2009-12-31

සරත් ෆොන්සේකා ජයග‍්‍රහණය කරනවා වෙනුවට අපි කියන සටන් පාඨය මහින්ද රාජපක්‍ෂ පරාජය කරනවා කියන එක - කෙලී සේනානායක


(2009 දෙසැම්බර් 31 -W3Lanka) 1983ට පෙර ජ.වි.පෙ. හිටපු ප්‍රධාන ලේකම් ලයනල් බෝපගේ, දේශපාලන මණ්ඩල සභික කෙලී සේනානායක ඇතුළු පැරණි ජවිපෙ සාමාජිකයන් පිරිසක් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා මණ්ඩපය නමින් ඒකරාශීව 2010 ජනාධිපතිවරණය හා සම්බන්ධ ප්‍රචාරක ව්‍යාපාරයක් ආරම්භ කිරීම වාමාංශික දේශපාලනයේ වැදගත් සිද්ධියක් ලෙස අපි සලකමු. 


එම ව්‍යාපාරයේ නායකයකු වූ කෙලී සේනානායක සමග ජනලංකා පුවත්පත විසින් පවත්වන ලද සම්මුඛ සාකච්ඡාවක් අපි මෙසේ පළ කරමු. 


මොකක්ද මේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා මණ්ඩපය?


1971 ජනතා අරගලයට සහභාගී වූ සහ ඉන් අනතුරුව 88-89 දී ජ.වි.පෙ. දේශපාලනයට සම්බන්ධව සිටි අයගේ මූලිකත්වයෙන් පිහිටුවාගත් පක්‍ෂ දේශපාලනයෙන් ඍජුවම බැහැරවූ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජයග‍්‍රහණයන් සමාජයට ලබාදීම උදෙසා වෙහෙස වන දේශපාලන ක‍්‍රියාකාරීන්ගේ සංවිධානමය එකමුතුවක්.


ඇයි ජනාධිපතිවරණ මුවවිට මේක එලියට දැම්මේ?


එහෙම තදියමකින් හෝ අදේශපාලනික පෞද්ගලික උවමනාවකින් අපි එලියට ආවා කියන එක වැරදියි. අපි බොහෝ දෙනෙක් ජ.වි.පෙ. දේශපාලනයෙන් විතැන් වුනාට පස්සේ එක්වත්, තනිතනියමත් දේශපාලන වැඩ කටයුතු වල නියැලූණා. මේ මොහොතේ අපේ ලාංකීය සමාජයට ආමන්ත‍්‍රණය කිරීම අප එයින් පැහැර නොහැරිය යුතු වගකීමක් කියලා අපි සියලූ දෙනාම කල්පනා කළා. ඒ නිසා අපිට හැකි උපරිමයෙන් අපිට සම්බන්ධතා තියෙන මාර්ග සහ මාධ්‍ය වෙතින් අපි සමාජය ආමන්ත‍්‍රනය කරනවා.


එලැඹෙන ජනාධිපතිවරණයේදී විපක්‍ෂයේ අපේක්‍ෂකයා වන සරත් ෆොන්සේකාට ඡන්දය දෙන ලෙසයි ඔබ ඉල්ලා සිටින්නේ?


ප‍්‍රශ්නයට පිළිතුර එතරම්ම සරල නැහැ. ඔබේ ප‍්‍රශ්නයට එක උත්තරයක් සහ සරල පහසුම උත්තරය ”ඔව්” කියන එක. ඒත් අවසාන පිළිතුර සමඟ දිගට ඇදෙන පුළුල් සමාජ, දේශපාලන සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී විග‍්‍රහයක් තියෙනවා. කරුනාකර ඒක පැහැදිලි කරන්න අපිට ඉඩ දෙන්න. නැත්නම් මේ විග‍්‍රහ නොදැක, නොදැන අපව විනිශ්චය කළොත් ඒක බරපතල හානියක්.


අපේ කණ්ඩායම දේශපාලනයේදී පුද්ගල චරිත විශ්වාස කරලා වැඩ කරන අය නෙවෙයි. අපේ ගෙවුණ ජීවිත අරගලයම පුද්ගලයන් වෙනුවට වැඩ පිළිවෙලක්, අරමුණක්, ක‍්‍රියාමාර්ගයක් ජයග‍්‍රහණය කිරීම වෙනුවෙන් කැප කළේ. අපි ජ.වි.පෙ. ට එකතු වුණේ ඉතාමත් තරුණ යව්වන ජීවය පිරි වයසේදී. අපි ජ.වි.පෙ.න් ඉවත් වුණේ පුද්ගල බද්ධ කාරනා මත පදනම්ව ගත් තීරණ අනුව නෙවෙයි. අපිට තිබුණේ දේශපාලන දර්ශනය, ඉලක්ක, උපාය සහ උපක‍්‍රම පිළිබඳ ගැටලූ. ඒ නිසා අපි ජ.වි.පෙ. න් ඉවත් වුණා. අපි සමාජය සමඟ එක්ව හා වෙන්ම වැඩ කළා. විවිධ ව්‍යාපාර වල, විවිධ සංවිධාන වල වැඩ කළා. මේ හැම විටෙකම අපිව එක්තැන් කළ පොදු අරමුණ වුණේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය දිනා ගැනීමේ අරගලය.


1978 දී ජේ.ආර්. විධායක ජනාධිපති ක‍්‍රමය ගෙනයද්දී අපි ඊට එරෙහි වුණේ එහි අනිටු විපාක දේශපාලනිකව දැකලා. ’83 දෙමළ ජන සංහාරයට එරෙහි වුණේ එහි අනාගත විපාක දැකලා. 80 ජූලි වැඩ වර්ජනය මර්දනය කිරීමට එරෙහි වුණේ කම්කරු පංතියට අත්වන ඉරණම දැකලා. ත‍්‍රස්තවාදය මර්දනය කිරීමේ පනතට එරෙහි වුණේ සමාජයක් ලෙස අපිට අත්විඳින්න වෙන අනාගත ඉරණම දැකලා. 88-89 දී තරුණ සංහාරයට එරෙහිව මානව හිමිකම් කඳවුර ශක්තිමත් කරන්න උත්සහ ගත්තේ ජ.වි.පෙ. තරුණයෝ අපිව මරන්න අපේ පස්සේ එළවන බව දැනගෙනමයි. 17 වසරක එ.ජා.ප. පාලනය පරාජය කරන්න ’94 දී චන්ද්‍රිකාට සහාය දුන්නේ එ.ජා.ප. යේ දුර්දාන්න වියරු පාලනය නවතලා සමාජයට ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගෙන දීමේ උවමනාවෙන්. චන්ද්‍රිකාගේ ගජමිතුරු පාලනය අවසන් කරලා මහින්ද රාජපක්‍ෂ ජනාධිපති කරන්න සහය දුන්නේ දුරදර්ශීය දේශපාලන තීන්දුවකින්.


දැන් අපි තවත් ඓතිහාසික මොහොතකට ඇවිත්. දැන් රට අතිමහත් විනාශකාරී බලයක් සහිත විධායක ජනාධිපතිධුරය එක පවුලක සීමිත කණ්ඩායමක් අත බොනපාට්වාදී මිලිටරි ශක්තිමත් භාවයකින් ක‍්‍රියාකරනවා. ඉතිහාසයේ අන්කවරදාකටවත් වඩා වැඩි සහ දැඩි ලෙස රාජ්‍ය දේපළ කොල්ලකනවා. අල්ලස, දූෂණය විවෘතව කරගෙන යන බලලෝභී කොල්ලකාරී ක‍්‍රමයකට රට යට වෙලා. ප‍්‍රජාතන්ත‍්‍රවාදය උතුරේත් දකුණේත් සමානව මර්දනය කරලා.


දැන් ප‍්‍රධානතම සටන් පාඨය ප‍්‍රජාතන්ත‍්‍රවාදය දිනාගැනීම. ඒ සඳහා පළමු පියවර පවත්නා පාලනය වහා අවසන් කිරීම. ඒ විවර වන කෙටි ප‍්‍රජාතන්ත‍්‍රවාදී ඉඩකඩ පුළුල් මහජන සහභාගීත්වයෙන් යුත් යුද විරෝධී, කුල විරෝධී, ජාතිවාදී විරෝධී, කොල්ලකාරීත්වයට එරෙහි දිගු නිදහස් ප‍්‍රජාතන්ත‍්‍රවාදී අරගලයක ප‍්‍රවේශය බවට පත්කරගන්න ඕනේ. මේ උත්සහය ඒ සඳහායි. මේ සියල්ල අවසානයේ මහින්ද රාජපක්‍ෂ පාලන අවසන් කරන්න ඔහුට එරෙහිව මැතිවරණයේදී ඡන්දය භාවිතා කරන්න වෙනවා. අන්න එතැනදී මහින්දට එරෙහිව සරත් ෆොන්සේකාට ඡන්දය සලකුණු කිරීම අපේ දේශපාලන දැක්ම අනුව ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා ඇරඹුමකි. වෙනසක් සඳහා ප‍්‍රවේශයක්.


ඔබ කියන්නේ සරත් ෆොන්සේකා රටට ප‍්‍රජාතන්ත‍්‍රවාදය දිනාදෙයි කියලද?


නැහැ. අපි ඒ තරම්ම මෝඩයි කියල ද ඔබ හිතන්නේ. අපි මුලින්ම කිව්වනේ අපි පුද්ගලයෝ විශ්වාස කරන්නේ නැහැ කියලා. ප‍්‍රජාතන්ත‍්‍රවාදය සරත් ෆොන්සේකාට තියා මිත්‍යා විශ්වාසයන් මත පදනම්වූ ජනප‍්‍රවාද අනුව එන මහබඹාටවත් ඒක කරන්න බැහැ. ඒක මිනිස් අරගල වෙතින් දිනාගන්නා ජයග‍්‍රහණයක්. ඒ සඳහා අවස්ථාවක් ලබාගන්නයි අපි මේ ආණ්ඩුව පරාජය කරන්න ඕනේ. එහෙම නැතුව හිටපු හමුදා ප‍්‍රධානියා දේශපාලනිකව විශ්වාස කරන්න තරම් අපි අද බාලයෝ නෙවෙයි.


මේ සරත් ෆොන්සේකාගේ ජයග‍්‍රහණය වටා, ආගමික මෙන්ම ජාතිකවාදී මූලධර්මවාදීන්, ජාතිකවාදී යුධවාදීන් එක්සත් මෙන්ම ඒකීයවාදීන්. ජීවිතයෙන් මෙන්ම පීඩක සහ පීඩිත බලවේගයන් එක විටම එක පෙළට සිට ගෙන සිටිනවා. ඔබත් මේ නොකියා කියන්නේ ඒ පෙළට එක්වීමේ ව්‍යාජ සටන් පාඨය නොවෙයිද?


අපොයි නැහැ. ඔබ ඔය කියන පරස්පරයන් හැම කෙනෙක්ම මහින්ද රාජපක්‍ෂ වටාත් ඉන්නවා. චන්ද්‍රිකා වටාත් හිටියා. අද ජ.වි.පෙ. වටාත් ඔය හැමෝම ඉන්නවා. ඒ අතරින් සරත් ෆොන්සේකා විතරක් වෙන්කරන්න අපිට ඕනේ නැහැ. ඔය පේළියේ උස - මහත, දිග - පළල, කළු - සුදු සියල්ල වසර 40 ක විතර ක‍්‍රියාකාරී රැඩිකල්, ක‍්‍රමවිරෝධි දේශපාලනයේ ඉන්න අපිට වීදුරුවක් වගේ පැහැදිලිව පේනවා.


අපි ඔය කුණු කන්දල් සුද්ධ කරන පරිසර ශෝකයෙන් නෙවෙයි. අපේ අරමුණ මා ඕ සේතුන්. සහෝදරයාගේ ප‍්‍රකට වැකියකින් කියන්නම්. ”අහස් කුස යට සියල්ල වියවුල්ය. තත්ත්වය කදිමය.’’ අපි කියන්නෙත් ඒ තත්ත්වය පාලක පෙලැන්තියම වියවුල්ය. ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජයග‍්‍රහණයේ මාවත පැහැදිලිය.


ජනාධිපතිවරණයෙන් ඔබ දකින ආකාරයට සරත් ෆොන්සේකා මහතා ජයග‍්‍රහණය කළහොත් ඔබේ ඊළඟ ක‍්‍රියාමාර්ගය මොකක්ද?


එකක් සරත් ෆොන්සේකා ජයග‍්‍රහණය කරනවා වෙනුවට අපි කියන සටන් පාඨය මහින්ද රාජපක්‍ෂ පරාජය කරනවා කියන එක. ඒ දෙකේ විශාල දේශාලන අර්ථ දෙකක් තියෙනවා. අපේ පුළුල් ආමන්ත‍්‍රනය මේ දේශපාලන අර්ථය වටහා ගන්නා අයටයි.


මහින්ද රාජපක්‍ෂ රෙජීමයේ පරාජයෙන් මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට එරෙහි එක් කාල පරිච්ඡේදයක් ස්ථිර ලෙසම අවසන් කෙරෙනවා. ආරම්භ වෙන්නේ අලූත් පරිච්ඡේදයක්. එහි වඩා වැඩි වගකීමක් ප‍්‍රගතිගාමී, ඉදිරිගාමී සමාජ ක‍්‍රියාකාරිකයන් විසින් නිශ්චිත ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලන වැඩ පිළිවෙලක් සහිතව අත්පත් කරගන්න ඕනේ. ඒ සඳහා දේශපාලන න්‍යාය පත‍්‍රයක් පොදු එකඟතාවයකින් ඇතිකරගන්න ඕනේ. මේ රටේ යන්තම් හෝ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පදනම් තියෙන කණ්ඩායම් ඉන්නවානම් , අතීතයේ ශිතලට ගල්වුණ ස්ථාන වලින් ගැලවිලා ඇවිත් අලූත් ස්ථානගත වීමකට එක්වෙන්න ඕනේ. ඒක තමයි මහින්ද රාජපක්‍ෂ පරාජයේ ප‍්‍රතිඵල ලැබෙන 2010 ජනවාරි 27 වෙනිදා කරන්න ඕනේ.


මේ පුළුල් දේශපාලන සංගායනාවට ඉඩ වෙන්වන පිටිය සකස් කිරීමයි ලයනල් බෝපගේ, ඔස්මන්, රංජිත්, බටපොල අතුල වැනි අපේ පරම්පරාවේ සහෝදරයනුත්, සරත් දේවානන්ද වැනි 88-89 සහෝදරයනුත් එක්ක එකතු වෙලා අපි කරන්නේ.


1 comment:

  1. (A response received via email)
    Dear Kelly and other comrades,
    I wonder whether you have a comprehensive assessment on the possible political scenario in a situation where SF wins. “Defeat MR' is a good slogan which I also agree with. But the problem is in practical terms defeat MR is also victory to SF. You cannot avoid that. The problem is what would happen afterwards. In contrast to 94 where the dominant pro-PA elements can be categorized as pro-democratic, in the present situation mainstream pro-SF elements are not pro-democratic. The most dangerous trend is the fact that public demand for the victory of SF coming from the need for "corruption free disciplined society which very dangerous for a democratic transformation. Anti-corruption slogan is OK. But the populist anti-corruption attitude also carry strong anti-democratic and authoritarian mood. I wonder if you are aware of this and sufficiently address these issues. I don’t mid MR being defeated. But I do mind what would happen afterwards. Mao’s slogan is very nice and attractive. But don’t forget “chaos” would not all the time produce progressive results. Prediction may not be correct all the time. From the little knowledge of politics that I have accumulated so far, possibilities for a democratic transformation after a victory for SF is quite meager. If democratic voices failed in 94 no much hopes in 2010. If you want to defend you slogan “Defeat MR for widening democracy you have to ask why democracy failed in 94.
    Nirmal Ranjith Dewasiri

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.