2009-12-04

රාජ්‍ය මාධ්‍ය සඳහා නිසි බලධාරියෙකු වහාම පත්කරන්න -එක්සත් ජාතික පෙරමුණ

(2009 දෙසැම්බර් 04 - W3Lanka) ජනාධිපතිවරණ සමයේදී රාජ්‍ය මාධ්‍යයේ සමබරතාව සහතික කරනු සඳහා එම ආයතනවල මාධ්‍ය කටයුතු පිළිබඳව විමසිලිමත් වීම පිණිස නිසි බලධාරියෙකු වහාම පත් කරන්නැයි එක්සත් ජාතික පෙරමුණ මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක මහතාගෙන් ඉල්ලා සිටී. මැතිවරණ කොමසාරිස්වරයා වෙත ලිපියක් යවන එක්සත් ජාතික පෙරමුණේ මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු මන්ත‍්‍රී මංගල සමරවීර, පසුගිය දින කිහිපය තුළ ජාතික රූපවාහිනිය සහ ස්වාධීන රූපවාහිනි සේවය ජනරාල් සරත් ෆොන්සේකාගේ ප‍්‍රකාශ අමු
අමුවේ විකෘති කර ඇති බව සඳහන් කරයි. 

මේ පිළිබඳ මීඩියා වොච් ආයතනයේ මාධ්‍ය ප‍්‍රකාශක ශිරාල් ලක්තිලක විසින් පහත සඳහන් නිවේදනය නිකුත් කර තිබේ.

,
මෙතෙක් පැවති සෑම මැතිවරණයකදී මෙන්ම එළඹෙන ජනාධිපතිවරණය වෙනුවෙන්ද රාජ්‍ය මාධ්‍ය සිය සුපුරුදු පන්දම් පෙළපාලිය කිසිදු හිරිකිතයකින් තොරව ආරම්භ කර ඇත.
 මැතිවරණ සමයකදී රාජ්‍ය මාධ්‍ය මනා සංයමයකින් යුතුව කි‍්‍රයා කළ යුතු වන්නේ මේවා මහජන මුදලින් නඩත්තු කෙරෙන ආයතන නිසාය. සදාචාරාත්මක නූවද, රාජ්‍ය මාධ්‍ය ආයතන ආණ්ඩුවට කිසියම් විශේෂ අනුග‍්‍රහයක් පමණක් දක්වනවානම් එය අපට තේරුම් ගත හැකිය. එහෙත් මොවුන් අද ආණ්ඩුවේ කුණුරෙදි සේදීමේ කොන්ත‍්‍රාත්තුව සම්පූර්ණයෙන්ම භාර ගෙන ඇත්තේ මාධ්‍ය සදාචාරය හා මාධ්‍ය සමබරතවා ගැන අබමල් රේණුවක හෝ සැලකිල්ලක් නොමැතිවය.

17 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් බලාපොරොත්තු වූයේ ස්වාධීන මැතිවරණ කොමිසම හරහා මැතිවරණ කොමසාරිස්වරයාගේ ස්වාධීනත්වය වඩාත් තහවුරු කිරීමටය. ස්වාධීන මාධ්‍ය කොමිසමක් පත් කිරීමට ද එයින් ඉඩ කඩ සැලසේ. එහෙත් ස්වාධීන මැතිවරණ කොමිසම තවමත් පත්කර නැතත් මැතිවරණ කොමසාරිස්වරයාට පොලීසිය රාජ්‍ය සේවය
හා මාධ්‍ය සම්බන්ධයෙන් මැදිහත්වීමට අවශ්‍ය සියලූ බලතල තිබෙන බව නීති විශාරදයෝ පෙන්වා දෙති.

ඒ අනුව දැන් වුව ද, රාජ්‍ය මාධ්‍ය ආයතන සඳහා ස්වාධීන නිසි බලධාරයෙකු පත් කිරීමට මැතිවරණ කොමසාරිස්වරයාට බලය ඇති බව විවිධ දේශපාලන පක්‍ෂ හා මැතිවරණ නිරීක්‍ෂකයන් කොමසාරිස්වරයා වෙත වරින් වර පෙන්වා දී ඇත. විපක්‍ෂය හා විශේෂයෙන්ම පොදු අපේක්‍ෂක ජනරාල් සරත් ෆොන්සේකා සම්බන්ධයෙන් රාජ්‍ය මාධ්‍ය අනුගමනය කරන අපහාසාත්මක විකෘති ප‍්‍රචාරවලින් පැහැදිලි වන්නේ රජය දැනටමත් ”ෆොන්සේකා භීතිකාවෙන්” පෙළෙන බවයි. රාජ්‍ය මාධ්‍යයට වැළඳී ඇති මෙම භීතිකාව ජනරාල් ෆොන්සේකාගේ ජයග‍්‍රහණයේ පෙරමග සුභ නිමිති කියා පාන්නකි.

රාජ්‍ය රූපවාහිනි ආයතන දෙක පමණක් නොව රජයට අයත් ශී‍්‍ර ලංකා ගුවන් විදුලි සංස්ථාව, ලක් හඬ ගුවන්විදුලිය හා ලේක් හවුස් ආයතනයද කිසිම හිරිකිතයකින් තොරව අමු අමුවේ ඒක පාක්‍ෂික දේශපාලන ප‍්‍රචාරක ව්‍යාපාරයක නිරතව සිටී. විශේෂයෙන්ම රාජ්‍ය ගුවන් විදුලියේ දේශපාලන චූර්ණිකා අසා සිටීමට බැරි තරමට හිරිකිතය. ලේක් හවුස් පුවත්පත්වල කතු වැකි හා විශේෂංග ලිපි ද ඊට නොදෙවෙනිය.

නිදහස් හා සාධාරණ ජනාධිපතිවරණයක් සහතික කිරීමට නම් මුලින්ම කළ යුතු වන්නේ රාජ්‍ය මාධ්‍ය ආයතනවල ප‍්‍රවෘත්ති හා වැඩසටහන් ඉදිරිපත් කරන ආකාරය සම්බන්ධයෙන්
පරීක්‍ෂාකාරී වීමට නිසි බලධරයෙකු පත් කිරීමය. එසේ පත් කිරීමෙන් පසු අදාළ මාධ්‍ය ආයතන එම බලධරයාගේ අණ පරිදි කි‍්‍රයා කරන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් විමසිල්ලෙන් පසු විය යුතුය. ප‍්‍රවෘත්ති සඳහා පමණක් නොව විශේෂාංග වැඩසටහන්
සඳහාද සීමාවන් පැනවීම අත්‍යවශ්‍යය. ජනාධිපතිවරණ ඡුන්ද ව්‍යාපාරය දැන් ආරම්භ වී ඇති බැවින් මෙම විකෘති කිරීම් ගැන විමසිල්ලෙන් සිටිය යුතුවා පමණක් නොව, අදාළ නීති
රීති කඩ කරන මාධ්‍ය ආයතනවලට නීති මගින් දඬුවම් පැමිණවීමටද වැඩපිළිවෙලක් අවශ්‍යය.

මාධ්‍ය විකෘති කිරීම සම්බන්ධයෙන් වඩාත් විමසිල්ලෙන් සිටින ලෙස අපි විපක්‍ෂයේ සියලූම දේශපාලන පක්‍ෂවලින්, සිවිල් සංවිධාවලින් හා බහුජන සංවිධාවලින් ඉල්ලා සිටිමු.

ශිරාල් ලක්තිලක,
මාධ්‍ය ප‍්‍රකාශක,
මීඩියා වොච්.



No comments:

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.