W3lanka.com

NEWS IN
ENGLISH

යුද්ධයේ මීළඟ අදියර

අජිත් පැරකුම් ජයසිංහ
අප මේ දකිමින් සිටින්නේ දිවයිනේ ඉතිහාසයේ ප‍්‍රචණ්ඩම කැරැුල්ල පෙර නොවූ විරූ ආකාරයකින් මර්දනයට ලක් කරමින් තිබෙන ආකාරයයි. ලාංකීය දෙමළ සමාජය සිය ජාතික විමුක්තිය ලෙස සලකන ඊලාම් රාජ්‍යය වෙනුවෙන් ගෙවමින් සිටින මිළ අතිමහත්ය. එපමණක් නොව සමස්ත ලාංකීය සමාජයම මෙම යුද්ධයත් සමග විශාල පරිවර්තනයකට ලක් වෙමින් සිටියි. ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජ අවකාශය මත යුද්ධයේ ඝන අඳුරු සෙවණැල්ල තිරසර හා භයංකාර අන්දමින් පතිත වෙමින් ඇති අන්දම සිවිල් සමාජය නිහඬව නිරීක්ෂණය කරමින් සිටියි. සාමාන්‍ය ජනතාව වන අපි හිරි වැටුණු මනසින් යුතුව මළ මිනී වර්ග කරමින් සිටිමු. ලංකාව සර්ව සම්පූර්ණ දූපතක් පවට පත් කරමින් ලෝකය එතෙර සිට නිහඬව බලා සිටියි.

යුද්ධයෙන් පසු බිහි වන නවමු දේශයේ අරුණලූ සංකේතවත් කරමින් අකුරැස්සේ බෝම්බයක් පිපිරී ගියේය. මගේ මතකය නිවැරදි නම්, ත‍්‍රස්ත ප‍්‍රහාරයකින් අකුරැුස්සේ මිනිසුන් මියගියේ 19 වසරකට පසුවයි. කොටි සංවිධානය වන්නියේදී සම්ප‍්‍රදායික යුද්ධයේ අවසානය සාමූහික මරාගෙන මැරෙන ප‍්‍රහාරවලින් සලකුණු කරන අතර අකුරැස්සේ බෝම්බයක් පිපිරවීමෙන් සංකේතවත් කරන්නට උත්සාහ දරන්නේ ඔවුන්ගේ යුද්ධයේ මීළඟ අදියරේ ස්වභාවය විය හැකිය. මුළු මහත් ලංකාවම අනාරක්ෂිත තත්වයකට පත් කරන්නට මරාගෙන මැරෙන බෝම්බකරුවන් හරහා ඔවුන් උත්සාහ කරනු ඇති බව පෙනේ.

රජය මෙම තත්වයට මුහුණ දීම සඳහා ආරක්ෂක ව්‍යූහය ප‍්‍රතිසංවිධානය කරනු ඇත. ඒ සඳහා ප‍්‍රභූ ආරක්ෂක විධිවිධාන තර කිරීමටද, මුරකපොලූ වැඩි කිරීමටද, හමුදාවලට සහ පොලීසියට තව තවත් සාමාජිකයන් බඳවාගැනීමටද, ජනතාව ත‍්‍රස්ත ප‍්‍රහාර වැළැක්වීම සඳහා නිරන්තර යුද සූදානමක තැබීමටද සිදු වනු ඇත.

ආරක්ෂක ලේකම්වරයා මීට සති කීපයකට පෙර මාධ්‍යවලට පවසා තිබුණේ යුද්ධයේ අවධි තුනක් ඇති බවයි. පළමු අදියර, දැනට කෙරෙමින් ඇති කොටි පාලන ප‍්‍රදේශ සියල්ල අත්පත් කරගැනීමේ අවධියයි. දෙවැන්න, ඉතිරි ගරිල්ලා ප‍්‍රතිරෝධය මුලිනුපුටා දැමීමයි. අවසන් අදියර වන්නේ ස්ථාවරභාවය තහවුරු කිරීමයි. කොටි සංවිධානයට ආපසු පැමිණීමට ඉඩක් ඉතිරි නොකරන බව ආරක්ෂක ලේකම්වරයා විදේශ ප‍්‍රවෘත්ති සේවයකට පවසා තිබිණි.

දැවැන්ත යුදමය පසුබෑමකට මුහුණ දී සිටින කොටි සංවිධානය යුද්ධයේ මීළඟ අදියරේදී භාවිතා කරන ප‍්‍රබලම අවිය බවට පත් වනු ඇත්තේ මරාගෙන මැරෙන බෝම්බකරුවා විය හැක. එවන් පසුබිමකදී ස්ථාවරභාවය තහවුරු කිරීම සඳහා රජයට දරන්නට සිදු වන පිරිවැය අධිකය. මුල්‍යමය වශයෙන් සලකා බැලූවහොත් කොටින්ට රටේ ආරක්ෂාව අවුල් කිරීම සඳහා දරන්නට වන්නේ අවම පිරිවැයකි. සමාජ දේශපාලනික වශයෙන් රෝගී ලාංකීය සමාජය මරාගෙන මැරෙන බෝම්බකරුවන් බිහිකරන කර්මාන්ත පුරයක් වෙමින් තිබේ. හුදෙක් ආරක්ෂක වියදම් වැඩි කළ පමණින් මෙම තත්වය වෙනස් කළ නොහැක. සමාජ, දේශපාලනික ප‍්‍රශ්න සඳහා විසඳුම් ලබාදිය යුතුය.

එය අති දැවැන්ත අභියෝගයකි. වත්මන් පාලනයට එය කළ හැකිද? මහින්ද රාජපක්ෂ රජයට ජාතීන්ගේ ප‍්‍රශ්නයට විසඳුම් ලබා දීමේ ලා බලය බෙදීමේ වැඩපිළිවෙලකට යාමට ජනවරමක් නැති බව ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු සිංහල ජාතිකවාදී බලවේගවල අදහසයි. රටේ ආර්ථික ප‍්‍රශ්නවලට විසඳුම් ලබා දීමේ සමත්කම ඇත්තේ තමනට බව එක්සත් ජාතික පක්ෂයේ තර්කයයි. එහෙත් එජාපයට තම අර්බුදයට විසඳුමක් නැත. නායකත්වයට අභියෝග කරන්නන් මිස, එජාපයට විකල්ප නායකයන් නැත.

යුද්ධයේ මහ දිග කතාව දිගහැරෙමින් තිබෙන අතරතුර අනෙක් පැත්තෙන් දැවැන්ත ආර්ථික අර්බුදයකටද රට මුහුණ දෙමින් සිටියි. උග‍්‍ර වෙමින් තිබෙන විදේශ විනිමය සංචිත ක්ෂය වී යාමේ මහා අර්බුදයට පිළියම් යෙදීමට රජය බලාපොරොත්තු වන ප‍්‍රධාන මාර්ගයක්ද වැටී ඇත්තේ යුද්ධය මැදිනි. උතුරේ අවතැන් වූවන් සඳහා කඳවුරු පවත්වාගෙන යාමට, බිම්බෝම්බ ඉවත් කිරීමට, යටිතල පහසුකම් සංවර්ධනයට හා යළි පදිංචි කිරීම් ආදිය සඳහා රජය ලබාගැනීමට බලාපොරොත්තු වන විදේශ ආධාර මෙම අර්බුදය පියමං කරගැනීමට ප‍්‍රධාන මාර්ගයකි.

ලංකාවේ ව්‍යපෘති අවසන් කර කාර්යාල වසා දමා යන්න ගිය ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග රජය දැන් නැවතත් සාකච්ඡා ආරම්භ කර තිබේ. ලබාගැනීමට අපේක්ෂා කරන රුපියල් කෝටි 22,000ක ණය මුදල වෙනුවෙන් කුමන කොන්දේසිවලට යටත් වන්නට රටට සිදු වේද යන්න අභිරහසකි. ලංකාවේ ස්වභාවික සම්පත් ඩැහැගැනීමට හා යුද්ධෝපායික හා ආර්ථික වශයෙන් ලංකාවේ පිහිටීමේ ඇති වැදගත්කම සිය වසඟයට ගැනීමට මාන බලන විදෙස් බලවේගවලින් රටේ ස්වෙරීත්වයට එල්ල වන්නේ දැඩි අභියෝගයකි.

මේ යුද්ධයෙන් පසුද ඇත්තේ තවත් යුද්ධ මිස සාමය නොවේ.

නිවහන් පිටුවට


ඔබේ අදහස්
විකල්ප ඊමේල් ලිපිනය: w3lanka@gmail.com

First Name:

Last Name:

Your email:

Comments:

© POWERED BY W3LANKA