|
|
|
|
|
මුලතිව්, 2009 ජනවාරි 27 (රොයිටර්)
|
බියකරු සුන්දරත්වයක් ඉපිද ඇත
(අජිත් පැරකුම් ජයසිංහ)
1916 පාස්කු කැරැල්ල අසාර්ථක වීමෙන් පසු අයිරිෂ් ජාතික ඩබ්ලිව්. බී. යීට්ස් කවියා මෙසේ කීවේය. 'සියල්ල වෙනස් වී ඇත, මුළුමනින්ම. බියකරු සුන්දරත්වයක් ඉපිද ඇත.' ඉන් වසර කීපයකට පසු අයර්ලන්ත ජනරජය බිහි විය.
යීට්ස්ගේ මෙම කවි දෙපදය වත්මන් ලාංකීය දේශපාලන යථාර්ථයටද කදිමට පෑහේ. රජයත්, කොටි සංවිධානයත් අතර යුදමය බලතුලනය රජයට වාසිදායක අන්දමින් වෙනස් වීම තවත් වෙනස් වීම් රැසකට මුල පුරා තිබේ. ඒ මොනවාද?
කොටි සංවිධානය වැනි රාජ්‍ය විරෝධී ව්‍යාපාර බිහි වීම සඳහා හේතුභූත වන දේශපාලන, ආර්ථික හා සාමාජික සාධක පවතින තාක් කල් ඒවා මර්දනය කළ නොහැකිය යන මතයට රජය අභියෝග කර තිබේ. ඒ සමගම ලංකාවේ ජාතීන්ගේ ප‍්‍රශ්නයට අදාළව බලය බෙදීම පිළිබඳ පැවති කතිකාවන් මුළුමනින්ම නිහඬ කර ඇත. දෙමළ ජනයාගේ ස්වයං නිර්ණ අයිතිය මත පදනම් වූ ස්වාධීන දෙමළ රාජ්‍ය සංකල්පය මිථ්‍යාවක් බව ඔප්පු කළ බවට රජය උදම් අනයි.
රජයත්, කොටි සංවිධානයත් අතර යුද්ධය පැවතුණේ රණබිමේ පමණක් නොවේ. ජනමත ගොඩනැගීමේ පෙරමුණේද දැවැන්ත සටනක් තිබිණි. සිංහල සමාජය තුළ මෙම යුද්ධය පවතින්නේ යයි බැලූ බැල්මට පෙනුණේ සිංහල මූලික ඒකීය රාජ්‍යය රැකගැනීමට වෙහෙසෙන සිංහල ජාතිකවාදීන් සහ එකී රාජ්‍යයේ මූලික හැඩතල බලය බෙදාගැනීමේ රාජ්‍ය ප‍්‍රතිසංස්කරණයක් ඔස්සේ වෙනස් කරන ලෙස ඉල්ලා සිටි බලවේගය අතරයි. දෙවනුව කී බලවේගය සිංහල ජාතිකවාදීන් විසින් හැමවිටම හඳුන්වා දෙනු ලැබුවේ ‘කොටි හිතවාදී, බටහිර ගැති‘ ආදී විශේෂණ පද සහිතවයි. එහෙත් සත්තකින්ම කොටි සංවිධානය වැඩි සෙනෙහසක් දැක්වූයේ මෙම බලවේගයට නොව සිංහල වාර්ගික ස්වෝත්තමවාදීන්ටයි. දෙමළ ජාතිකවාදීන් බලය බෙදාගැනීමේ යෝජනා දුටුවේ දෙමළ ඊලම නම් අනම්‍ය සටන් පාඨය පෙරමුණට ගැනීම සඳහා බාධක ලෙසයි. ඒ වෙනුවට සිංහල සමාජය සම්මුති විරහිත ලෙස වැඩි වැඩියෙන් ජාතිවාදී වීම ඔවුන් සැලකුවේ තම අරගළයට ආශිර්වාදයක් ලෙසයි. තම ඉල්ලීම ලෝක ප‍්‍රජාව හමුවේ සාධාරණීකරණය කරගැනීම සඳහාත්, තම අරගළයට ලෝක සහාය දිනාගැනීම සඳහාත් එය උපකාරීවනු ඇතැයි ඔවුහු සිතූහ. මේ උපායමාර්ගය කෙතරම් දුරට සාර්ථකද?
කොටි සංවිධානය පරාජයට පත් කරමින් රජය අත් කරගත් ජයග‍්‍රහණයත් සමග දැන් සිංහල සමාජය ජාතිකවාදයේ අන්තයටම තල්ලූ කර දමා තිබේ. බලය බෙදාගැනීම් වැනි මාතෘකාවලට මේ මොහොතේ සිංහල සමාජයේ වේදිකාවන් නැත. ඊලාම් රාජ්‍ය ඉල්ලීම සාධාරණීකරණය කරගැනීම සඳහා පසුබිමක් ඒ ඔස්සේ නිර්මානය වේදැයි පැහැදිලි නැත.
අලූත් සංදර්භය තුළ පවතිනු ඇත්තේ මිලිටරි වශයෙන් පොඩිපට්ටම් කරන ලද කොටි සංවිධානයකි. යුද බලයෙන් යටපත් කර ගන්නා ලද, බලාපොරොත්තු සුන් වූ දෙමළ ජනතාවකි. සිංහල රාජ්‍යය හමුවේ ඇති අභියෝගය වන්නේ යටත් කර ගත් මෙම ජනතාව රාජ්‍යය වෙත දිනා ගන්නේ කෙසේද යන්නයි. සිංහල සමාජයේ ගොඩනැගෙමින් තිබෙන තත්වයන් හේතුවෙන් ඒකීය රාජ්‍යය ප‍්‍රතිසංස්කරණය කිරීමටත් බැරි පසුබිමක හිඳිමින් දෙමළ ජනයා දිනා ගන්නේ කෙසේද? රජය හා (වාමාංශිකයන්ද ඇතූළත්) එහි හවුල්කරුවන් විසඳුම ලෙස දකින්නේ සංවර්ධනය හෙවත් ධනවාදය අරගළකාරී විභවයන් සහිත ජනතාව වෙතට ගෙන යාමයි. දශක තුනක යුද්ධයකින් බැට කමින්, මැරි මැරී ඉපදෙමින් සිටින දිළිඳු දෙමළ ජනයා ධනවාදයේ මෙම ෂෙල් ප‍්‍රහාරයට කෙසේ ප‍්‍රතිචාර දක්වනු ඇද්ද යන්න ඉතා වැදගත්ය. මන්ද, දෙමළ ජාතිකවාදය වෙනුවෙන් මැරෙන්නට සහ මරාගෙන මැරෙන්නට සටන්කරුවන් නිර්මානය වන්නේ වන්නියේ හා මඩකලපුවේ දිළිඳුකම තුළින් මිස විදෙස්ගත දෙමළ ප‍්‍රජාව තුළින් නොවන හෙයිනි.
පුල්මුඩේ ඉල්මනයිට් නිධිය කුණුකොල්ලෙට විකිණෙන, සාම්පූර්හි ගල් අඟුරු බලාගාර ඉදි වන, නැගෙනහිර වෙරළ සංචාරක කරමාන්තයට සවි වන, මුහුද විදෙස් ධීවර නැව්වලට විකිණෙන, යාපනයට යළි දුම්රිය හා මහාමාර්ග ඉදි වන, ලංකාවේ ‘සිලිකන් වැලිය’ හෙවත් තොරතුරු තාක්ෂණ අගනගරය යාපනයේ ඉදි වන, ඉන්දියාවට පාලම් වැටෙන ධනවාදය හමුවේ අරගළ සංදර්භයද වෙනස් වනු ඇත.
වර්තමානය බියකරු සුන්දරත්වයක් වන්නේ මහා ලේ වැගිරීම් මැදින් හෝ ඉතිහාසය මෙතෙක් බලෙන් අල්ලා නවතාගෙන සිටි පිම්මක් පනිමින් සිටින බැවිනි. අලූත් වන අභියෝග හමුවේ අරගළද අලූත් විය යුතුය. ඒ සඳහා ජාතිකවාදයෙන් ඔබ්බට යන මානවවාදී දැක්මකින් සිංහල, දෙමළ, මුස්ලිම් ආදී සියලූ ප‍්‍රජාවන්ගේ ප‍්‍රගතිශීලී බලවේග පෝෂණය විය යුතුය.
ඔබේ අදහස්
විකල්ප ඊමේල් ලිපිනය: w3lanka@gmail.com
|
|
|