W3lanka.com

NEWS IN
ENGLISH

ජනාකීර්ණ භූමිභාගයක යුද මෙහෙයුම් හා මරාගෙන මැරෙන සටන්කරුවාට තබා ඇති බර

අජිත් පැරකුම් ජයසිංහ
කොටි සංවිධානය විසින් පාලනය කරනු ලබන ප‍්‍රදේශය රජය විසින් ප‍්‍රකාශයට පත් කර තිබෙන ‘ආරක්ෂිත කලාපයට‘ හෙවත් යුද මුක්ත කලාපයට සීමා වීමත් සමග ලංකාවේ යුද්ධය අවතීර්ණ වෙමින් ඇත්තේ ඉතා සංකීර්ණ අවධියකටයි. එයට හේතුව, අධික ජනගහණයකින් යුක්ත, කලපුවෙන්, මුහුදෙන් හා රජයේ හමුදාවන්ගේ ආරක්ෂක වළලූවලින් මායිම් වූ සීමිත ප‍්‍රදේශයක ‘ජනාකීර්ණ භූමිභාගයක සිදු වන යුද මෙහෙයුමක‘ (Military Operations in Urbanised Terrain - MOUT) තත්වයක් නිර්මානය වීමයි. එවැනි තත්වයකදී භාවිතා කළ හැකි ප‍්‍රහාරක බලය දැඩි ලෙස සීමාසහිත වීම මේ මොහොතේදී ජයග‍්‍රාහී හා වඩා ශක්තිමත් තත්වයක සිටින රජයේ හමුදාවලට අවාසියකි.

මෙම මෙහෙයුමේ පළමු අදියර දැනටමත් ආරම්භ කර තිබෙන ආරක්ෂක හමුදාවෝ හැකි තරම් සිවිල් වැසියන් ප‍්‍රමාණයක් භූමියෙන් ඉවත් කිරීමට කටයුතු සම්පාදනය කර තිබේ. සිවිල් වැසියන්ට කලපුව හරහා කෙටි දුරකින් රජයේ පාලන ප‍්‍රදේශ වෙත පැමිණීමේ අවකාශය හමුදාව විසින් පුදුකුඩිඉරිප්පු අල්ලාගැනීමත් සමග විවර විය. එය වැළැක්වීම සඳහා වඩා දැඩි ක‍්‍රියාමාර්ග ගැනීමට කොටින්ට සිදු වී තිබේ. සිවිල් වැසියන් සමගම ආරක්ෂිත කලාපයේ එල්.ටී.ටී.ඊ. යුදමය ක‍්‍රියාකාරකම් පිළිබඳ තොරතුරුද විශාල වශයෙන් හමුදාවට ලැබෙමින් තිබේ. එහෙයින් නිරතුරු සිය යුදමය ස්ථානගතවීම් වෙනස් කිරීමටද කොටි සංවිධානයට සිදු වී තිබේ. කුඩා හමුදා භට කණ්ඩායම් තම භූමිය තුළට රිංගාගැනීම වළක්වා ගැනීම සඳහා කොටි සටන්කරුවෝ ආරක්ෂිත ප‍්‍රදේශය වටා රැකවල් තර කරමින් සිටිති. රජයේ හමුදාවලට කලින් මෙන් දැඩි ගුවන් හා කාලතුවක්කු ප‍්‍රහාර එල්ල කිරීම දුෂ්කර වී තිබෙන්නේ ඒවායින් සිවිල් වැසියන්ට සිදු වන හානි ඉතා අධික බැවිනි. අනෙක් පැත්තෙන්, මේ වන විට ලංකාවේ යුද්ධය කෙරෙහි ලෝක අවධානය වැඩි වී තිබීමද හමුදාවල ඉදිරි ගමනට බාධාවකි. දැඩි පරාජයන් මැද්දේ පවා කොටි සංවිධානය අධිෂ්ඨාන සහගතව සටන් කරයි. කොටි නායකයෝ සටන අතහැර පළා නොගොස් යුදමය හා දේශපාලනික කටයුතු මෙහෙයවමින් සිටිති. ඔවුහු සිය හොඳම සටන්කරුවන් අවසන් යුද්ධය සඳහා ඉතිරි කරගෙන සිටින බව පෙනේ.

ජනාකීර්ණ භූමිභාගයක සිදු වන යුද මෙහෙයුමක සටන් ක‍්‍රම වෙනස්ය. දෙපාර්ශ්වය විසින්ම තීරණ ගැනීමේ හා අණ දීමේ බලතල වඩා විමධ්‍යගත කර ඇත. සාපේක්ෂව අඩු ගිනි අවි බලයක් යොදාගනිමින් මුහුණට මුහුණලා කෙරෙන සටන්වලදී සටන්කරුවන්ගේ ජීවගුණය අතිශය තීරණාත්මකය.

හදිසි නොවී ඉක්මන් වීම ජනාකීර්ණ භූමිභාගයක සිදු වන යුද මෙහෙයුමකදී රජයේ හමුදාවකට අතිශය වැදගත් වන සාධකයකි. යුද්ධය දිග්ගැසීම වළක්වාගැනීම සඳහා ඔවුහු උපරිම උත්සාහ දරනු ඇත. යුද්ධය දිග්ගැසීම විසින් මානව හිමිකම් ප‍්‍රශ්න කෙරෙහි ලෝක අවධානය තීව‍්‍ර කරනු ඇත. අනෙක් පැත්තෙන්, ලංකාව මුහුණ දී තිබෙන ආර්ථික අර්බුදය හමුවේ ආර්ථිකය බේරාගැනීමේ ණයක් ලංකාවට දීම සඳහා ඉදිරිපත්ව සිටින ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ඉදිරිපිට කෙරෙන උද්ඝෝෂණ දක්වා ජාත්‍යන්තර යුද පෙරමුණ විහිදී තිබේ. අපේ‍්‍රල් අගභාගයට හා මැයි මුලභාගයට යෙදී ඇති ඉන්දීය මහ මැතිවරණයේදී, විශේෂයෙන් තමිල්නාඩුවේදී, ලංකාවේ ප‍්‍රශ්නය තීරණාත්මක සාධකයක් වන අයුරුද දක්නට ලැබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක මණ්ඩලය ලංකාවේ ප‍්‍රශ්නය සාකච්ඡා කළ යුතු බවට යෝජනාවක් යළිත් ඉදිරිපත් වී තිබේ. නැවත වතාවක් ලෝක බල දේශපාලනයේ ගැටුම ලංකාවේ ප‍්‍රශ්නය තුළින් ප‍්‍රකාශයට පත් විම ආරම්භ වී තිබේ. චීනය හා රුසියාව ලංකාව බේරාගැනීමට ඉදිරිපත් වී ඇතිමුත් ලංකාව එම කඳවුරේ ස්ථානගත වීම දීර්ඝකාලීනව ලංකාවට වාසිදායක වන්නේ නැත. ලංකාවේ සම්ප‍්‍රදායික මිතුරන් සිටින්නේ එම බල කඳවුරෙහි නොවේ.

දෙමළ විදෙස්ගත ප‍්‍රජාව විසින් ලංකාවේ යුද්ධයට අදාළව කරන කාර්යභාරය අතිශය තීරණාත්මක තලයකට එළඹී තිබේ. රට තුළ මෙන්ම රටින් පිටතදීද දෙමළ දේශපාලනය බෙදී ඇත්තේ කොටියා හා සතුරා ලෙස වීම තුළ දෙමළ ජාතික අරගළයට වාසි මෙන්ම අවාසිද තිබේ. සමස්ත දෙමළ දේශපාලනයම ත‍්‍රස්තවාදය ලෙස නම් කිරීමේ හැකියාව රජයට ලැබී ඇත්තේ කොටි සංවිධානයේ පූර්ව නූතන දේශපාලන දේශපාලන භාවිතාව හරහාය. ලංකාවේ ජාතික ප‍්‍රශ්නය හා අදාළව වාර්ගික ආධිපත්‍යවාදයේ බලපෑමෙන් තොර ස්වාධීන වාම දේශපාලන ධාරාවක් දේශීයව මෙන්ම ජාත්‍යන්තරවද මතු කරගැනීමට දෙමළ හා සිංහල සමාජයන් අසමත් වීම හේතුවෙන් තවමත් මේ අඳුරු ගුහාවෙන් එපිට ආලෝකයක් දැකගැනීමට සමාජය අසමත් වී තිබේ.

මේ අතරතුර අපගේ අවධානය යොමු වන තවත් විශේෂ කරුණක් වන්නේ රාජ්‍ය බලය හිමි සිංහල ආධිපත්‍යවාදී දේශපාලන බලවේගවල උපායික සීරුමාරුවයි. මෙය ප‍්‍රකාශයට පත් වන එක් වැදගත් පුවත්පත් සාකච්ඡාවක් මාර්තු 15දා ලංකාදීප පුවත්පතේ පළ විය. දෙමළ ජනතාවගේ ප‍්‍රශ්නයට දේශපාලන විසඳුමක් ලබාදීම ගැන කෙරෙන ඉල්ලීම්වලට පිළිතුරු දෙමින් ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක බැසිල් රාජපක්‍ෂ මෙසේ පැවසීය.

‘‘කොළඹ හා පිටරට ඉන්න අයයි, නැගෙනහිර දෙමළ ජනතාවයි අතර හිතන විදියේ වෙනසක් තියෙනව කියලා මට හොඳට තේරිච්ච එකක්. ප‍්‍රශ්නයට සෘජුවම මැදිවෙලා ඉන්න ජනතාවයි, පිටස්තර අයයි කියන කතා පරස්පරයි. ලොකු වෙනසක් තිබෙනවා. දෙමළ ජනතාවට ප‍්‍රජාතන්ත‍්‍රවාදය දීලා ඔවුන්ට කතා කිරීමේ නිදහස දීලා ඔවුන්ගේ ඇත්ත ප‍්‍රශ්න ගැන ඔවුන් කතා කරවීමකින් තොරව අපි විසඳුමක් පටවනවා කියන එක අසාධාරණයි කියා මා හිතනවා. ඔවුන් වසර ගණනක් තිස්සේ දරුණු පාලනයකට යටත්වෙලා හිටියේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදය, ඡන්දය ගැන ඔවුන් දන්නේ නෑ. ඒ පරිසරය හදලා ඔවුන්ගේ ප‍්‍රශ්න ගැන කතා කළ යුතුයි. විසඳුම දෙන්න කලින් ප‍්‍රශ්නය මොකක්ද කියා හඳුනා ගත යුතුයිනේ.”

උතුරේ දෙමළ ජනයාද, දකුණේ හා දැනටමත් නැගෙනහිර දෙමළ ජනයා භුක්ති විඳින ආකාරයේ ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදී‘ රාමුවක් තුළට ගැනීම හරහා රජයේ උපායමාර්ගය වී ඇත්තේ දෙමළ ජාතිකවාදී දෘෂ්ටිවාදී ධාරාව වන, කොළඹ කේන්ද්‍රීය, විදෙස්ගත මධ්‍යම පංතික දෙමළ ප‍්‍රජාව හා භෞතික යුද්ධයේ සැබෑ පාර්ශ්වකරුවන් වන දෙමළ පීඩිත ජනයා අතර බෙදීම තීව‍්‍ර කිරීමටයි. නැගෙනහිර දෙමළ ජනයා අතර උතුරට එරෙහිව ‘මඩකලපුවාදය‘ ප‍්‍රවර්ධනය කිරීමේ හැකියාවද රජය සතුය. තමන් එකතු කර එවූ මුදලින් මිළ දී ගත් ඩොලර් මිලියන ගණනක රත්තරං හා යුද උපකරණ රජයේ හමුදා අතට පත්වන අයුරු සුවපහසු යුරෝපයේ රූපවාහිනී තිරවලින් බලමින් හූල්ලන විදෙස්ගත දෙමළ ප‍්‍රජාව තවමත් බලාපොරොත්තු තබා ඇත්තේ පීඩිත දෙමළ ජනයා අතරින් මතු වන මරාගෙන මැරෙන සටන්කරුවා කෙරෙහිය. රජයද මෙම සටන්කරුවා පෙරමුණු දෙකකින් ඉලක්ක කර සිටියි. එක් පෙරමුණකදී එම සටන්කරුවා ඊනියා සංවර්ධන මායාව තුළ දිය කර හරිමින් සිටින අතර අනෙක් පෙරමුණේදී ඔහු මුලිනුපුටා දැමෙමින් සිටියි.

රජයේ සිංහල ආධිපත්‍යවාදය එසේම තිබියදී පවා, දෙමළ ජාතික විමුක්තිවාදයට මරාගෙන මැරෙන සටන්කරුවා මත තබා ඇති බලාපොරොත්තුව ඔස්සේ පමණක් තවදුරටත් ඉදිරියට යාම පහසු වන්නේ නැත.

අදහස් දක්වන්න
පුවත් පිටුවට
නිවහන් පිටුවට


© POWERED BY W3LANKA