2009-12-05

ජනාධිපති අපේක්ෂක ෆෙන්සේකාගේ පළමු මහජන අමතුම ජවිපෙ වෘත්තීය සමිති වීම යනු කුමක්ද?

(2009 දෙසැම්බර් 05 - W3Lanka) විපක්ෂ ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකා සිය අපේක්ෂකත්වය නිවේදනය කිරීමෙන් පසු අමතන ලද පළමු රැස්වීම ඔහුට සහාය පළ කරන ජවිපෙ වෘත්තීය සමිතිවල නියෝජිතයන්ගේ හමුවක් වීම සුවිශේෂී වේ.  රාජ්‍ය, පුද්ගලික සහ වතු ක්‍ෂේත්‍රය නියෝජනය කරමින් වෘත්තීය සමිති නියෝජිතයන් විශාල පිරිසක්‌ සහභාගි වූ මෙම හමුව පිටකෝට්‌ටේ සෝලිස්‌ උත්සව ශාලාවේදී පැවැත්විණි. ෆොන්සේකා බලයට පැමිණ ධනේශ්වර යහපාලනයක් ස්ථාපිත කිරීම සඳහා මුලින් ම කරනු ඇත්තේ වෘත්තීය සටන් මැඬලීම හා ජවිපෙ මර්දනය කිරීම බව වාමාංශික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද වන අනුර කුමාර දිසානායක සහ කේ. ඩී. ලාල්කාන්ත ආදී වෘත්තීය සමිතිවලට නායකත්වය දෙන ජනතා විමුක්‌ති පෙරමුණේ ජ්‍යෙෂ්ඨ නායකයන් සමඟ එකම වේදිකාවක සිට ප්‍රථම වරට අදහස්‌ පළ කළ සරත් ෆොන්සේකා මහතා මෙසේ කීවේ ය.

"මා දේශපාලනයට පැමිණ රටේ සිටින උසස්‌ම, පරිණත දේශපාලනඥයකු සමඟ මුහුණට මුහුණලා හැප්පෙනවා. එය කොතරම් භාරධූර ද කියා දන්නවා." 


ඔහු එසේ කීව ද ඔහුගේ ප්‍රතිවාදී අපේක්ෂක මහින්ද රාජපක්ෂ, රාජපක්ෂ පවුලේ අය සහ ඔවුන්ගේ හිතවතුන් සරත් ‍ෆොන්සේකා‍ හඳන්වන්නේ කන්න දුන් අත හපා කෑ, කළ ගුණ නො දන්නා, දේශද්‍රෝහී කුමන්ත්‍රණකරුවකු ලෙස හුවා දැක්වෙන ආකාරයටයි. 


ඔහුගේ කතාවේ පහත සඳහන් කොටස් උපුටා ගැනුණේ දිවයින පුවත්පතෙනි

"වෘත්තීය සමිති යනු දේශපාලනයේ සහ ප්‍රජාතන්ත්‍රවාදයේ සංකේතයක්‌ ලෙස මා සලකනවා. ඕනෑම රටක ප්‍රජාතන්ත්‍රවාදය පැවතීමට, වැඩ කරන ජනතාවගේ අයිතීන් රැකීමට වෘත්තීය සමිති ව්‍යාපාර අවශ්‍යයි. මම හමුදාවේ සිටියදී රජයේ පරිපාලනයටත් සහභාගි වුණා. අපට බලා ඉන්න පුළුවන් වුණා මොනවද වෙන්නේ කියලා. වෘත්තීය සමිති ක්‍රියා හමුවේ, වෘත්තීය සමිති සේවයක්‌ කරන්න ඉදිරිපත් වූ විට රජය ඊට ප්‍රතිචාර දැක්‌වූ අයුරු මා නිතර දුටුවා. වෘත්තීය සමිති ව්‍යාපාර මර්දනය කරන්න රජය ක්‍රියා කළ අයුරු, ජනතාවගේ ඉල්ලීම් වෘත්තීය සමිති විසින් ඉදිරිපත් කළ විට රජය වෘත්තීය සමිතිවලට පහර දුන් ආකාරය අප දැක්‌කා.

"මා යටතේ ඉදිරියේදී පවතින දේශපාලනයක්‌ යටතේ වෘත්තීය සමිතිවලට, එහි නායකයන්ට නිසි තැන ලබා දී සමාජයට සේවයක්‌ කිරීමට සුදුසු වාතාවරණය ගොඩ නඟනවා. වෘත්තීය සමිති මර්දනය කරමින් පහර දෙමින් පවතින රජය කටයුතු කරන දුක්‌ඛිත තත්ත්වය නැති කරන්න නම් ප්‍රජාතන්ත්‍රවාදය ස්‌ථාපිත කළ යුතුයි.

මේ රට ප්‍රජාතන්ත්‍රවාදී රටක්‌ ලෙස ලෝකය හමුවේ පිළිගත්තත් රට පාලනය කරන අය පාලනය කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන නොතකමින්. ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්, ජනතා අයිතීන් ශක්‌තිමත් කරන්න අප ඉදිරියේදී කටයුතු කරනවා.

"පවුල් පාලනය, ප්‍රජාතන්ත්‍රවාදය පාගා දමමින් ජනතාව භීතියට පත් කරමින්, යුද ජයග්‍රහණ මුවාවෙන් කරගෙන යන අසීමිතව අයුතු බලය පාවිච්චි කිරීම නැවැත්වීමට ඉදිරියේදී ක්‍රියා කරනවා. දැන් යුද්ධය ඉවරයි. රට ඉදිරියට යා යුතුයි. යුද ජයග්‍රහණ ගෙන ආවේ කවුද කියා ඔබ දන්නවා. අවුරුදු හතළික මගේ පළපුරුද්ද යුද්ධ ජයග්‍රහණයට යොමු කළා. අවුරුදු විස්‌සක්‌ හමුදාවේ ඉඳලා යුද්ධය කාලයේ රටින් පිටවෙලා ගිහින් අවුරුදු පහළොවක්‌, දහඅටක්‌ ඩොලර් ගණන් කළ අය දැන් කියනවා යුද්ධය ගෙනාවා.... යුද්ධයට නායකත්වය දුන්නා කියලා. කෙසේ විකෘති කළත් රටේ ජනතාව, හමුදා සාමාජිකයන් දන්නවා අපි යුද්ධය ජයගත් ආකාරය. යුද්ධය විකුණමින් යටින් කරගෙන යන රටට අහිතකර ක්‍රියා තවදුරටත් කරගෙන යන්න ඉඩ දීලා නිශ්ශබ්දව සිටිය යුතුයි කියා මා හිතන්නේ නෑ.

"එනිසා තමයි හමුදාවේ උසස්‌ම නිලයේ වසර එකහමාරක්‌ විතර ඉඳලා සියලු සම්පත්, ආරක්‍ෂාව හයසියයක මුර සේවාව විසිපහක්‌ විතර වාහන අතහැර මේ තීරණයට ආවේ රට වෙනුවෙන් වැඩකරන පක්‌ෂ සමග එක්‌ව ඒ ගමන යන්නයි. දේශපාලන පක්‌ෂ කියා කිව්වේ විරුද්ධ පක්‌ෂ පමණක්‌ නොවේ. නිර්පාක්‌ෂිකව ආ නිසා රජය සමග එක්‌ව සිටින පක්‌ෂත් අනාගතයේදී අප සමග එකතු වේවි මේ ගමන යන්න. ඒ පක්‌ෂවල ජ්‍යෙෂ්ඨයෝත් හෙළාදැක තිබෙන තත්ත්වයක්‌ මත ඔවුන්ට ප්‍රසිද්ධියේ කතා කරන්න බැහැ. ඒ අයගේ පවුල්වලට ආරක්‌ෂාව නැහැ. මගේ ආරක්‌ෂාව නැති කරන්න, පවුලේ අයට ආරක්‌ෂාව නොදෙන්න ක්‍රියා කරන හැටි දකිද්දී, මාව සතුරු ඉලක්‌කයකට හසු කරවන්න ගන්නා උත්සාහය බලද්දී රජයේ අය දෙවරක්‌ සිතා බලනවා මෙවන් ගමනක්‌ යැමට ඉදිරිපත් වෙන්න. ඒ අය අනාගතයේදී අප සමග එක්‌වන බව විශ්වාසයි.

"පසුගිය දවසක විමල් වීරවංශ මහතා ප්‍රකාශ කර තිබුණා මම ඔහුට කිව්වා කියා ආණ්‌ඩුව පෙරළන්න එපා කියා. ඒකත් කළේ දේශපාලනික වශයෙන් නොවේ. ජනාධිපති ලේකම්තුමා මගෙන් ඉල්ලා සිටියා ඔබට පුළුවන්නම් කියන්න විමල් වීරවංශට බජට්‌ එකට විරුද්ධව ඡන්දය දෙන්න එපා කියලා. ජනාධිපති ලේකම්තුමා හිතා හිටියා මම පුද්ගලිකව වීරවංශ මහතාව දන්නවා කියලා. ඔහුගේ ඉල්ලීම මම පැවසුවා. මේක යුද්ධයට කරදරයක්‌ නම් කරන්න එපා කියා කිව්වා කියලා. ඒක තමයි ඔහු විකෘති කරමින් කියන්නේ. මම දේශපාලනික වශයෙන් ඔහු සමග එක්‌වුණේ නැහැ.

"මා ජනාධිපති වූ පසු හමුදාව සහ පොලිසිය දේශපාලනීකරණය වීම නතර කරනවා. අද පොලිසියට රාජකාරි කරන්න දෙන්නේ නැහැ දේශපාලන ඇඟිලි ගැසීම් නිසා. සියල්ලන්ටම සාධාරණ ලෙස නීතිය ඉටුවන වාතාවරණයක්‌ ගොඩනංවන්න මා ක්‍රියා කරනවා.

"මහින්ද රාජපක්‌ෂ මහතා අයුතු ලෙස බලය භාවිත කරමින් ව්‍යවස්‌ථාදායක සභාව පත්කිරීම, කොමිෂන් සභා පත්කිරීම නතර කරලා. දාහත් වැනි සංශෝධනය වහා ක්‍රියාත්මක කරන්න ජනාධිපතිවරණයෙන් පසු කඩිනමින් කටයුතු කරනවා.





1 comment:

  1. ජවිපෙට අමතකද දන්නේ නැහැ පහුගිය සිව් වසරේ වෘත්තීය සමිති නායකයන් මරපු,උස්සපු.අතපය කඩපු...වෘත්තිය සමිති නායකයෙක් කියලා රටම හිතපු මහින්ද රාජපක්ෂ ගැන. අහිතකින් නෙමෙයි කියන්නේ ලාල් කාන්ත මහත්තයෝ.. වැඩිය උඩ දාන්න එපා පස්සේ අමාරැ වෙයි.

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.