2009-11-29

ලාංකිකයන්ට රුසියානු ගැහැනියකගෙන් පාඩමක්


(2009 නොවැම්බර් 29 - W3Lanka) මා පෙනී සිටින්නේ ජාතික සංස්කෘතීන් ආරක්ෂා කිරීමේ මතවාද වෙනුවෙනුයි. සෑම ජාතියක් ම තමන්ට ආවේණික වූ මතවාද රැකගත යුතුයි. නමුත් ගෝලීයකරණය පිටුදැකිය යුතු කරුණක් නොවෙයි.


වර්තමානයේ මුළු මානව සංහතිය ම එක තැනක් කරා යන බවක් පෙනෙනවා. එහෙත්, මුළු ලෝකයේ ම සිටින ජන කොට්ඨාශ එක ම විදිහට කන්න අඳින්න සිතන්න පතන්න අඳින්න පළඳින්න ගත්තොත් ලෝකයේ ජීවත්වීම ඒකාකාරී වෙනවා. නීරස වෙනවා. සියල්ල රැකෙන්නේ ජාතීන් සිය අනන්‍යතාව රැකගැනීම මතයි.


මම රුසියානු ජාතිකයෙක්. අපේ රට වෙනස්. අපේ කතා බහ වෙනස්. ඇයි අපට මේ රටට එන්න හිතෙන්නේ. මේ වෙනස දකින්නයි. වෙනස අත්දකින්නයි. අපි මේ රටට එන්නේ ලෝකයේ වෙනස් වූ සුන්දරත්වය හා විචිත්‍රත්වය දකින්නයි. ඒ විචිත්‍රත්වය රැකගත යුතුයි. අප සංචාරයට පෙලැඹෙන්නේ ඒවා දකින්න අවශ්‍ය නිසයි. ඒ ඒ සංස්කෘතීන් සහ අනන්‍යතා තවමත් රැකී තියෙන නිසා ඒවා අත්විඳීමට අප එනවා. එනිසා ඒවා රැකගත යුතුයි.


මෙහිදී මට තවත් යමක් කීමට තියෙනවා. මගේ අදහසේ හැටියට මෙරට වැසියන් හා රුසියානු ජනතාව අතර පොදු වූ බොහෝ දේ තිබෙනවා. එනිසා අපේ ජාතීන් අතර කිට්ටු සම්බන්ධතාවක් සහ සංස්කෘතික හර කෙරෙහි සැලකිලිමත් වීමක් ඇතිකර ගැනීම ඉතා පහසුයි.


එමෙන් ම අප එකිනෙකා ගැන අවබෝධයක් ඇතිකර ගැනීමට වෑයම් කළ යුතුයි. මේ මිහිපිට වෙසෙන විවිධ ජාතීන්ගෙන් සැදුම්ලත් විශාල පවුලක කෙසේ වෙතත් කුඩා පවුලක වුවද මව්පිය සහෝදර සහෝදරියන් එකිනෙකාට ගෞරව නොකරන්නේ නම් එකිනෙකා ගැන හැඟීමක් නොමැති නම් ඒ පවුලේ සාමයත් සමඟියත් සැපතත් ඇතිවිය නොහැකියි. මුළු ලෝකය සම්බන්ධයෙන් ද විය යුත්තේ එයයි. මෙලොව වෙසෙන විවිධ ජාතීන් එකිනෙකා සමඟ මිත්‍රත්වයෙන් බැඳී සිටීමට හෝ එකිනෙකා අතර අසමානකම් වෙනුවට සමානකම් ගොඩනංවා ගැනීමට වෙර දැරීම ඉතා වැදගත්.


මෙම ප්‍රකාශය කරන රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් (කලින් ලෙනින්ග්‍රාද්) රාජ්‍ය විශ්වවිද්‍යාලයේ ප්‍රාචීන අධ්‍යයනය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක හා ශාන්ත පීටර්ස්බර්ග් නුවර පිහිටි මහා පීටර් අනුස්මරණ මානව විද්‍යා හා මානව වංශ විද්‍යා කෞතුකාගාරයේ දකුණු ආසියානු අංශ ප්‍රධානී වශයෙන් කටයුතු කරන. සිංහල භාෂාව පිළිබඳ ව වසර ගණනාවක් තිස්සේ අධ්‍යයනයන්හි නිරත වූ මහාචාර්ය නීනා ක්‍රස්නදේම්බ්ස්කයා 1972 වසරේදී ‘සිංහල භාෂාවේ අපුද්ගල ක්‍රියාරූප’ නමින් නිබන්ධනයක් ඉදිරිපත් කරමින් සිය ආචාර්ය උපාධිය දිනා ගත් මෙරට ඉතිහාසය හා සංස්කෘතිය ගැන ද මැනැවින් හදාරා ඇති විද්‍යාර්ථිනියකි.

තම ජාතියේ ආධිපත්‍යය අනෙක් ජාතීන් මත පිහිටුවන්නට උත්සාහ කරන, සෙසු ජාතීන්ගේ ජාතික, භාෂාමය, සංස්කෘතික හා මානව හිමිකම් ගරු නො කරන ලාංකිකයන්ට වැදගත් පාඩමක් වන මෙම සඳහන අප උපුටා ගත්තේ සිළුමිණ පුන්කලසෙනි.


1 comment:

  1. Global instituions of economic unity and democracy are totally different from the preservation of cultural pluralism. We mustn't confuse econimics and democracy with cultural identity. It is global capitalism's ruthless drive for profit that ruins cultural identities of communities. Global socialism should take every step to protect diverse cultures - as opposed to what the Stalinists did in Soviet Russia.

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.