2009-12-11

එක්සත් ජනපද අවශ්‍යතා සහ ලංකාව

අජිත් පැරකුම් ජයසිංහ -

එක්සත් ජනපදය හෙවත් අප සාමාන්‍යයෙන් දන්නා ඇමරිකාවට එරෙහි වීම හෙවත් ඇමරිකන් විරෝධය ලොව පුරා ජනප්‍රිය දේශපාලන විලාසිතාවකි ඒ අනුව, ලංකාව හොඳ නැතැයි කියා රට හැර ගොස් ඇමරිකා එක්සත් ජනපදයේ පුරවැසිභාවය ලබා ගත් අය පවා ඇමරිකන් විරෝධී මෝස්තරකාරයෝ වී සිටිති. සෑම සිද්ධියක් පිටුපස ම පාහේ ඇමරිකන් කුමන්ත්‍රණයක් දැකීමට ඇතැමෙක් කැමති ය. ඇමරිකාව ලෝකයේ ආධිපත්‍යය හිමි කරගෙන සිටින්නේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස හා අයුක්ති සහගත ලෙස බව සම්පූර්ණ සත්‍යයකි. එකී ලෝක ආධිපත්‍යය තහවුරු කර ගැනීම සඳහා කෲර අන්දමින් කටයුතු කරන බව ද සත්‍යයකි. එහෙත්, ඇමරිකාව කිසිවෙකුට මගහැර යා නො හැකි යථාර්ථයකි.


අප මෙම පූර්විකාව තැබුවේ ඇමරිකා එක්සත් ජනපදය ලෙස සුලබව පර්වර්තනය වන සැබැවින් ඇමරිකාවේ එක්සත් රාජ්‍ය විය යුතු රට සහ ලංකාව අතර අන්තර් සම්බන්ධය පිළිබඳ කතා කිරීමටයි. එයට පාදක කර ගන්නේ එරට සෙනෙට් සභාවේ විදේශ සම්බන්ධතා කමිටුව විසින් දෙරට අතර සම්බන්ධතා පිළිබඳ ඉදිරිපත් කර ඇති වාර්තාවකි. මෙම වාර්තාවේ සඳහන් කරුණු ඉන්දියාව පා මුල ඉන්දීය සාගරය මැද ලංකාව ‍නම් දිවයින ලෝක බල දේශපාලනය තුළ ස්ථානගත වන ආකාරය තේරුම් ගැනීමට වැදගත් වේ. ලංකාවේ දේශපාලනයට මැදිහත් වන්නන් සිය උපාය මාර්ග සැලසුම් කර ගත යුතුව ඇත්තේ මෙම සංදර්භය තුළයි.


ලංකාවේ යුද්ධය අවසන් වුවත්, එයට හේතු වූ අර්බුදය තවමත් එසේ ම පවතින බව වාර්තාව නිවැරදිව හඳුනා ගනියි. ඒ අනුව, ලංකාව පශ්චාත් යුද තත්වයක සිටිය ද පශ්චාත් අර්බුද තත්වයකට පිවිස නැත. අර්බුදයේ හේතු ඉක්මණින් ආමන්ත්‍රණය කළ යුතුව තිබේ. තිස් වසරක ප්‍රචණ්ඩත්වය විසින් සිංහල බහුතරය දෙමළ සුළුතරය කෙරෙහි ප්‍රහාරාත්මක මානසිකත්වයක් වෙත යොමු කර තිබේ. රජයේ සැක සංකා අවම කරලීමට හේතු වන අන්දමේ හා අව්‍යාජ සංවාදයක් ඇති වන අන්දමේ සංහිඳියා සූදානමක් තවමත් දෙමළ නායකයන් වෙතින් පළ වී නැත. සිංහලයන්ගේ ජයග්‍රාහී මානසිකත්වය පිළිබඳ කලකිරී සිටින ඇතැම් දෙමළ ජාතිකයෝ එක්සත් ශ්‍රී ලංකාවක් තුළ තමන් කොණ් වනු ඇතැයි බියට පත් වී සිටිති. දෙමළ මධ්‍යම පංතිය විනාශ වී ඇති අතර බොහෝ දෙනෙක් රටින් පිටට සංක්‍රමණය වී තිබේ. මධ්‍යස්ථ මතවාදයන් නියෝජනය කිරීම සඳහා ඉතිරි වී සිටින්නේ ප්‍රධාන පෙළේ නායකයන් කීපදෙනෙක් පමණි. රජයේ කඳවුරුවල සිර වී සිට විනාශ වූ නිවෙස් කරා ආපසු යමින් සිටින උතුරේ දෙමළ වැසියන්ගේ තත්වය වෙසෙසින් අභාග්‍ය සම්පන්න ය.


ලංකාවේ දේශපාලන පරිසරය බොහෝ බාහිර නිරීක්ෂකයන් දකින ස්වරූපයේ කළු හෝ සුදු තත්වයක් නොවන බව පවසන වාර්තාව යුද අපරාධ හා මානව හිමිකම් උල්ලංඝනයන් පිළිබඳ චෝදනා තිබියදීත්, රාජපක්ෂ රජය උතුරේ මානව අර්බුදය අවම කිරීම හා නැගෙනහිර සංවර්ධනය වැනි කටයුතුවලදී සාධනීය පියවර තබා ඇති බව පෙන්වා දෙයි. දෙමළ හා මුස්ලිම් වැසියන්ගේ බරපතල පුනරුත්ථාපන හා සංවර්ධන අවශ්‍යතා සපිරීමෙහිදී රජයේ හැකියාව පිළිබඳ බරපතල ප්‍රශ්න පැන නැගී තිබේ. දිග් ගැසුණු හදිසි නීතිය, සංවර්ධන කටයුතුවලදී පාරදෘෂ්‍යභාවයක් නැතිකම, යුද්ධයේදී ක්‍රියා කළ ප්‍රශ්නකාරී ස්වරූපය හා මාධය නිදහස ඇවිරීම වැනි හේතු මත ජාත්‍යන්තර ආධාරකරුවන්ට ලංකාව සම්බන්ධයෙන් වැඩි සහභාගිත්වයක් කළ නො හැකි විය. යුද්ධය අවසන් වුව ද, භීෂණ මානසිකත්වයක් විශේෂයෙන් ම මාධ්‍යකරුවන් වෙළාගෙන ඇත. මෙමගින් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ප්‍රජාව අතර තත්වය තවත් පිරිහෙන අතර අව්‍යාජ සාමයක් සඳහා අවස්ථාව මගහැරෙන බව සෙනෙට් වාර්තාව වැඩිදුරටත් පෙන්වා දෙයි.


ආහාර හා බිම් බෝම්බ ඉවත් කිරීම වැනි කාර්යයන්හිදී එක්සත් ජනපදය ලංකාවට මානුෂීය ආධාර සපයන ප්‍රධාන රටක් වනමුත්, කොළඹ රජය දෙරට අතර සම්බන්ධතා දුබල වන ආකාරයක් දකියි. යුද්ධයේ ක්‍රියාකලාපයන් හා අවතැන් වූවන්ට සලකන ආකාරය පිළිබඳ එක්සත් ජනපදයේ විවේචන නොතකා හරින ලදී. ලංකාවට එක්සත් ජනපදය විසින් කරන ලද ආධාර ණය නො වන පරිත්‍යාග පමණක් වුව ද ඒ හා බැඳුණු දේශපාලන ප්‍රතිසංස්කරණ ඉල්ලීම් හේතුවෙන් රාජපක්ෂ රජය ඒවා විවේචනය කළේ ය. දෙරට අතර සම්බන්ධය දුරස් වෙමින් තිබියදී ලංකාව නිදහසට වඩා ආරක්ෂාවට ප්‍රමුඛස්ථානය දෙන සංවර්ධන මාදිලියක් අනුගමනය කරන බටහිර නො වන රටවල් වෙත ලංකාව පක්ෂපාතී වන්නට පටන් ගත් බව වාර්තාව පවසයි.


රාජපක්ෂගේ නායකත්වය බුරුමය, චීනය, ඉරානය, ලිබියාව වැනි රටවල් සමග සම්බන්ධතා වර්ධනය කර ගත්තේ ය. චීනය යුද ණය, යටිතල පහසුකම් සඳහා ණය හා වරාය සංවර්ධනය ආදී කාර්යයන් ඔස්සේ ඩොලර් බිලියන ගණනක් ලංකාවේ ආයෝජනය කර තිබෙන අතර, ඒවා බටහිර රටවල් ඉදිරිපත් කරන ආකාරයේ කොන්දේසිවලින් නැත. ඉන්දීය සාගරය හරහා ලංකාවේ සමුද්‍රික වෙළඳ මාර්ග සුරක්ෂා කර ගැනීම යන කාරණයෙහිදී එක්සත් ජනපදය ඉන්දියාව සහ චීනය පොදු අවශ්‍යතාවන්ගෙන් කටයුතු කරති. එක්සත් ජනපද රජය ලංකාවේ ආර්ථික හා ආරක්ෂක ක්ෂේත්‍රවල ආයෝජනය කර තිබෙන්නේ සාපේක්ෂ වශයෙන් සුළු ප්‍රමාණයක් නිසා ලංකාව දේශපාලනික හා ආර්ථික වශයෙන් බටහිරින් හුදකලා වී ඇති බව එක්සත් ජනපද සෙනෙට් සභාවේ විදේශ සම්බන්ධතා කමිටුව පෙන්වා දෙයි.


මෙම මූලෝපායික වෙනස කලාපයේ එක්සත් ජනපද අවශ්‍යතා කෙරෙහි බලපෑමක් ඇති කරන බව වාර්තාව වැඩිදුරටත් පවසයි. ඇමරිකන් අවශ්‍යතාවන් කෙරෙහි ලංකාවේ භූ මූලෝපායික වැදගත්කම එක්සත් ජනපද ප්‍රතිපත්ති සම්පාදකයන් විසින් අවතක්සේරු කර ඇති බව එය පවසයි. ලංකාව පිහිටා ඇත්තේ යුරෝපය හා මධ්‍යම ආසියාව චීනය හා ආසියාවේ සෙසු කොටස් සමග සම්බන්ධ කරන ඉතා වැදගත් සමුද්‍රික වෙළඳ මාර්ග ආසන්නයේ ය. සමුද්‍රික වෙළඳාමට බාධා කරන ත්‍රස්ත ක්‍රියා සහ ‍චෞරත්වය දුරලීමෙහිදී එක්සත් ජනපදය, ඉන්දියාව සහ චීනය සමාන අවශ්‍යතාවලින් යුක්ත වේ. ආරක්ෂක අවශ්‍යතාවන් මුහුදු මාර්ගවලින් ඔබ්බට ඇදී ගොස් ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යය වන ඉන්දියාවේ විශේෂයෙන් ම දකුණුදිග කෝටි හයක් දෙමළ ජාතිකයන් ජීවත් වන තමිල්නාඩුවේ ස්ථාවරත්වයට ද අදාළ වේ. ද්විපාර්ශ්වික සම්බන්ධතාවලදී මේ සියලු කරුණු අදාළ වේ.


එක්සත් ජනපදයට ලංකාව "අහිමි" කර ගත නොහැකි බව වාර්තාව ඉතා පැහැදිලිව පෙන්වා දෙයි. එහෙත් ලංකාවේ දේශපාලන හා මානව හිමිකම් වාර්තා නො තකා හැරිය යුතු බවක් එයින් නො ඇඟවෙන බව ද වාර්තාව පවසයි. එමගින් අදහස් වන්නේ සියතෙහි ඇති මෙවලම් පුළුල් පරාසයක පාවිච්චි කරමින් ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ ලීවරයේ බලපෑම වැඩි කරන නව ප්‍රවේශයක් බව සඳහන් වේ. එය එක්සත් ජනපදයේ අවශ්‍යතා ඉන්දීය සාගර කලාපයෙහි දීර්ඝ කාලීනව සුරක්ෂා කර ගැනීම සඳහා ඉවහල් වන ප්‍රවේශයක් විය යුතු බව ද වාර්තාව පවසයි.


‍එක්සත් ජනපද සෙනෙට් සභාවේ විදේශ සම්බන්ධතා කමිටුව විසින් මෙම වාර්තාව නිකුත් කරනු ලබන්නේ ඔබාමා පාලනය ලංකාව සමග සම්බන්ධතා වෙනුවෙන් නව ප්‍රවේශයක් සලකා බලමින් සිටියදී ය. මෙම වාර්තාව විසින් පෙන්වා දෙනු ලබන කරුණක් වන්නේ රාජපක්ෂ පාලනය ජාත්‍යන්තර දේශපාල සබඳතාවලදී බටහිර හා එක්සත් ජනපදය සම්බන්ධයෙන් කරන ලද අවතක්සේරු කිරීම හා චීනය, බුරුමය, ඉරානය හා ලිබියාව වැනි අලුත් මිතුරන් කෙරෙහි වර්ධනය කර ගනිමින් සිටින පක්ෂපාතිත්වය එක්සත් ජනපදයේ දැඩි අවධානයට ලක් වී තිබෙන බවයි. ලංකාවේ භූ දේශපාලනික පිහිටීමේ වැදගත්කම හේතුවෙන් ලංකාවේ පාලකයන්ට ඕනෑ පිස්සුවක් නැටිය හැකි තරම් ස්වාධීන විය නො හැකි බව ද, ජාත්‍යන්තර දේශපාලනයෙහිදී නො බැඳි පිළිවෙතක පිහිටා සිටිමින් අවම ගැටුම්කාරී තත්වයක් පවත්වාගෙන යාම අතිශය වැදගත් බව ද, එසේ ම රට තුළ ගැටුම් අවම මට්ටමක තබා ගැනීම ස්වාධීනත්වය ආරක්ෂා කර ගැනීමෙහිදී අත්‍යවශ්‍ය වන බව ද මෙම වාර්තාව තුළින් ගම්‍ය වේ. මෙම වාර්තාව නිකුත් වන්නේ ලංකාවේ පාලනය සම්බක්ධයෙන් ඉතා වැදගත් මැතිවරණ දෙකක් ඉදිරියේ තිබියදී වීම ද වැදගත් කරුණකි.



2 comments:

  1. I like this article for its content, analysis and depth. Continue this type of writing for the benefit of readers.

    ReplyDelete
  2. මධ්‍යස්ථ ප්‍රවේශයක්

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.