරයේදී ඔහු සිය ප‍්‍රතිරූපය යාවත්කාලීන හා නැවත ප‍්‍රාණවත් කර ගැනීම සඳහා උපරිම ලෙස කටයුතු කරනු ඇති බව නිසැක ය. එසේ ම තමන්ට එරෙහිව ඔසවන දූෂණයෙන් තොර පිරිසිදු සේවා ඉතිහාසය පිළිබඳ සරත් ෆොන්සේකාගේ ප‍්‍රතිරූපයට පහර දීම ඔහු දැනටමත් අරඹා ඇත. ෆොන්සේකාට එරෙහි මාධ්‍ය ප‍්‍රහාරය ඉතා සියුම් ලෙස සැලසුම් කෙරෙමින් ඇති අතර එහි පළමු අදියර ලෙස මේ වන විට ඉංග‍්‍රීසි භාෂාවෙන් ලියන හා වෙබ් අඩවි පවත්වාගෙන යන මාධ්‍යවේදීන් දෙදෙනෙකු සරත් ෆොන්සේකා දැඩිව විවේචනය කරන ලිපි පළ කරමින් සිටිති. ඞී.බී.එස්. ජෙයරාජ් විසින් සරත් ෆොන්සේකාට පළමු ප‍්‍රහාරය එල්ල කරන ලද අතර, දෙවන ප‍්‍රහාරය ඒෂියන් ට්‍රිබියුන් වෙබ් අඩවියේ කර්තෘ කේ.ටී.රාජසිංහම් විසින් දියත් කර තිබේ. ෆොන්සේකාගේ දූෂණයෙන් තොර යයි කියන චරිතය මෙම ලිපි මගින් දැඩිව ප‍්‍රශ්න කර තිබේ.


විස්තෘත රාජපක්ෂ පවුලේ හා නෑදෑ හිතවතුන්ගේ සීමාන්තික උන්නතිකාමය ලංකාවේ දේශපාලනය වසා පැතිරෙමින් ඇති දැවැන්ත ගැටළුවක් බව සත්‍යයකි. රජ පවුලක් සේ තමන් උත්කර්ෂයට නඟා ගනිමින් ලාංකීය ගැමි සමාජයේ පසුගාමිත්වයන් මත යැපෙමින් බලයෙන් වැඩෙමින් සිටින රාජපක්ෂ රෙජීමය වෙනස් කිරීම සඳහා ජවිපෙ සහ එක්සත් ජාතික පක්ෂය විසින් යෝජනා කරමින් සිටින්නේ මේ රාජ විකාරවලට වඩා භයානක හමුදා මනසකි. ජනරාල් ෆොන්සේකාගේ හමුදා දිවිය ඔප වී ඇත්තේ දැඩි මිලිටරි ආඥාදායකත්වයකිනි. කොටි සංවිධානයට එරෙහි යුද්ධය දිනා ගැනීමෙහිදී මෙය ලංකාවේ රජයට මහෝපකාරී වූ බවට කිසිදු විවාදයක් නැත. කොටි සංවිධානයේ පරාජයේ ප‍්‍රධාන කුළුණු දෙකක් වන්නේ ඔහුගේ යුද නායකත්වය හා රාජපක්ෂවරුන්ගේ දේශපාලන නායකත්වයයි.


පශ්චාත් යුද කාලීන ලංකාවේ සාමය හා සංවර්ධනය චිරස්ථායී කිරීමෙහිලා අවැසි ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රියාමාර්ග ගැනීමට රජය අසමත් වී තිබෙන බව සත්‍යයකි. දැන් විපක්ෂය සූදානම්  වන්නේ එහි මුළු වගකීම ම රාජපක්ෂ පාලනය පිට පැටවීමටයි. එහෙත්, වන්නියෙන් අවතැන් වූ සිවිල් වැසියන් ඔවුන් අතර සැඟවී සිටින කොටි සාමාජිකයන් හඳුනා ගැනීමේ මුවාවෙන් දීර්ඝකාලීනව සිර කඳවුරුවල රඳවා ගැනීමේ හා ඒ ඔස්සේ රජය හා දෙමළ ජනතාව අතරත්, රජය හා ජාත්‍යන්තර ප‍්‍රජාව අතරත් අර්බුදයක් ඇති කිරීමේ වගකීමෙන් විශාල පංගුවක් දැන් විපක්ෂයේ පොදු අපේක්ෂකයා වීමට යෝජිත සරත් ෆොන්සේකාට ද හිමි වේ. ඞී. බී. එස්. ජෙයරාජ් පවසන පරිදි හමුදාව තුන් ලක්ෂයක් දක්වා වැඩි කර ලක්ෂයක් වන්නියේ රැඳවීමට හා එහි ජන විකසනය වෙනස් වන පරිදි හමුදා පවුල් පදිංචි කිරීමට උවමනා වූයේ ඔහුටයි.


ලංකාවේ සාමය හා සංවර්ධනය චිරස්ථායී කළ හැක්කේ හුදෙක් ම දූෂණය නැති කිරීමෙන් නොවේ. දූෂණය ධනවාදයේ ඓන්ද‍්‍රිය ලක්ෂණයකි. ධනේශ්වර යහපාලනයකින් සිදු වන්නේ දූෂණය යම් තරමකට පාලනය කිරීම පමණි. ලංකාවේ සාමය හා සංවර්ධනය සඳහා වඩාත් අවශ්‍ය වන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කිරීමයි. ජාතීන් අතර ඇති ගැඹුරු විරසකයන් සමනය කළ හැක්කේ රාජ්‍යය තුළ සුළුතර ජාතීන්ට සම අවස්ථා ලැබෙන රාජ්‍ය ප‍්‍රතිසංස්කරණයකිනි. ජන ජීවිතය සාමාන්‍ය තත්වයට පත් කළ හැක්කේ ආරක්ෂක අංශවල ප‍්‍රඩණ්ඩ හැසිරීම්වලට හේකු වන හදිසි නීතිය ඇතුළු මර්දන නීති හැකිළීමෙනි. ජනතාව සවිබල ගැන්වීමට නම් විධායක බලතල අඩු කර ව්‍යවස්ථාදායකය ශක්තිමත් කල යුතු ය. පළාත් පාලන පද්ධතිය විධිමත් කළ යුතු ය. සිවිල් පරිපාලනයේ කාර්යක්ෂමතාව නැංවිය යුතු ය. නීතියේ ආධිපත්‍යය ස්ථාපිත කළ යුතු ය.


සරත් ෆොන්සේකා යන ප‍්‍රපංචය යථාර්ථයකි. ඔහු මේ රටේ අනාගත ජනාධිපති විය හැකි ය. ඔහුගෙන් බලාපොරොත්තු වන්නේ රටේ විධායක ජනාධිපති ක‍්‍රමය වෙනස් කිරීමයි. ධනේශ්වර ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිහිටුවීමයි. දූෂණයෙන් තොර යහපාලනයක් පිහිටුවීමයි. ඔහු ඒකාධිපතියකු නො වන්නේ යයි වග බලා ගැනීම එජාපෙට හා ජවිපෙට පමණක් පවරා දෑත් පොරවාගෙන බලා සිටිය යුතු නැත. සරත් ෆොන්සේකාට ඡන්දය දෙන ජනතාව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලකයකු බවට පත් වීම සඳහා ඔහුට උදව් කළ යුතු ය. අප සිතන පරිදි නම් සිය හිසේ පැළඳගෙන සිටින ඔටුන්න ගලවා, පවුල්වාදයෙන් මිදී ප‍්‍රජාතන්ත‍්‍රවාදය, ජාතික සමගිය හා යහපාලනය යළි පිහිටුවීමට කටයුතු කරන්නේ නම් ජනාධිපති මහින්ද රාජපක්ෂට ඉතිහාසයේ හොඳම පාලකයා වීමේ අවස්ථාව තවමත් තිබේ.


පාලකයන්ට ඒ සඳහා ඉඩ නො දෙන්නේ ඔවුන් වටා රොක් වී සිටින බඩ‍ගෝස්තරවාදීන් පමණක් නොවේ. ජනමාධ්‍ය, බුද්ධිමතුන්, සිවිල් සමාජය හා මේ රටේ ‘ජනතාව‘ ද ඒ සඳහා වගකිව යුතු වෙති. මේ සමග ඇති ඡුායාරූපය බලන්න. මෙතෙක් හමුදා නිල ඇඳුමෙන් සිටි ෆොන්සේකා මහතා මේ ඇඳ පැළඳ සිටින්නේ සිවිල් ජන නායකයකු වන්නටයි. ජනරාල්, ජනරාල් කියා පුන පුනා කියමින් ලංකාවේ ජනමාධ්‍ය ඔහු වෙනත් ආකාරයකට අන්දමින් සිටියි.


ජනරාල්වරු අවශ්‍ය යුද්ධයටයි. රජුන් අවශ්‍ය වැඩවසම් පසුගාමිත්වයටයි. දැන් රජ්ජුරුවෝ ඉස්සර මහින්ද අයියා හෝ රාජපක්ෂ මහත්තයා විය. ඔහු පටන් ගත්තේ එලෙසයි. සරත් ෆොන්සේකාට ද සරත් අයියා හෝ ෆොන්සේකා මහත්තයා ලෙස ජනාධිපතිවරණ ව්‍යාපාරය පටන් ගැනීමට ජනමාධ්‍ය ඉඩ දිය යුතු ය. 


2 comments:

  1. This writer has his own agenda to coverup Mahinda. If any body need establish democratic norms in the country, first task is defeat MR on Election. SF will come to power without backforce, hence executive power will come up to the Parliament automatically. Also Ranil has plan to ammend constitution (20th Ammendment by Wijedasa Rajapaksha). Things should be analyze independant way.
    Dayaratne
    Ratmalana

    ReplyDelete
  2. The Prime Minister Candidate of opposition alliance is Wi. Ja. Mu Lokubandara. Ranil Wickramasinghe will be the next speaker

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.