W3lanka.com

NEWS IN
ENGLISH

යුද්ධයේ ජාත්‍යන්තර පෙරමුණ

අජිත් පැරකුම් ජයසිංහ
සතර වටින් මුහුදෙන් වට වී තිබුණද, දැඩි මාධ්‍ය පාලනයක් ඔස්සේ තොරතුරු එහා මෙහා යාම පාලනය කර තිබුණද, ලංකාවේ රජය ජාත්‍යන්තර දේශපාලනයේදී කෙතරම් සියුම් ලෙස කටයුතු කළද, යුද්ධයේ ගිගුරුම් හඬ හා මරණයේ පුළුටු ගඳ ලෝකයට දැනීම පාලනය කිරීම වත්මන් සංදර්භය තුළ අසීරුය. බෙහෙවින්ම ගෝලීයකරණය වූ නූතන ලෝකයේ ජාතීහු එතරම්ම එකිනෙකා සමග සම්බන්ධය. එකිනෙකා මත යැපෙති. විශේෂයෙන්ම, ලංකාව පිහිටා තිබෙන ස්ථානයේ තිබෙන දේශපාලනික, යුදමය හා ආර්ථික සුවිශේෂත්වය හේතුවෙන් මෙම දිවයින ඉතිහාසය මුළුල්ලේම දැඩි ලෙස ලෝකය හා බැඳී සිටි බවට පුරාවිද්‍යාත්මක සාධක දෙස් දෙයි. ලංකාවේ ජාතීන්ගේ ප‍්‍රශ්නය පූර්ණ වශයෙන් අභ්‍යන්තර ප‍්‍රශ්නයක් ලෙස අරුත් දැක්වීම හා ‘තනි තනිව ගහගෙන‘ ප‍්‍රශ්නය අවසන් කර ගැනීම අසීරු වන්නේ එබැවිනි.

ලංකාවේ ජාතීන්ගේ ප‍්‍රශ්නය හා අදාළවද ජාත්‍යන්තර පෙරමුණක් හැමදාමත් තිබිණි. ජාත්‍යන්තර බලවේග හමුවේ තම ක‍්‍රියාමාර්ගවල සාධාරණත්වය පෙන්වා දීමේ වැඩසටහන් හැමදාමත් දක්නට ලැබිණි. වර්තමාන යුද්ධයේ ජාත්‍යන්තර පෙරමුණේ සටන් සිදුවන්නේ ජාත්‍යන්තර මාධ්‍යවල අවධානය දිනාගැනීම, එක්සත් ජාතීන් වැනි ජාත්‍යන්තර සංවිධාන හමුවේ ලොබි කිරීම හෙවත් කරුණු කියාදීම හා රාජ්‍ය ප‍්‍රතිපත්තිවලට බලපෑම් කිරීම යනාදී තලයන්හිය.

මහින්ද රාජපක්ෂ රජය යුද්ධය හැසිරවීමෙහිදී කටයුතු කළ ආකාරය තුළ කොටි සංවිධානය පමණක් නොව ඉන්දියාවේ පටන් ඇමරිකාව දක්වා රටවල්ද යම් ආකාරයක අන්දමන්දභාවයකට පත්ව ඇතැයි කිවහොත් වැරදි නැත. සිංහල ජාතිකවාදී න්‍යායික ධාරාව විසින් බටහිර ආධිපත්‍යය ගැඹුරින් ප‍්‍රශ්න කරමින් රජයට ලබා දුන් අධ්‍යාත්මික ශක්තිය උපයෝගී කරගනිමින් ලංකාවේ රජය සම්ප‍්‍රදායික යුද්ධයේදී ඉතාම සම්ප‍්‍රදායික නොවන ආකාරයකින් කටයුතු කිරීමට සමත් විය. මහින්ද රාජපක්ෂ රජය යුද දේශපාලනික රාමුව සකසා ගත්තේ මානව හිමිකම්, යුද නීති ආදිය පිළිබඳ සම්භාව්‍ය පිළිගැනීම් පද්ධතියෙන් පරිබාහිරවය.

මෙම සම්ප‍්‍රදායික නොවන සම්ප‍්‍රදායික යුද්ධය හා ජාත්‍යන්තර දේශපාලනය අතර සම්බන්ධය හා ඝර්ෂණය සියුම් ලෙස හැසිරවීමටද ලංකාවේ රජය මෙතෙක් සමත් වී තිබේ. ජාත්‍යන්තර දේශපාලනයේ සංවර්ධනයන් කෙරෙහි නිරන්තර අවදියකින් කටයුතු කරන රජය අවශ්‍ය තැනදී ක්ෂණිකව මැදිහත්වීම සඳහා ක‍්‍රීඩකයන් සූදානම් කර තබා ඇත. තමන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලෙස තෝරා පත් වූ ආණ්ඩුවක්ය යන තර්කය හා දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය ත‍්‍රස්තවාදී සංවිධානයක්ය යන ලේබලය උපරිම අන්දමින් උපයෝගී කරගැනීමට රජයට හැකි විය. දේශපාලනික, ආර්ථික, යුදමය ආදී සෑම ආකාරයකින්ම ඉතාම සම්ප‍්‍රදායික නොවන ආකාරයෙන් කටයුතු කරන ගමන්, තමන් පිළිගත් ලෝක පද්ධතියේ කොටසක් බව හා කොටි සංවිධානය ක‍්‍රම විරෝධී ව්‍යාපාරයක්ය යන්න අවධාරණය කිරීම රජයේ ජාත්‍යන්තර දේශපාලන උපායමාර්ගය විය.

දෙමළ ජාතික අරගළයේ නායකත්වය පවරාගෙන සිටින කොටි සංවිධානය ජාත්‍යන්තර දේශපාලනයේදීද පරාජය කිරීමට රජය සමත් වූ බව අපේ නිරීක්ෂණයයි. එකින් එක රටවලට බලපෑම් කරමින් කොටි සංවිධානය එම රටවල තහනම් කරගැනීමටද, ඉන්පසු එම තහනමේ නීතිමය විධිවිධාන අනුව දෙමළ අරගළය හා සම්බන්ධ දේශපාලන ක‍්‍රියාකාරකම් මර්දනය කරවා ගැනීමටද, එතැනින් නොනැවතී දෙමළ අරගළයම ත‍්‍රස්තවාදයක් ලෙස නම් කිරීමටද රජය සමත් විය. එපමණක් නොව, ජාත්‍යන්තර දේශපාලනය ඉතා සියුම්ව අධ්‍යයනය කරමින්, අවශ්‍ය තැනදී නම්‍යශීලී වූද, තවත් තැනකදී ඉතා දැඩි වූද ප‍්‍රතිචාර ඔස්සේ ජාත්‍යන්තර බලපෑම් අකර්මන්‍ය කිරීමටද රජය සමත් විය. හොඳම නිදසුනක් නම්, ජාතීන්ගේ ප‍්‍රශ්නයට විසඳුම් යෝජනා කිරීම සඳහා පත් කර ඇති සර්ව පාක්ෂික නියෝජිත කමිටුව අවශ්‍ය තන්හිදී රජය දේශපාලන විසඳුමක් සඳහා ගමනක යෙදී සිටින බව ප‍්‍රදර්ශනය කිරීමට යොදා ගන්නා ආකාරයයි. මාක්ස්වාදීන්, සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදීන්, ලිබරල්වාදීන්, ජාතිවාදීන් පමණක් නොව දෙමළ ත‍්‍රස්තවාදීන්ගේ පවා කුසලතා තම උන්නතිය සඳහා බලමුළුගැන්වූ මහින්ද රාජපක්ෂ පාලනයේ පුළුල් දේශපාලන දක්ෂභාවය හමුවේ කොටි සංවිධානය කුරුමිටිකරණය වී තිබේ.

රජය මේ සියල්ලක්ම කිරීමට සමත් වූයේ ලෝක පද්ධතිය විසින් පිටුදැක තිබෙන වාර්ගික ආධිපත්‍යවාදයකුත් සිය රට තුළ පවත්වාගෙන යන ගමන් වීම හා ලංකාවේ දෙමළ ජනයාගේ ඉල්ලීම්වල යුක්තියුක්තභාවය පිළිබඳ ජාත්‍යන්තර පිළිගැනීමද වැඩිවෙමින් තිබෙන සංදර්භයක් තුළ වීම සුවිශේෂය.

මේ මොහොත වන විට, ලංකාවේ රජයට විවිධ ජාත්‍යන්තර තලවල සාකච්ඡා වෙමින් තිබෙන වර්ග සංහාර සහ යුද අපරාධ චෝදනා වනාහි නීතිමය වශයෙන් නැඟිය හැකි උපරිම ඒවායි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් නවී පිල්ලෛ මහත්මිය ලංකාවේ රජයේත් කොටි සංවිධානයේත් ඇතැම් ක‍්‍රියාකාරකම් මානව හිමිකම් හා මානුෂීය කටයුතු පිළිබඳ ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කරන බවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂමේ රැස්වීම අතරතුර කළ ප‍්‍රකාශය එහි උපරිම අවස්ථාවක් ලෙස සැලකිය හැකිය. එම චෝදනා මතු වෙද්දීම රජය විමල් වීරවංශ හරහා සිය ප‍්‍රතිචාරය වහා දැක්වූයේ ජනතාව වීදි බස්සන බවට හා එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලය වටලන බවට අනතුරු ඇඟවීමක් කරමිනි.

දෙමළ ජාතිකවාදී ධාරාව එයිනුත් එහා යමින් රජයට එරෙහිව මානව සංහාර චෝදනා මතු කිරීමට උත්සාහ දරමින සිටියි. 1948දී යෝජනා කරනු ලැබ, 1951දී එක්සත් ජාතීන් විසින් සම්මත කරගත්, ලංකාව විසින්ද 1950 ඔක්තෝබර් 12 දින පිළිගන්නා ලද මානව සංහාර අපරාධ වැළැක්වීමේ හා ද`ඩුවම් කිරීමේ ප‍්‍රඥප්තියේ දෙවන වගන්තිය අනුව, සංහාරය අර්ථකථනය කර තිබෙන්නේ, ජාතික, ජනවාර්ගික හෝ ආගමික කණ්ඩායමක් සම්පූර්ණයෙන් හෝ පාර්ශ්විකව විනාශ කිරීම අරමුණු කරගත් පහත සඳහන් ආකාරයේ ක‍්‍රියාය. එනම්, එම කණ්ඩායමේ සාමාජිකයන් ඝාතනය, බරපතල ශාරීරික හා මානසික හානි සිදුකිරීම, සම්පූර්ණයෙන් හෝ පාර්ශවිකව එම කණ්ඩායම භෞතිකව විනාශ වන තත්වයන් නිර්මානය කිරීම, කණ්ඩායම තුළ දරු උපත් වැළැක්වීමේ ක‍්‍රියාමාර්ග ගැනීම හා එම කණ්ඩායමේ ළමුන් බලෙන් වෙනත් කණ්ඩායම්වලට මාරුකිරීමයි. මෙම නීතිය යටතේ මුල්වරට වරදකරුවකු බවට පත්වුණේ රුවන්ඩාවේ ටාබා නගරාධිපතිව සිටි හුටු ජාතික ජීන්-පෝල් අකායෙසුය. ඒ 1998දීය. ලංකාවට විරුද්ධව මෙම චෝදනා යටතේ සංවාදයක් ආරම්භ වීමම වුව පරාජයකි.

කොටි සංවිධානය ජාතික විමුක්ති ව්‍යාපාරයකට වඩා ක‍්‍රම විරෝධී යුද දේශපාලන ව්‍යායාමයක් වීම දෙමළ අරගළයට ජාත්‍යන්තර පෙරමුණේදී බරපතල ගැටළුවකි. එසේම ජාතීන්ගේ ප‍්‍රශ්නයේදී විෂධ කර තිබෙන දෘඪතර සිංහල ආධිපත්‍යවාදය හා සුළුතර ප‍්‍රජාවන් සමග බලය බෙදාගැනීමට දක්වා තිබෙන අකැමැත්ත ලංකාවේ රජයටද ජාත්‍යන්තර දේශපාලනයේදී එතරමටම අවාසිදායක වී තිබේ.

පුවත් පිටුවට
නිවහන් පිටුවට


ඔබේ අදහස්
විකල්ප ඊමේල් ලිපිනය: w3lanka@gmail.com

First Name:

Last Name:

Your email:

Comments:

© POWERED BY W3LANKA