2009-12-02

SF මෙහෙයුමට එරෙහිව MR මෙහෙයුම


(2009 දෙසැම්බර් 02 - W3Lanka) විපක්ෂ ජනාධිපතිඅපේක්ෂක සරත් ෆොන්සේකාගේ ප්‍රචාරක ව්‍යාපාරයේ ආරම්භක පෝස්ටරයේ එය හැඳින්වුණේ SF මෙහෙයුම ලෙසයි. සරත් ෆොන්සේකා යන නමේ මුලකුරු දෙක වන SF යන්න Special Forces හෙවත් විශේෂ බලකාය යන මිලිටරි යෙදුම හා සන්සන්දනය කිරීමක් එහි තිබිණි. අද හැම සිංහල ගමක ම පාහේ හමුදා සෙබළු හා ඔවුන්ගේ පවුල් සිටිති. පසුගිය කාලයේ සමන් කුමාර රාමවික්‍රම, සුජිත් විදානපතිරණ වැනි ජනරාල්වරුන් ඇසුරු කළ මේ රටේ රූපවාහිනී සොල්දාදුවෝ ද දැන් රති කෙළිය තරමට ම යුද කෙළිය ගැන දනිති. එහෙයින් මේ පෝස්ටරය ප්‍රබල, නිර්මානශීලී සන්නිවේදනයක් බව අපේ අදහසයි.

මේ පෝස්ටර් අලවමින් සිටි අය ද, ළඟ තබාගෙන සිටි අය ද පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී. මහින්ද රාජපක්ෂ මහතාට මෙවනි ප්‍රචාරක ප්‍රයෝගයක් පාවිච්චි කළ නො හැකි ය. මක් නිසා ද යත්, ඔහුගේ මුලකුරු වන MR ප්‍රචාරක පාඨයකට යොදා ගතහොත් එමගින් Mentally Retarded හෙවත් මන්ද මානසික යන්න අදහස් වන බැවිනි. SF මෙහෙයුම පෝස්ටර් ඇලවූ අය අත්අඩංගුවට ගැනීම නම් මන්ද මානසික වැඩකි. එහෙත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ප්‍රචාරක වැඩසටහන මන්ද මානසික මට්ටමකට පත් නො විය යුතු බව අපේ අදහසයි. 


මේ SF මෙහෙයුම තමන් යුද අපරාධ අධිකරණයට දැක්කීමට ඉලක්ක කරන ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් ලෙස හඳුන්වා ජාති හිතෛෂී ජනතා‍වගේ අනුකම්පා ඡන්ද සිඟන්නට යාමෙන් එක් පැත්තකින් රාජපක්ෂවරු තමන් වැදිකරුවන් බව ලෝකයට අඬ බෙර ගසති. අනෙක් පැත්තෙන් කොටි සංවිධානය මර්දනය කිරීම සම්බන්ධයෙන් ලංකාවේ පාලකයන් කූඩුවේ දමන්නට උවමනා නම් එම මර්දනයේදී විශාල වැඩ කොටසක් කළ හිටපු හමුදාපතිවරයාව බලයට ගෙන එන්නට බටහිර රටවල් උදව් කරන්නේ නැත.


මෙතැන ඇත්තේ ඊට වෙනස් දෙයකි. එනම්, භූගෝලීය වශයෙන් මූලෝපායික මර්මස්ථානයක පිහිටි ලංකාවේ ධනේශ්වර පාලකයන් තම නව ලිබරල් රාමුව තුළ විනයගත නොවී මඤ්ඤං කෙළීම වැළැක්වීමටත් පශ්චාත් යුද කාලීන ලංකාව ගෝලීය ධනවාදයට ගැට ගසා ගැනීමටත් බටහිරට ඇති උවමනාවයි. සරත් ෆොන්සේකා සිය අපේක්ෂකත්වය නිවේදනය කළ පුවත්පත් සාකච්ඡාවේදී උච්චාරණය කළේ මේ ගෝලීය ධනවාදයේ න්‍යාය පත්‍රයයි. 



SF මෙහෙයුම කුමන්ත්‍රණයකැයි පෙන්වීමට ආණ්ඩු පක්ෂයේ දේශපාලනඥයන් දරන උත්සාහය බොළඳ ය. ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීම් 1000 රට වටේ පැවැත්වෙන විට, එක්සත් ජාතික පක්ෂය යළි ගමට යන විට හා විය හැකි පරිදි හමුදා සෙබළුන් හරහා ද යම් අදහස් ප්‍රචාරණයක් වන විට ආණ්ඩුවට මේ කුමන්ත්‍රණ කතා හකුළා ගන්නට සිදු වනු ඇත. 

SF මෙහෙයුමේ සරළකම අද දින පැවති පුවත්පත් සාකච්ඡාවකදී ජවිපෙ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක අනුර කුමාර දිසානායක පෙන්වා දුන්නේ ය.  ඔහුට අනුව, මෙතැන එක් පෙරමුණක් නැත. ඇත්තේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට හා 17වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව හා ඒ ඔස්සේ පත් විය යුතු ව්‍යවස්ථාදායක සභා හා ස්වාධීන කොමිෂන් පත් කර ගැනීමට ඇති එකඟත්වයකි. සරත් ෆොන්සේකා ජනාධිපති වුවහොත්, ඊළඟට සාධාරණ මහ මැතිවරණයක් පැවැත්වෙනු ඇති බව ජවිපෙ කියයි. එහිදී ජනතාවට තමන් කැමති ආණ්ඩුවක් පත් කර ගත හැකි වනු ඇත. ජවිපෙ ද වෙන ම බලය ඉල්ලනු ඇත. පත් වන ආණ්ඩුව විසින් විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කරනු ඇත. විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ කියන පරිදි සරත් ෆොන්සේකා ජනාධිපති වුවහොත් විධායක ජනාධිපති බලතල අහෝසි කර ගැනීමට වැඩියෙන් ම උවමනා වනු ඇත්තේ දැන් ආණ්ඩු පක්ෂයේ සිටින අයටයි. එහෙයින් මීළඟ ආණ්ඩුව පිහිටුවන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානය වුව ද ප්‍රශ්නයක් ඇති නො වේ. මීයන් අල්ලනවා නම් බළලා මැටි වුව ද කම් නැත.



සරත් ෆොන්සේකා 72 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව යටතේ සිටි විලියම් ගොපල්ලව වැනි නාමික ජනාධිපතිවරයකු වීමට කැමති වේ යයි සිතිය නො හැකිය. එහෙත් විධායකය හා ව්‍යවස්ථාදායකය අතර අදට වඩා සමබර ආකාරයකට බලය බෙදා ගැනීමකට ඔහු එකඟ වී ඇති බව පැහැදිලි ය. සරත් ෆොන්සේකා ජනාධිපති වූ පමණින් රනිල් වික්‍රමසිංහ අගමැති වන්නේ නැත. අගමැති වන්නේ මීළඟ මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වන මන්ත්‍රීන් අතරින් බහුතර විශ්වාසය දිනා ගත හැකි පුද්ගලයායි. 


සරත් ෆොන්සේකා මේ වන විට එක්සත් ජාතික පක්ෂ ආර්ථික හා දේශපාලන ප්‍රතිපත්ති පිළි ගන්නා තැනක සිටින බව ඔහු සිය පුවත්පත් සාකච්ඡාවේදී ආර්ථිකය හා බලය බෙදීම වැනි කාරණා සම්බන්ධයෙන් පළ කළ අදහස්වලින් පැහැදිලි වේ. තමන් කැමති මතයක් දැරීම ඔහුගේ පෞද්ගලික හිමිකමකි. ඔහු ජනාධිපතිවරණයට තරග කිරීම ද අනාගත මහ මැතිවරණයකදී ඔහු රනිල් වික්‍රමසිංහගේ අගමැති අපේක්ෂකත්වයට සහාය දීම ද ඒ හා සමාන ම පුද්ගල අයිතිවාසිකම් වේ. මෙකී කාරණා සම්බන්ධයෙන් කුමන්ත්‍රණ න්‍යායන් මත යැපෙමින් ඔහු ද්‍රෝහියකු යයි කියන්නට උත්සාහ කිරීම බාල හින්දි චිත්‍රපට කතන්දර ගෙතීම වැනි බංකොලොත් ක්‍රියාවකි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ සිටින ඩලස් අලහප්පෙරුම වැනි අයට මීට වඩා නිර්මානශීලිත්වයක් තිබිය යුතු ය.

මෙතැන සරළ ප්‍රශ්න දෙකක් තිබේ. එනම්, 2005දී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට පොරොන්දු වී බලයට පැමිණි මහින්ද රාජපක්ෂ දැන් විධායක ජනාධිපති ක්‍රමය සම්බන්ධයෙන් කියන්නේ කුමක් ද යන්න හා පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ එකතු වී සම්මත කර ගන්නා ලද 17වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක කිරීම ඔහු ප්‍රතික්ෂේප කරන පදනම කුමක් ද යන්නයි.



ජාත්‍යන්තර දේශපාලනය හා අදාළ ප්‍රශ්නය වන්නේ ලංකාව ගුණදාස අමරසේකරගේ හා නලින් ද සිල්වාගේ දෘෂ්ඨිවාදී ගැලරි පිනවමින් බටහිරට ගොන් චණ්ඩි පාට් දානවා ද නැතිනම් සම්ප්‍රදායික නොබැඳි පිළිවෙතට මාරු වී ඇල් වතුරත් නිවා බොන, ශරීර සෞඛ්‍යයට හිතකර රාජ්‍ය තාන්ත්‍රික ප්‍රතිපත්තියක පිහිටනවා ද යන්නයි. 


ආර්ථික ප්‍රතිපත්තිවලදී එක්සත් ජාතික පක්ෂය කලින් යෝජනා කළ 'යළි පුබුදමු ශ්‍රී ලංකා' වැඩපිළිවෙල ගැටළුකාරී එකක් බව සත්‍යයකි. එහෙත් එයට විකල්ප ලෙස මහින්ද රාජපක්ෂ රජය විසින් හඳුන්වා දී ඇත්තේ කේශාන්තයේ සිට පාදාන්තය දක්වා ම දූෂිත, අකාර්යක්ෂම, ජන පීඩක රාජ්‍ය අංශයක් හා එය නඩත්තු කරන කොඳු කැඩෙන බදු බරක් පමණි. රටේ ආර්ථිකය පිළිබඳ කුමන හෝ ඉදිරි දැක්මක් ආණ්ඩුවට තිබේ යයි අපට නම් නො පෙනේ.



බොරු කුමන්ත්‍රණ න්‍යායයන් දෙසමින් 'අනේ මුං අපි එල්ලුම් ගස් යවන්න හදනවා' යයි කියමින් අනුකම්පාව සිඟන්නට යාම ආණ්ඩු පක්ෂයේ MR හෙවත් මන්ද මානසික මෙහෙයුමකි. විශේෂයෙන් ම මේ කුමන්ත්‍රණ න්‍යායයන් ජවිපෙ සහාය නැති පොළවක පැළ කර ගැනීම දුෂ්කර ය.


ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාණෙනි, පිටුපසින් පිහියෙන් අනින්නට නො ගොස් ප්‍රතිපත්ති නම් කඩුව ගෙන සටනට යන්නට අපි ඔබට ශක්තිය හා ධෛර්යය පතමු. ඔබේ පාලනය යටතේ මාධ්‍යකරුවන් වන අපේ ජීවිත අපායක් විය. එහෙත් නො දන්නා ෆොන්සේකාට වැඩිය දන්නා රාජපක්ෂට හිත යට කැමැත්තක් තවමත් ඇත. ඉන්න ඇටමැස්සන් අලුත් ඇටමැස්සන් තරම් බඩගිනිකාරයන් නො විය හැකි ය. ප්‍රශ්නය ප්‍රතිපත්ති ගැන ය.



3 comments:

  1. නරකම නැති ටිකක් දහොද ස්ථාවරයක්.

    ReplyDelete
  2. ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීම් 1000 රට වටේ පැවැත්වෙන විට, එක්සත් ජාතික පක්ෂය යළි ගමට යන විට හා විය හැකි පරිදි හමුදා සෙබළුන් හරහා ද යම් අදහස් ප්‍රචාරණයක් වන විට ආණ්ඩුවට මේ කුමන්ත්‍රණ කතා හකුළා ගන්නට සිදු වනු ඇත.

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.