|
|
|
පළා යන දෙමළ සරණාගතයෝ
|
සිංහල ජාතිකවාදයේ විජයග‍්‍රහණය තුළ මානව යුක්තිධර්ම
(අජිත් පැරකුම් ජයසිංහ)
රජය විසින් කොටි සංවිධානය යුදමය වසයෙන් පරාජය කර ඇති බව යථාර්ථයයි. දැනට ඉතිරි වී ඇති ප‍්‍රශ්න වන්නේ කොටි සංවිධානයේ ශීඝ‍්‍රයෙන් හැකිළෙමින් ඇති පාලන ප‍්‍රදේශවල තවමත් රැඳී සිටින ලක්ෂ සංඛ්‍යාත දෙමළ ජනයාගේත්, ඉතිරි වී සිටින කොටි සටන්කරුවන්ගේ හා නායකයන්ගේත් ඉරණම කුමක්ද යන්නයි. එල්.ටී.ටී.ඊ. වැනි සංවිධානයක ප‍්‍රධාන ලක්ෂණයක් වන ‘කරන දේ පිළිබඳ කලින් කීමට හැකියාවක් නොමැතිකම’ හමුවේ තවමත් යුද්ධයේ අවසානය විවෘතව පවතිනමුත්, කොටි සංවිධානයට යුදමය පරාජයෙන් ගැලවීමට නම් ප‍්‍රාතිහාර්ය ස්වරූපී ප‍්‍රතිප‍්‍රහාරක හැකියාවක් තිබිය යුතුය. කෙසේ වෙතත්, එවැන්නක් මේ මොහොතේ රජයේ හමුදාවලට වාසිදායක පොළවක් වූ උතුරු රණබිමේ සිදු වීමට ඇති ඉඩ අවමය.
ලංකාවේ සිංහල හා දෙමළ ජාතිකවාදයන් අතර ඓතිහාසික ගැටුමේ මේ මොහොත මතුපිටින් පෙනෙන අන්දමට නම් සිංහල ජාතිකවාදයේ විජයග‍්‍රහණයක අවධියකි. පවත්නා දේශීය හා ජාත්‍යන්තර දේශපාලන වටපිටාව සූක්ෂම ලෙස කොටි සංවිධානයට එරෙහිව උපයෝගී කර ගනිමින් මුළු ලෝකයම දෙමළ අරගළයට එරෙහිව බලමුළුගන්වා ගැනීමට සිංහල ජාතික බලවේගයට හැකි විය. තම කාර්යය කරවා ගැනීම සඳහා අවශ්‍ය තැනදී දණින් වැටීමේත්, අවාසිදයක බලපෑම් මගහරවා ගැනීම සඳහා කිසිවක් නොදැනෙන දර කොටයක් සේ සිටීමේත් රාජ්‍ය තාන්ත‍්‍රික දේශපාලනය සාර්ථක වී තිබේ.
ලංකාවේ දේශපාලනය සම්බන්ධයෙන් ජාත්‍යන්තර දේශපාලනයේ දක්නට ලැබුණේ දෙමළ අරගළයට අවාසිදායක අති සරළභාවයකි. කොටි සංවිධානයේ ත‍්‍රස්තවාදී හා දැඩිමතධාරී අනන්‍යතාව ලෝක දේශපාලනයේදී සම්ප‍්‍රදායික රාජ්‍ය දේශපාලන බලය හිමි සිංහල පාර්ශ්වයට වාසිදායක විය. දේශීය හා ජාත්‍යන්තර දේශපාලනයේදී දෙමළ ජාතිකවාදයටම ලඝු වීමේ හේතුවෙන් කොටින්ට ප‍්‍රගතිශීලී බලවේගවල සහයෝගය දිනාගැනීමේ හැකියාව දැඩි ලෙස සීමා විය. අඩු තරමේ තමිල්නාඩු දේශපාලනය ඉන්දීය මධ්‍යම රජයට බලපෑමක් වන පරිදි කළමනාකරණය කරගැනීමටවත් කොටින්ට හැකි වූයේ නැත. එයින් කියවෙන්නේ ලාංකීය දෙමළ අරගළයක සිට ලෝක දෙමළ ප‍්‍රජාවගේ අරගළයක් වෙත කොටි සංවිධානය කර තිබෙන උපා මාරුව භෞතික යථාර්ථයක් බවට පත් කර ගැනීම සඳහා තව බොහෝ දුර යාමට ඇති බවයි. එසේම, සමස්තයක් ලෙස ලෝක දේශපාලනයේ මේ මොහොතේ ඇත්තේ පවත්නා ක‍්‍රමය රැඩිකල් ලෙස වෙනස් කිරීමට ප‍්‍රයත්න දරන ව්‍යාපාර දිරිගන්වනසුළු වාතාවරණයක් නොවේ.
දෙමළ ජාතිකවාදී කොටි සංවිධානය සිංහල දේශපාලනය විෂයෙහි දැරූ ස්ථාවරය වූයේ, එය විනාශයේ මාවතට ඇද දැමීම තම විමුක්තිය සඳහා මාර්ගය පාදා දෙනු ඇති බවයි. නමුත්, සිංහල සමාජයේ සිදු වූ මිලිටරීකරණ පරිවර්තනය දෙමළ අරගළය පොඩිපට්ටම් කර දැමීමට තරම් ශක්තිමත් ප‍්‍රබල එකක් වනු ඇතැයි ඔවුන් ගණන් හදා තිබුණේ නැත. ගතානුගතික ජාතිකවාදීන්ගේ සීමාව වන පුළුල් දේශපාලන සංදර්භයන් ග‍්‍රහණය කරගැනීමේ නොහැකියාව වෙනුවෙන් දෙමළ ජාතියටම වන්දි ගෙවීමට සිදු වී තිබේ. සිංහල සමාජයේ සිදු වූ පරිවර්තනයේ මිළද දෙමළ අරගළය යටපත් කරගැනීමෙන් ලැබෙන තාවකාලික ජයග‍්‍රහණයට වඩා අධිකය. සමස්තයක් ලෙස සමාජය මෙම ජාතික යුද්ධය වෙනුවෙන් ගෙවූ මිළෙහි වගකීම සිංහල-දෙමළ ජාතිකවාදීන් විසින් භාර ගත යුතුව තිබේ.
ගෝලීය ධනවාදයේ අවධිය තුළ, අපේක්ෂා කළ නොහැකි තරමට ලංකාවේ දේශපාලනය ලෝකයෙන් වෙන් කර, තීරණ ගැනීමේ බලය මුළුමනින්ම පාහේ සියතට ගැනීමට ලංකාවේ රජය සමත් විය. රාජ්‍ය තාන්ත‍්‍රික දේශපාලනයේදී මහින්ද රාජපක්ෂ රජය කලින් පාලකයන් විසින් අනුගමනය කරන ලද ගතානුගතික ප‍්‍රතිපත්ති රාමුව තැනින් - තැනින් බිඳ දමමින් සියුම් ලෙස කරන ලද අත්හදාබැලීම සාර්ථක වී තිබේ. කොටි සංවිධානය, එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ පමණක් නොව වමේ ව්‍යාපාරය හා සිවිල් සමාජය පවා අන්දමන්ද කිරීමට මෙම තත්වය හේතු වී තිබේ. ලංකාවේ දේශපාලනයට අදාළව පවතී යයි උපකල්පනය කර තිබූ බටහිර හා කලාපීය බලවතුන්ගේ අවශ්‍යතා, ගෝලීය ධනවාදයේ ආර්ථික ප‍්‍රතිපත්තිවල බලපෑම, මානව හිමිකම් හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය වැනි හර පද්ධති කෙතරම් දුරට තවදුරටත් වලංගු වේද යන ප‍්‍රශ්නය සියල්ලන් ඉදිරියේ තිබේ.
ලංකාවේ දේශපාලනය දෙස ගතානුගතික ඇසකින් බැලූ විට පෙනෙන්නේ රජය කොටි සංවිධානය පැරදවීමෙන් පසු දෙමළ ජනයාගේ යුක්තියුක්ත ඉල්ලීම් වෙත අවධානය යොමු කළ යුතු බවයි. සරළව කිවහොත්, ඒ අනුව, ඊළඟ පියවර විය යුත්තේ බලය බෙදීමකි. එහෙත්, අද වන විට එවැනි සම්ප‍්‍රදායකින් කටයුතු කිරීමේ අවශ්‍යතාවක් රජයට තිබේද යන ප‍්‍රශ්නය පැන නැගී තිබේ. ඒ අන්දමින් කටයුතු කරයිද නොකරයිද යන්න නිරීක්ෂණය කරන්නේ කවුරුද? ඒ සඳහා තිබෙන ලෝක ව්‍යූහයන් මොනවාද? සිවිල් සමාජ සංවිධානවල හ`ඩට රජය සවන් දිය යුත්තේ කුමටද? සවන් නොදීම නිසා රජයට සිදු වූ පාඩුව කුමක්ද?
ලංකාවේ දේශපාලනය ඉදිරියේ මේ මොහොතේ ඇත්තේ එවැනි පසුබිමකි. අද්‍යතන සිංහල ජාතික ව්‍යාපාරය වනාහි දෙමළ ‘ජාතියක’ පැවැත්ම පිළි ගන්නා එකක් නොවේ. නැවත අප ගමන් කරනු ඇත්තේ ‘දෙමළ ජනයාට ඇති ප‍්‍රශ්නය කුමක්ද?’ යන පැනය මතු කරන තැනකට මිස ‘ජාතික ප‍්‍රශ්නයට’ විසඳුම් සොයන තැනකට නොවේ. රජය එකී බලපෑමෙන් මුදවා ගැනීමට සමත් ශක්තිමත් බලවේග ඇතුළත හෝ පිටත තිබේද යන්න ගැටලූවකි.
ඔබේ අදහස්
විකල්ප ඊමේල් ලිපිනය: w3lanka@gmail.com
|
|
|