2009-12-08

රාජ්‍ය දේපල අයුතු පරිහරණය වැලැක්වීමට වහා මැදිහත් වන්න - එක්සත් ජාතික පෙරමුණ මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ඉල්ලයි

(2009 දෙසැම්බර් 08 - W3Lanka) ජනාධිපතිවරණ ඡුන්ද ප‍්‍රචාරක කටයුතු ආරම්භ වී ඇති මේ අවස්ථාවේ රාජ්‍ය දේපල අයුතු ලෙස ප‍්‍රයෝජනයට ගැනීම වලක්වාලීම සඳහා තමන් සතු බලතල වහා කි‍්‍රයාත්මක කරන්නැයි එක්සත් ජාතික පෙරමුණ මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායකගෙන් ඉල්ලා සිටියි. 

එළඹෙන ජනාධිපතිවරණයේදී අපේක්‍ෂකයෙකු ලෙස තරඟ වැද සිටින වත්මන් ජනාධිපතිවරයා සහ ආණ්ඩු පක්‍ෂයේ මැති ඇමතිවරුන් තම බලය අයුතු ලෙස උපයෝගී කර ගනිමින් රාජ්‍ය දේපල තම දේශපාලන වාසිය සඳහා යොදා ගනිමින් සිටින බව පෙන්වා දෙන එක්සත් ජාතික පෙරමුණ මේ තත්වය නතර කිරීමට දැඩි කි‍්‍රයා මාර්ගයක් වහා නොගතහොත් නිදහස් හා සාධාරණ ජනාධිපතිවරණයක් පිළිබඳ ජනතා අපේක්‍ෂාවන් සුන් වී යාම නොවැලැක්විය හැකි බව ප‍්‍රකාශ කරයි. 


"ප‍්‍රාදේශීය සභාවේ අනුපිටපත් යන්ත‍්‍රයේ සිට ජීප් රථය දක්වාත් අරලියගහ මැදුරේ හැදි ගෑරප්පු හා පිඟන් කෝප්පවල පටන් සුඛෝපභෝගි යාන වාහන දක්වාත් සෑම සියලූ දෙයක්ම දැන් යොදා ගැනෙන්නේ ජනාධිපතිවරණ ඡන්ද ප‍්‍රචාරය සඳහාය. මේ සඳහා දැන් රාජ්‍ය සේවය සහ රාජ්‍ය නිලධාරින් කෙලින්ම හා වක‍්‍රාකාරයෙන් යොදා ගැනීමට කටයුතු යොදා ඇති බව පැහැදිලිවම පෙනී යයි. රාජ්‍ය සේවකයින් පත් කිරීම, මාරු කිරීම, සේවයෙන් ඉවත් කිරීම හා උසස් කිරීම ආදි කටයුතු මැතිවරණ සමයේදී නීති විරෝධී වුවද, එම කටයුතු තමන්ට වාසිදායක අන්දමින් කි‍්‍රයාත්මක කිරීමට කටයුතු යොදා ඇති ආකාරය ඉතාම පැහැදිලිය. අමාත්‍යංශවලට වෙන්කර ඇති ප‍්‍රවාහන පහසුකම් ඉන්ධන සහ මූල්‍ය ප‍්‍රතිපාදන සෘජු හා වක‍්‍රාකාරයෙන් දේශපාලනය සඳහා යොදා ගැනීම රාජ්‍ය දේපල අයුතු ලෙස පරිහරණය කිරීමකි. ඡුන්ද කටයුතු සඳහා රාජ්‍ය නිලධාරින් යෙදවීමේදී අමාත්‍යංශ ලේකම්වරුන් හරහා තමන්ට පක්‍ෂපාතී නිලධාරින් ඒ සඳහා යැවීමටත්, අපක්‍ෂපාති නිලධාරින්ගේ නම් කපා හැරීමටත්, රාජ්‍ය යන්ත‍්‍රයට හැකියාව තිබේ," යි මේ පිළිබඳ මීඩියා වොච් විසින් නිකුත් කරන ලද නිවේදනයක දැක්වේ. 


"රාජ්‍ය දේපල අයුතු ලෙස පරිහරණය කිරීම මෙපමණකට සීමා වන්නෙ නැත. විවිධ රාජ්‍ය උත්සව හා ව්‍යාපෘති විවෘත කිරීමේ මුවාවෙන් සංවිධානය කෙරෙන උත්සවද අද දේශපාලන සංදර්ශන බවට පත්ව තිබේ. අරලියගහ මන්දිරයේ දැනටමත් ආරම්භ වී ඇති විවිධාකාර වූ භෝජන සංග‍්‍රහ හෙවත් ”දන්සැල්”ද රාජ්‍ය දේපල අයුතු ලෙස උපයෝගී කර ගැනීමේ දූෂණ ගණයට වැටේ. මේවාට කිසියම් නීතිමය ආවරණයක් ලබා ගැනීමට හැකියාව තිබුණද, රාජ්‍ය නායකයා එවැනි කටයුතුවල නිරත වීම සම්පුර්ණයෙන්ම සදාචාර විරෝධී වන්නේය," යි නිවේදනය වැඩි දුරටත් පවසයි.



17 වන ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවේ මැතිවරණ කොමිෂන් සභා යන ශීර්ෂය යටතේ පනවා ඇති විධිවිධාන අනුව කිසියම් අපේක්‍ෂකයෙකු හෝ දේශපාලන පක්‍ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් හෝ මෙසේ රාජ්‍ය දේපල අයුතු ලෙස පරිහරණය කරන්නේ නම් එය තහනම් කිරීමට හා රාජ්‍ය මාධ්‍ය, පොලීසිය සහ රාජ්‍ය සේවය සම්බන්ධයෙන්ද කි‍්‍රයා කිරීමට අවශ්‍ය සියලූ බලතල මැතිවරණ කොමසාරිස්වරයා සතුය බැවින් නිදහස් හා සාධාරණ ජනාධිපතිවරණයක් සහතික කරනු සඳහා මේ රාජ්‍ය දේපල අධි භාවිතය වැලැක්වීමට වහා කි‍්‍රයාමාර්ගයක් ගන්නැයි එක්සත් ජාතික පෙරමුණ මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ඉල්ලීමක් කර ඇත. මෙම ඉල්ලීම ඉටු කර ගැනීම සඳහා ඉදිරිපත්වන ලෙස එම පෙරමුණ රටේ සියලූ විපක්‍ෂ, දේශපාලන පක්‍ෂවලින් ද සිවිල් සංවිධානවලින්ද, රාජ්‍ය නොවන බහුජන සංවිධාවලින් ද ඉතා ඕනෑකමින් ඉල්ලා සිටින බව පවසයි.


No comments:

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.