2009-08-31

තිස්සනායගම්ට විසි වසරක සිර දඬුවමක්

(2009 අගෝස්තු 31 - W3Lanka)  ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ චෝදනා ලැබ සිටි මාධ්‍යවේදී ජේ. එස් තිස්සනායගම්ට අද දින කොළඹ මහාධිකරණය විසින් විසි වසරක බරපතල වැඩ සහිත සිර දඬුවමක් නියම කරන ලදී.

තිස්සනායගම් සන්ඩේ ටයිම්ස් පුවත්පතේ තීරු ලිපි රචකයකු ද, අවුට්රීච් එස්.එල්. නම් වෙබ් අඩවියේ හා නෝත් ඊස්ටර්න් හෙරල්ඩ් සඟරාවේ සංස්කාරකවරයා ද විය.

නෝත් ඊස්ටර්න් හෙරල්ඩ් සඟරාවේ ඔහු විසින් පළ කරන ලද අදහස් ඔහුට විරුද්ධව චෝදනා එල්ල කිරීමට හේතු විය.

තිස්සනායගම් නඩු තීන්දුව අද

(2009 අගෝස්තු 31 - W3Lanka) නෝත් ඊස්ටර්න් හෙරල්ඩ් නම් මුද්‍රිත ප්‍රකාශනයේ අදහස් පළ කිරීම මුල් කොටගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ හා වෙනත් නීති යටතේ මාධ්‍යවේදී ජේ.එන්. තිස්සනායගම්ට එරෙහිව පවරා තිබෙන නඩුවේ තීන්දුව අධිකරණය විසින් අද දින ප්‍රකාශයට පත් කිරීමට නියමිත ය. 

2008 මාර්තු 08 දින අත්අඩංගුවට ගනු ලැබූ තිස්සනායගම් අද වන විට වසරකුත් මාස පහක පමණ කාලයක් අත්අඩංගුවේ පසු වෙයි. 

අධ්‍යාපනයේ අර්බුදයට විසඳුම් ගැන හිතනකොට ආණ්ඩුවට මතක් වන්නේ ම විකුණන හැටි

(2009 අගෝස්තු 31 - W3Lanka) "පාසල් අධ්‍යාපනයෙන් නිසි වෘත්තීය දැනුමක් ලැබෙන්නෙ නැහැ. විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබීම සඳහා උසස් පෙළට 250,000 ක් විතර ලියද්දි, විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන්නෙ 17,000ක් විතර. මව්පියො දස වධ විඳලා 10,000 ක් විතර ළමයි පිටරට ඉගෙන ගන්න යවනවා. සෝමාලියාව හැර ඕනෑම රටකට ළමයි යවනවා. මේ ඔක්කොම එකතු කළත් 30,000 ක් විතර. ඉතුරු 220,000 ම නිසි සුදුසුකමක් ලබා ගන්න විදිහක් නැතිව එළියෙ."


ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේ අර්බුදය මෙලෙස ප්‍රකාශයට පත් කරන්නේ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගමයි.


එහෙත්, මේ අර්බුදයට පිළියම් යෙදීමට කිසිදු ආණ්ඩුවක් කටයුතු කරන්නේ නැත. එයට එක් හේතුවක් වන්නේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය, වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව වැනි 'සංවිධාන'වලට ඇති බියයි. තෝරා ගත් සුළු පිරිසකට නොමිළේ හෙවත් මහජන මුදලින් සියල්ල ලැබිය යුතු යයි ද, තේරීමෙන් හැළී ගිය පිරිස වලේ ම සිටිය යුතු යයි ද සමාජවාදයේ නමින් පවසන ශිෂ්‍ය ව්‍යාපාරය මත උත්තරාරෝපණය වී සිටින මෙම දේශපාලන කණ්ඩායම්වලට අධ්‍යාපන ක්‍රමයේ ප්‍රතිසංස්කරණයක් සිදු වීම වළක්වා ගැනීමට හැකි වී තිබෙන්නේ මෙම අධ්‍යාපන ක්‍රමයෙන් සරසවියට යන බහුතරයක් සිසුන් ස්වාධීන චින්තනයක් නොමැති, පහසුවෙන් ආවේග අවුළුවා ලිය හැකි, මේ රටේ මහජනතාව වැනි ම වූ පිරිසක් නිසා ය.


අධ්‍යාපන ක්‍රමය ප්‍රතිසංස්කරණය කිරීම කියූ හැටියේ ඇමතිවරුන්ගේ හිතට එන්නේ සිසුන්ගෙන් මුදල් අය කරන්නේ කෙසේ ද යන්න නිසා මෙම ශිෂ්‍ය සටන්වලට ඇත්ත යුක්තියුක්තභාවයක් ද ලැබේ.


ඇමති අමුණුගම මෙසේ ද කියයි. "අධ්‍යාපන ක්ෂේත්‍රයේ මේ විශාල අර්බුද විසඳන්නේ නැතිව ප්‍රජාතන්ත්‍රවාදී ලෝකයේ රාජ්‍ය අංශය ගොඩනඟන්න අසීරුයි. නියම දැනුම සහිත පිරිසක් අපේ අධ්‍යාපන ක්‍රමය තුළින් බිහිකළ යුතු වන්නේ ඒකයි. මේ කාරණය පුළුල් ලෙස සාකච්ඡාවට ලක් කළ යුතු මාතෘකාවක්. අනෙක මේ කාරණයේ දී දේශපාලනඥයාත් අසරණ වෙනවා. මොකද ඔහු දැඩි ස්ථාවරයක සිටියොත් ඡන්ද නැති වෙනවා."


දැඩි ස්ථාවරය යනු කුමක් ද? අධ්‍යාපනය වෙළඳපොළකරණය කිරීම ද? රුපියලේ එස්.එම්.එස්. පණිවුඩයෙන් ශත 32ක් ද, සිනි කිලෝ එකෙන් රු. 16ක් ද, පෙට්‍රල් ලීටරයකින් රු. 50කට වඩා ද, සිගරැට්ටුවෙන්, අරක්කු බෝතලයෙන් සියයට සියයකටත් වඩා ද බදු ගන්නා රජයට අධ්‍යාපනය හා සෞඛ්‍යය පවා පෞද්ගලීකරණය කිරීමට ඇත්තේ කුමන අයිතියක් ද?

2009-08-30

සමාව දෙන්න පුළුවන් තරමේ වැරැද්දක් ඉතිරි වී ඇත්නම්, ඒක මුළු ලංකාවම නොදන්නා වැරැද්දක් විය යුතුයි.....ආකාස කුසුම්

ප්‍රදීප් ජයරත්න ( X කණ්ඩායම)  

"සමාව" ඕන කරන වැරැද්දක් හොයා ගන්න පුළුවන් නම්, "ජීවිතය" ආයෙත් පටන් ගන්න පුළුවන්. සමාව ලැඛෙනවද නැද්ද කියන එක එච්චරම වැදගත් නැහැ. උවමනා වෙන්නේ, සමාව දීම-නොදීම කියන සීමාවේ තියෙන, ඒ ගැන බලාපොරොත්තුවක් රඳවාගන්න පුළුවන් වැරැද්දක් විතරයි. එතන ඉඳන් වැරදි, නිවැරදි කරගැනීමේ මාර්ගය දිගේ අලූත් ගමනක් පටන් ගත්තම, ඒක ඇත්තටම ජීවිතයට අලූත් චලනයක් එකතු කරනවා.

ආකාස කුසුම: මාලිනීට එවැනි වැරැද්දක් චිත්‍රපටයේදී හමුවීම ලොකු අස්වැසිල්ලක් වුනා. ඉතිං එයා තමන්ගේ දුවගේ දුව තුරුළු කරගෙන ඉන්න ගමන්, පුංචි මාලිනීගෙන් (දිල්හානිගෙන්) අහනවා, "මෙයා මට සමාව දෙයිද?˜ කියලා. පුංචි මාලිනී, "ඔව්˜, "හ්ම්˜ වගේ සංඥා කරමින් හිස සොලවනවා. ඒත් පුංචි මාලිනී තාමත් ඉන්නේ සමාව දීම හෝ නොදීම කියන සීමාවට අයත් නැති තැනක. ඉතිං ඒ හරියෙන් වැරැද්දක් හොයා ගන්න එක ලේසි නෑ. ඒ හින්දම විඳීමේ ආරම්භයයි, විඳවීමේ ආරම්භයයි මුල ඉඳලම එකම තැනක.

පුදුමයකට වාගේ, සමාව දෙන-නොදෙන සීමාවට ඔබ්ඛෙන් තියෙන, සමහර විට තමන්ගේ ජීවිතයට සම්බන්ධයක් පවා නැති සියල්ල ගැන මුළු ලංකාවම දන්නවා. චිත්‍රපටයේ දෙබසකින් ඒක කිව්වොත්, මාලිනී බැඳපු නැති විත්තිය මුළු ලංකාවම දන්නවා. යන්තම් හරි ජීවිතය අතපත ගාන්න පුළුවන් වැරැද්දක් හමුවෙන්නෙ මුළු ලංකාවම නොදන්නා තැනක තිබිලා. රහස, රහස්‍යභාවය අහිමි කරන්න සමත් වෙන තරමේ ප්‍රසිද්ධියක් විසින් ජීවිතයත්, ඉතිරි සියල්ලත් අහිමි කරන්න සමත් වෙලා තියෙනවා. සමහර විට ඒකල අපි අපේ එදිනෙදා ජීවිතයේ හරි-වැරැද්දට හසු නොවන කලාපයක සැරිසරන්න දරන උත්සාහයට ගෙවන්න වෙන වන්දිය වෙන්නත් පුළුවන්.

මාලිනීට ජීවත් වෙන්න ඕන කරන බලාපොරොත්තුවක් ඉතිරි කරන්න, මුළු ලංකාවම නොදන්නා මනුස්සයෙකුට, මුළු ලංකාවටම නොදැනෙන්න තමන්ගේ ජීවිතය විනාශකරගන්න වෙලා. ඒ විතරක් නෙවෙයි, ඉතිරි කරපු "බලාපොරොත්තුව˜ මාලිනීට රැගෙන එන්න, බාර අරගෙන හිටපු පණිවිඩකාරියත් (messenger/ප්‍රියා), බලාපොරොත්තුව මාලිනීගේ අත තියලා තමන්ගෙ ජීවිතෙන් සමුගන්නවා. අහම්බයකින් වුනත් සමාව ඕන කලේ පණිවිඩකාරියගෙන්මයි. ඒත් ඒක, පණිවිඩකාරිය විසින් සමාව නොදෙන තරමේ වැරැද්දක්. ඒ හින්දම ඇය හැමවිටම උත්සාහ කරනවා, සමාව දීමෙන් වැලකී ඉන්න. නමුත් ඇය ඉරණම්කාරී ලෙස රාජකාරියක් පැවරුණු පණිවිඩකාරියක්. කෙතරම් වෙහෙසකාරී වුවත්, ඇයට තමන් මත පැවරුණු කාර්යය ඉටුනොකර ඉඳීමට නොහැකියි. මේ නිසා  "සිදුවිය යුතු අයුරින්ම˜ පණිවිඩකාරිය තමන්ගේ කාර්යය අවසන් කරන මොහොතේ, ඇයට සිද්ධ වෙනවා ඇගේ ජීවිතයෙන් සමුගන්න.

මෙතැන තියෙන තවත් කාරණයක් තමයි බලාපොරොත්තුවේ පණිවිඩය රැගෙන එන මාලිනීගේ දුව, පණිවිඩය මාලිනී අත තැබීමට පෙර, ඇය ඒ සඳහා තමන්ව සුදුසු තත්වයට පත්කරගැනීම. එනම්, එදිනෙදා ජීවිතයේ මිණුම් දඬු වලට හසුවන පරිදි ඇය කිළිටි විය යුතුයි. මෙවන් පණිවිඩයක් රැගෙන යාමට කිළිටි වූ ආත්මයක වුවමනාව, අදටත් බලි තොවිල් වලින් අඩුවක් නැති ලංකාවට පුදුමයක් විය නොහැකියි. ඒත් එම කිළිටි වූ ආත්මයට කිසිදු චකිතයකින් තොරව, හදවතින්ම ප්‍රතිචාර දැක්වීමට මාලිනී දක්වන සමත්කම මගින්, මාලිනී ගේ දුව වික්ෂිප්තභාවයට පත්කරනු ලබනවා. සැබවින්ම බලාපොරොත්තුවේ නොනිමෙනා පහන් සිළු නැවත ජීවිතයට එකතුකර ගැනීමට, මාලිනීට හැකියාව ලබා දෙන්නේත් ඒ ගුණයමයි. මුළු ලංකාවම නොදන්නා වැරැද්දකට මාලිනීට ඉඩ ලබා දෙන්නට ඇත්තේත් ඒ ගුණයමයි. මුළු ලංකාවම දන්නා සියල්ල ටිකින් ටික විනාශ වී යද්දීත්, මුළු ලංකාවම නොදන්නා සියල්ල ටිකින් ටික විනාශ වී යද්දීත්, මාලිනී ට ඉතිරි වී පවතින්නට ඉඩහසර දුන් ගුණයත් එයම විය හැකියි. කිළිටි වූ ආත්මයකට චකිතයකින් තොරව ආමන්ත්‍රණය කිරීමේ හැකියාව¦ ඒ හැකියාව සහිත ආත්මය...

මානුෂිකත්වය; අතිශයින් ගැඹුරු මෙන්ම එතරම්ම ලස්සන මානුෂික හැඟීම, පුපුරා යන්න සමත්වන තැන, එනම් බන්ටි, තම නිවසට පැමිණෙන මාලිනීව හරවා යැවීමෙන් පසු, ඇය හඬමින් ප්‍රියාව වැළඳගන්නා මොහොත¦ සමහර විට මේ සියලු ජීවිත ටික ටික එකතු කරගත් වෙහෙස, පීඩාව, අඳෝනාව පිට කරන්න, එහෙමත් නැත්නම් එකම තැනකට එකතු කරගෙන පුපුරවා හරින්න ලැබුණු එකම එක අවස්ථාව විය හැකියි. මාව චිත්‍රපටයට මුළුමනින් ඇතුලු කර ගැනීමට සමත් වූ අවස්ථාවත් එයයි.

චිත්‍රපටය සාමාන්‍යකරණය කළ එදිනෙදා ජීවිතයට රැගෙන යන්න එකතු කළ චරිතය, එනම් මාලිනී ගේ නංගී කෞෂල්‍යා, චිත්‍රපටය බරපතල අගතියක සිරකිරීමටත් හේතුවනවා. එහෙත්
fair and lovely වලින් සංකේතවත් වන ලෝකයක, ඇය විසින් බරපතල සත්‍යයක් පසක් කරනු ලබනවා.
 

"මාලිනී අක්කා ගෙදර ආවම, මම තමයි අම්මගෙන් හොඳටම බැණුම් අහන්නෙ. ඇයි ඉතින් මමනෙ ගෙදරින්ම කළු ළමයා.˜

කෞෂල්‍යාට චිත්‍රපටය තුල අමුතුවෙන් රඟපාන්න දෙයක් නෑ. සුපුරුදු පැරණි භූමිකාවක් නැවත නිරූපණය කිරීම හොඳටම ප්‍රමාණවත්. මෙතනින් තමයි ප්‍රසන්නගේ අධ්‍යක‍ෂක භූමිකාවේ මම අකමැති තැනකට ප්‍රවේශවෙන්න පුළුවන් වෙන්නෙ. තමන් පරිකල්පනය කල චරිතයට, ගැලපෙන බාහිර චරිතයක් චිත්‍රපටයට ආදේශ කර ගැනීම. ඉතිං කාටවත් අමුතුවෙන් රඟපාන්නට දෙයක් නෑ. ගිහිං ඉන්න විතරයි තියෙන්නෙ. ප්‍රසන්න මොකූත් කියන්නැතිව ඇති. සමහර විට ලංකාවෙදි මීට වඩා වැඩි දෙයක් කරන්න බැරුවත් ඇති. ඒත් උත්සාහයක්වත් නොගන්න එක කණගාටුවට කාරණයක්. නිම්මි, ප්‍රියාගේ චරිතයට තෝරා ගන්න එයා කථා කරන විදිහ ගොඩාක් බලපෑවා වෙන්න පුළුවන්. ප්‍රියා හැමවිටම කථා කරන්නේ, වෙරළු ඇටයක් කටේ දාගත්ත සුදර්මන් රදලියගොඩ කථා කරනවා වගේම තමයි. ඒක කේන්ති ගියාම, හැඟීම්බර වුනාම කථා කරන විදිහේ වෙනසක් වුණා නෙවෙයි. ඒ තමයි හැටි.

කෞෂල්‍යාගේ චරිතයෙන් එකතු කරන සත්‍යය සහ අගතිය ගැන ටිකක් වැඩිපුර කථා කරන්න ඕන නිසා මෙතනදී කථා නොකර ඉන්නම්. චිත්‍රපටයට ඉංග්‍රීසි ටෙලි නාට්‍ය මාලාවක් වන
Twenty four (24) වර්ගයේ ගුණයක් එකතු වෙලා තියෙනවා. ඒ වගේම කරුණු අනාවරණය කරන සමීප රූප කීපයක් මගින් තවත් ගුණයක් අත්පත් කරගෙන තියෙනවා. චිත්‍රපටය මේ දෙක අතර දෝලනයක් වගෙයි පෙනෙන්නේ.

ප්‍රසන්නගේ "පවුරු වලලූ˜ තාමත් අමතක කරන්න අමාරුයි. "ආකාස කුසුම්˜ මේ දැනුත් අමතක වෙමින් යනවා. සමහර විට බරපතල සත්‍යයක් කියන්න වෙන ආකෘතිය මේක වෙන්න ඇති. ඒත් චිත්‍රපටය, මට මොකුත් ඉතිරි නොකරන එක ප්‍රශ්නයක්.

සමහර විට මාලිනී පවා කල්පනා කරනවා ඇති ඒ රහසත් අනාවරණය කළාට පස්සේ ආයෙත් බලාපොරොත්තුවක් හොයා ගන්න පුළුවන් වෙයිද කියන එක ගැන. මවක් තමන්ගෙ දුව හොයාගෙන යද්දි, පියෙක් තමන්ගෙ දුවව හංගගෙන ඉන්නව නම්, ඒක ඛේදවාචකයක්. එතනදී මොන තරම් හේතු කාරණා ඉදිරිපත් කළත්, කාරණය තමයි පළිගැනීම. කියන්න වෙන  හේතු කාරණා මොන තරම් අහිංසක වුනත්, ඇත්තටම සිද්ධවෙන දේවල් එතරම් "අහිංසක˜ නෑ. යන්තම්, මාලිනීට එවැනි දෙයක් සිද්ධ වුනේ නෑ. ඒ හින්දම වෙන්න ඇති මට මේ චිත්‍රපටය විශාල දෙයක් අඟවන්නැත්තෙ. විශාල චිත්‍රපටයක් නොවන්නෙ.

අයියෝ ඇමති සිරිසේනටත් විධායක ජනාධිපති ක්‍රමය රසයි ලු

(2009 අගෝස්තු 30 - W3Lanka) ත්‍රස්තවාදයෙන් රට ආරක්ෂා කැර ගැනීමට ගෙන ගිය මෙහෙයුමේ දී මෙන්ම රට ගොඩනැඟීමට දැන් ආරම්භ කැර තිබෙන වැඩපිළිවෙළ සාර්ථක කැර ගැනීම සඳහාත් තවත් කාලයක් විධායක ජනාධිපති ධූරය පැවතිය යුතු යැයි ශ්‍රී.ල.නි.ප. මහ ලේකම් ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කළ බව අද සිළුමිණ පුවත්පත පවසයි. 


විධායක ජනාධිපති ධූරය අහෝසි කළ යුතුය යන ස්ථාවරයේ තමන් ද මුලින් සිටි මුත් වෙනස් වන තත්ත්වයන් හා පැනනඟින අභියෝග හමුවේ කාලෝචිත ලෙස ස්ථාවරයන් සකස් කැර ගැනීම මිස යල්පැනගිය මතවලම එල්බ සිටීම ප්‍රායෝගික දේශපාලනය නොවන බවත් ඇමැතිවරයා සඳහන්කර තිබේ. 

වැල යන අතට පන්දලම නො ගැසුවහොත් ශ්‍රීලනිප ලේකම්කම මෛත්‍රීගෙන් පැහැරගෙන ඩලස්ට දෙන්නට තරම් විධායක ජනාධිපති ක්‍රමය බලවත් බව අයියෝ මේ ඇමති සිරිසේන දන්නා බව පෙනේ. අගමැති සංගීත පුටුවට හයිය ම හයිය අතු ගණනාවක් තරග කරන විට පැත්තකට වී කාටත් හිස නමාගෙන සිටින විජේතුංගලාට, රත්නසිරිලාට පොට්ට චාන්ස් වදින නිසා තමන්ට ද එවැනි අවස්ථාවක් ලැබේ යයි උපකල්පනය කර ගැනීම ඇමති සිරිසේනට මේ වෙලාවේ ඇති හොඳම විසඳුමයි. 


සත්තකින් ම දැන් අහෝසි කිරීම සඳහා ලංකාවේ විධායක ජනාධිපති ක්‍රමයක්වත් තිබේ ද යන්න සැක සහිත ය. ඇත්තේ ව්‍යවස්ථාවත් ඉක්මවා යන ඒකාධිපති ක්‍රමයකි.

2009-08-29

මහින්දට එදිරිව මධ්‍යම පංතිය; අරගලය යළි දකුණට

අජිත් පැරකුම් ජයසිංහ

ප්‍රධාන වශයෙන් සියයට හතළිහක වැටුප් වැඩි වීමක් ද ආලවට්ටම් වශයෙන් නව විදුලි බල පනත ඉල්ලා අස් කර ගැනීම ඇතුළු තවත් සටන් පාඨ ද ඉදිරිපත් කරමින් බලාගාර සේවකයන් ද ඇතුළුව සමස්ත ලංකා විදුලි බල මණ්ඩලයේ ම කාර්ය මණ්ඩලය අගෝස්තු 28දා එක් දින වැඩ වර්ජනයක් දියත් කරන්නට නියමිත බව මේ සටහන තබන මොහොත වන විට ලංකා විදුලි සේවක සංගමය දැනුම් දී ඇත. විදුලි බල මණ්ඩලයේ වෘත්තීය සමිති 50ක් පමණ තිබියදී මෙම වර්ජනයට සහභාගි වන්නේ සමිති අටක් පමණක් බැවින් එය සාර්ථක නො වනු ඇති බව විදුලි බල හා බලශක්ති ඇමති ඩබ්. ඩී. ජේ. සෙනෙවිරත්න පවසයි.

ලංවිම සේවකයන්ට අවසන් වරට වැටුප් වැඩි කිරීමක් ලැබී ඇත්තේ 2006දී ය. 2009දී මීළඟ වැටුප් වැඩි වීම ලැබිය යුතු මුත් විදුලි බල හා බල ශක්ති ඇමතිවරයා පවසන්නේ රාජ්‍ය දෙපාර්තමේන්තු, සමාගම්, ව්‍යවස්‌ථාපිත මණ්‌ඩලවල සේවකයන්ට 2009 වසර සඳහා වැටුප් වැඩි වීම් ලබා නො දීමට රජය තීරණය කර තිබෙන නිසා නියමිත වැටුප් වැඩි වීම ලංවිම සේවකයන්ට ලබා දිය නොහැකි බවයි. 2006න් පසු රජයේ හා රාජ්‍ය ව්‍යවසායවල සේවකයන්ට වැටුප් හා දීමනා ලබා දුන් අවස්ථාවලදී ලංවිම සේවකයන්ට ඒවා ලබා නොදුන්නේ 2009දී නියමිත වැටුප් වැඩි විමත් සමග ඒවා ලබා දෙන බවට පොරොන්දු වෙමින් බව වෘත්තීය සමිති කියති.ලංකා විදුලිබල මණ්‌ඩලයේ සේවකයන්ට වසර තුනකට වරක්‌ වැටුප් වැඩි කළ යුතු වුව ද, 2008 වසරේ අග භාගයේදී කැබිනට්‌ මණ්‌ඩලය රැස්‌වී 2009 වසරේදී රාජ්‍ය, අර්ධ රාජ්‍ය ආයතනවල සේවකයන්ගේ වැටුප් වැඩි නොකර සිටීමට තීරණයක්‌ ගත් බව ද ඇමැතිවරයා පවසයි. මීට අදාළ චක්‍රලේඛය සියලු රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතන, මණ්‌ඩල හා සංස්‌ථා වෙත එවා තිබෙන බව ද ඇමැතිවරයා කීවේය.

මේ වන විට ලංවිම දිනකට රු. කෝටි පනහක පාඩුවක් ලබයි. ලක්ෂ 36ක් වන දිවයිනේ විදුලි පාරිභෝගිකයන්ට සේවය සැලසීම සඳහා 14,000ක සේවක පිරිසක් ලංවිමේ සිටිති. දිවයිනේ වෙනත් ඔනෑම රාජ්‍ය ව්‍යවසායක සේ මෙහි ද සිටින සේවකයන් අතර ජීවිත අනතුරු මැද විදුලි කම්බි අතපත ගාමින් අව් වැසි නො බලා වෙහෙසෙන කම්කරුවන් වැනි අත්‍යවශ්‍ය කාර්යයන්හි යෙදෙන වෘත්තිකයන් සේ ම විවිධ වකවානුවලදී දේශපාලකයන් විසින් පුරවන ලද හරි හමන් වැඩක් නැතිව පඩි කන විශාල පිරිසක් ද වෙති. රැකියා සුරක්ෂිතභාවය, කුසලතා නො මැතිව රැකියාවල යෙදීමට හැකි වීම, සාපේක්ෂ වශයෙන් අඩු වැඩ ප්‍රමාණයක් කිරීමට ඇති අවස්ථාව වැනි කාරණා නිසා ලංකාවේ මධ්‍යම පංතිකයන් බොහෝ දෙනෙකුගේ සිහිනය වන්නේ රජයේ රැකියාවක් කිරීමයි.

ලංකාවේ ධනවාදී ක්‍රමයේ විශේෂ ලක්ෂණයක් වන්නේ දේශපාලන බලය බොහෝ දුරට මධ්‍යම පංතිය අත තිබීමයි. මේ මධ්‍යම පංතිය පැවැත්ම තහවුරු කර ගන්නේ රාජ්‍ය සූරාකෑමෙන් පංගුවක් අනුභව කරමිනි. විශේෂයෙන් ම වත්මන් පාලක රෙජිමයේ බලය දරා සිටින ප්‍රධාන කුළුනු වන්නේ රාජ්‍ය සූරාකෑමෙන් විශාල ප්‍රතිශතයක් ගිලින අමාත්‍ය, මන්ත්‍රී, පළාත් සභික, පළාත් පාලන සභික දේශපාලකයන් හා ඔවුන්ගේ කාර්ය මණ්ඩල, රජයේ දෙපාර්තමේන්තු, සමාගම්, ව්‍යවස්‌ථාපිත මණ්‌ඩල ආදියෙහි සේවකයන් සහ පෞද්ගලික සේවා ආර්ථිකයේ බැංකු, සන්නිවේදන වැනි අංශවල සේවය කරන පිරිස් ආදියෙන් සැදුම් ලත් මධ්‍යම පංතික බලවේගය විසිනි. භාණ්ඩ වන්දනාව පරිභෝජනය ආගම කර ගත්, අඩුවෙන් වැඩ කර, වතු කම්කරුවන්, ඇගලුම් කම්කරුවන් හා මැද පෙරදිග වහල් ශ්‍රමිකයන් වැනි සැබෑ වැඩ කරන ජනයා විසින් නිෂ්පාදනය කරනු ලැබූ අතිරික්ත ශ්‍රමයෙන් වැඩියෙන් පඩි ගැනීම සඳහා කරන සටන් වෘත්තීය අරගල ලෙස නම් කරගෙන සිටින මේ සමාජ පංතිය සතුටු කිරීම ලෙහෙසි පහසු කාර්යයක් නොවේ. ප්‍රගතිශීලී සමාජ බලවේගයක් නො වුණ ද මෙම පංතියේ පහළ ස්ථරය පීඩිත සමාජ බලවේගයකි.

පරිප්පු, සීනි, සුදුළූනු වැනි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිළ මේ දිනවල වේගයෙන් ඉහළ යමින් තිබේ.  රජය ටින් මාළු කිලෝවකට රුපියල් 85 ක්‌, සීනි කිලෝ වකට රුපියල් 16 ක්‌, පෙට්‍රල් ලීටරයකට රු. 50කට වැඩි ගණනක්, දුරකථන ඇමතුමක මිළෙන් 32%ක් ආදී වශයෙන් අධික බදු අයකරමින් කරන ප්‍රධාන කාර්යයක් වන්නේ ගෙවන බදුවලට සාපේක්ෂව අවම මහජන සේවයක් සපයන මෙකී අකාර්යක්ෂම වූ ද, කරටියේ සිට මුදුන් මුල දක්වා ම දූෂිත වූ ද දැවැන්ත රාජ්‍ය අංශය නඩත්තු කිරීමයි. එහෙත් වැඩි වන බඩු මිළ මෙම මධ්‍යම පංතියේ පහළ ස්ථරවල භාණ්ඩ සිහින බිඳ දමා ජීවිත දුෂ්කර තත්වයට පත් කර තිබේ. ජවිපෙ මෙකී මධ්‍යම පංතියේ පහළ තලයේ දේශපාලන දැක්ම හැසිරවීමෙහි ලා අතිශය දක්ෂ ය. මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට එසවීම සදහා මෙම බලවේගය බලමුළුගැන්වූයේ ද ජවිපෙ විසිනි. ජවිපෙ දැන් නැවතත් මේ පංතියේ නාඩි අල්ලන්නට පටන් ගෙන තිබේ. ආණ්ඩුවත් එක්ක හැප්පනේන එපා යයි ජනාධිපතිවරයා පැවසූ බව විදුලිබල ඇමතිවරයා කී බව කියන ලංකා විදුලි සේවක සංගමයේ රන්ජන් ජයලාල් එය බරපතල ප්‍රකාශයක් බව ද පවසයි. ජවිපෙ විසින් උස්සා දෙන ලද බෝලයෙන් ඩෑෂ් ගැසූ ජනාධිපතිවරයා දැන් බෝලය උස්සා ගැනීමට හෙවත් මේ පංතියේ සහාය දිනා ගැනීමට වෙනත් ක්‍රම සොයන්නට සූදානම් බව මෙයින් අපට හැ‍ඟේ.

කෙසේ වෙතත්, රජය මුහුණ දී සිටින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම ලෙහෙසි පහසු කාර්යයක් නොවේ. මේ වසරේ රු. කෝටි 85,000ක් වෙතැයි අපේක්ෂා කරන ලද රාජ්‍ය ආදායම කෝටි 10,000කින් පමණ අඩු විය හැකි බව මහ බැංකු මූලාශ්‍ර උපුටා දක්වමින් පසුගිය ඉරිදා ලංකාදීප පුවත්පත වාර්තා කළේ ය. මෙම සංදර්භය තුළ මේ වසරේ තබා ලබන වසරේවත් රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම පහසු වන්නේ නැත. ‍ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය ලබා ගැනීම සඳහා 2009දී රාජ්‍ය අය වැය පරතරය දළ දේශීය නිෂ්පාදනයෙන් 7% දක්වා අඩු කිරීමට රජය එකඟ වී තිබේ. රාජ්‍ය ආදායම් හීන වන තත්වයක් තුළ ආදායම් වැඩි කර ගැනීම සඳහා තව තවත් බදු ඉහළ නැංවීම හැර අන් විකල්පයක් රජයට නැත. එහි ප්‍රතිඵලය වන්නේ තව තවත් බඩු මිළ ඉහළ යාමයි. එසේ කර හෝ අයවැය ඉලක්ක සපිරීම අතිශය දුෂ්කර ය. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ඉදිරි වාරික ලබා ගැනීම සදහා රජය‍ට බොහෝ කනිපින්දම් ගසන්නට සිදු වන බව නිසැක ය. කොටි සංවිධානය පරාජය කර අලුතෙන් ඈඳා ගන්නා ලද ප්‍රදේශ නිෂ්පාදනයට හා වෙළඳපොළට යා කර ගැනීම ආර්ථික වර්ධනය සඳහා බලාපොරොත්තු තැබිය හැකි එක් සාධකයකි. එහෙත්, බිම් බෝම්බ ඉවත් කිරීම, නව ආරක්ෂක සැලසුම් යටතේ දෙමළ ජාතිකවාදයට ඉඩක් නො තබමින් අවතැන් වූ ජනයා යළි පදිංචි කිරීම හා එම පළාත්වල නිෂ්පාදනය නැංවීම සඳහා කාලය අවශ්‍ය ය. එසේ ම යටිතල පහසුකම් සංවර්ධනය සඳහා විශාල ප්‍රාග්ධනයක් අවශ්‍ය ය. ආයෝජකයන් හා සංචාරකයන් ආකර්ශනය කර ගැනීම ද ක්ෂණික ව කළ නො හැක. රජය යුද්ධය ජයගැනීමේ ප්‍රතිලාභයක් ලෙස ආර්ථිකයේ වේගවත් වර්ධනයක් අපේක්ෂා කළ හැකිමුත්, ලෝක මුල්‍ය අර්බුදය, ආනයනවල මිළ ඉහළ යාම, අපනයන ආදායම් අඩු වීම, යුරෝපා සංගමයෙන් ජී.එස්.පී ප්ලස් බදු සහන ලැබේ ද නො ලැබේ ද යන කරුණ, රාජ්‍ය අංශයේ අකාර්යක්ෂමතාව, රජයේ අධික ණය ගැනීම් නිසා බැංකු පද්ධතියෙන් ආර්ථිකයට ඵලදායී දායකත්වයක් නො ලැබීම, අසීමිත දූෂණය ආදී හේතු මත සමාජයේ දිළිඳු කොටස්වලට සහනදායී තත්වයක් ඇති වේ යයි අපේක්ෂා කිරීම දුෂ්කර වේ.

රාජ්‍ය දේශපාලනයේ ආධිපත්‍යය ධනපති පංතිය අතින් ගිලිහී තිබේ. ජාතිවාදය, ආගම්වාදය, ගම උත්කර්ෂයට නැඟීම, බටහිර විරෝධය, ප්‍රාචීනවාදය, ඉන්දීය විරෝධය හා මධ්‍යම පංතික ක්‍රම විරෝධය වැළඳ ගත් වත්මන් පාලනයේ අසම්මත දේශපාලනයට මුහුණ දීමට සිදු වන්නේ කිසිදු දේශපාලන න්‍යායධරයකු විසින් මෙතෙක් විග්‍රහ කර නැති අභියෝග රැසකටයි.

කොළඹ රජය උතුර සහමුලින් ම පාහේ පරාජය කර තිබේ. මෑත අනාගතයේදී උතුර රජයට තර්ජනයක් වේ යයි සිතිය නොහැකි ය. දැන් අරගලය දකුණට මාරු වී තිබේ. උතුර අනෙකා කරගෙන හෙවත් දෙමළ ජාතිකවාදය අනෙකා කරගෙන බලවත් වූ දකුණේ සිංහල-මූලික අතරමැදි පංතියට දැන් යළි තම ප්‍රතිමල්ලවයා තමන් අතරින් ම හමු වෙමින් තිබේ. 



2009-08-28

ලංවිම වර්ජනය සාර්ථකයි - වෘත්තීය සමිති

(2009 අගෝස්තු 28 - W3Lanka)කොම්පඤ්ඤවීදියේ පිහිටි විදුලි බල මණ්ඩල මුලස්ථානයේ සේවකයින් 1800 ක් පමණ සේවය කරන අතර මේ වන විට එහි සේවයට වර්තා කර ඇති මුලූ සේවක ප්‍රමාණය 300 ක් පමණක් බව ජවිපෙ වෘත්තීය සමිති අංශයට සම්බන්ධ යුනියන්ස් ලංකා වෙබ් අඩවිය පවසයි. එම වෙබ් අඩවියේ සඳහන් වන පරිදි නිලධාරීන් කොන්ත්‍රාත් සේවකයින් හා ආරක‍ෂක අංශ සේවකයින් එම සේවකයින් 300 දෙනාට අයත් බව විදුලි බල මණ්ඩල මුලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි. මේ අනුව විදුලි මූලස්ථානයේ වැඩ වර්ජනයට සහභාගී වූ මුළු සේවක ප්‍රමාණය 85 % ක් පමණ වන බව වාර්තා වේ.

එම පුවතේ වැඩි දුරටත් මෙසේ සඳහන් වේ. උතුරු මැද පළාත තුල සියළුම කාර්යාල හා විදුලි ඩිපෝ තුල දෛනික කටයුතු සියල්ල ඇනහිට ඇති අතර නැගෙනහිර පළාත, මඩකළපුව, මොණරාගල, බදුල්ල යන දිස්ත්‍රික්කවල ද මේ වන විට විදුලිය විසන්දීීවී තිෙබි. ඌව පළාත පුරාම වැඩබිම්වලින් සේවකයින් ඉවත්වීමත් සමග අධිසැර විදුලි බිඳවැටීමක් සමග මුළු පළාත පුරාම විදුලිය විසන්ධි වී තිබේ. මධ්‍යම, බස්නාහිර හා දකුණු පළාත්වල වැඩ වර්ජනයේ තත්වයද මෙම මට්ටමින් ක්‍රියාත්මක වනබව වාර්තා වේ. එම පළාත්වල ඇතැම් දිස්ත්‍රික්කවල තැනින් තැන විදුලිය විසන්ධිවෙමින් පවතින අතර එය යථා තත්වයට පත් කළ නොහැකිව බලධාරීන් වර්ජනය හමුවේ අසරණභාවයට පත්ව ඇතැයි වැඩබිම්වලින් වාර්තා වේ.


රාමලාන් සඳ බලන්න එන්න පාතිමා

(2009 අගෝස්තු 28 - W3Lanka) අපේ රට බහු සංස්කෘතික, බහු ආගමික රටක් වීම සත්තකින් ම ආඩම්බර විය යුතු තත්වයකි. එහෙත්, සංස්කෘතීන් අතර ගැටුම් වෙනුවට අන්‍යෝන්‍ය සහජීවනය පවත්වා ගත හැක්කේ ජාතීන් එකිනෙකාට ගරු කරන, ආදරය කරන වාතාවරණයක් රට තුළ නිර්මානය වන්නේ නම් පමණි. මෙහිදී සිංහල ජාතිකයන්ට ඔවුන් රටේ බහුතරය වීම නිසා මහත් වගකීමක් පැවරේ.

මේ සේයා රූ පෙළ ලංකාවේ ඒවා නොවේ. එහෙත් සුන්දරත්වයට දේශ සීමා නැති බැවින් අපි ඒව ඔබගේ රසවින්දනය පිණිස මෙහි පළ කරමු. 


අපේ මුස්ලිම් සහෝදරවරුන්ගේ සංස්කෘතික සුන්දරත්වය පිළිබඳ ආදරයක් ඔබේ කැමරා ඇසට මෙන් ම මසැසට ද මනසට ද දැනෙන දිනයක් පිළිබඳ අපි සිහින දකිමු.

මාලිනීට ගැලරියෙන් අපූරු සම්මානයක්

ආකාස කුසුම් රිදී තිරයට; මාලිනීගේ රන් නෙළුම සොරුන්ට

(2009 අගෝස්තු 28 - W3Lanka) හෙළ නිළි රැජින ලෙස හැඳින්වෙන මාලිනී ෆොන්සේකා ඇය ප්‍රධාන චරිතය රඟපාන ආකාස කුසුම් චිත්‍රපටයේ දර්ශනයක් සඳහා ඕස්ට්‍රේලියාවට ගොස් සිටින අතරවාරේ ඇගේ මාලබේ නිවසට ඇතුල් වූ සොර පිරිසක් එයා දැන් ලොකු ළමයෙක්‌ චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් මොස්‌කව් සම්මාන උළෙලේදී සම්මාන ලබාගැනීම හේතුවෙන් මෙරට චිත්‍රපට නිෂ්පාදකයන් ඇයට තිළිණ කරන ලද රන් නෙළුම් මලක්‌ ඇතුළු රු. ලක්ෂ දහයක් පමණ වටිනා මුදල් හා භාණ්ඩ සොරකම් කරගෙන ගොස් තිබේ. 







විදුලි වර්ජනයට කලින් ම ආණ්ඩුවට කරන්ට් වදියි

(2009 අගෝස්තු 28 - W3Lanka) ලංකා විදුලි සේවක සංගමය සහ තවත් වෘත්තීය සමිති කීපයක් විසින් අද (28) දින කැඳවා තිබෙන ලංකා විදුලි බල මණ්ඩලයේ වැඩ වර්ජනය හමුවේ බියට පත් වි සිටින ආණ්ඩුව විදුලි බල මණ්ඩලයේ සේවකයන්ගේ නිවාඩු අද සිට අවලංගු කර තිබේ.


හෙටට නියමිත එක් දින වර්ජනයට සේවකන් සහභාගි වුවත්, නැතත්, එය සටනක් ලෙස සාර්ථක වී තිබෙන බව ආණ්ඩුවේ මෙම ක්‍රියාමාර්ගය විසින් පෙන්නුම් කරනු ලැබේ.


ජවිපෙ විසින් අල්ලා තිබෙන ආණ්ඩුවේ මාරාන්තික නිලයක් වන රජයේ සේවකයන්ගේ වැටුප් ප්‍රශ්නය විසින් ඇති කරන අර්බුදකාරී තත්වය සමග හැප්පීමට ආණ්ඩුවට සිදු වන බවත්, මෙම ප්‍රශ්නය හමුවේ සිය ජනප්‍රියත්වය රැක ගැනීමට රජයට අපහසු වනු ඇති බව හා සිය ශක්තියේ ප්‍රධාන බලවේගය වන මධ්‍යම පංතියේ පීඩිත පහළ තීරය සමග ආණ්ඩුවට ගැටෙන්නට සිදු වන බවත් අපේ නිරීක්ෂණයයි. මේ පිළිබඳ දේශපාලනික විග්‍රහයක් බලාපොරොත්තු වන්න.

2009-08-27

බටලන්ද නඩුව ගැන අසා කවුරුවත් බය වෙන්න එපා; බලාපොරොත්තු ඇති කර ගන්නත් එපා

(2009 අගෝස්තු 27 - W3Lanka)  (ඡායාරූපයේ ඇත්තේ ජවිපෙ බත්තරමුල්ලේ අලුතෙන් හැදූ කාර්යාල ගොඩනැඟිල්ලයි. 1989දී මිය ගිය අහිංසකයන් වෙනුවෙන් ඉදි කරන ලද අහිංසකයන්ගේ ආරාමය නම් ස්මාරකය බත්තරමුල්ලේ ම තවත් තැනත අත්හැර දමා තිබේ.)

නීතිය ක්‍රියාත්මක කිරීමට සිටින නිලධාරීන් නීතියට එකඟව ක්‍රියා කළ යුතු ය. උසස් වීම් සහ විවිධ වරප්‍රසාද බලාපොරොත්තු වෙමින් නීතියේ කඩතුරාවට, නිල ඇඳුමට මුවා වී නීතියට පටහැනිව ක්‍රියා කිරීමට කිසිවකුට නොහැක. අද ජාතික වීරයකු හෙට ජාති ද්‍රෝහියකු විය හැකි හෙයින් අප සියලු දෙනාම නීතියට අනුව සාධාරණව ක්‍රියා කළ යුතු ය. 

මෙසේ පවසන්නේ සාහිත්‍ය විචාරකයකු හා ලේඛකයකු ලෙස ද ප්‍රකට ගම්පහ මහාධිකරණ විනිසුරු සමන් වික්‍රමාරච්චි මහතා ය. ඔහු එසේ පැවසුවේ 1987 – 89 මහා භීෂණ සමයේ එකම පවුලේ සොහොයුරන් දෙදෙනකු පැහැර ගෙන ගොස් බටලන්ද වධකාගාරයේ අයුතු ලෙස සිරකර තැබීමේ සිද්ධියට අදාළව පවරා තිබූ නඩුවෙන් මරණය සිදු කිරීමේ අරමුණින් පැහැර ගෙන යාමේ චෝදනාවට වරදකරු වූ හිටපු පොලිස් අධිකාරි ඩග්ලස් පීරිස් ඇතුළු පොලිස් නිලධාරීන් පස් දෙනකුට ඊයේ (26) සිට බරපතල වැඩ සහිත වසර පහ බැගින් සිරදඬුවම් නියම කරමිනි. 


දෙල්ගොඩ කඳුබොඩ අඹසෙවන නිවසේ පදිංචිව සිටි උදය චන්ද්‍ර ලියනගේ හා රතනචන්ද්‍ර ලියනගේ යන සොහොයුරන් දෙදෙනා 1989 ජූලි 07 දින පැහැරගෙන ගොස් මරා දැමීම මෙම නඩුවට විෂය විය.
රතනචන්ද්‍ර ලියනගේ පසුව මරා දමා තිබුණ අතර බේරි ආ උදයචන්ද්‍ර ලියනගේ නඩු විභාගයේ දී සාක්කි දුන්නේ ය. මෙම තරුණයින්ගේ පැහැරගෙන යාම පිළිබඳ අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ හබයාස් කෝපුස් පෙත්සමක් සළකා බලා කළ නියෝගයක් මත සිදුකළ පරීක්ෂණය අවසානයේ නීතිපතිවරයා මේ විත්තිකරුවන්ට එරෙහිව නඩු පැවැරී ය.නඩු විභාගය අවසන් වන විට,  මුලින් හබයාස් කෝපුස් පෙත්සම ඉදිරිපත් කළ වින්දිතයාගේ පියා මිය ගොස් තිබිණි.

බටලන්ද වධකාගාරය සමග විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ නම ඈඳී තිබීම මෙම පරීක්ෂණය මෙතරම් දුර දිග යන්නට එක ම හේතුවයි.



ජවිපෙ විසින් නායකත්වය දෙන ලද කැරැල්ලට සම්බන්ධ යයි චෝදනා කරමින් දස දහස් සංඛ්‍යාත තරුණ පිරිසක් මේ අන්දමින් වධයට හා ඝාතනයට ලක් කරන ලද මුත්, වැරදිකරුවන්ට දඬුවම් සහ වින්දිතයන්ට යුක්තිය ඉෂ්ඨ වීමක් පිළිබඳ අසන්නට ලැබුණේ ඉතා කලාතුරකිනි. 

මෙවැනි නීති විරෝධී මිනිස් ඝාතන ලංකාවේ සාමාන්‍ය තත්වයකි. ඒවා කරන හා කරවන අය සාන්ත දාන්ත තීන්ත කූඩු සේ පෝයට සිල් ද ගෙන දෙවියන්ට බුදුන්ට හොරෙන් නිවන් ද යන්නට ප්‍රාර්ථනා කරති. 


මෙම සිද්ධිය හුදු අහම්බයක් මිස කාටවත් අනතුරු සංඥාවක් වන දෙයකැයි සිතීම මුළාවකි. මේවා කරවන අය සිරගත කරන්නට කටයුතු කළොත් ලංකා‍වට සිරගෙවල් මදි වී සියලු පොලීසි, හමුදා කඳවුරු පමණක් නොව පාර්ලිමේන්තුව හා පළාත් සභා පවා සිර ගෙවල් බවට පත් කරන්නට සිදු වනු ඇත.

අඩු තරමේ මෙසේ මිය ගිය තරුණයන්ගේ රුධිර ඉතිහාසයෙන් ජීවිත ගොඩනඟාගෙන සිටින ජවිපෙවත් මේ සිද්ධිය මහ ලොකු දෙයක් ලෙස ගණන් ගන්නේ නැත. 

2009-08-26

තුන්වන මහින්ද පොලිස් කූඩුවේ සිටි සැකකරුවකු බලෙන් පැහැරගෙන යයි; පොලිසිය හා මහින්දලා අතර ගැටුම්

(2009 අගෝස්තු 26 - W3Lanka) ඇමති මහින්ද රත්නතිලක බලංගොඩ කල්තොට පොලිසියට කඩා වැදී එහි අත්අඩංගුවේ සිටි තම ගෝලයකු මුදාගෙන ගිය බවට එම පොලිසියේ ස්ථානාධිපතිවරයා ප්‍රදේශය භාර පොලිස් අධිකාරිවරයාට පැමිණිලි කර තිබේ. 


තම ආධාරකරුවකු කල්තොට පොලිසිය විසින් හේතු රහිතව අත්අඩංගුවේ තබා ගත් බවට ඇමතිවරයා ද පැමිණිල්ලක් කර තිබේ. කල්තොට පොලිසිය කියන්නේ අදාල සැකකරු පොලිසිය ඉදිරිපිටදීම පොලිස් කාන්තාවකගේ සිරුරේ යතුරුපැදියක් හප්පා ඇති හෙයින් අත්අඩංගුවට ගත් බවයි. 

පොලිස් කාන්තාවක‍ගේ ඇඟේ යතුරු පැදියක් හැප්පීම සාමාන්‍ය පුරවැසියකුට නම් භයානක ප්‍රතිඵල ගෙන එන සිද්ධියකි. අද කාලේ හැටියට එවැන්නකු පාතාල සාමාජිකයකු වී ආයුධ පෙන්නීමට ගොස් පොලීසියට පහර දී පැන යන්නට තැත් කරද්දී පොලිස් වෙඩි පහරින් මිය යන්නට වුව ද ඉඩ තිබේ. එහෙත් අදාල සැකකරු සාමාන්‍ය පුද්ගලයෙකු නොව ප්‍රදේශයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බල කණුවක් වූ නාලන්ද එල්ලාවල ඝාතනය පිළිබඳ චෝදනා එල්ල වීමෙන් අනතුරුව පවා එම පක්ෂයේ නායකයා වන මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගෙන් විශේෂ සැලකිලි ලබන්නට සමත් වූ යූඇන්පියෙන් සන්ධානයට කරණම් ගැසූ ඇමතිවරයකුගේ හිතවතෙකි.



"කාපිය පොලොස්" කියා ගමේ ව්‍යවහාරයෙන් පොලිසියට කියන්නට අපට සිදු වී තිබේ. බලෙන් මිනිසුන් පැහැර ගෙන යා හැකි එක ම අධිකාරිය පොලිසිය නො වන බව මෙම සිද්ධිය විසින් පොලිසියට ද පෙන්වා දී තිබේ. 


මහින්දලා එක්ක සුපුරුදු පොලිස් සෙල්ලම් භයානක ය. පළමු මහින්ද අඟුලානේ පොලිසිය විසින් මරා දමන ලද තරුණයන් දෙදෙනාගේ පවුල්වල අය අරලියගහ මන්දිරයට කැඳවා ලක්ෂ පහ පහ දුන්නේ ඝාතනයට සම්බන්ධ නිලධාරීන්ගේ මොනවද ඒවා ලාච්චුවේ තිබියදී ය. දෙවන මහින්ද හෙවත් මහින්ද සමරසිං‍හ ඇමතිගේ කාර්ය මණ්ඩලයේ සිටි පාතාල සාමාජිකයා ආයුධ පෙන්නන්නට එක්ක යාමට පොලිසියට බැරි විය.තුන්වන මහින්දහෙවත් මහින්ද රත්නතිලක සිය ගෝලයා පැහැරගෙන ගියේ පොලිසිය ඇතුළට ම ඇවිල්ලා ය.

පොලිසිය කෙළවා ගන්නේ මහින්දලා සමග හැප්පෙන්නට ගොසින් ය. මේ මහින්දලා සමග හැප්පීම බඩා මහින්දලා සමග හැප්පීම තරම් ලේසි නැත.


2009-08-25

ත්‍රස්තවාදයට උදව් කළ බව දේශපාලකයන් කී දෙමළ වෛද්‍යවරු එහෙම නොකළ බව රහස් පොලිසිය කියයි

(2009 අගෝස්තු 25 - W3Lanka) එල්.ටී.ටී.ඊ. සංවිධානයට එරෙහි රජයේ යුද මෙහෙයුම්වල අවසන් සමයේ යුද මුක්ත කලාපයේ රෝගීන්ට උවටැන් කරමින් සිදු වූ මරණ හා තුවාල වීම් පිළිබඳ සාක්කි ඇසින් දුටු කිලිනොච්චි රජයේ රෝහලේ වෛද්‍ය අධිකාරි සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ තංගවේලු සත්‍යමූර්ති, එළියන්චේලයි පල්ලිවන්, ක්‍රිෂ්ණරාජා වර්ධරාජා හා දේව කාන්ති පිල්ලෙයි ෂන්මුගනාදන් නමැති වෛද්‍යවරුන් ඇප මත මුදාහරින ලෙසට කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් නිශාන්ත හපුආරච්චි මහතා ඊයේ නියෝග කළේය. 

සැකකරුවන් සම්බන්ධයෙන් සිදුකළ පරීක්‍ෂණ අවසන් කර ඇති බවත් ඔවුන් ත්‍රස්‌තවාදී ක්‍රියාවන්ට සම්බන්ධ බවට කරුණු අනාවරණය නොවන හෙයින් තවදුරටත් ඔවුන් අවශ්‍ය නොවන බවත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ ය. 

මීට පෙර රජයේ විවිධ දේශපාලනඥයන් හා නිලධාරීන් පැවසුවේ ඔවුන් කොටි සංවිධානයේ උවමනාව පරිදි මරණ හා තුවාල වීම් පිළිබඳ බොරු සංඛ්‍යාලේඛන ඉදිරිපත් කළ බවයි. ඔවුන් නිදහස් කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් කරන ලද ඉල්ලීම්වලට පවා රජය සවන් දුන්නේ නැත. 

පසුව රජය විසින් ජුලි 08 දින මෙම වෛද්‍යවරුන් රැඳවුම් භාරයෙන් පුවත්පත් සාකච්ඡාවකට ඉදිරිපත් කරන ලද අතර එහිදී ඔවුන් කීවේ කොටි සංවිධානයේ උවමනාව පරිදි තමන් බොරු සංඛ්‍යාලේඛන ඉදිරිපක් කළ බවයි. රජයේ හමුදා රෝහල්වලට කාලතුවක්කු ප්‍රහාර එල්ල කළ බවට ඔවුන් කලින් කළ ඇතැම් ප්‍රකාශ ද බොරු බව කී ඔවුහු අවසන් ප්‍රහාරවලින් මිය ගිය සිවිල් වැසියන් සංඛ්‍යාව 650ක් 750ක් අතර යයි කීහ. තමන් මෙම ප්‍රකාශ කරන්නේ රජයේ කිසිදු බලපෑමකින් තොරව බව ද ඔවුහු කීහ. 

අගෝස්තු 28 කරන්ට් නැති වෙයි ද? ලංවිම සේවකයන්ට කරන්ට් වදියි ද?

(2009 අගෝස්තු 25 - W3Lanka) සියයට හතළිහකින් වැටුප් වැඩි වීමක් ඉල්ලා බලාගාර ද ඇතුළුව සමස්ත ලංකා විදුලි බල මණ්ඩලයේ ම සේවකයෝ අගෝස්තු 28දා එක් දින වැඩ වර්ජනයක් දියත් කරති. 


ලංවිම සේවකයන්ට අවසන් වරට වැටුප් වැඩි කිරීමක් ලැබී ඇත්තේ 2006දී ය. 2009දී මීළඟ වැටුප් වැඩි වීම ලැබිය යුතු මුත් විදුලි ා බල හා බල ශක්ති ඇමති ඩබ්. ඩී. ජේ. සෙනෙවිරත්න පවසන්නේ 2010 වසර දක්වා රජයේ කිසිදු ආයතනයක වැටුප් වැඩි නොකිරීමට රජය තීරණය කර තිබෙන නිසා වැටුප් වැඩි කළ නොහැකි බවයි. 


ආණ්ඩුවත් එක්ක හැප්පනේන එපා යයි ජනාධිපතිවරයා පැවසූ බව විදුලිබල ඇමතිවරයා කී බව කියන ලංකා විදුලි සේවක සංගමයේ රන්ජන් ජයලාල් එය බරපතල ප්‍රකාශයක් බව ද පවසයි. 

මේ වන විට ලංවිම දිනකට රු. කෝටි පනහක පාඩුවක් ලබයි. එහෙත්, ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිනී රත්නායක පෙන්වා දෙන්නේ එකක් ලක්ෂ 75ක් බැගින් වූ මයික්‍රෝ වර්ගයේ ජීප් රථ 26ක් මේ වසර තුළ මිළ දී ගෙන ඉන් කීපයක් අමාත්‍යංශයේ පාවිච්චිය සඳහා නිදහස් කර ගැනීමට ලංවිමට මුදල් තිබුණු බවයි. 



ලක්ෂ 36ක් වන දිවයිනේ විදුලි පාරිභෝගිකයන්ට සේවය සැලසීම සඳහා සේවකයන් 14,000ක් ලංවිමේ සිටිති. 
(ඡායාරූපයේ ඉන්නේ ජවිපෙට සම්බන්ධ ලංකා විදුලි සේවක සංගමයේ ‍ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් ය.)

2009-08-24

අභාග දෙපාර්තමේන්තුව පහේ ශීෂ්‍යත්වයත් ෆේල්

(2009 අගෝස්තු 24 - W3Lanka) ඊයේ පැවති පහ වසර ශිෂ්‍යත්ව විභාගයේදී ගාල්ලේ විභාග මධ්‍යස්ථානයකට අවශ්‍ය ප්‍රශ්න පත්‍ර ප්‍රමාණය දෙපාර්තමේන්තුව විසින් නො එවීම නිසා ප්‍රශ්න පත්‍ර සොයාගෙන බෙදීම සඳහා එම මධ්‍යස්ථානයේ විභාගය විනාඩි 40කින් ප්‍රමාද කිරීමට සිදු විය.


ඒ අනුව එම විභාග මධ්‍යස්ථානයේ සිසු දරුවන් ලියුවේ කලින් පිට වූ ප්‍රශ්න පත්‍රයකටයි.


ජනප්‍රිය පාසල්වලට සිසුන් ඇතුළත් කිරීම සඳහා ප්‍රධාන වශයෙන් යොදා ගැනෙන මෙම විභාගයේ එක ලකුණකින් සිසු දරුවකුගේ අනාගතය සම්පූර්ණයෙන් වෙනස් විය හැකි ය.

මේ අතර සෙනසුරාදා පැවති උසස් පෙළ සාමාන්‍ය ඉංග්‍රීසි ප්‍රශ්න විෂයට අදාළ විභාගයේදී දෙවන ප්‍රශ්න පත්‍රය කලින් පිට විය. කොටිකාවත්ත රාජසිංහ විද්‍යාලයේ විභාග මධ්‍යස්ථානයේදී උදේ වරුවට නියමිත පළමු ප්‍රශ්න පත්‍රය වෙනුවට දී ඇත්තේ දෙවන ප්‍රශ්න පත්‍රයයි. මෙම මධ්‍යස්ථානයේ සිසුන් සවස් වරුවේදී ලියුවේ වෙනත් විභාග මධ්‍යස්ථානවල සිසුන් උදේ වරුවේ ලියූ ප්‍රශ්න පත්‍රයයි.

ලංකාවේ වනාන්තරත් හරියට හිරගෙවල් වගේ

(2009 අගෝස්තු 24 - W3Lanka) ලංකාවේ වනාන්තරවල අලි ඇතුන් 4400ක් ඇතැයි වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. එහෙත්, මෙම අලි ගහණයට ජීවත් වීමට තරම් ප්‍රමාණවත් වනාන්තර නැතිකම හේතුවෙන් අලින් මිනිසුන් ජීවත් වන ප්‍රදේශ වෙත පැමිණීම නිසා ඇති වන අලි මිනිස් ගැටුම් හේතුවෙන් සෑම වසරකම අලින්ගේ හා මිනිසුන්ගේ ජීවිත සිය ගණනක් විනාශ වේ.


මේ පිළිබඳව පරිසර හා ස්වභාවික සම්පත් ඇමති චම්පික රණවක පවසන්නේ මෙසේයි. අලි මිනිස් වාසයන් වෙත සංක්‍රමණය වීමට ප්‍රධාන වශයෙන් බලපාල තියෙන්නෙ වනාන්තරවල ප්‍රමාණයට වඩා අලි ගහණයක් වනාන්තරවල ජීවත්වීමයි. දැනට තියෙන වනාන්තරවල ප්‍රමාණය අනුව ජීවත් විය යුතු අලි ප්‍රමාණය වන්නෙ දෙදහසයි. ඒත් දැනට අලි හත් දහසක් පමණ ජීවත් වෙනව. ඒ තත්ත්වය තමයි අලි මිනිස් ගැටුමට මූලිකව බලපාන කාරණය වෙන්නෙ.(දිනමිණ 2009 අගෝස්තු 24)


ලංකාවේ කැළෑවල අලින් මුහුණ දෙන තත්වය බොහෝ දුරට සමාන වන්නේ මේ රටේ සිරගෙවල්වල මිනිසුන් මුහුණ දෙන තත්වයටයි. ලංකාවේ සිරගෙවල්වල එක් මිනිසකු ජීවත් විය යුතු ඉඩ ප්‍රමාණයේ මිනිස්සු සිව්දෙනෙකු ජීවත් වන බව අධිකරණ හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයේ සංඛ්‍යා දත්ත හෙළිදරව් කරයි. ජාත්‍යන්තර ප්‍රමිතීන් අනුව, සිරගෙවල්වල ඉඩ ප්‍රමාණය අනුව සිරකරුවන් අනුපාතය වර්ග අඩි 540කට එක් අයෙකු බැගින් විය යුතු බව ලංකා සන් වෙබ් අඩවිය පවසයි. 

2009-08-23

නව මහින්ද චින්තනය තුළ ධනවාදයට එරෙහි අරගලය

අජිත් පැරකුම් ජයසිංහ විසිනි
ආණ්ඩුව පවසන්නේ තමන් සියලූ දෙය කරන්නේ මහින්ද චින්තන ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයට අනුකූලව බවයි. විරුද්ධ පාක්ෂිකයෝ ද ආණ්ඩුවේ කාර්යයන් ප‍්‍රශ්න කරන්නේ ඒවා මහින්ද චින්තන ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයට කෙතරම් අනුකූල වේදැයි අසමිනි. දේශපාලනික හා පෞද්ගලික ලාභ පතා ජනාධිපතිවරයාට ප‍්‍රශස්ති ගායනා කරන්නන් මහින්ද චින්තනය උත්කර්ෂයට නඟන්නේ එයට කොමියුනිස්ට් ප‍්‍රකාශනයට තරම් වැදගත්කමක් දෙමිනි. එහෙත්, එහි ගැඹුර ඇස්වටයක් පොවන තරම්වත් නොවන බව අනුන්ව රැවටීමට උත්සාහ දරන කවුරුත් දනිති. එහෙත්, මහින්ද රාජපක්ෂ යුගයේ තත්කාර්යවාදී පාලනය හැඩගැසෙන චින්තනයක් රාජ්‍ය නායක ව්‍යූහයන්හි ගොඩනැඟෙමින් තිබේ. අප දකින පරිදි නම් මෙම අප‍්‍රකාශිත නව මහින්ද චින්තනය වඩා ගැඹුරු හරයකින් යුක්ත වේ.


නව මහින්ද චින්තනයේ ප‍්‍රධාන කුළුණු දෙක වන්නේ ගෝඨාභය රාජපක්ෂ රාජ්‍යාරක්ෂක දැක්ම හා බැසිල් රාජපක්ෂ ආර්ථික දැක්මයි. ඒ හා සමගාමීව පවතින අනෙක් වැදගත් සාධකය වන්නේ විදේශ බලපෑම් මඟහැර ගැනීමේ රාජ්‍ය තාන්ත‍්‍රික උපායමාර්ගයයි. රටේ දේශපාලනික ගමන් පථය තීරණය කරන ප‍්‍රධාන සාධක වන්නේ මේවායි.
 

දෙමළ ජාතික අරගලය පොඩිපට්ටම් කර දැමීමෙන් පසු මහින්ද රාජපක්ෂ පාලනයට දේශීය වශයෙන් සැලකිය යුතු අභියෝගයක් නැත. එයට හේතුව නම්, ප‍්‍රධාන විපක්ෂය වන එක්සත් ජාතික පක්ෂයේ බටහිර හිතවාදී නව ලිබරල්වාදී ධනේශ්වර චින්තනය ලාංකීය පොළව මත තීරණාත්මක ලෙස පරාජය කිරීමට රජය සමත් වීමයි. ලෝක බලවතුන්ගේ ගැටුම් අතර උපායිකව සීරුමාරු වෙමින්, රාජ්‍ය ස්වාධීනත්වය ද යම් දුරකට රැුකගෙන, උපරිම වෙළඳපොළකරණයකට හෝ රාජ්‍ය අංශය පූර්ණ ලෙස හකුළා පෞද්ගලික අංශය සංවර්ධනයේ යන්ත‍්‍රය බවට පත් කිරීමේ උපායමාර්ගයකට හෝ තල්ලූ නොවෙමින්, සම්මතයන්ගෙන් පිට පැන ආර්ථිකය හැසිරවීමේ නව ක‍්‍රමවේදයක් රජය සොයාගෙන තිබේ.
 

ලංකාවේ ජනමතය හැඩගැස්වීමෙහි ලා අතිශය වැදගත් කාර්යභාරයක් මෑත යුගයේදී ඉටු කළ ජනතා විමුක්ති පෙරමුණ සතුව රජයේ දැක්මට විකල්ප මතවාදයක් තිබේ ද යන්න සැක සහිත ය. ජවිපෙ විසින් ප‍්‍රශ්න කරමින් තිබෙන රජයේ ප‍්‍රධාන ගැටළු වන්නේ දූෂණය හා ප‍්‍රජාතාන්ත‍්‍රික හිමිකම් පැහැර ගැනීමයි. එහෙත්, වෙළඳ ධනවාදය සාමාන්‍යයෙන් ම කොමිස් මත පදනම් වන දූෂිත ක‍්‍රමයක් වන අතර, දැවැන්ත රාජ්‍ය සේවයක් ද පටලා ගත් විට සිදු වන්නේ මෙකී දූෂිතභාවය තවත් ඉහළ යාමයි. ජවිපෙ රාජ්‍ය සේවය තවත් පුළුල් කිරීම වෙනුවෙන් පෙනී සිටින පක්ෂයකි. ප‍්‍රජාතාන්ත‍්‍රික අයිතිවාසිකම් අහිමි කිරීමේ මුල යුද්ධයයි. 

2004දී ජවිපෙ හා ශ‍්‍රිලනිපය අතර සන්ධාන ගිවිසුම අත්සන් තැබීමෙන් පසු සුළුතර ජාතීන් හිමිකම් දිනාගැනීම සඳහා කළ අරගලය යුද්ධයෙන් යටපත් කර දැමිය යුතු යයි ජවිපෙ කළ යෝජනාව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ස්ථිර කරන ලදී. බලය බෙදාගැනීම ජාතීන්ගේ ප‍්‍රශ්නයට විසඳුම ලෙස අතීතයේදී පිළි ගත් ශ‍්‍රීලනිපය ඒකීය රාජ්‍යවාදය තුළ තහවුරු කළේ ජවිපෙයි. යුද්ධය විසින් හකුළවන ලද ප‍්‍රජාතාන්ත‍්‍රික රාමුව යළි පිහිටුවන ලෙස ඉල්ලා සිටින ගමන් ම සුළුතර ජාතීන්ගේ හිමිකම් ලබා නොදෙන ලෙසත් ඉල්ලීම පරස්පර විරෝධී වේ.

රජයේ යුද-දේශපාලනික උපාය මාර්ගයෙහි ප‍්‍රධාන සාධකයක් වන්නේ කැරැලිකාරී විභවයන් මර්දනය කර තබාගැනීමයි. පශ්චාත් එල්.ටී.ටී.ඊ. සමයේ යුද්ධෝපායික සැලැස්ම තුළ විමුක්ති කොටින්ගේ, මුස්ලිම් සටන්කාමීන්ගේ, ජවිපෙ හෝ වෙනත් සිංහල බලවේගයක හෝ පමණක් නොව රජයෙන් ස්වාධීන පාතාලයකට හෝ ඉඩක් ලබා නොදීම රජයේ අරමුණයි.


අනෙක් පැත්තෙන්, දිවයින පුරා දැවැන්ත ධනේශ්වර සංවර්ධනයක් ඔස්සේ විශේෂයෙන් සුළු ජාතීන්ගේ වෙන් වී යාමේ විභවයන් හා පොදුවේ පීඩිතයන්ගේ කැරලිකාරී ප‍්‍රවණතා පරාජය කිරීම රජයේ ආර්ථික ඉලක්කයයි. ඒ සඳහා සිවිල් යුද සමයේ ඇණහිට තිබුණු යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘති යළි ආරම්භ කර තිබේ. දැවැන්ත මාර්ග සංවර්ධනයක්, බලශක්ති හා සන්නිවේදන ජාලයක් ඔස්සේ කොළඹ කේන්ද්‍රීය රාජ්‍යයෙන් දුරස්ථ වී තිබෙන ප‍්‍රදේශ යළි ඈඳාගැනීම අපේක්ෂා කෙරේ. එසේම, ධනේශ්වර ප‍්‍රාග්ධනයට හා වෙළඳපොළට දෙමළ ජනයා බහුතරය ලෙස ජීවත් වන ප‍්‍රදේශ විවෘත කිරීමෙන් සිදු වන සංවර්ධනය ඔස්සේ දෙමළ ධනේශ්වර පංතියක් බලසතු වීමත්, එම සංවර්ධනය පහළට කාන්දු වීමෙන් දෙමළ පීඩිත ජනයා වැඩි වැඩියෙන් ධනවාදය සමග සම්බන්ධ වීමත් රජය අපේක්ෂා කරන බව නිරීක්ෂණය කළ හැකිය. 


මේ සඳහා රජය අතිවිශාල වශයෙන් විදේශයන්ගෙන් ණය ගැනීම කරගෙන යයි. කලින් පැවති ආණ්ඩුවල ප‍්‍රතිපත්තිය වූ රාජ්‍ය අංශය හැකිළීම හා පෞද්ගලික අංශය සංවර්ධනයේ යන්ත‍්‍රය බවට පත් කිරීම වෙනුවට දැවැන්ත, අකාර්යක්ෂම රාජ්‍ය අංශයක් නඩත්තු කිරීමේ ප‍්‍රතිපත්තියක වත්මන් ආණ්ඩුව පිහිටා තිබේ. රාජ්‍ය සේවය හරහා සමාද්ධිය සලස්වා ගන්නා පාර්ලිමේන්තු, පළාත් සභා, ප‍්‍රාදේශීය සභා ආදී දේශපාලක පැළැන්තියත්, ආණ්ඩුවට ශක්තිය සපයන ප‍්‍රධාන පංතිමය බලවේගය වන රාජ්‍ය සේවයේ හා පෞද්ගලික සේවා ආර්ථිකයේ ඉහළ හා පහළ මධ්‍යම පංතික නිලධාරි තලයත් සතුටු කර තබාගැනීමට මෙම ප‍්‍රතිපත්තිය ඔස්සේ ආණ්ඩුවට හැකියාව ලැබේ. එහෙත්, මෙම දැවැන්ත අකාර්යක්ෂම රාජ්‍ය සේවය නඩත්තු කිරීමේ බර අවසානයේදී දරා ගැනීමට සිදු වන්නේ රටේ නිෂ්පාදනයට සම්බන්ධ වන ඇඟලූම් කම්කරුවන්, වතු කම්කරුවන්, විදේශයන්ට සංක‍්‍රමණය වූ කම්කරුවන් ආදිය ඇතුළත් පීඩිත පංතියටයි.


ධනවාදයට එරෙහි ලාංකීය අරගලය පණ ගැන්වීමට සිදු වන්නේ මෙකී සංදර්භය තුළයි. ධනවාදයට එරෙහිව සටන් කිරීමේ උපායමාර්ගික ප‍්‍රවේශයක් ලෙස ජාතිකවාදය සරණ ගිය සිංහල හා දෙමළ දිළින්දන්ගේ ව්‍යාපාර වන ජවිපෙට, එල්.ටී.ටී.ඊ.යට හා වෙනත් අයට දැන් තම ප‍්‍රවේශය පිළිබඳ යළි සලකා බැලීමට සිදු වී තිබේ.


2009-08-22

පොලිසියට ගල් ගසන්නන්ට යුක්තිය ලබා ගත හැකි ය?

(2009 අගෝස්තු 22 - W3Lanka) ජනාධිපතිතුමා පොලිසිය විසින් මරා දැමුවේ යයි කියන අඟුලානේ තරුණයන් දෙදෙනාගේ පවුලේ සාමාජිකයන්  ජනාධිපති මන්දිරයට කැඳවා ඔවුන්ට ලක්ෂ පහ බැගින් වන්දි ගෙවීය. වැරැද්ද පොලිසිය පිට ම පවරා දැඩි ක්‍රියාමාර්ගයක් ගන්නා බව ද පැවසී ය. ඇත්තන්ම, එතුමා කොච්චර හොඳ ද?


එතුමාගේ හොඳකම මතු කර ගන්නට අපට බැරිකම අපේ ප්‍රශ්නයකි. එසේ මතු කර ගන්නට හැකි වීම අඟුලානේ ජනතාවගේ දක්ෂකමකි. 


ත්‍රිකුණාමලයේදී ඝාතනයට ලක් වූ සිසුන් පස්දෙනාගේත්, මූතූර්හිදී ඝාතනයට ලක් වූ සහන සේවකයන් 17දෙනාගේත්, තවත් එවැනි බොහෝ අයගේත් පවුල්වල අයට ජනාධිපතිතුමාගේ හදවතට කතා කරන්නට බැරි වීම ඔවුන්ගේ අදක්ෂකමයි. 


පණ ගොස් සිටින නීතිය හා පාලනය අවදි කරවා ගැනීම සඳහා තිබෙන ක්‍රමය ගම් පිටින් එක් රැස් වී පොලිසියට ගල් ගැසීම ය යන නරක පූර්වාදර්ශය මෙමගින් ලබා ගැනීමට කිසිවකු උත්සාහ නොකළ යුතු ය.

බෝධිසත්ව කොතලාවල පඹයකු වි පිළිස්සීම

(2009 අගෝස්තු 22 - W3Lanka) සක්විති රණසිංහ අධික පොලී ගෙවන බව කියා මහජනයාගෙන් තැන්පතු ලබාගෙන කෝටි ගණනකට පොලු තියා රටින් පැන ගිය අවස්ථාවේ දේශමාන්‍ය ලලිත් කොතලාවල බෝධිසත්වයකු සේ ඉදිරිපත් වී විපතට පත් තැන්පත්කරුවන් සමග සාකච්ඡා කළේය. සක්විති වංචා කළ මුදල් මේ බෝධිසත්වයා තමන්ට ආපසු දෙනු ඇතැයි ඇතැම් අසරණ, මෝඩ ජනයා සිතූහ. 

කෙටි කලකින් හෙළිදරව් වූයේ කොතලාවල සක්විතිට වඩා වංචාකාරයකු බවයි. මෙම ඡායාරූපයේ සිටින මුදල් අහිමි වූ ගෝල්ඩන් කී තැන්පත්කරුවන් මේ ගිනි තබන්නේ ලලිත් කොතලාවලගේ පඹයකුටයි. 



කලක් ලලිත් කොතලාවලගේ සමාගම්වල දැන්වීම්වලින් යැපෙමින් ඔහුගේ සමාජ සේවාවල ගුණ වර්ණනා කළ ජනමාධ්‍ය ‍දැන් මෙම දර්ශන අලෙවි කරති. ධනවාදයට විකුණන්නට බැරි මොනවාද?

අහේතු කාලේන කජ්ජේන පුහුලං

(2009 අගෝස්තු 22 - W3Lanka) ඉස්සර නම් ලිප්ටන් වටරවුම ප්‍රසිද්ධ වී තිබුණේ වාමාංශිකයන්ගේ, ආණ්ඩු විරෝධීන්ගේ, දේශප්‍රේමීන්ගේ හා එන්.ජී.ඕ. ඩොලර් කාක්කන්ගේ විරෝධතා පෙළපාලි පිකටිං රඟ මඬලක් ලෙසයි. 

යුද්ධයේ පිහිටෙන් රජය දැන් ඉහත කී සෑම වර්ගයක ම විරෝධතාකරුවන්ට ලිප්ටන් වටරවුමට එන්නට බැරි වාතාවරණයක් හදන්නට සමත් වී තිබේ. 

දැන් ලිප්ටන් වටරවුම පාළු ය. ඒ මහජනතාවට ප්‍රශ්න නැති නිසා නොව විරෝධතාකරුවන්ට ඇති ප්‍රශ්න නිසා ය. දැන් විරෝධතාකරුවන්ගේ හිස්තැනත් පුරවන්නේ අපේ මහ රජ්ජුරුවෝ ම ය. අධිරාජ්‍යවාදීන්ගේ හා දේශීය ඩොලර් කාක්කන්ගේ කුමන්ත්‍රණවලින් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාත්, මේ රටත් බේරාගැනීමේ උද්ඝෝෂණයක් ඊයේ (21) දින සවස ලිප්ටන් වටරවුමේ තිබිණි. 

අමෙරිකා එක්සත් ජනපදය ඇතුළු බටහිර රටවල්, මේ රටේ සිටින පරගැති දේශපාලනඥයින් හා වෙනත් රාජ්‍ය නොවන සංවිධාන හා පුද්ගලයින්ගෙන් ශී‍්‍ර ලංකාව බේරාගැනීමට කිසිම භේදයකින් තොරව ශ්‍රී ලාංකිකයින් හැටියට එක්වෙමු යැයි එම විරෝධතාවේ සංවිධායක බස්නාහිර ආණ්ඩුකාර අලවි මවුලානා කීවේ ය. ජනාධිපති උපදේශක එම්. එච්. එම්. අෂ්වර් සහ බස්නාහිර පළාත් සභාවේ මන්ත්‍රීවරු කිහිප දෙනෙක් ද මෙම විරෝධතාවට සහභාගි වූහ. 


අහේතු කාලයට කජ්ජ ගසේ තිබියදී පුහුලම බිම වැටෙන බව කියැවේ. මෙම සටහනේ මාතෘකාවට යොදා තිබෙන්නේ එම අදහස ප්‍රකාශ කිරීම සඳහා සකසාගෙන ඇති විහිළු ශ්ලෝකයකි. ඡායාරූපය ආණ්ඩුවේ දිනමිණ හොරණෑවෙනි.

2009-08-21

සංස්කෘතික ඇමතිගේ වාහනයට මාසයක වියදම පුරාවස්තු මුරකරුවකුට දෙවසරක් පඩි ගෙවන්න ඇති

(2009 අගෝස්තු 21 - W3Lanka) ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරන සංස්‌කෘතික ඇමැති පියසිරි විඡේනායක භාවිත කරන මිට්‌ෂුබිෂී මොන්ටෙරෝ රථය වෙනුවෙන් මාසික කුලිය ලෙස රුපියල් 210,440 ක්‌ ගෙවා මාසිකව රුපියල් 180,290 ක ඩීසල් ද ගසන බව එක්‌සත් ජාතික පක්‍ෂ මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා 20 දා පාර්ලිමේන්තුවේදී පැවැසීය. 


පසුගියදා නිදන් හොරුන් විසින් පුපුරවන ලද මිහින්තලේ මිහිඳු ගුහාවේ මහින්ද මහරහතන් වහන්සේ සැතපුණේ යයි විශ්වාස කෙරෙන ශෛලමය යහන මුර කිරිම සඳහා රු. 15,000 බැගින් පඩි ගෙවා මුරකරුවකු දෙවසරක් යෙදවීමට මේ මුදල සෑහේ.



එහෙත්, රටේ සංස්කෘතිය රැක ගැනීම සඳහා අලුත පත් කරනු ලැබූ මේ ඇමතිට තවම මාසයකට වඩා ඇවිදින්න ලැබුණේ නැත. හොඳින් ඇවිද සංස්කෘතියට කෙළ වී ඇති ආකාරය සොයා බලන්නේ නැතිව සංස්කෘතිය රැක ගන්නේ කෙසේදැයි ඇමතිට පක්ෂව තර්ක කරන මහජනතාව අසති.


 

අලි හොරු මව් ඇතින්නගෙන් පැහැර ගත් පැටවා මිය යයි

(2009 අගෝස්තු 21 - W3Lanka) බලංගොඩ ප්‍රදේශයේ දේශපාලනඥයකු විසින් මව් ඇතින්නගෙන් පැහැරගෙන විත් හොර රහසේ නිවසක රඳවාගෙන සිටි තුන් මස් වියැති අලි පැටවා අධිකරණ නියෝගයක්‌ මත උඩවලව ඇත්අතුරු සෙවණේ ප්‍රතිකාර ලබමින් සිටියදී  අගෝස්තු 19 දා රාත්‍රියේ මියගොස්‌ ඇත.

මෙම අලිපැටවා වනජීවී නිලධාරීන් විසින් සොයා ගන්නා විට දැඩි ලෙස විජලනයට පත්ව සිටි බවත්, සිරුරේ ස්‌ථාන කිහිපයක තුවාලද සහිතව සිටි බවත්, මෙම ඇත් මංකොල්ලයට පශු වෛද්‍යවරයකු පවා සම්බන්ධ බවත් වාර්තා වේ.

දහතුන්වැනි සංශෝධනය හෝ ඊට එහා ගිය විසඳුමක්‌ ක්‍රියාත්මක කරන බවට ජනාධිපති ඉන්දියාවට පොරොන්දු වුණාලු

(2009 අගෝස්තු 21 - W3Lanka ) ශ්‍රී ලංකා රජයේ ආරාධනාව මත ඉන්දීය විදේශ ඇමැති ප්‍රනාබ් මුඛර්ජි පසුගිය ජනවාරි 27 වැනිදා ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේදී දහතුන්වැනි සංශෝධනය හෝ ඊට එහා ගිය විසඳුමක්‌ ක්‍රියාත්මක කරන බවට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ඉන්දීය විදේශ ඇමැතිට පොරොන්දු වී ඇතැයි නියෝජ්‍ය විදේශ ඇමැති හුසේන් බහිලා පාර්ලිමේන්තුවේදී ඊයේ (20 දා) පැවැසීය. 


ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ ජ.වි.පෙ. මන්ත්‍රී ප්‍රේමසිරි මානගේ මහතා අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. 


විමල්ගේ රෝල් මාරු වේ; ෆන් රසය බී සෞන්දර්ය උපාධිධාරීහු උපවාසය නිමවති

(2009 අගෝස්තු 21 - W3Lanka ) කොටුවේ දින 18ක් පුරා කොටුව දුම්රියපොළ ඉදිරිපිට උපවාසයේ යෙදුන සෞන්දර්ය උපාධිධාරීන් ඇමතූ විමල් වීරවංශ දැඩි දුෂ්කරතා මධ්‍යයේ අධ්‍යාපන කටයුතු නිමාකොට උපාධි ලබාගන්නා උපාධිධාරීන් රැකියා ලබාගැනීම සඳහා මහ මඟට බැස වීදි සටන් කළ යුතු යුගය අවසන් කළ යුතු යෑයිද තිරය පිටුපස සිට ඔවුන්ගේ සාධාරණ සටනට සක්‍රීයව දායකත්වය ලබාදීමට ලැබීම තම පක්‍ෂයට සතුටක්‌ යෑයිද පැවැසීය.

එදා උපාධිධාරීන්ට රැකියා ඉල්ලා සටන් කළේ ජවිපෙ නායකත්වය දුන් රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයයි. දැන් ජවිපෙද දුර්වලය; ජවිපෙට අනුබද්ධ සංගම් ද දුර්වල ය. ආර්ථික සටන් කරන සුළු ධනේශ්වර කණ්ඩායම්වලට අවශ්‍ය වන්නේ විප්ලවය කරන්නට පක්ෂ හදන්නට නොව කවුරුන් හෝ අතරමැදියකු යොදාගෙන ඉල්ලීම් දිනා ගන්නටයි. 

එදා විමල් සිටියේ තිරයෙන් ඉදිරිපස ය. දැන් ඔහු සිටින්නේ තිරයෙන් පිටුපස ය. එදා විමල් විප්ලවවාදී ජනතා විමුක්ති පෙරමුණේ සටන්කාමී ප්‍රචාරක ලේකම් ය. දැන් විමල් මහින්ද රාජපක්ෂ ජනාධිපතිගේ අත්ගෙඩියකි. ඔහු නායකත්වය දෙන පක්ෂය ආණ්ඩුව සමග සන්ධානගත වී ජවිපෙ විනාශ කිරීම සඳහා වැඩ කරමින් සිටියි. දැන් විමල් ජවිපෙ සටන් මධ්‍යස්ථානවල බලය අල්ලා ගනිමින් සටන්කාමිත්වයන් දිය කර හරිමින් සිටියි.



එදා සිටියේ ධනේශ්වර ක්‍රමයට අභියෝග කරන විමල් කෙනෙකි. දැන් ඉන්නේ ධනවාදය ඉදිරියේ දන නමා ඉල්ලීම් සිඟන විමල් කෙනෙකි. එදා සිටියේ උපවාස නිමා කරන්නට උපවාසකරුවන්ට තැඹිලි වතුර දුන් විමල් කෙනෙකි. දැන් ඉන්නේ බහු ජාතික සමාගම්වල ෆන් රසෙන් උපවාස නිමවන විමල් කෙනෙකි.


ජනතාවට අවශ්‍ය කොයි විමල්දැයි අපි නොදනිමු. විමල්ට නම් ඒ විමල් ඒ කාලයේ හොඳ ය; මේ විමල් මේ කාලයේ හොඳ ය.

ජවිපෙ දැන් දත කන්නේ රාජමේනියාව හා පවුල්වාදය යන මාරාන්තික රෝගවලින් පැසවා ඇතුළෙන් කුණු වෙමින් තිබෙන මේ ධනේශ්වර තුවාලය හොඳ කර දෙන්න ද?

(2009 අගෝස්තු 21 - W3Lanka) හීනෙන් නැගිට්ටා සේ හිටිහැටියේ ජවිපෙ මහින්ද රාජපක්ෂ රජයට කියා සිටින්නේ විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බවට රජය තමන්ට පොරොන්දු වී ඇති බැවින් දැන් වහා එය කළ යුතු බවයි. 


1994දී ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ නිහාල් ගලප්පත්ති අවසාන මොහොතේ අපේක්ෂකත්වයෙන් ඉල්ලා අස් වූයේ ද එවකට පොදු පෙරමුණේ ජනාධිපති අපේක්ෂිකා චන්ද්‍රිකා බංඩාරනායක කුමාරතුංග විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බවට තමන්ට පොරොන්දු වූ බව කියා ය. ඒ මීට පසළොස් වසකට පෙරයි.


විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කරන බවට වන පොරොන්දුව ද ඇමති මණ්ඩලය අර ගානට මේ ගානට බස්සනවා යි දෙන පොරොන්දු වැනි ම වූ තවත් එක් ඡන්ද පොරොන්දුවක් හෙයින් ජනතාව ඡන්දයෙන් පසු එසේ වනු ඇතැයි බලාපොරොත්තු වන්නේ නැත. ජවිපෙට ද 2005 සිට 2009 වන තෙක් එය අමතක ව තිබිණි.



එක් එක් දේශපාලන පක්ෂවලට අවශ්‍ය අයුරින් මැතිවරණ ක්‍රමය හෝ ව්‍යවස්ථාව හෝ කොටස් වශයෙන් සංශෝධනය කිරීමට රජය සූදානම් නැතැයි ද ජනතාව ඉදිරි මැතිවරණයකදී ලබා දෙන තුනෙන් දෙකේ ජනවරම අනුව රටට යහපතක් වන අයුරින් සියල්ල එකවර සංශෝධනය කිරීමට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සූදානම් බව ද දේශපාලන විසැඳුමක් සඳහා ජාතික එකඟතාවකට එළැඹීමට ජනාධිපතිවරයා අදහස් කරන බව ද ඉදිරි ජනාධිපතිවරණයේ දී එය ජනතාවට ඉදිරිපත් කොට ඒ අනුව විසැඳුම් සොයන බව ද ජනමාධ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන ජනමාධ්‍ය අමාත්‍යංශයේ දී 19දා පැවැති මාධ්‍ය හමුවක දී කීවේය.

කාපු බීපු වෙලාවල්වලට කියන ඒවාත්, ඡන්දවලට පෙර ගහන ගිවිසුමුත් දෙක ම වැඩිය ගනං ගත යුතු ඒවා නොවේ. විධායක ජනාධිපතිකමේ රස දන්නා කිසිවෙක් එය අහෝසි නොකරති. එය චන්ද්‍රිකා බංඩාරනායකට, මහින්ද රාජපක්ෂට පමණක් නොව සෝමවංශට හා වීරවංශට ද පොදු ය. 


අල්ලේ නැටවිය හැකි රූකඩයක් කිරීමට හිතාගෙන මහින්ද රාජපක්ෂ බලයට ගෙන ඒමට ඡන්ද වර්ජනයෙන් උර දුන් එල්.ටී.ටී.ඊ. සංවිධානය දැන්  වළ පල්ලේ ය. ජවිපෙ වළ ගැට්ටේ ය. මේ දෙගොල්ලන්ගේ පදවලට නැටූ ජනතාව දැන් වළවල් වටේ ද නටති. 


ලංකාවේ විප්ලවය කිරීමේ කොන්ත්‍රාත්තුව තමන්ට ලැබී ඇතැයි සිතාගෙන සිටින ජවිපෙට නොතේරෙන කරුණක් වන්නේ ලංකාවේ පසුගාමී ධනවාදයට පැවැත්ම සඳහා විධායක ජනාධිපති නම් ව්‍යවස්ථානුකූල ඒකාධිපති ක්‍රමයත් මදි වී වැඩවසම් ස්වරූපී රජකෙනෙකුත් ඕනෑ වී තිබෙන බවයි.


ලංකාවේ ධනේශ්වර ක්‍රමයට තිබූ ලොකුම අභියෝගය වූ සුළුතර ජාතීන්ගේ රාජ්‍ය ප්‍රතිසංස්කරණ ඉල්ලීම පරාජය කිරීමට සිංහල දිළින්දන් පෙළගස්වමින් අත් උදව් සැපයූ ජවිපෙ දැන් දත කන්නේ රාජමේනියාව හා පවුල්වාදය යන මාරාන්තික රෝගවලින් පැසවා ඇතුළෙන් කුණු වෙමින් තිබෙන මේ ධනේශ්වර තුවාලය හොඳ කර දෙන්න ද?



පසුගිය මැතිවරණ ප්‍රතිඵල දෙස බැලීමේ දී ජවිපෙට ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට හෝ තවත් පක්ෂයකට සහය දීමට හෝ තරම් ඡන්ද පදනමක් නොමැති බැවින් මෙවැනි ඉල්ලීම් කරන බව ලක්ෂ්මන් යාපා අබේවර්ධන ඇමැතිවරයා කියයි. 


ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ වණය සුව කර ගන්නට ඉඩ දී පීඩිත ජනතාවන්ට සිදු වි තිබෙන්නේ කුමක්දැයි සොයන්නට උත්සාහ ගන්නවා නම් ජවිපෙට පස්ස බිම ඇනී තිබෙන මේ මොහොත අර්ථාන්විතව පසු කර ගත හැකි වනු ඇත.

මේ දේශද්‍රෝහී ගීය වහා තහනම් කරනු! සංස්කෘතික පොලිසියෙන් ඉල්ලීමක්

(දේශද්‍රෝහී කලා නිර්මාන වාරණය කිරීමේ ව්‍යාපාරයේ පණිවුඩයකි) 
ආඬි ළිංවලින් උනන්නෙ වතුර නෙමෙයි ලේ
නාඹර තල් ගෙඩිවල තද රත අඳින්නෙ ලේ
මිරිස් කරල් මෝරන විට පාට දෙන්නේ ලේ 
නළලේ රතු තිලකවලට රත ගෙනෙන්නෙ ලේ
ලේ නොගලන බිමක හුස්ම ගන්ට ඉඩ දියව්
අපට කැමති කෝවිලකට යන්ට ඉඩ දියව් 
දරු පැටවුන් සමග සිනාසෙන්ට ඉඩ දියව්
අපට නිදහසේ දොඩන්ට ඉන්ට ඉඩ දියව්

දිනා ගන්න දේ එමටයි දනිමි එය බොලව්
අහිමි ලොව දිනන නිවැරදි මඟ සොයා බලව්
අපේ තුරුණු ලේ කඳ වැලි කතර මත නොලව්
අමු සොහොනක කිරුළු දරා පලක් වෙද බොලව් 


මෙම ගීතයේ ඇති සුසුම් හෙළන හඬ මිනිසුන් කුපිත කරයි. ලේ ලේ ලේ ලේ ලේ ලේ ලේ ලේ යනුවෙන් නිතර නිතර කීමෙන් ප්‍රඩණ්ඩ හැඟීම් හා හා පිළිකුලක් ඇති කරයි. ආඬි ළිං, නාඹර තල් ආදියෙන් සංකේතවත් කරන්නේ දෙමළ ඊලාම් අරගලයයි.


ලේ නොගලන බිමක හුස්ම ගන්න ඉඩ දියව්
අපට කැමති කෝවිලකට යන්න ඉඩ දියව් යන යෙදුම් ඍජුව ම ස්වයං නිර්ණ අයිතිය පිළිබඳ ඇඟවුම් කරයි. 

අමු සොහොනක කිරුළු දරා පලක් වෙද බොලව් යන යෙදුම විශේෂයෙන් ම වත්මන් රාජ්‍ය නායකත්වය කෙරෙහි අගතියක් ඇති කරවන අන්දමින් යොදා ගැනීමට ඉඩ තිබේ. 

එබැවින් මෙම ගීය වහා තහනම් කළ යුතු බව අපි ඉල්ලා සිටිමු. මෙම ගීතයේ නිර්මානකරුවන් පසුකලෙකදී මෙම එන්ජීයෝ අදහස් අත්හැර දමා යහපත් කල්ක්‍රියාවෙන් කටයුතු කර ඇති බැවින් ඔවුන්ගේ හොඳ නමට කැළලක් වීමට ඉඩ ඇති හෙයින් මෙම ගීතය අඩංගු සියලු තැටි, පටි විනාශ කරන ලෙස ද, ඒවා ළඟ තබා ගැනීම තහනම් කරන ලෙස ද, මේ ගීතය අසා අසු වන අයගේ කණ් කපන ලෙස ද ගයා අසු වන අයගේ කට කපන ලෙස ද ඉල්ලා සිටිමු.


2009-08-18

උවිඳු අඳුර: කුරුකුලසූරිය කේලාම් කිව්වා ද? රාජපක්ෂ බොරු කිව්වා ද?

(අගෝස්තු 18, 2009 - W3Lanka) 2009 ජුනි 07 දින 'ද නේෂන්' පුවත්පතේ පළ වූ ලිපියක් පිළිබඳ නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ හිටපු කැඳවුම්කරු වූ උවිඳු කුරුකුලසූරිය  විසින් කරන ලද කරුණු පැහැදිලි කිරීමක් අගෝස්තු 16 දින එම පුවත්පතේ පළ විය. 

ජනාධිපතිවරයාත්, ජනමාධ්‍ය සංවිධාන නියෝජිතයනුත් අතර පැවති සාකච්ඡාවක් පිළිබඳ සඳහන් වී ඇති අදාළ ලිපියේ කියැවෙන පරිදි නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ මුල්‍ය අක්‍රමිකතා පිළිබඳව උවිඳු ජනාධිපතිවරයාට කරුණු පැහැදිලි කළ බව ජනාධිපතිවරයා සාකච්ඡාවට සහභාගි වූ අයට කියා තිබේ.

දැන් උවිඳු පවසන්නේ තමන් කිසිදු දිනෙක නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පිළිබඳව ජනාධිපතිවරයාට කරුණු කියා නැති බවයි. තමන් කී දෙය සත්‍ය බව පුවත්පත දැඩිව පවසයි.

උවිඳු කුරුකුලසූරිය වනාහි නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ අභ්‍යන්තර ශෝධනයක් පිළිබඳව දැඩි සටනක් කළ පුද්ගලයෙකි. එම සටනේ ප්‍රතිඵල ලෙස නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ මුල්‍ය අක්‍රමිකතා රැසක් හෙළිදරව් වු අතර සංවිධානයේ ව්‍යූහයේ බරපතළ වෙනස්කම් ද සිදු විය. නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ බොහෝ පැරණි නායකයන් ජීවිත තර්ජන ඇතැයි කියා විදේශගත වූ අතර, උවිඳු ද ඒ අතරින් කෙනෙකි.

නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ මුල්‍ය අක්‍රමිකතා පිළිබඳ උවිඳු තමන්ට කේලාම් කී බව ජනාධිපති නොකියා කියයි. උවිඳුලාට ජීවිතාරක්ෂාව පතා රටින් පළා යන්නට හේතු වූයේ රාජ්‍ය මර්දනය නිසා බව කියන්නේ අප නොව එසේ පිට වී ගිය මාධ්‍යවේදීහුම ය. එසේ ඔවුන් මර්දනයට ලක් කළ රාජ්‍යයේ නායකයා ම උවිඳු තමන්ට කේලාම් කී බව කීම උවිඳු නම් දූෂණයට, අසාධාරණයට එරෙහිව සටන් කිරීම හේතුවෙන් යුරෝපාගත වන්නට සිදු වූ යුග පුරුෂයාගේ ප්‍රතිරූපයට හානියකි. උවිඳු අසහනයට පත් වන්නේ ඒ නිසා ය.

උවිඳු කේලාම් කීවා ද නැතිනම් ජනාධිපති බොරු කියන්නේ ද යන්න අපි නොදනිමු.

මිහින් බිම; සජින් උඩ

(අගෝස්තු 17, 2009 - W3Lanka) මිහින් ලංකා සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි සහ ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සමීපතම හිතවතක් වන සජින් වාස් ගුණවර්ධන ළඟදීම ගුවන් යානා පැදවීම පුහුණු කරවන පාසලක් කටුකුරුන්ද ගුවන් තොටුපළ පාදක කරගෙන ආරම්භ කිරීමටය යයි. මේ සඳහා ගුවන් යානා තුනක් හා හෙලිකොප්ටරයක් මිළ දී ගැනීමට ඔහු සූදානම් වෙයි. මෙම පාසලේ ශාඛා අනාගතයේදී දිවයිනේ වෙනත් ප්‍රදේශවල ද ආරම්භ කිරිමට නියමිත ය.


මේ සඳහා ලංකා ඔරික්ස් ලීසිං සමාගමෙන් හෙළිදරව් නොකරන ලද ණය මුදලක් ඔහු ලබාගෙන ඇති අතර, විදේශ ආයෝජකයෝ ද මෙම ව්‍යාපෘතියට හවුල් වෙති.


මේ අතර, මිහින් ලංකා ගුවන් සේවය දෙවන වතාවටත් කඩාවැටීමට ආසන්න බව තතු දත් ආරංචි මාර්ග පවසයි. පළමු වර බිඳවැටීමෙන් පසු මෙම ගුවන් සේවය නඟා සිටුවීම සඳහා 2009 අයවැයෙන් රු. කෝටි 6000ක් වෙන් කරන ලදී.


සජින් වාස් ළඟ එන දකුණු පළාත් සභා මැතිවරණයේදී දකුණු පළාත් සභාවට තරග කිරිමට නියමිත ය. දකුණු පළාත් මහ ඇමති ධුරයට යෝජිත නම් අතර ඔහුගේ නම ද වේ.

නිරෝෂා විරාජිනීට නම් දෙරණෙන් සිහින කුමාරයා හමු විය; අනෙක් මල්ලිලා නංගිලා හුගකට සොරි ය

(අගෝස්තු 18, 2009 - W3Lanka) යව්වනයේ සිහින හඹා යන තාරකා පෙළහරකැයි කියන දෙරණ ඩ්‍රීම් ස්ටාර් වැඩසටහන විනිශ්චයකාරියක වන නිරෝෂා විරාජිනීට තම සිහින කුමරා දෙරණෙන් ම හමු වී තිබේ. 


යසන්ත නාවුල්ලගේ නම් ‘දෙරණ’ රූපවාහිනි ආයතනයේ සැලැසුම් ප්‍රධානියා සමග ජුලි 29දා අතිනත ගත් නිරෝෂා දැන් අනාගතය සැලසුම් කරමින් සිටින බව වාර්තා වේ. 


නිරෝෂා කලක් කැපවීමෙන් යුතුව ගායනයේ යෙදුණු සැබෑ කලාකාරියක වන අතර දැන් අපට ඇය දකින්නට ලැබෙන්නේ දෙරණ කැමරා ඉදිරියේ විනිශ්චයකාරවරියක ලෙස කරන රංගනයෙනි. 


ගී ගැයීමේ හැකියාව ඇති යව්වනයන්ට සිහින දකින්නට සලස්වා ඉඳහිට එකෙකු දෙන්නෙකු රජ කරවිම දැන් ලංකාවේ විද්‍යුත් මාධ්‍යවල ප්‍රධාන කාර්යය වී තිබේ. ගී ගයන්නට බැරි තරුණ තරුණියන් සඳහා නැටීම, අනුකරණය ආදී ගොනුන්ට ඇන්දවීමේ තවත් ක්‍රම ද දැන් අත්හදා බලමින් තිබේ. මෙම වැඩසටහන්වල නිෂ්පාදන වියදම් ඉතා අඩු ය. ඇඳුම්, ප්‍රවාහනය හා ශිල්පීන්ගේ ගාස්තු වැනි වැඩසටහන් සඳහා යන වියදම්වලින් විශාල ප්‍රමාණයක් දරා ගන්නේ සිහින හඹා යන කුමර කුමරියන් විසිනි. නගරවල කටවුට් ගසමින්, තම තමන්ගේ ඥාති මිත්‍රාදීන්ට කියමින් මෙම වැඩසටහන් නොමිළේ ම මාකට් කිරීම ද සිහින කුමර කුමරියෝ ම කරති. යවන කෙටි පණිවුඩ සඳහා සාමාන්‍ය ගාස්තුවට වඩා විශාල මුදලක් අය කරගැනීමෙන් ද මාධ්‍ය ආයතන මුදල් ගරා ගනිති. 


එම ලාභයෙන් පංගුවක් මෙම ඊනියා විනිශ්චයකාර නළු නිළියන්ට ද ලැබේ. මෙම ඇතැම් විනිශ්චයකරුවන්ට නම් වෙන කරන්නට දෙයක් නැත. එහෙත්, නිරෝෂා විරාජිනී, රශ්මි සංගීතා වැනි සැබෑ දක්‍ෂයෝ ද මුදලට ගිජුකමින් මේ විනිශ්චයාසනවලට වහ වැටී සිටිති.


නිරෝෂා විසින් සැලසුම් කරමින් තිබෙන අනාගතයේ තරුණ කොල්ලන් කෙල්ලන් රවටන මේ ප්‍රෝඩාවලින් ගැලවෙන හැටියක් ද තිබේවා යි ප්‍රාර්ථනා කරමින් අපි ඇයට සුබ පතමු.

2009-08-17

විභාගෙට යනකොට මධ්‍යස්ථාන වහලා; පැකට්වල ප්‍රශ්න පත්තර අඩුයි - බෙදන්නේ හොය හොය; මෙන්න විභාග දෙපාර්තමේන්තුව උසස් පෙළ පවත්වන හැටි

(අගෝස්තු 17, 2009 - W3Lanka) ලංකාවේ දැඩි ලෙස තරගකාරී විභාග ක්‍රමය අනුව අ.පො.ස. (උ.පෙ.) විභාගය යනු පුද්ගලයකුගේ ජීවිතයේ අතිශය තීරණාත්මක කඩඉමකි. ලකුණකින් දෙකකින් ජීවිත ඉරණම වෙනස් කරන මෙම විභාගය පැවැත්වීමේදී වගකීමකින් කටයුතු කිරීමේ හැකියාවක් විභාග දෙපාර්තමේන්තුවට නොමැතිමුත් කටමැත දෙඩීමේ අපූරු හැකියාවක් නම් විභාග කොමසාරිස්වරයාට තිබේ. 


පසුගිය අගෝස්තු 12දා පස්වරු12.30 සිට 3.30 දක්වා පැවැත්වීමට තිබුණු විෂය අංක 52 නර්තනය සිංහල පළමු ප්‍රශ්න පත්‍රය සඳහා කොටහේන ශාන්ත බෙනඩික් විද්‍යාලයේ විභාග මධ්‍යස්ථානයේදී එක් සිසුවකු පෙනී සිටීමට නියමිත විය. එහෙත් සිසුවා විභාගයට යන විට ශාලාධිපති මධ්‍යස්ථානය වසා ගෙදර ගොස් තිබිණි. 


පස්වරු 12.40ට පමණ මෙම සිසුවා මේ පිළිබදව විද්‍යාලයේ කාර්ය මණ්ඩලයට දැනුම් දීමෙන් පසු ඔවුන් ඒ පිළිබඳව විභාග දෙපාර්තමේන්තුවට දැනුම් දීම සඳහා බලවත් පරිශ්‍රමයක් දැරූහ. හදිසි අවස්ථාවකදී දැනුම් දීම සඳහා ඇති දුරකථන අංක බොහොමයක් ක්‍රියාත්මක නොවූ බව සිසුවාට සම්බන්ධ ආරංචි මාර්ග පවසයි. පසුව විභාග දෙපාර්තමේන්තුවේ උපදෙස් මත සිසුවා ඒ වන විට ක්‍රියාත්මක වෙමින් පැවති වුල්ෆැන්ඩල් බාලිකා විදුහලේ විභාග ශාලාවට යොමු කරන ලදී. 


මහත් සේ අසහනයට පත්ව සිටි සිසුවා විභාගයට වාඩි වන විට විනාඩි 40ක් පමණ ප්‍රමාද වී තිබිණි. මෙම සිසුවා විභාගයට පෙනී සිටින්නේ කෙතරම් බිඳ වැටුණු මානසික තත්වයකින් ද? ඔහුගේ අනාගතය පිළිබඳ විභාග දෙපාර්තමේන්තුවේ මතය කුමක් ද? 


අගෝස්තු 15දා පෙ.ව. 8.30 සිට 10.30 දක්වා පැවැත්වීමට නියමිතව තිබුණු භෞතික විද්‍යාව පළමු ප්‍රශ්න පත්‍රය සදහා විභාගයේදී ගම්පහ තක්ෂිලා විද්‍යාලයේ විභාග මධ්‍යස්ථානයේ ප්‍රශ්න පත්‍ර තුනක් හිඟ වී වෙනත් මධ්‍යස්ථානයකින් ගෙන ඒමට සිදු විය. 

මේ දැනට අපට දැනගන්නට ලැබී තිබෙන බරපතළ සිද්ධි දෙකක් පමණි. මේ අන්දමින් විභාග පැවැත්වීමේදී විභාග ක්‍රමයේ රහස්‍යභාවයට හා විශ්වසනීයත්වයට සිදු වන්නේ කුමක් ද? 


දෙවන සිද්ධිය පිළිබඳව විමසූ අද දින ඩේලි මිරර් පුවත්පතට විභාග කොමසාරිස් අනුර එදිරිසිංහ පවසන්නේ එය සුළු සිද්ධියක් බවයි. එවැනි දේ අතීතයේදීත් සිදු වූ බව පවසන හේ මේ පිළිබඳ ප්‍රශ්න කරන ගුරු සංගම් හුඹහ කන්දක් කරන බව කියයි. “This is a minor matter. Why is so much fuss about it? Haven’t such things happened in the past? These teacher trade unionists have no issue to agitate about. So, they try to make a mountain out of a molehill.”

විවාහ වයස අඩු කරන බවට සහකාර සොලිසිටර් ජනරාල් කීවේ බොරු - අමුණුගම

(අගෝස්තු 16, 2009 - W3Lanka) විවාහ වීමේ අඩුම වයස 18 ට වඩා අඩු කිරීමේ කිසිම තීරණයක් රජය ගෙන නැතැයි ද එවැනි වයස අඩු කිරීමක් පිළිබඳ ව ජනමාධ්‍යවලින් පළවූ වාර්තා සත්‍යයෙන් තොර බවද විවාහ පිළිබඳ බලයලත් රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව භාර රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු පිළිබඳ ඇමැති සරත් අමුණුගම මහතානිවේදනය කරයි.


මෙවැනි වයස් අඩුකිරීමේ තීරණයක් පිළිබඳව කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත්වී නැති බවද අඩු වයසින් විවාහ වුවහොත් ඔවුන්ගෙන් උපදින දරුවන් විවිධ ආබාධවලට ලක්වීමට ඉඩ ඇති බව ද ඇමතිවරයා පෙන්වා දෙයි.


ලංකාවේ විවාහ විය හැකි වයස අවුරුදු 16 දක්වා අඩු කිරීමට රජය නීති සංශෝධන ගෙන එනු ඇති බව අගෝස්තු 10දා ගල්කිස්ස හෝටලයේදී පැවැත්වුණු  ළමුන් සුරැකීම සඳහා වූ ජාතික ජනමාධ්‍ය සන්ධානයේදී පැවසුවේ සහකාර සොලිසිටර් ජනරාල් පාලිත ප්‍රනාන්දු ය. ඔහු වැඩ කරන නීතිපති දෙපාර්තමේන්තුව අයිති අධිකරණ අමාත්‍යංශයටයි.
(මෙහි ඇති රූපය ඉන්දියාවේ ළමා විවාහයකට සම්බන්ධ එකකි.)

2009-08-16

බස්නාහිර පළාත් සභා මන්ත්‍රීන්ට චිනයේ ආතල්; ජවිපෙ විතරක් එපා කියයි

(අගෝස්තු 16, 2009 - W3Lanka) රජය විසින් බස්නාහිර පළාත් සභා‍වේ ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ මන්ත්‍රීනට චීනයේ පිං සවාරියක් පිරිනමා තිබේ. මෙම පිං සවාරිය ප්‍රතික්ෂේප කර ඇත්තේ ජවිපෙ පළාත් සභා මන්ත්‍රීන් තිදෙනා පමණි. එජාපෙ, ජානිපෙ, හෙළ උරුමය, බස්නාහිර ජනතා පෙරමුණ, මුස්ලිම් කොංග්‍රසය ආදී දූෂණය‍, නාස්තිය ගැන බෙහෙවින් කතා කරන පක්ෂවල පළාත් සභා මන්ත්‍රීන් කවුරුත් මෙම සවාරිය පිළිගෙන තිබේ.


මන්ත්‍රීන් 101ක් සඳහා වූ මෙම නව දින විනෝද චාරිකාව සඳහා පළාත් සභාව විසින් දරනු ලබන වියදම රු. කෝටි තුනකට අධික වේ.


රෝසි සේනානායකගේ නායකත්වයෙන් ‍මන්ත්‍රීන් 24කගෙන් යුත් එක් කොටසක් දැනටමත් පිටත්ව ගොස් ඇති අතර, ඔවුන් ආ පසු සෙසු පිරිස යති.


රජය කියන්නේ මෙය අත්‍යවශ්‍ය අධයයන චාරිකාවක් බවයි. බලය බෙදීමට විරුද්ධ වත්මන් පාලනය විසින් බලය බෙදීමේ ක්‍රමයක් නැති චීනයෙන් උගන්වනවා ඇත්තේ බලය නොබෙදා සිටින ආකාරය විය හැකි ය.

එල්.ටී.ටී.ඊ. සංවිධානය කෙරෙහි ජනතා අනුකම්පාව තවමත් තිබෙනවා - සිද්ධාර්ථන්

(අගෝස්තු 16, 2009 - W3Lanka) ජනයා විශාල පිරිසක් සමග සාකච්ඡා කිරීමෙන් පසු තමන් දැඩිව විශ්වාස කරන පරිදි එල්.ටී.ටී.ඊ. සංවිධානය කෙරෙහි අනුකම්පාව තවමත් පවතින බවද, ඒවා ඡන්ද බවට පත් වූ බව ද වවුනියාව නගර සභාවේ හා යාපනය නගර සභාවේ ඡන්ද ප්‍රතිඵල පිළිබඳ 'ද නේෂන්' පුවත්පත සමග විග්‍රහයකට එක් වෙමින් දෙමළ ඊලාම් මහජන විමුක්ති සංවිධානය හෙවත් ප්ලොට් සංවිධානයේ නායක ධර්මලිංගම් සිද්ධාර්ථන් පවසයි.

ජනයා රජයට කෘතඥමුත්, ඔවුන් තවමත් යුද්ධයේ ප්‍රතිඵලවලින් කම්පිතව සිටින බව හා ඒ ‍පිළිබඳව බෙහෙවින් හැඟීම්බර බව සිද්ධාර්ථන් පවසයි. 

වවුනියා නගරවාසීන් විශාල පිරිසකගේ ඥාතීන් කඳවුරුගතව සිටින බව ද, දිනපතා ඔවුන් බැලීමට කෑම බීමාදිය රැගෙන යන ඔවුන්ට වාසනාවක් තිබුණොත් ඥාතීන් බැලීමට ලැබීමට පෙර පැය ගණන් පෝලිම්වල ලැගීමට සිදු වන බව ද හේ පවසයි. 


මැදවච්චියේ පිහිටුවා තිබෙන මුරපොළ ඔහු සමාන කරන්නේ වෙනත් රටකට සංක්‍රමණය වන්නට පසු කළ යුතු තැනක් ලෙසයි. ඒ හරහා යන්නට ඉඩ දෙන්නේ කාට ද, ඉඩ නොදෙන්නේ කාට ද යන්න පිළිබඳ ප්‍රතිපත්තියක් නොමැතිකමින් ජනතාව අවිනිශ්චිත තත්වයකට පත් වන බව පවසන සිද්ධාර්ථන් පෙන්වා දෙන්නේ මෙබඳු හේතු මත රාජ්‍ය විරෝධී හැඟීම් මුවහත් වන බවයි.


නුවර පෙරහරේ පහතරට නැටුම් නොනැටීම හා අගමැතිගේ විරෝධය

(2009 අගෝස්තු 16 - W3Lanka) අගමැති රත්නසිරි වික්‍රමනායක ‍පාලකයකුට වඩා කතිකයකු ලෙස සැලකීම බලතල රහිත අගමැති තනතුරට හා එකී තනතුර දරණ වයෝවෘද්ධ දේශපාලනඥයකු වන වික්‍රමනායක මහතාට කරන සාධාරණයකැයි සිතමු. 


කතිකයකු ලෙස එතුමා කරන කාර්යයේ හුවා දැක්විය හැකි වැදගත් අදහසක් මේ දිනවල එතුමා සිය ගම් ප්‍රදේශය වන හොරණදීත්, කලුතරදීත් කලාකරුවන් සම්බන්ධ උත්සව දෙකකදී ප්‍රකාශ කරන ආකාරය දකින්නට ලැබිණි. 


පහතරට කලාකරුවන් උළෙලවලදී ගැටබෙරය වාදනය කරනමුත්, නුවර පෙරහැරේදී පහතරට යක් බෙරය වාදනය නොවන බව ද, පහතරට කලාංග එයට එක් කරගෙන නැති බව ද, ජාතික උත්සවයකදී එවැනි භේද තිබිය නොහැකි බව ඔහු පැවසීය. 


අගමැති වික්‍රමනායක විසින් මේ ස්පර්ශ කර තිබෙන්නේ හුදෙක්ම කලාවට පමණක් සීමා වූ කාරණයක් නොවේ. උඩරට-පහතරට භේදය ද කුලභේදය හා ජාතිවාදය සේ ම සමාජ යටිතලයේ තවමත් සක්‍රියව පවතී. පහතරැටියකු වන වික්‍රමනායක මේ පහර දෙන්නේ දළදා මාළිගාව කේන්ද්‍ර කරගත් සංස්කෘතියේ උඩරට ආධිපත්‍යවාදයටයි.


"ලංකා සංස්කෘතික පුනර්ජීවනය පිළිබඳ ඇතැම් ප්‍රශ්න" මැයෙන් මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් විසින් ලියා ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයේ අර්ථ ශාස්ත්‍ර සංගමය මඟින් පළකරන ලද ‘සමාජ විග්‍රහය’ නමැති සඟරාවේ පළ කරන ලද ලිපියක් කතිකා වෙබ් අඩවියේ මෑතදී යළි පළ විය. එහි එක් තැනක සරච්චන්ද්‍රයන් මෙසේ පවසයි.

"බොහෝ ගැමි කලාවන් පැන නැඟුණේ චූල සම්ප්‍රදායයෙහි අඩංගු විශ්වාසයන්ගෙනි. මේ ඇදහීම් අනුව කළ යුතු යාග හෝම ආදිය උදෙසා පූජා විධි සමූහයක් අවශ්‍ය වෙයි. පූජාවන්හි දී කැරෙන නැටුම් ඒ හා කැරෙන බෙර වාදන දෙවියන් යකුන් නිරූපණය වී කරන බලි ඇඹීම හා වෙස් මුහුණු ඇඳීම වීදි (සංස්කෘත -වෙදි) තැනීම හා සැරසීම, දෙවියන් යකුන් ගැන සැහැලි ප්‍රබන්ධ කිරීම හා ගායනා කිරීම මේ පූජා විධිවල අංග වේ."

පන්සල් ආශ්‍රිතව දියුණු වී ඇති චිත්‍ර කලාවත් ප්‍රතිමා කලාවත් පද්‍ය හා ගද්‍ය වශයෙන් ඇති සියලු පැරණි පණ්ඩිත පි‍්‍රය කාව්‍යත් මහා සම්ප්‍රදායය තුළින් උපන් සේ ගත යුතු බව සරච්චන්ද්‍ර පවසයි.

ලාභය මත පදනම් වූ ධනවාදී විනෝද ව්‍යාපාර හේතුවෙන් අද සිදු වී ඇත්තේ මෙකී චූල සම්ප්‍රදායට අයත් ප්‍රාසාංගික කලාවන් මහා සම්ප්‍රදායනට වඩා වෙළඳපොල වටිනාකමක් අත්පත් කරගැනීමයි. චූල සම්ප්‍රදායෙන් මතු වූ ලංකාවේ ජන නැටුමේ අද වන විට මහා සම්ප්‍රදාය බවට පත් වී තිබෙන්නේ උඩරට නැටුමයි.

"නොදියුණු ප්‍රාකෘතික තත්ත්වය ඉක්මවා ගිය එකම ජනකලාව සමහරවිට උඩරට නැටුම් කලාව විය හැකිය. එහෙත් එය ලද දියුණුවට හේතු වූයේ ඊට භාරතීය පෞරාණික නැටුම් කලාවේ ආභාසය ලැබීම බව පෙනේ," යි සරච්චන්ද්‍ර පවසයි.


ලංකාවේ රාජ්‍ය පාලනය තුළ මල්වතු අස්ගිරි මහ නායක හිමිවරුන්ගේ නොනිල බලය වත්මන් ආණ්ඩු පාලන සමය තුළ ශීඝ්‍රයෙන් ඉහළ ගිය බව ආණ්ඩුවට සමීප අය පවසති. අගමැති රත්නසිරි වික්‍රමනායක වැනි පහතරැටියන්ට එයින් වූ රිදවීම ප්‍රකාශයට පත් වන තැනක් ලෙස අගමැතිවරයාගේ මෙම ප්‍රකාශය සැලකිය හැකිය. 



කෙසේ වෙතත්, සංස්කෘතික පුනර්ජීවනයක් අපේක්ෂා කරන අයට සංවාදයක් ඇරඹීම සඳහා නිමිත්තක් අගමැතිවරයා විසින් සපයා ඇතැයි අපි සිතමු. එහෙත්, ඉන් එහා ගිය වැදගත් අදහසක් අගමැතිතුමා විසින් පළ කර නැත. සරච්චන්ද්‍රයන්ගේ ලිපියේ ඇති අදහසකින් ම මෙය පැහැදිලි කර ගත හැකි ය. 


"අද ලංකාවේ සංස්කෘතික පුනර්ජීවනයක් කරතොත් එය කළ යුත්තේ මුලු මහත් ලෝකයෙහි චින්තන ක්‍රමයන් හා සංස්කෘතීන් ප්‍රයෝජන වන ලෙස උපයෝගී කරගත හැකි අය විසින් බවය. මෙහිදී සීමාන්තික දේශානුරාගය එතරම් පිහිට නොවනු ඇත. ලංකාවේ මෙවැනි ව්‍යාපාරයක් මෙහෙයවිය හැකි පන්තිය තවමත් ක්‍රමයෙන් නැඟෙමින් පවතී."

2009-08-15

සංස්කෘතික පොලිසියට එරෙහිව මාධ්‍ය (ඇමතිගේ) නිදහස හෙවත් පියාට එරෙහිව ප්‍රියා



(අගෝස්තු 15, 2009 - W3Lanka) ඇල් වතුරත් නිවා බීමට පරිස්සම් වන තොරතුරු හා මාධ්‍ය අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා එම තනතුරින් දොට්ට දැමීම සඳහා ව්‍යාපාරයක් නව සංස්කෘතික ඇමති පියසිරි විජේනායක ප්‍රමුඛ ජාතික නිදහස් පෙරමුණ විසින් ආරම්භ කර ඇති බව වාර්තා වේ.


රජයේ කැබිනට්‌ ප්‍රකාශකවරයා ලෙස ජනමාධ්‍ය ඇමැතිවරයා කැබිනට්‌ තීරණ දැනුම් දීමට අමතරව කැබිනට්‌ මණ්‌ඩලය විසින් ඉදිරිපත් නොකළ පෞද්ගලික මත දැක්‌වීම තුළින් කැබිනට්‌ ප්‍රකාශකගේ වගකීම පැහැර හැර ඇති බව ද, එමගින් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් සංස්‌කෘතික කටයුතු හා ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යවරයාටත්. සංස්‌කෘතික කටයුතු අමාත්‍යවරයා වන තමා හටත් කළ නියමයන් හෑල්ලුවට ලක්‌කර ඇති බව ද සංස්කෘතික ඇමති පියසිරි විජේනායක පවසයි. මේ අනුව හැඟෙන්නේ අනුර ප්‍රියදර්ශන යාපා ඇමැතිවරයා තවදුරටත් කැබිනට්‌ ප්‍රකාශකවරයා ලෙස කටයුතු කිරීම ගැටලු සහගත බව යැයි ඔහු වැඩිදුරටත් කියයි.


තමාගේ විෂය පථයට අනවශ්‍ය ලෙස ඇඟිලි ගැසීමට තමා කිසිදු අමාත්‍යවරයකුට ඉඩ නොදෙන බවත්. රූපවාහිනී මාධ්‍යයෙන් ප්‍රචාරය කරන චිත්‍රපට, ටෙලි නාට්‍ය සහ වෙළෙඳ දැන්වීම්, රැඟුම් පාලක මණ්‌ඩලයේ අනුමැතිය ලබා ගෙන ප්‍රදර්ශනය කිරීම සඳහා පනත් ගෙන ඒම සම්බන්ධයෙන් තමා දැඩි ලෙස විරුද්ධ බවත් කැබිනට්‌ තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී කැබිනට්‌ ප්‍රකාශක අනුර ප්‍රියදර්ශන යාපා ඇමතිවරයා පවසා තිබිණි.


ජනමාධ්‍ය ආයතන සම්බන්ධයෙන් කටයුතු කිරීම ජනමාධ්‍ය අමාත්‍යවරයාට පැවරී ඇති විෂය කටයුත්තක්‌ බව සැබෑ මුත් මෙරට සංස්‌කෘතියට පටහැනි සදාචාර සම්පන්න නොවන විශේෂයෙන් ළමා මනස විකෘති කරවන දෑ සමාජගත වීම වැළැක්‌වීම සංස්‌කෘතික අමාත්‍යාංශයේ ප්‍රමුඛතම වගකීමක් බව ද සංස්‌කෘතික අමාත්‍යාංශය කටයුතු කර ඇත්තේ එම වගකීම අනුව බව ද පියසිරි විජේනායක ඇමතිවරයා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.


මීට ටික කලකට ඉහතදී අනුර ප්‍රියදර්ශන යාපා ඇමතිවරයා ඉවත් කර තොරතුරු හා ජනමාධය අමාත්‍යාශය ජනාධිපතිවරයා යටතට පත් කරන ලදී. එහෙත්, පසුව එම අමාත්‍යංශය යළි අනුර යාපා ඇමතිවරයාට ම ලබා දෙන ලදී.


පියසිරි විජේනායක ඇමතිවරයා නියෝජනය කරන ජාතික නිදහස් පෙරමුණේ නායකයා වන විමල් වීරවංශ මෙම අමාත්‍යංශයට කැමැත්තක් දක්වන බව දැනගන්නට ඇත. හිටපු ජනමාධ්‍යවේදියකු හා ජනතා විමුක්ති පෙරමුණේ හිටපු ප්‍රචාරක ලේකම් වන වීරවංශ දැන් ජනාධිපතිගේ සමීපතමයන් අතරින් එක් අයෙකි.

අවතැන් වූ ජනයා වැස්සෙනුත් යළි අවතැන්


(අගෝස්තු 15, 2009 - W3Lanka) අධික වර්ෂාපතනය ‍හේතුවෙන් වවුනියාවේ ඇතැම් අවතැන් කඳවුරුවල වතුර එක් රැස් වීම හේතුවෙන් ජනතාව මහත් දුෂ්කරතාවට පත් වී සිටින බව වාර්තා වේ.

ඇතැම් තැන්වල අඩියක් පමණ වතුර පිරී ඇති බව ද, ඒ හේතුවෙන් ඇතැම් කඳවුරු වැසියන්ට කූඩාරම්වල රැඳී සිටීමට හා ආහාර උයා පිහා ගැනීමට නොහැකි වී තිබෙන බව ද වවුනියා දිස්ත්‍රික් දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී සිවශක්ති ආනන්දන් බී.බී.සී සංදේශය වැඩසටහනට පැවසීය.

නැවත පදිංචි කිරීම් අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් පවසන්නේ වැසි නිසා අවතැන් වූ අවතැන් වූවන් වෙනත් තැන්වලට යවා ඇති බව හා ආහාර උයා පිහා ගත නොහැකි වූවන්ට පාන් සපයා ඇති බවයි.



(ඡායාරූපය නියං සමයේ කඳවුරු ළිඳක් අසල දර්ශනයකි - Thanks to AP)

වැටත් නියරත් ගොයම් කති; පොලිසියේ සමහරු රිමාන්ඩ්; සමහරු මාරු; තවත් සමහරු........

(අගෝස්තු 15, 2009 - W3Lanka) පොලිස් අත්අඩංගුවේ සිටි තරුණයින් දෙදෙනකු සිරමැදිරියෙන් ඉවතට රැගෙනගොස් වෙඩි තබා මරා දැමීම සම්බන්ධයෙන් සැකපිට ගල්කිස්ස මූලස්ථාන පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අඟුලාන පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කුබේදොර ජීට් නිව්ටන් සහ තවත් පොලිස් කොස්තාපල්වරුන් හතර දෙනෙකු අගෝස්තු 26 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂ සේතුංග මහතා නියෝග කර ඇත. 

මෙම කොස්තාපල්වරුන් සිව්දෙනා වම් ඉවුර, යාය 3 මහාවිලච්චිය, කැලේදිවුල්යාය, මහාඉලුප්පල්ලම, හල්පිටිගල ජනපදය, දෙවන පියවර, ගාල්ල, මල්ලිකා මාවත, උදාකළ ගම්මානය , ඇඹිලිපිටිය යන සාමාන්‍යයෙන් නම් පීඩිත ජනයාට හිමි යයි සිතිය හැකි ලිපිනවල පදිංචිකරුවන් බව නිරීක්ෂණය කරන ලදී. 

මෙම නිලධාරීන් අතින් මිය ගිය බවට සැක කෙරෙන පල්ලිය පාර අඟුලාන පදිංචි මුතුසේබස්තියන්ගේ දිනේෂ් තරංග ප්‍රනාන්දු ඔහුගේ හිසට සහ පපුවට වෙඩි වැදීම නිසාත්, මහජන මාවත අඟුලාන පදිංචි ගෝනියමාලිමගේ ධනුෂ්ක උදයංග ඔහුගේ පපුවට හා දකුණු කකුලේ කලවට වෙඩි වැදීම නිසාත් මියගොස් ඇති බව පොලිසිය මගින් අධිකරණයට ඉදිරිපත් කළ ‘බී’ වාර්තාවේ සඳහන් වෙයි.


මේ අතර, ගංජා ග්‍රෑම් 975ක් යතුරුපැදියේ සඟවාගෙන ප්‍රවාහනය කරමින් සිටි මහඔය පොලීසියේ සේවය කරන කාන්තා පොලිස් සැරයන්වරියක ඔත්තුවක් මත පදියතලාව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

‍මේ අතර, මාලබේ තොරතුරු තාක්ෂණ පීඨයේ නිපුණ රාමනායක ශිෂ්‍යයා වධහිංසනයට ලක් කළ බවට චෝදනා ලද කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වාස් ගුණවර්ධන වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් මූලස්ථානයට මාරු කර තිබේ. සිද්ධියට ඍජුවම සම්බන්ධ ඔහුගේ බිරිඳට හා පුත්‍රයාට එරෙහිව තවමත් කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් ගෙන නැත.

2009-08-14

පොලිසියේ වැරදිවලට දඬුවම් නැතැයි කවුරුද කියන්නේ? මෙන්න මිනීමැරුම් සැකකරුවන්ට ස්ථාන මාරු

(අගෝස්තු 14, 2009 - W3Lanka) තරුණයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන මරා දැම්වේ යයි චෝදනා ලැබ ගල් මුල් ප්‍රහාරයට ලක් වූ අඟුලාන පොලිසියේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ටී. එම්. ඩී. නිව්ටන් ඇතුලු නිලධාරීන්ට  ස්ථාන මාරු ලැබී තිබේ. මාලබේ තොරතුරු තාක්ෂණ ආයතනයේ නිපුණ රාමනායක සිසුවාට පහර දීමට සම්බන්ධ වූ නිලධාරීන් පහකට ද පොලිසිය ස්ථාන මාරු ලබා දී ති‍බේ.



ඝාතනයට ලක්ව ඇත්තේ අඟුලාන සමූපකාරය අසල පදිංචි ධනුෂ්ක උදයකුමාර (21) හා දිනේෂ් තරංග (27) නමැති තරුණයන් දෙදෙනාය. මේ දෙදෙනා ඊයේ (13) අලුයම 2.30ට පමණ අඟුලාන පොලිස් ස්ථානාධිපති ඇතුළු කණ්ඩායමක් පැමිණ අත්අඩංගුවට ගත්බව ප්‍රදේශවාසීහු පවසති. පසුව ඔවුන්ගේ මළ සිරුරු ඊයේ උදෑසන අඟුලාන පොලිසිය ආසන්නයේ පිහිටි පාලම අසල හා දුම්රිය මාර්ගයේ තිබී සොයාගෙන තිබිණි. ඔවුන්ගේ පාද වලට හා පපුවට වෙඩි තැබීමෙන් තුවාල සිදුව තිබෙන බව පොලිසිය සඳහන් කරයි.

අඟුලාන පොලිසිය මේ පිළිබඳ ප්‍රකාශයක් කරමින් පවසා ඇත්තේ මෙම තරුණයන් ප්‍රදේශයේ කාන්තාවකට විහිළු කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන මුදා හැරි බවයි. මියගිය තරුණයන් පාතාල කණ්ඩායමක සාමාජිකයන් බවත්, සැකකරුවන් දෙදෙනා වෙනත් කණ්ඩායමක් විසින් ඝාතනය කර ඇති බව පොලිසිය සැකකරන බවත් ගල්කිස්ස පොලිසියේ නිලධාරියෙක් කී බව දිනමිණ වාර්තා කරයි. ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු හා පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රංජිත් ගුණසේකර මහතා එම පුවත්පතට ප්‍රකාශ කළේ මේ අත්අඩංගුවට ගැනීම සම්බන්ධව පොලිසියේ සටහන් වී නැති බවයි.

සිද්ධියෙන් මියගිය දිනේෂ් තරංග (21) තරුණයාගේ මව වන දේවිකා විනිප්‍රීඩා පවසන පරිදි 12දා රාත්‍රියේ සිය පුත්‍රයා හා ඔහුගේ මිතුරා අඟුලාන පොලිසියේ කුඩුවේ සිටියදී ඔවුනට හමු විය. එහෙත් පසුදා උදෑසන ඔවුන් බැලීමට පොලිසියට ගිය විට නිලධාරීන් පවසා ඇත්තේ ඔවුන් නිදහස් කරනු ලැබූ බවයි.

උතුරු දුම්රිය මාර්ගය හදන්න මහජන මුදල් සම්මාදමේ; ප්‍රතිරූප හදන්න ලක්ෂ 100ක දැන්වීමක්

(අගෝස්තු 14, 2009 - W3Lanka) උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ස්ථාන ඉදි කිරීම සඳහා පාසල් සිසුන්, රජයේ සේවකයන් ඇතුළු මහජනයාගෙන් මුදල් සම්මාදම් කරමින් සිටින රජය ඉදිකිරීමේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් විනාඩි 03ක රූපවාහිනී ප‍්‍රචාරක දැන්වීමක් නිර්මාණය කිරීම සඳහා ප‍්‍රවාහන අමාත්‍යවරයාගේ උපදෙස් මත ලක්‍ෂ 100කට වැඩි මහජන මුදලක් වැය කරමින් සිටින බව දුම්රිය සේවක අයිතීන් හා දෙපළ සුරැකීමේ සංවිධානය පවසයි. 

මෙම ප‍්‍රචාරක දැන්වීම නිර්මාණය කිරීම කිරීම සඳහා පුද්ගලික ආයතනයකට බාරදී ඇති අතර නවාතැන්, කෑම්බීම් ගමන් වියදම්, අතිකාල ලබාදෙමින් 200කට ආසන්න කාර්ය මණ්ඩලයක් ද ප‍්‍රයෝජනයට ගෙන ඇති බව ද එම සංගමය නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දැක්වේ.

මෙම ප‍්‍රචාරක දැන්වීම සඳහා එම්. 8 වර්ගයේ දුම්රිය එන්ජින් දෙකක් ද, දුම්රිය මැදිරි 13ක්ද, බඩු දුම්රිය පෙට්ටි කීපයක්ද, වායුසමනය කළ විශේෂ දුම්රියක් ද මෝටර් ට්‍රොලයක්ද යොදා ගෙන ඇති බැවින් මේ වනවිට බඩු ප‍්‍රවාහන දුම්රිය කීපයක් නතර වී ඇති අතර දුම්රිය ප‍්‍රමාදය හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට පාඩු සිදු වන බව ද දුම්රිය සේවක අයිතීන් හා දෙපළ සුරැකීමේ සංවිධානය පවසයි. 


උතුරු දුම්රිය මාර්ගය ඉදිකිරීමේ සමාජ අවශ්‍යතාවය තේරුම්ගත් තම සංවිධානය, සුනාමියෙන් විනාශ වූ මුහුදුබඩ දුම්රිය මාර්ගය ගොඩනැගීමේ අත්දැකීම් සහිතව උතුරු දුම්රිය මාර්ගය සැදීම සඳහා ස්වේච්ඡා ශ‍්‍රමය ලබාදීමට කැමති බව ප‍්‍රවාහන ඇමතිවරයාට දැනුම් දුන්න ද එම ලිපිය ලද බවක් හෝ දැනුම් නොදුන් බවද එම සංවිධානය පවසයි.

- යුනියන්ස් ලංකා

බලහත්කාර අනුකලනය ද? සැබෑ ලාංකික ජාතියක් ගොඩනැඟීම ද?

(අජිත් පැරකුම් ජයසිංහ)

රජය විසින් ‍පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන නව මැතිවරණ නීති යටතේ වාර්ගික හා ආගමික ප්‍රජාවන්ගේ අනන්‍යතාව ප්‍රකාශ කරන පක්ෂවලට තම නම සංශෝධනය කිරීමට හෝ නොඑසේ නම් ලියාපදිංචිය අවලංගු වීමට මුහුණ දීමට සිදු වනු ඇත. මෙම අලුත් නීති අනුව කිසිදු දේශපාලන පක්ෂයකට වාර්ගික හෝ ආගමික අනන්‍යතාවක් ප්‍රකාශයට පත් වන නමක් භාවිතා කළ නොහැකි වේ. යම් පක්ෂයක් එවැනි නමක් භාවිතා කරන්නේ නම් වසරක් ඇතුළත නම සංශෝධනය කර ලියාපදිංචිය සඳහා නැවත අයදුම් කළ යුතු ය.


වාර්ගික අනන්‍යතාව ප්‍රකාශ කරන නම් ඇති දේශපාලන පක්ෂ අතරින් බොහොමයක් සුළුතර ජාතීන් නියෝජනය කරන පක්ෂ වෙති. 'දෙමළ,' 'මුස්ලිම්' යන වචන දේශපාලන පක්ෂ රැසක නම්වල භාවිතා වන අතර, සිංහලයේ මහා සම්මත භූමි පුත්‍ර පක්ෂය, සිහළ උරුමය හා ජාතික හෙළ උරුමය ආදී පක්ෂවල නම්වලින් බහුතර ජාතියේ වාර්ගික අනන්‍යතාව ප්‍රකාශයට පත් වේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආදි කර්තෘ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බංඩාරනායක සිය දේශපාලන ගමන් මග හෙළි පෙහෙළි කර ගත්තේ ද සිංහල මහ සභාව නම් දේශපාලන ව්‍යාපාරයක් හරහා ය.


වත්මන් රජයේ ප්‍රතිපත්තිය වන්නේ සුළුතර ජාතීන්ගේ දේශපාලනඥයන් එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යටතේ දේශපාලනය කළ යුතු බවයි. යාපනය මහනගර සභා ඡන්දයේදී අමාත්‍ය ඩග්ලස් දේවානන්දාගේ නායකත්වයෙන් යුත් ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය වෙනම තරග කිරීමට මුලින් අදහස් කළ ද රජයේ බලපෑම හේතුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය ලෙස තරග කිරීමට පසුව සිදු විය.
එල්.ටී.ටී.ඊ. සංවිධානයෙන් කැඩී වෙන් වී දෙමළ මහජන විමුක්ති කොටි හෙවත් ටී.එම්.වී.පී. ලෙස කටයුතු කළ කරුණා අම්මාන් ඇතුළු පිරිසක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එකතු වු අතර නැගෙනහිර මහඇමති පිල්ලෛයන්ගේ කණ්ඩායමේ ටී.එම්.වී.පී. සාමාජිකයන්ට ද එසේ කරන ලෙස දැඩි බලපෑමක් එල්ල විය. එහි ප්‍රතිඵලයක් ලෙස මඩකලපු නගරාධිපතිනි ශිවගීතා ප්‍රභාකරන් ඇතුළු පිරිසක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය ලබා ගත්හ. දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීන් ගණනාවකට ද ආණ්ඩුවට එක් වන ලෙස බලපෑම් ඇති බව වාර්තා‍ වේ. වතුකරයේ ප්‍රධාන දේශපාලන පක්ෂ ද ආණ්ඩුවට ගැට ගැසී ඇත.
බොහෝ කාලයක් ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක සමග දේශපාලනයේ යෙදුණු මුස්ලිම් ජනයා ප්‍රබල ලෙස වෙනම අනන්‍යතාවක් ප්‍රකාශයට පත් කරන තැනකට ගෙන ආ ඒ.එච්.එම් අෂරොෆ්ගේ අභාවයෙන් පසු කප්පිත්තකු නැති නැවක තත්වයට පත් වූ මුස්ලිම් දේශපාලනයට ද යළි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ධාරාවට එක් වන ලෙස දැඩි බලපෑමක් තිබේ. රටේ පවතින්නේ එසේ එක් නොවන්නන් දේශපාලනිකව නන්නත්තාර කරන අන්දමේ ක්‍රමයකි.


පක්ෂ ලියාපදිංචිය අවලංගු කිරීමේ බලතල ද මැතිවරණ කොමසාරිස්වරයාට නව නීතිවලින් හිමි වේ. ඒ අනුව, එක ළග මැතිවරණ දෙකකට තරග නොකළ දේශපාලන පක්ෂවල පිළිගැනීම අවලංගු කිරීමේ බලය ද මැතිවරණ කොමසාරිස්වරයාට ලැබේ. මෙම නව නීති ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ සිතීමේ, හෘදය සාක්ෂියේ හා ආගමික නිදහසේ අයිතිය තහවුරු කරන 10වන වගන්තියද, ප්‍රකාශනයේ, රැස්වීමේ හා සංවිධානය වීමේ හිමිකම තහවුරු කරන 14වන වගන්තිය ද උල්ලංඝනය කරයි.


ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක වන එක්සත් ජාතික පක්ෂයේ හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක, ප්‍රධාන ලේකම්, සභාපති, අගමැති අපේක්ෂක හෝ ජනාධිපති අපේක්ෂක වැනි ප්‍රධාන තනතුරකට සුළුතර ජනවර්ගයන් නියෝජනය කරන කිසිවකු කිසිදු දිනෙක පත් වී නැත. ජාතික මට්ටමේ දේශපාලන පක්ෂ අතරින් සුළු ජාතීන්ට අයත් මිනිසුන්ට පක්ෂයේ ප්‍රධාන තනතුරු ලබා දුන්නේ පැරණි වමේ පක්ෂ පමණි. වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂට 2004දී අගමැති තනතුර ලබාගැනීම සඳහා ඔහුගේ තරගකරුවකු වූ ලක්ෂ්මන් කදිරගාමර් නම් ජවිපෙ සහයෝගය පවා ලද දෙමළ ජාතිකයාට එරෙහිව සිංහල බෞද්ධකම එසවීමෙනි. රජය සුළු ජාතීන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කුඩය යටට තල්ලු කරන්නට යන්නේ මෙවැනි පසුබිමක් තිබියදී ය.


එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නායකත්වයට ප්‍රභාකරන්ගේ අනුප්‍රාප්තිකයා‍ ලෙස පත් වූ කේ.පී. අල්ලා ගැනීමත් සමග රජය එහි ප්‍රතිසංවිධානය වීමේ හැකියාව ද අවම කර තිබේ. දෙමළ ඊලාම්වාදය පමණක් නොව, සියලු සුළු ජාතීන්ගේ ජාතිකමය වශයෙන් බලය ඉල්ලා සිටීමේ ප්‍රවණතා සියල්ල මර්දනය කර, සුළු ජාතික දේශපාලනය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිර අඩස්සියට ගැනීම ජාතික ප්‍රශ්නයට ආණ්ඩුව විසින් ලබා දෙන යුද-දේශපාලනික විසඳුමේ එක් කොටසකි. රජය එසේ කරන්නේ රාජ්‍යයේ සිංහල බෞද්ධ ආධිපත්‍යවාදය තබා අඩු තරමේ දේශපාලන පක්ෂ ව්‍යූහයන් තුල පවතින එම තත්වය වෙනස් කිරීමට හෝ ප්‍රයත්නයක් නොදරමිනි.


එහි ආදීනව පිළිබඳ රජයේ ඇස් ඇරවීම‍ට යාපනය නගර සභාවේ හා වවුනියාව නගර සභාවේ ඡන්ද ප්‍රතිඵලය වුව සෑහේ. පළාත් පාලන ඡන්දයක් ඓතිහාසික එකක් වීමට යෝග්‍ය නොවුණත්, යාපනය මහ නගර සභාවට හා වවුනියාව නගර සභාවට පවත්වන ලද ඡන්දය එවැන්නක් බව ආචාර්ය දයාන් ජයතිලක අද The Island පුවත්පතට ලිපියක් ලියමින් පවසයි. එසේ වන්නේ මෙම මැතිවරණ වනාහි තිස් වසරක බෙදුම්වාදී යුද්ධය කැරැලිකරුවන්ට පරාජය ගෙන දෙමින් අවසන් වීමෙන් පසු දෙමළ දේශපාලන ජීවිතයේ මධ්‍යස්ථානවල පවත්වන ප්‍රථම මැතිවරණය මෙය වීම බව ඔහු කියයි.


එක්සත් ජනතා නිදහස් සන්ධානය වවුනියාවේදී ලද අන්ත පරාජය පිළිබඳ අදහස් දක්වමින් ඇමති ඩග්ලස් දේවානන්ද The Island පුවත්පතට පවසන්නේ තමන් කොටින්ගෙන් මුදාගත් එක්සත් ජනතා නිදහස් සන්ධානයට ස්තුති පූර්වක නොවෙමින් තමන් කාලකන්නිභාවයට ඇද දැමීම පිළිබඳව පාර්ශ්විකව වගකිවයුතු දෙමළ ජාතික සන්ධානයට දෙමළ ජනයා ඡන්දය දීම පිළිබදව තමන් පුදුම වන බවයි. ඡන්දයට දින කීපයකට පෙර යාපනයේ රාජ්‍ය අනුග්‍රහයෙන් පැවති සංගීත ප්‍රසංගයකට ලක්ෂයකට අධික පිරිස් පැමිණි බව මාධ්‍ය වාර්තා කළේය. එහෙත් අගෝස්තු 08දා ඡන්දය දීමට පැමිණියේ 22,280ක් හෙවත් 22%ක් පමණ ප්‍රතිශතයකි. එයිනුත් ආණ්ඩුවට ඡන්දය දුන්නේ 10,602ක් හෙවත් දෙකෙන් පංගුවකට අඩු ප්‍රමාණයකි. දෙමළ ජනයාගේ විපතට ‍පාර්ශ්විකව වගකිව යුතු යයි රජය හඳුන්වන දෙමළ ජාතික සන්ධානය යාපනයේදී ඡන්ද 8008ක් ලබාගෙන දෙවන තැනට පත් වෙද්දී වවුනියාවේදී ඔවුහු විශිෂ්ඨ ජයක් වාර්තා කළහ. ප්ලොට් සංවිධානය දෙවන තැනට පත් වූ අතර සන්ධානය තුනට වැටිණි. මෙම මැතිවරණ ප්‍රතිඵලය පිළිබඳ එක් එක් පුද්ගලයන්ට තම තමන්ගේ දේශපාලනික න්‍යාය පත්‍රානුකූලව විග්‍රහ ඉදිරිපත් කළ හැකිය. එහෙත්, එක දෙයක් පමණක් ප්‍රතික්ෂේප කළ නොහැකිය. එනම්, ත්‍රස්තවාදයෙන් දෙමළ ජනයා මුදාගත් බව කියන රජය ඉන් පසුවත් උතුරේ දෙමළ ජනයා විසින් ප්‍රතික්ෂේප කර ඇති බවයි. එසේම, යුදමය වශයෙන් පරාජය කරන ලද කොටි සංවිධානයේ බළල් අතකැයි කී දෙමළ ජාතික සන්ධානය කොටින්ගෙන් තොර පසුබිමක පවා තවමත් බලවත් බවයි.


දෙමළ ජාතික සන්ධානයෙන්, ප්ලොට් සංවිධානයෙන්, යාපනය මහනගර සභාවට තේරී පත් වූ ආනන්ද සංගරීගෙන් පමණක් නොව යාපනයේ ජයග්‍රහණය සන්ධානයට ලබා දුන් ඊ.පී.ඩී.පීයෙන්වත් ප්‍රකාශ වන්නේ ආණ්ඩුව බලාපොරොත්තු වන දෙය නොවේ. මෙම තත්වය තේරුම් ගැනීමට සිංහල ජනයා උනන්දු විය යුත් ය. සුළුජාතික දේශපාලනික ඉල්ලීම් මර්දනය කිරීම සදාකාලිකව එකම අයුරින් තබාගැනීම ආණ්ඩුවට අපහසු ය. මර්දනයේ හස්තය බුරුල් වූ සැණින් මතු වන්නේ ආවේගශීලී වෙන් වී යාමේ ප්‍රවණතා බව මහා රුසියානු ආධිපත්‍යය යටතේ තිබුණු ස්වයං පාලිත ජනරජයන් 1990 දශකයේදී සෝවියට් කොමියුනිස්ට් පාලනයේ බිඳවැටීමත් සමග විසිරී ගිය ආකාරයෙන් පැහැදිලි වේ.


ජාතීන් බලහත්කාරයෙන් අනුකලනය කළ නොහැක. ආණ්ඩුව බලාපොරොත්තු වන ආකාරයේ වාර්ගික බෙදීම්වලින් තොර දේශපාලන සංදර්භයක් රටේ ඇති වීමට නම්, පළමුවෙන් ම, අද පවතින සිංහල මූලික ශ්‍රී ලාංකික රාජ්‍යය  වෙනුවට ලාංකීය ජාතියක් සැබැවින්ම ගොඩනැඟීමේ බලවත් පරිශ්‍රමයකට රජය උර දිය යුතුව තිබේ.