|
|
|
|
|
වන්නිය
|
යුද ජයග‍්‍රහණ දේශපාලන ජයග‍්‍රහණ බවට පත් කරගැනීම
(අජිත් පැරකුම් ජයසිංහ)
කොටි සංවිධානයේ සම්ප‍්‍රදායික යුදමය හැකියාවන් විනාශ වී ඇති බව දැන් ඉතා පැහැදිලිය. කොටි සංවිධානයට ඇති පක්ෂපාතිත්වය නිසා හෝ රජයේ පාලනය යටතේ මර්දනයට හා කඳවුරු ජීවිතයට ඇති බිය නිසා හෝ කොටි සංවිධානයට ඇති බිය නිසා හෝ තවමත් කොටි පාලන ප‍්‍රදේශවල රැඳී සිටින ජනතාව සිය ගණනින් මිය යමින්, අතපය අහිමි වෙමින්, කෑම, වතුර, බෙහෙත්, සනීපාරක්ෂාව නොමැතිව අපා දුක් විඳින බව දැන් ලොව පුරා ප‍්‍රසිද්ධ වී තිබේ.
ලෝකයේ ප‍්‍රධාන පෙළේ ජනමාධ්‍ය හැමෙකකම පාහේ ලංකාවේ යුද්ධය පිළිබඳ මේ දිනවල වාර්තා පළ වෙමින් තිබේ. රජය විසින් පණවා තිබෙන දැඩි මාධ්‍ය වාරණය රජයේ යුදමය ව්‍යාපෘතියට වාසිදායක වන මුත්, එයින් රජයේ ප‍්‍රතිරූපයට සිදු වී ඇති හානිය සුළු පටු නොවේ. ලංකාවේ යුද්ධය බෙහෙවින්ම අඩුවෙන් වාර්තාගත වී ඇති එකක් බව එක්සත් ජාතීන්ගේ මහලේකම් බෑන් කී-මූන් පවා පසුගියදා ප‍්‍රකාශ කළේය.
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය දක්වා බොහෝ රාජ්‍ය තාන්ත‍්‍රික තලවලද ලංකාවේ යුද්ධය පිළිබඳ කාරණා මතු වෙමින් යට යමින් තිබේ. දැන් යුද්ධය සිදුවෙමින් පවතින්නේ විශාල ජනගහණයක් වාසය කරන කොටි සංවිධානයේ අවසන් බල ප‍්‍රදේශ තුළයි. රජය මෙන්ම කොටි සංවිධානයද යුද්ධයට මැදි වී සිටින මෙම අසරණ ජනතාව දෙස බලන්නේ යුදමය ඇසකිනි. ඔවුන්ගේ අරමුණ කොපමණ ජීවිත සංඛ්‍යාවක් මතින් හෝ තම ඉලක්කය කරා යාමයි.
රජය මේ මොහොතේ උත්සාහ කරමින් සිටින්නේ හැකි ඉක්මණින් මුළු කොටි පාලන ප‍්‍රදේශයම සියතට ගෙන යුද්ධයේ අවසානය ප‍්‍රකාශයට පත් කරමින් හානි වන මිනිස් ජීවිත පිළිබඳ රටට බැහැරින් මතු වන විරෝධය සමනය කරගැනීමටයි. කොටි සංවිධානය උත්සාහ කරන්නේ තම පරාජය හැකි තරම් කාලයකට කල් දමාගැනීමටයි. ජන ඝනත්වය වැඩි ප‍්‍රදේශවල සිදු වන යුද්ධයේදී සිවිල් වැසියන්ගේ ජීිවිත හානි වැඩි වන විට ජාත්‍යන්තර ප‍්‍රජාවට ලංකාවේ ප‍්‍රශ්නයට මැදිහත් නොවී සිටීමට බැරි වනු ඇතැයි කොටි සංවිධානය සිතන බවක් පෙනේ.
රජයට සම්බන්ධ සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී චින්තකයකු වන කරුණාරත්න පරණවිතාන දිවයින පුවත්පතේ පසුගිය සතියේ සිය තීරු ලිපියෙහි වැදගත් සඳහනක් කළේය. එලිෆන්ට්පාස් ජයගැනීම වැනි යුදමය ජයග‍්‍රහණ දේශපාලන ජයග‍්‍රහණ බවට පත් කරගැනීමට කොටි සංවිධානය අසමත් වූ බව පෙන්වා දෙන හේ එම කරුණ රජයටද අදාළ බව පවසයි. රජයත් කොටි සංවිධානයත් යන දෙපාර්ශ්වයම සාමයේ හිරවීම පියමං කිරීම සඳහා යුද්ධය නම් සූදුවට ඔට්ටු තැබූ බව 2003 වසරේ සිට දේශපාලන වර්ධනයන් අධ්‍යයනය කර බැලූ විට පැහැදිලිව දැකිය හැකිය. රජයේ හමුදා සමග සන්සන්දනය කළ කල යුදමය වශයෙන් දැඩි ලෙස අසමතුලිත මට්ටමක සිටියදී පවා කොටි සංවිධානය යුද්ධය තෝරා ගත්තේ ඇතැම්විට යුද ගැටුම් තීව‍්‍ර වන විට ඇති වන ජාත්‍යන්තර බලපෑම් ඔස්සේ කිසියම් සුසමාදර්ශීය වෙනසක් සිදු වනු ඇතයි අපේකෂාවෙන් විය හැකිය. එහෙත් කොටින්ට එරෙහි යුද්ධය සඳහා රජයට ජාත්‍යන්තර ප‍්‍රජාවගෙන් බලාපොරොත්තු වූවාටත් වඩා සහයෝගයක් ලැබිණි. දෙමළ ජනයාගේ ප‍්‍රශ්නය පිළිබඳ පුළුල් සංවේදීභාවයක් ජාත්‍යන්තරව ඇති වෙදිදී පවා රාජ්‍ය තාන්ත‍්‍රික මට්ටමෙන් කිසිදු සානුකම්පාවක් දිනාගැනීමට කොටි සංවිධානය අසමත් වී ඇත.
ලංකාවේ ප‍්‍රශ්නය සම්ප‍්‍රදායික යුද්ධයෙන් කොටි සංවිධානය පැරදවූ පමණින් අවසන් වන්නේ නැත. කොටි සංවිධානය ගරිල්ලා යුද්ධයේදී කොපමණ සාර්ථක වේද, නොවේද යන්න හෝ පශ්චාත් කොටි වකවානුවකදී සෙසු දෙමළ දේශපාලන බලෙවේගවල මැදිහත්වීමේ ස්වභාවය හෝ මෙතැනදී එතරම් දුරට අදාළ නොවේ. වැදගත් වන්නේ යුදමය ජයග‍්‍රහණ දේශපාලන ජයග‍්‍රහණ බවට පත් කරගැනීමට රජය කෙතරම් දුරට සමත් වන්නේද යන්නයි.
රජයට ලබා ගත හැකි දේශපාලන ජයග‍්‍රහණ මොනවාද? ලංකාවේ දෙමළ ජනයාගේ දේශපාලන ප‍්‍රශ්නය මේ යුද්ධයත් සමග වැඩි වැඩියෙන් ජාත්‍යන්තරීකරණය විය. එවැනි සංදර්භයක් තුළ ලංකාවේ දෙමළ ජනයාට ප‍්‍රශ්නයක් නැත යන ස්ථාවරයේ සිට රජයකට කටයුතු කළ නොහැකිය. මහින්ද රාජපක්ෂ රජය මෙතෙක් සේ ප‍්‍රකාශ කර ඇත්තේද නැත. එහෙත්, ලංකාවේ ජාතික ප‍්‍රශ්නයට අදාළව රජය යෝජනා කරන දේශපාලන විසඳුම කුමක්ද යන ගැටළුව මෙහිදී මතු වේ. කොටි සංවිධානය පරාජය කර යුද්ධය අවසන් බව ප‍්‍රකාශයට පත් කිරීමෙන් පසු විසඳුම දිනෙන් දින කල් දැමීමේ යල්පැනගිය උපායමාර්ගය තවදුරටත් නිදහසේ අනුගමනය කිරීම පහසු වන්නේ නැත. විසඳුමට බාධාව වූයේ වෙනම රාජ්‍යය හැර අන් කිසිවක් නොපිළිගන්නා කොටි සංවිධානය නම්, එකී බාධාව ඉවත් කිරීමෙන් පසු විසඳුම තවදුරටත් කල් දැමිය නොහැකි වනු ඇත.
පළාත් සභාවලට හිමි බලතලවත් ලබා දීමට පැකිළෙන රජය හමුවේ ඇති අභියෝගය වන්නේ දෙමළ ජාතිකවාදීන් සතුටු කළ හැකි විසඳුමක් ලබා දීමයි. දෙමළ ජනතාව, විශේෂයෙන්ම යුද්ධයේ ආදීනව භුක්ති විඳි දේශීය ජනයා, හෙම්බත්ව සිටින බව ඇත්තමුත්, ඔවුන් සිතන ආකාරය රූපවාහිනී කැමරාවලට කියවා ගන්නා ප‍්‍රකාශ ඔස්සේ නිගමනය කළ නොහැකිය. දෙමළ ජාතිකවාදීන්ට තවමත් තම සරු පස අහිමි වී නැත. වුනට අහිමි වී ඇත්තේ මිලිටරි බලය හා විකල්ප රාජ්‍ය සැකැස්ම පමණි.
ලංකාවේ දෙමළ ප‍්‍රශ්නය පිළිබඳ කතා කරමින් ලෝක ප‍්‍රකට බුද්ධිමතකු වන නෝම් චොම්ස්කි පවසන්නේ යම් ආකාරයක ස්වපාලනයක් හෝ ශ‍්‍රීලංකා රාජ්‍යය තුළ ස්වයං නිර්ණයක් හරහා දෙමළ ජනයාගේ වලංගු ඉල්ලීම් පිළිගන්නා දේශපාලන විසඳුමක් ලබා දිය යුතු බවයි. (---to arrive at some kind of political solution that gives a recognition to the valid claims for some form of autonomy or self determination within the Sri Lankan state.- Sri Lanka Guardian's Washington correspondent Eric Bailey interviews Noam Chomsky, February 16, 2009 - Znet)
යුදමය ජයග‍්‍රහණ දේශපාලන ජයග‍්‍රහණ බවට පත් කරගැනීමට රජයට ඇති මාර්ගය පිළිබඳ අදහසක් එම ප‍්‍රකාශයෙහි අඩංගු වන බව අපේ විශ්වාසයයි. එහෙත් ඒ සඳහා සිංහල වාර්ගික ආධිපත්‍යවාදයේ බලපෑමෙන් මිදීමේ ආත්ම ශක්තියක් රාජ්‍ය පාලකයන්ට තිබිය යුතුය.
ඔබේ අදහස්
විකල්ප ඊමේල් ලිපිනය: w3lanka@gmail.com
Sinhala Unicode gena nodanna kenekuta meka hari prayojanawath. Thank you!
-Nihal Lasantha, Canada
ඔබගේ වෙබ් ෆෝම් එකේ සිංහල යුනිකෝඩ් ටයිප් කරන්න කියා නැත්තේ ඇයි?
-උත්පලා පෙරේරා, කොළඹ
සමාවෙන්න. අපගේ හොස්ටින් සේවා සපයන ආයතනයේ ගැටළුවක් නිසා යුනිකෝඩ් අකුරු සහිත ඊමේල් අපගේ වෙබ් විද්‍යුත් ලිපිනයෙන් කියවන්න අමාරුයි. අපි එය ඉක්මණින් නිවැරදි කරනවා. -සංස්කාරක
|
|
|