W3lanka.com

 
NEWS IN
ENGLISH


school children in Vavuniya

තාවකාලික පාසලක සිට ආපසු එමින් සිටින වන්නියෙන් අවතැන්ව වවුනියාවේ අනාථ කඳවුරක වෙසෙන ළමයි

රණහඬ මැදින් ජාතික ප‍්‍රශ්න ජාත්‍යන්තර වීම

(අජිත් පැරකුම් ජයසිංහ)
කොටි සංවිධානයේ අසාර්ථක මරාගෙන මැරෙන ගුවන් ප‍්‍රහාරය සම්ප‍්‍රදායික යුද්ධයෙන් ගෞරවනීය පරාජයක් සළකුණු කිරීමේ ප‍්‍රයත්නයක් ලෙස හඳුනාගත හැකිය. එම ප‍්‍රහාරයද ඇතුළු කොටින්ගේ යුදමය ප‍්‍රතික‍්‍රියා විසින් පළ කරන ලද සටන්කාමිත්වය හා සමාන්තරව ලංකාවේ ජාතික ප‍්‍රශ්නය විෂයෙහි ජාත්‍යන්තර බලවේගවල ප‍්‍රතිචාරයෙහිද යම් වෙනස් වීමක් පසුගිය සතියේ දක්නට ලැබිණි. යුද මෙහෙයුම් සම්බන්ධයෙන් ලංකා රජයට බලපෑම් කිරීමේ හැකියාවක් ඉන්දියාවට නැතැයි කලින් ප‍්‍රකාශ කළ ඉන්දීය විදේශ ඇමති ප‍්‍රනාබ් මුඛර්ජි පැය 72කට පසු සපුරා වෙනස් ප‍්‍රකාශයක් කරමින් යුදමය ක‍්‍රියාමාර්ග සාර්ථක නොවන බව සහ දෙපාර්ශ්වය සාකච්ඡා කළ යුතු බව පැවසීය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බෑන් කී-මූන්ද ලංකාවේ ප‍්‍රශ්නය ගැන කතා කරමින් දේපාර්ශ්වය ‘සටන් නැවැත්වීමක්‘ කළ යුතු බව ප‍්‍රකාශ කළේ 'සටන් විරාමය' යන වචනය මගහැර යමිනි. අර්බුදය විධිමත් අන්දමින් විසඳීම සඳහා දේශපාලන සාකච්ඡාවක අවශ්‍යතාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ පැරණි ස්ථාවරය නැවත ප‍්‍රකාශ කිරීමටද මූන් අමතක නොකළේය. යුරෝපා සංගමයද යුද්ධයට මැදි වූ සිවිල් වැසියන්ට සහන සැලසීම පිණිස සටන් විරාමයක් ඉල්ලා සිටියේය. ඇමරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළේද දෙපාර්ශ්වය සාකච්ඡා කළ යුතු බවයි.

දෙමළ ජනයා දුක් විඳිද්දී ජාත්‍යන්තර ප‍්‍රජාව නිහඬව සිටින බවට චෝදනා කරමින්, ඒ ජනයා වෙනුවෙන් කොටි සංවිධානය සටන් විරාමයක් ඉල්ලා සිටියේ කොටින් නිරවිකරණය කිරීමට වඩා සටන් විරාමය හා දේශපාලන විසඳුමක් ආරම්භ කිරීම කෙරෙහි ජාත්‍යන්තර ප‍්‍රජාවගේ අවධානය යොමු විය යුතු බව අවධාරණය කරමිනි. රජය කොටින්ගේ සටන් විරාම ඉල්ලීම වහා ප‍්‍රතික්ෂේප කළේ අවි බිම තබන තෙක් සටන් සිදු වනු අතැයි පවසමිනි. අගමැතිවරයා ප‍්‍රකාශයක් කරමින් ලංකාව සටන් විරාමයක් සඳහා වූ ජාත්‍යන්තර බලපෑම්වලට යට නොවන බව දැඩි ස්වරයෙන් පැවසීය.

කොටි සංවිධානය පුදුකුඩිඉරුප්පු ප‍්‍රදේශයේ ඉදිරියට යමින් සිටින හමුදාවට දැඩි ප‍්‍රතිරෝධයක් එල්ල කරමින් සිටින බව කොටි හිතවාදී මාධ්‍යවල වාර්තා සහ රජයේ යුද නායකයන්ගේ ප‍්‍රකාශ තුලනාත්මකව අධ්‍යයනය කළ විට වටහාගත හැකිය. පෙබරවාරි මස මුලහරියේදී පුදුකුඩිඉරුප්පු නගරය අල්ලාගැනීමට හමුදාව දැරූ ප‍්‍රයත්නය්දී කොටි සංවිධානයෙන් දැඩි ප‍්‍රතිරෝධයක් එල්ල වූ බව ආරක්ෂක ලේකම්වරයා පුවත්පතක් සමග කළ සම්මුඛ සාකච්ඡාවකදී පැවසීය. යුද්ධය මේ මොහොතේ අවතීර්ණ වෙමින් පවතින්නේ කොටින්ගේ, රජයේ සහ ජාත්‍යන්තර බලවේගවල දරාගැනීමේ හැකියාව තියුණු පරීක්ෂාවකට ලක් වන අදියරකටයි. විවිධ මට්ටම්වලින් යුදවාදී වූ ඉහත කී බලවේග තුන මුහුණ දෙන්නේ යුද්ධයට මැදි වී අනන්ත පීඩා විඳිමින් සාමය ඉල්ලා හඬන වන්නියේ සිවිල් වැසියන්ගේ ඉරණම කෙරෙහි ලෝක ප‍්‍රජාව තුළ ගොඩනැගෙමින් තිබෙන සංවේදීභාවයටයි.

යුදමය මර්දනය ඔස්සේ ලංකාවේ ජාතීන්ගේ ප‍්‍රශ්නය යටපත් කිරීමට සිංහල ජාතිකවාදී බලවේග දැරූ ප‍්‍රයත්නය සාර්ථක වී ඇති බවක් නොපෙනේ. යුද්ධය නිසා සත්තකින්ම සිදු වී තිබෙන්නේ ලංකාවේ ජාතික ප‍්‍රශ්නය වැඩි වැඩියෙන් ජාත්‍යන්තරකරණය වීමයි. කොටි සංවිධානය යුදමය වශයෙන් පසුබැස්වීම තුළ ලංකාවේ ජාතික ප‍්‍රශ්නයට වෙනම රාජ්‍යය හැර අන් විසඳුමක් නැත යන මතවාදයද පරාජය කර තිබේ. එහෙත්, ඒ සමගම සිංහල වාර්ගික ආධිපත්‍යවාදී ඒකීය රාජ්‍ය මතවාදයද පරාජය වී තිබේ. ලෝක දෙමළ ප‍්‍රජාව සඳහා රාජ්‍යයක් දිනාගැනීමේ අරගළයක් ලෙස තම අරගළය නැවත අර්ථකථනය කරගැනීමේ ප‍්‍රයත්නයක් කොටි සංවිධානය විසින් දැනටමත් ආරම්භ කර තිබේ. එහි මුල් අදියර තමිල්නාඩු ජනයා දිනාගැනීමට කොටි ප‍්‍රබල උත්සාහයක යෙදී සිටිති. ලංකාවේ රජය හා ඉන්දියාව දෙමළ ප‍්‍රශ්නයට සාධාරණ විසඳුමක් ලබාදීමට තවදුරටත් අසමත් වුවහොත් එහි වාසියද කොටි සංවිධානයට හිමි වීම වැළැක්විය නොහැකිය.

මේ අතරතුර දක්නට ලැබෙන තවත් වර්ධනයක් වන්නේ මහින්ද රාජපක්ෂ රජය ධනේශ්වර පාලනයක් ලෙස ශක්තිමත් වන්නට දරන උත්සාහයයි. රජය කොටින්ගෙන් අල්ලා ගත් නැගෙනහිර ප‍්‍රදේශවල සංවර්ධන කටයුතු සඳහා ඉන්දියාව සමග පුළුල් සහයෝගයකින් කටයුතු කරයි. සාම්පූර්හි ඉදි කිරීමට යෝජිත ඉන්දු-ලංකා හවුල් ගල් අ`ගුරු බලාගාරයේ ඉදිකිරීම් වැඩබිම බලන්නට ලංකාවේ ඉන්දීය තානාපති ආලෝක් ප‍්‍රසාද් පසුගියදා ගියේය. රට මුහුණ දී ඇති විදේශ විනිමය හිඟය හමුවේ පසුගිය සමයේ ජාතික ආර්ථික සංකල්පවල බලපෑම තුළ අත්හිටුවා තිබුණු ඇතැම් ව්‍යාපෘති යළි ආරම්භ කිරීමට රජය කටයුතු යොදා තිබේ. ඒ අනුව ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 750ක ණය මුදලක් ලබාගැනීම සඳහා විදුලිබල මණ්ඩලය ප‍්‍රතිව්‍යුහගත කිරීමේ සැලැස්ම ක‍්‍රියාත්මක කිරීමට රජය මුලපුරා ඇත. යුද්ධයෙන් ලබාගත් ශක්තිය මත, ජවිපෙ දේශපාලන නායකත්වය සපයන වෘත්තීය සමිතිවල විරෝධය නොතකා කටයුතු කිරීමට රජය සූදානම් වෙමින් සිටියි. මේ සඳහා නව විදුලි බල පනතක් මාර්තු 03දා පාර්ලිමේන්තුවේ සම්මත කරගැනීමට රජය අදහස් කරයි.

ලෝක ජනමතය තුළ ලංකාවේ දෙමළ ජනයාගේ ප‍්‍රශ්නය පිළිබඳ ඇති වී තිබෙන සංවේදීභාවය හේකුවෙන් එක්සත් ජාතීන්, යුරෝපා සංගමය, එක්සත් ජනපදය, ජපානය හා ඉන්දියාව වැනි ජාත්‍යන්තර බලවේග ජාතීන්ගේ ප‍්‍රශ්නයට සාධාරණ විසඳුමක් ලබා දෙන ලෙස රජයට බල කරමින් සිටියි. යුද්ධය නිසා ලක්ෂ ගණනින් අවතැන් වී සිටින්නන් පුනරුත්ථාපනය කිරීමේ කාර්යයේ පටන් බොහෝ කටයුතුවලට රජයට මෙම බලවේගවල ආර්ථික සහයෝගය අවශ්‍යය. අඩු තරමේ ආර්ථිකය පවත්වාගෙන යාමට හෝ විදේශ විනිමය ඕනෑ වී තිබේ. වාර්ගික ආධිපත්‍යවාදය විසින් මේ ප‍්‍රශ්නවලට විසඳුම් සපයන්නේ නැති බැවින් ජාත්‍යන්තර බලවේගවලට සවන් දීමට රජයට සිදු වී තිබේ. මේ සියලූ තත්වයන් මැද, පටු වර්ගවාදයෙන් මිදී ශක්තිමත් ධනේශ්වර පාලනයක් ලෙස මතු වීමට ඇත්ත උවමනාවක් තිබේ නම්, ඒ සඳහා මෑත ඉතිහාසයේ අන් කවර පාලනයකටවත් නොලැබුනු අන්දමේ අවස්ථාවක්ද වත්මන් රජයට උදා වී ඇති බව වර්ගවාදයෙන් පෝෂණය වූ සියලූ බලවේග කහල ගොඩට තල්ලූ වූ මෑතකාලීන යුද හා මැතිවරණ ප‍්‍රතිඵලවලින් ප‍්‍රකාශයට පත් වේ.

ඔබේ අදහස්
විකල්ප ඊමේල් ලිපිනය: w3lanka@gmail.com

First Name:

Last Name:

Your email:

Comments:

© POWERED BY W3LANKA