2009-11-27

පංති කාමරය ගිනි තැබූ කන්තලේ සිසුවා වීරයෙක් ද?


(2009 නොවැම්බර් 27 - W3Lanka) කන්තලේ අග්‍රබෝධි ජාතික පාසලේ පන්ති කාමරයකට ගිනි තබා එහි තිබූ තවත් භාණ්ඩ කීපයකට හානි කිරීම සම්බන්ධයෙන් සැකපිට එම විද්‍යාලයේ ශිෂ්‍යයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 

මෙම පුවත කෙරෙහි අවධානය යොමු කරන විට එක් උපමා කතාවක් සිහි වේ. එහි ළමයකුට පංති කාමරයකදී හදිසියේ නින්ද යයි. ඔහු අවදි වන්නේ වසර පනහකිනි. වටපිට බලන ඔහු දකින්නේ ඔහු වටා ඇති සියලු දේ වෙනස් වී ඇති බවයි. වෙනස් වී නොමැති එකම දෙය පංති කාමරයයි. 


කන්තලේ පමණක් නොව කොළඹ ද පාසල්වල තවමත් තිබෙන්නේ මීට වසර සියයකට පමණ ඉහතදී පැවති පංති කාමරය ම වේ. ඩෙස්, පුටු, කළු ලෑලි, හුණු කූරු, නම් පොත් ආදී පැරණි භාණ්ඩ තව ටිකක් බාල වී තිබීම හැර කිසිදු වෙනසක් සිදු වී නැත.


ඇතැම් ජනප්‍රිය පාසල්වල පංති කාමරවල තදබදය කෙතරම් ද යත් ඒවා සන්නස්ගල සර්ගේ අපේ සිංහල පංතිය වැනි වේ. දමහර පංතිවල සිසුන් 60කටත් වඩා සිටිති. ගුරුවරයාට ළමයකුගේ අභ්‍යාසයක් බැලීමට විනාඩියක් ගත වේ නම් පොත් ටික බැලීමට පමණක් පැයක් අවශ්‍ය වේ. එහෙත් එක් කාල පරිච්ඡෙදයකට ඇත්තේ විනාඩි 40කි. පොත් බැලීම තිබියදී පංතියේ එහා මෙහා ගමන් කිරීමටවත් බැරි තරමට ළමයි පිරී ඇත. එක පුටුවේ දෙන්නා බැගින් වාඩි වන්නේ තවත් ඩෙස්, පුටු දැමීමට ඉඩ නැති බැවිනි. 


ගම්බද පාසල්වල තවමත් පංති 'කාමර' නැත. ඇත්තේ දිග ශාලාවල අතන මෙතන පංති ය. ඒ පාසල්වල සවසට කසිප්පුකාරයෝ ද, රෑට හරක් හා බල්ලෝ ද ලගිති. 

මේ සියල්ලට ම වඩා බරපතල ම කරුණ වන්නේ මේ පංති කාමර තුළ ඉගැන්වෙන ආකාරයයි. කුමන අධ්‍යාපන සංකල්ප පිළිබඳ කතා කෙරුනත්, පංති කාමරයේ තවමත් කෙරෙන්නේ ගුරුවරුන් දේශනා පැවැත්වීම හා ළමයින් සටහන් ලියාගැනීමයි. දරුවන්ගේ නිර්මානශීලිත්වය නංවන, බුද්ධිය වර්ධනය කරන වටපිටාවක් පංති කාමරයේ නැත.



පංති කාමරයෙන් සංඥා කෙරෙන්නේ මේ රටේ අධ්‍යපන ක්‍රමයේ ඇති මොට්ට ස්වභාවයයි. ඒ අතින් බැලූ විට මෙය ගිනි තැබීම නරක වැඩක් නොවේ.



ඉහත කී කන්තලේ සිසුවා පංති කාමරය ගිනි තැබුවේ ද, ඔහු පවා නො දන්නා නමුත්, මේ හේතු නිසා බව අපේ අදහසයි. 

No comments:

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.