2009-09-30

ලංකාවේ ඝාතන සංස්කෘතිය ගුවන් සේවය හරහා ඉන්දියාවටත් යොමු වෙයි

(2009 සැප්තැම්බර්  30 - W3Lanka) ශ්‍රී ලංකන් ගුවන් සේවයේ වැඩ කළ ඉන්දීය ජාතික ගුවන් නියමුවකු තනිවම නැවතී සිටි ඔහුගේ නිවසේදී කෲර ලෙස පිහිවලින් ඇන මරා එල්ලා තිබියදී අසල්වැසියකුගේ තොරතුරක් මත පොලිසිය විසින් සොයාගෙන තිබේ. 

පනස් හැවිරිදි රාමන් කුමාර් රෝයි නම් මෙම ගුවන් නියමුවා සැප්තැම්බර් 23දා සිට දින කීපයක් නිවාඩු ඉල්ලා තිබේ. ඔහු මරා දමා දැන් දින කීපයක් ගත වී ඇතැයි සැලකේ. 


ඔහුගේ පවුලේ අය ජීවත් වන්නේ කැනඩාවේය. මීගමු පොලිසිය පරීක්ෂණ පවත්වයි.

නොසැලකිල්ල නිසා දෙහිවල සතුන් වත්තේ ටේපියර් මිය යයි



(2009 සැප්තැම්බර්  30 - W3Lanka) බෙල්ජියමේ සතුන් වත්තකින් මීට 13 වසරකට පෙර ගෙන එන ලද ටේපියර් ජෝඩුවකින් ඉතිරි වී සිටි සත්වයා දෙහිවල සත්වෝද්‍යානයේ බලධාරීන්ගේ නොසැලකිල්ල හා ප්‍රේක්ෂකයන්ගේ නොමනා ක්‍රියා හේතුවෙන් 28දා මිය ගොස් තිබේ.

මරණයට හේතුව පොලිතින් අනුභවයයි. සතාගේ බඩේ තිබී පොලිතින් කිලෝ එකහමාරක පමණ ප්‍රමාණයක්‌ පශු වෛද්‍යවරුන් විසින් සොයාගෙන තිබිණි.

ටේපියර් යනු ඌරකුට සමාන හැඩරුව ඇති වඳ වී යමින් සිටින ක්ෂීරපායී සත්වයෙකි. ඌ වසර 25ක් 30ක් ජීවත් විය හැකි සත්වයෙකි.





සතුන් වත්තේ බලධාරීන්ගේ නොසැලකිල්ල නිසා පසුගිය සමයේ සතුන් විශාල ගණනක් මිය ගිය අතර ඇනකොන්ඩා සර්ප පැටවුන් 16ක් ද ඒ අතර වෙති.


තෙවසරක් ගත වෙද්දීත් නැඟෙනහිර අවතැන් වූවන් 2500ක් තවමත් අනාථයි


(2009 සැප්තැම්බර්  30 - W3Lanka) මඩකලපුව කොකූවිල් ප්‍රදේශයේ කඳවුරක සිටි පවුල් 91 කට අයත් පුද්ගලයන් 321 ක්‌ බස්‌ රථ 15 කින් නැවත පදිංචි කිරීම සඳහා ත්‍රිකුණාමලය දිස්‌ත්‍රික්‌කයට ඊයේ රැගෙන යාමත් සමග නැඟෙනහිර පළාතේ සියලු අවතැන් වූවන් යළි පදිංචි කර හමාර බව රජය කරන ප්‍රචාරය අසත්‍යයක් බව වාර්තා වේ.

ත්‍රිකුණාමල දිස්‌ත්‍රික්‌කයේ සාම්පූර් ප්‍රදේශයේ අධි ආරක්‍ෂිත කලාපයක් පිහිටුවීම හේතුවෙන් එහි යළි පදිංචි වීමට ඉඩ නොදුන් අය ඇතුළු පවුල් 745 කට අයත් 2500 දෙනෙක්‌ තවමත් කිලිවෙඩ්ඩි, පට්‌ටිපිඩල් හා පිල්ලන්කේන් යන ප්‍රදේශවල රැඳී සිටින බව වාර්තා වේ.

රජය සාම්පූර් ප්‍රදේශයේ ඉඩම් තාප බලාගාරයක් පිහිටුවීම සඳහා ඉන්දීය රජයට අයත් NTPC සමාගමට පවරා දීම‍ට තීරණය කර තිබේ. සාම්පූර් පිහිටා තිබෙන්නේ ත්‍රිකුණාමලය වරාය ආසන්නයේ වෙරළාශ්‍රිතවයි.

2006 වසරේ නැඟෙනහිර පළාතේ එල්.ටී.ටී.ඊ. සංවිධානයට එරෙහිව දියත් වූ යුද මෙහෙයුම් හේතුවෙන් ත්‍රිකුණාමල හා මඩකලපුව පදිංචිව සිටි පවුල් 41,000 කට අයත් 150,000 කට වැඩි පිරිසක්‌ අවතැන්ව කඳවුරු 112 ක රැඳී සිටියහ. කඳවුරු 91ක පවුල් 35,000 කට අයත් 135,000 දෙනකු මඩකලපුව දිස්‌ත්‍රික්‌කයේ පදිංචිකරුවන් වන අතර ඉතිරි පිරිස ත්‍රිකුණාමල දිස්‌ත්‍රික්‌කයේ පදිංචිකරුවෝය.

එල්ෆින්ස්ටන් ඉදිරිපිට ගාමිනිගේ පිළිරුවක් අද විවෘත වේ


(2009 සැප්තැම්බර්  30 - W3Lanka) සිංහල සිනමාවේ විශිෂ්ඨ නළුවකු සහ අධ්‍යක්ෂවරයකු වූ ගාමිනි ෆොන්සේකා අභාවප්‍රාප්ත වී පස් වසක් සපිරෙන අද සවස මරදානේ එල්ෆින්ස්ටන් රංග ශාලාව ඉදිරිපිට ඉදි කරනු ලැබූ ඔහුගේ පිළිරුවක් විවෘත කිරීමට කටයුතු යොදා තිබේ.
Show all
1936 මාර්තු 21 වැනිදා දෙහිවලදී උපත ලැබ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ ගාමිනි ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ ‘රේඛාව‘ චිත්‍රපටයේ කැමරා අධ්‍යක්‍ෂවරයා වූ ‘විලි බ්ලේක්’ ගේ සහයකයා සහ නළුවකු ලෙස සිනමාවට පිවිසියේය.

2004 සැප්තැම්බර් 30 දින ගාමිනි ෆොන්සේකා දිවියෙන් සමු ගත්තේය.

සේවක හා වෘත්තීය සමිති හිමිකම් පැහැර ගන්නා ගැසටි පත ඉවත් කරගන්න රජය අධිකරණයට එකඟ වෙයි

(2009 සැප්තැම්බර්  30 - W3Lanka) 1589/30 අංක දරණ අතිවිශේෂ ගැසට් පත‍්‍රය මගින් රජයේ සේවකයින් සහ වෘත්තීය සමිතිවල අයිතිවාසිකම් කප්පාදු කිරීමට එරෙහිව සමස්ත ලංකා වෘත්තීය සමිති සම්මේලනය මගින් ගොනුකළ නඩුව, කැබිනට් මණ්ඩලය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කර තිබු විශේෂ ප‍්‍රකාශනයකට අනුව අවසන් කිරීමට ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය.


මෙම නඩුව විනිසුරු පී. අමරතුංග ඇතුළු ති‍්‍රපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ තෙවැනි වරටත් සලකා බැලූ අවස්ථාවේදී රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතා කඩඉම් විභාග අසමත් වන සේවකයින් සේවයෙන් ඉවත් කිරීමටත්, වෘත්තීය සමිතිවලත්, වෘත්තීය සමිති නායකයින්ගේත් අයිතිවාසිකම් අහිමි කරනු ලබන අහිතකර කොන්දේසි ඉවත්කර ගැනීමට කැබිනට් මණ්ඩලය ගෙන තිබු තීරණය ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීරණය ගන්නා ලදි.


මෙම අහිතකර කොන්දේසි ඉවත්කර ගැනීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙන නිසා තව දුරටත් මෙම නඩුව ඉදිරියට ගෙනයාමේ අවශ්‍යතාවයක් පැන නොනගින බව විනිසුරු මණ්ඩලය ප‍්‍රකාශ කිරීමත් සමඟ පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ චමන්තා වීරකෝන් මහත්මිය කැබිනට් මණ්ඩලය ගත් මෙම තීන්දුව යම් විදිහකින් වෙනස් කළහොත් උසාවියට ගත හැකි කි‍්‍රයාමාර්ගය කුමක්දැයි ප‍්‍රශ්න කළාය. එසේ වුවහොත් නැවත වෘත්තීය සමිතිවලට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළ හැකි බවත්, කැබිනට් මණ්ඩලයේ තීරණය ස්ථිර නිසා දැනට එවැනි අවශ්‍යාතාවයක් පැන නොනගින බවත් විනිසුරු මඩුල්ල ප‍්‍රකාශ කර සිටියහ.

2009-09-29

‘භාෂිත' නමින් නව අක්ෂර මාලාවක්

(2009 සැප්තැම්බර්  29 - W3Lankaපරිගණකය සමග සිංහල භාෂාවෙන් කටයුතු කිරීම සදහා ‘භාෂිත” නමින් නව අක්ෂර මාලාවක් හඳුන්වා දුන් බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) පවසයි.

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය යටතේ එස්එල්එස් 1136 ප්‍රමිතියට අනුකූලව මෙම භාෂිත අක්ෂර මාලාව නිර්මාණය කර තිබේ. භාෂිත අක්ෂර සමග පහසුවෙන් සහ ඉතා නිර්මාණාත්මකව පරිගණකය ඔස්සේ සිංහල භාෂාවෙන් ලිපි ලේඛන සකස් කිරීම මෙන්ම වෙබ් අඩවි සැකසීම ගැටළුවකින් තොරව සිදුකල හැකියැයි නියෝජිතායතනයේ සභාපති මහාචාර්ය පී.ඩබ්ලිව්.ඈපාසිංහ මහතා පවසයි.

www.siyabas.lk  වෙබ් අඩවියට පිව්සීමෙන් මෙම භාෂිත අක්ෂර මාලාව නොමිලේ බාගත කර ගැනීමට පහසුකම් සලසා තිබෙන බව ශ්‍රී  ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය සදහන් කරයි.

අපගේ නිරීක්ෂණය වන්නේ යුනිකෝඩ් අක්ෂර සම්බන්ධයෙන් තිබෙන පොදු ගැටළුවක් වන අකුරුවල විවිධත්වයක් හා සුන්දර හැඩ නොතිබීම පිළිබඳ ගැටළුව මෙයින් ද විසඳී නැති බවයි.

(ඡායාරූපය: භාෂිත අකුරු මහාචාර්ය ජේ.බී. දිසානායකයන් වෙත)

යුද්ධයේ අන්තිම අදියරේ වියදම ගමකට කෝටි දෙක බැගින් දෙන්න ප්‍රමාණවත්



(2009 සැප්තැම්බර් 29 - W3Lanka) අගමැති රත්නසිරි වික්‍රමනායක මහතා එක්සත් ජාතීන්ගේ මහ සමුළුවේදී හෙළි කළ පරිදි කොටින්ට එරෙහි යුද්ධයේ අවසන් අදියරේදී රජය විසින් දරන ලද පිරිවැය ඩොලර් බිලියන 2.8කි. එම මුදල වර්තමාන විනිමය අනුපාතික අනුව රු. 323,524,675,651.85කට සමානය. තේරෙන භාෂාවෙන් කීවොත් රු. කෝටි 32, 352කට මඳක් වැඩිය.

මෙයට අමතරව කොටි සංවිධානය විසින් ද මෙම යුද්ධය වෙනුවෙන් අඩු තරමේ මෙම මුදලින් හතරෙන් පංගුවක තරම්වත් වියදමක් දරන්නට ඇත. එවිට යුද්ධයේ අවසාන අදියරේදී පමණක් වියදම කෝටි 40,000 ඉක්මවයි.

මේ යුද්ධය නොකෙරුණා නම් ලංකාවේ එක ගමකට රු. කෝටි දෙක බැගින් බෙදා දෙන්නට මේ මුදල සෑහේ. කෝටි දෙකකින් ගමකට කෙතරම් දේ කරන්නට තිබිණිද?

අකාලේ අහිමිව ගිය සිංහල, දෙමළ ජීවිත සංඛ්‍යාව මිළ කළ නොහැකිය. එසේම යුද්ධයෙන් වූ දේපල හානි සහ ජන ජීවිතයට වූ හානි ද ගනනය කර නැත.

අද ඇති ප්‍රශ්නය වන්නේ මෙතරම් වියදමක් දැරූ යුද්ධයෙන් අප දිගු කාලීන සාමයක් දිනා ගත්තේ ද යන්නයි.

රනිල් ළමයා රංජිත්ට ‍ඇම්බැට්ටයා කීවේය; රංජිත් ළමයා රනිල්ට කේවට්ටයා කීවේය

(2009 සැප්තැම්බර් 29 - W3Lanka) පසුගියදා පැවති එක්සත් ජාතික පක්ෂයේ ජනබල සේනා රැස්වීමකදී විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ විසින් නියෝජ්‍ය මුදල් ඇමති රංජිත් සියඹලාපිටිය හඳුන්වනු ලැබුවේ ඇම්බැට්ටයකු ලෙසයි.


ඇම්බැට්ටයා යනු අප දන්නා තරමින් කරණවෑමියායි. සියඹලාපිටියට මුදල් අමාත්‍යංශය තුළ පැවරී තිබෙන්නේ ලාභ ගණන් කරන පී.බී. ජයසුන්දරලාගේ, අජිත් නිවාඩ් කබ්රාල්ලාගේ රැවුල කැපීම වැනි කටයුතු නිසා එසේ කියන්නට ඇතැයි සිතිය හැකිය.


විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ කේවට්ටයකු යයි හඳුන්වන සියඹලාපිටිය 'රටට වින කරන අය නම් කේවට්ටයෝ’ යයි අද දිනමිණ පුවත්පතට පවසයි. කේවට්ට යනු උම්මග්ග ජාතකයේ රජුට වැරදි උපදෙස් දෙන පුරෝහිතයෙකි. දැන් සිටින රජ්ජුරුවන් රනිල්ගෙන් උපදෙස් නොගන්නා බැවින් සියඹලාපිටිය රනිල්ට දැමූ නම ගැලපෙන්නේ නැත. රජතුමා උපදෙස් ගන්නේ බැසිල්, ගෝඨාභය, පී.බී. ජයසුන්දර, අජිත් නිවාඩ් කබ්රාල් වැනි මහෞෂධ පඬිරුවන්වලිනි.


හතළිහක් පමණ වන ජනාධිපති උපදේශක කේවට්ටයන් පිරිසක් ඉන්නා අතර එක කේවට්ටයකු වන වාසුදේව නානායක්කාර මහෞෂධ පී.බී. ජයසුන්දර දූෂකයකු බව පෙන්වා දීමට ශ්‍රේෂ්ඨාධිකරණයට පවා ගියේය. මහ රජතුමා ඔය කේවට්ටයන් වැඩිය ගණන් නොගෙන උන්ට පඩිය, වාහන, ඉන්ධන හා දුරකථන ආදිය ලබාගෙන පාඩුවේ ආතල් එකක් ගැනීමට සලස්වා තිබේ.


රටට වින කරන අය කේවට්ටයන් නම් දියවන්නාවේ කේවට්ටයන් 225ක් සිටිති. පළාත් සභාවල ද, ප්‍රාදේශීය සභාවල ද ග්‍රෝස් කීපයක් කේවට්ටයෝ සිටිති. මේ රටේ ඉන්න කේවට්ටයන්ගේ සංඛ්‍යාව අනුව කේවට්ටලන්තය වැනි නමක් වුව මේ රටට ගැලපේ.

තමිල්නාඩුවේ ලාංකික සරණාගතයන්ට ඉන්දීය පුරවැසිභාවය දෙන්න යෝජනා

(2009 සැප්තැම්බර් 29 - W3Lankaතමිල්නාඩුවේ කවුරුවල වෙසෙන ලක්ෂයක් පමණ වන ලාංකික දෙමළ සරණාගතයන්ට ඉන්දීය පුරවැසිභාවය ලබා දීම පිළිබව තමන් මධ්‍යම ආණ්ඩුව සමග සාකච්ඡුා කරන බව තමිල්නාඩු මහ ඇමති මුතුවේල් කරුණානිධි පවසයි.


සැප්තැම්බර් 26දා තමිල්නාඩුවේ කාංචිපුරම්හි පැවති ද්‍රවිඩ මුන්නේත‍්‍ර කසාගම් ව්‍යාපාරයේ සමාරම්භක දින සමරු උත්සවයකදී මේ හා අදාළ යෝජනාවක් සම්මත කර ගැනිණි.


1983 සිට ලංකාවේ යුද්ධය නිසා අවතැන් වූ සරණාගතයන් 73,572 ක් ක`දවුරු 115ක ද, 30,000ක් ස්වයංව ද ඉන්දියාවේ වෙසෙති.

2009-09-28

බුදු පිළීමයේ හිස ගලවා මල් ආසනය මත තබා පපුව පළා නිදන් සොයති


(2009 සැප්තැම්බර් 28 - W3Lanka) ලෝකෙන් උතුම්ම රට යයි කියන ලංකාවේ ප්‍රෞඪ උරුමය විනාශ කිරීමට බටහිර ක්‍රිස්තියානි කුමන්ත්‍රණයක් ඇතැයි කියනු නිතර අසන්නට ලැබේ.


ක්‍රි.ව. 1755දී කීර්ති ශ්‍රී රාජසිංහ රාජ සමයේ ඉදි කළේ යයි කියන යටිනුවර, දෙහිගම, වෙහෙරගල විහාරයේ බුදු පිළීමයේ හිස ගලවා මල් ආසනය මත තබා පපුව පළා නිදන් සෙවූ මේ සොරුන් බටහිරින් ආ අය හෝ ක්‍රිස්තියානින් හෝ යයි සොයාගෙන නැත. මෙවැනි නිදන් මංකොල්ල කීයක් නම් පසුගිය සමයේ සිදු විණිද?


මිහිඳු හිමියන් සැතපුණේ යයි විශ්වාස‍ කෙරෙන මිහින්තලාවේ මිහිඳු ගුහාවේ ශෛලමය යහන ද පුපුරුවා නිදන් සෙවූ ලාංකිකයන්ට මේවාත් වැඩද?

දුප්පත් කම්කරුවන්ට ලාබෙට අරක්කු ටිකක් දියව් - ඇමති මිල්රෝයිට මල් මිටක්


(2009 සැප්තැම්බර් 28 - W3Lanka) වැඩ කරන කම්කරුවන් සඳහා අඩු මිලකට මිලදී ගත හැකි රජයේ අනුමත මත්පැන් වර්ගයක්‌ ලබාදිය යුතු බව තමාගේ අදහස යෑයි ජනතා වතු කළමනාකරණ සහ සංවර්ධනය කිරීමේ ඇමැති මිල්රෝයි ප්‍රනාන්දු මහතා ප්‍රධාන සුරාබදු පරීක්‍ෂක සහ සුරාබදු පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ 15 වැනි සංවත්සර අමතමින් කීවේය.


"සුරාබදු දෙපාර්තමේන්තුවට අමතරව සෑම පොලිස්‌ ස්‌ථානයකින් සහ තවත් වැටලීම් ඒකකවලින් මත්පැන් වැටලීම් කරනවා ඒත් නීති විරෝධී මත්පැන් නැවැත්වීමට බැරිවෙලා තියෙනවා. එසේ බැරිවී තිබෙන්නේ අඩු ආදායම් කම්කරුවන් නීති විරෝධී මත්පැන්වලට පුරුදු වී සිටීම නිසයි. එම නිසා නීති විරෝධී මත්පැන් නැති කිරීමට එම කම්කරුවන්ට අඩු මිලකට මත්පැන් වර්ගයක්‌ ලබාදිය යුතුයි," යි ඇමති පවසයි.



ඇතැම් කම්කරුවන් ඇඟපතේ අමාරුවට කසිප්පු බොති. කසිප්පු බිවූ විට ශරීර සෞඛ්‍යය පිරිහේ. සාමය බිඳෙන අවස්ථා ද තිබේ. එහෙත්, අනාදිමත් කාලයක සිට මිනිස්සු රහමෙර බොති. දුක හැර විඳින්නට අන් දෙයක් නැති ජනයා සේම ජීවිතය විඳින ධනවත්තු ද මතට ගිජු වෙති. 


හැන්දෑවට මත්පැන් ටිකක් තොලගෑම ඔච්චර වැරදි යයි සිතන ආණ්ඩුව දුප්පත් මිනිසුන්ට විවේකය ගත කිරීම සඳහා සපයා තිබෙන්නේ කුමක්ද? කසිප්පු බිව්වත්, පබා බැලුවත්, රාජපක්ෂගේ හෝ වීරවංශගේ හෝ කතාවක් ඇහුවත්, පන්සල් ගියත් වර්තමානයේදී ලැබෙන්නේ එකම ඩෝප් එකයි. 


මතට තිත කෙසේ වෙතත්, මේ ආණ්ඩුව පවතින්නේ බොන එකාට පිං සිදු වන්නටයි. හාල්වලින් සීනිවලින් පෙට්‍රල්වලින් බදු ගසන්නා වාගේ නොව අරක්කුවලින් හිටගෙන බදු ගැසිය හැකිය. එසේ බදු අය කිරීමට පක්ෂව ඡන්දෙ දීම පිණිස බණ කීමට හාමුදුරුවරු ද, එකී බණ ඇසීමට පීඩිත උපාසකම්මලා ද ඕනෑ තරම් සිටිති. උන්ගේ මිනිස්සු ඔය බණ නොඅසා බණ ගෙවල්වල එළියේ කාඩ්, කැරම් ගසති. පෝය දාට කඩමණ්ඩියේ රස්තියාදු ගසති. අරක්කු ගන්නට සල්ලි නැති වූ විට කසිප්පු ගසා මැරෙති. මහින්දගේ හයිය අරගෙන ගෙවල් ඇතුළේ මතට තිත තියන්නට යන අසරණ ගෑනු වැඩියෙන් ගුටි කති.


ගැහැනුන්ට වඩා පිරිමි බොති. බොන මිනිහාට වඩා නොබොන එකා හොඳ යයි ඔප්පු කළ හැකි කිසිවෙක් මේ සමාජයේ නොවෙති. හුඟක් බොන එවුන් බිව්වාම හරි විවෘතය. බොහෝ නොබොන එවුන්ගේ සිත්වල තිබෙන කුහකකම් උඩ ඉන්න දෙයියන්ටවත් හිතා ගන්නට බැරිය. 


අනෙකෙකුගෙන් කතන්දර නොඅසා, කාටවත් කරදර නොකර නිදහසේ අරක්කු ටිකක් බොන නිදහස ද ලංකාවට අවශ්‍යය. කවුරුත් කතා කරන්නට බයෙන් සිටින මේ අයිතිය ගැන කතා කළ ඇමති මිල්රෝයිට මෙන්න අපෙන් මල් මිටක්!

දෙහිවල සතුන් වත්තේ උපන් ඇනකොන්ඩා පැටවුන් විස්ස මළේ කාගේ වරදින්ද?


(2009 සැප්තැම්බර් 28 - W3Lanka) 2003දී චෙක් ජනරජයෙන් ලංකාවට ගෙන එන ලද ඇනකොන්ඩා (Eunectes murinus) නම් විශාල සර්ප වර්ගයේ ජෝඩුවකට දාව පසුගිය ජුලි 12දා දෙහිවල සත්වෝද්‍යානයේදී මෙලොව එළිය දුටු ඇනකොන්ඩා පැටවුන් 20 දෙනාම මේ වන විට මිය ගොසිනි. අන්තිම පැටවා මිය ගියේ සැප්තැම්බර් 23දායි.

මොවුන්ගේ උපත පිළිබඳ සත්වෝද්‍යාන බලධාරීන් ජනමාධ්‍ය හරහා මහ හඬක් නැගුව ද එම සතුන් මිය ගොස් ඇත්තේ නිසි පෝෂණයක් හා රැකබලා ගැනීමක් නැතිකමින් බව ආරංචි මාර්ග පවසයි. 


කුස තුළ බිත්තර මෝරා පැටවුන් බිහි වන හෙවත් ovoviparious, අඩි 30ක්දෙක්වා දිගට වැඩෙන, වසර 30ක් 35ක් ජීවත් වන්නේ යයි කියන මෙම උරගයන් 20 ඉපදුණු දිනවල සතුන් වත්තේ ලොක්කන් කතා කළේ ඔවුන් වෙනත් සත්වෝද්‍යාන සමග හුවමාරු කර ගන්නා ආකාරය ගැනයි.

මේ සතුන් පිළිබඳ ප්‍රචාරය වීමෙන් පසු සතුන් වත්ත බැලීමට එන පිරිස වැඩි වී ආදායම් ද වැඩි විය. එහෙත් ඒ සතුන් මළේ මී පැටවුන්ට වඩා කන්නට දෙයක් ඔවුන්ට නොදීම නිසා යයි කියනු ලැබේ.


ලංකාවේ කකුල් හතරේ බල්ලන් ලක්ෂ 25ක්


(2009 සැප්තැම්බර් 28 - W3Lanka) ශ්‍රී ලංකාවේ සිටින බල්ලන් (කකුල් හතරේ අය පමණි) සංඛ්‍යාව ලක්ෂ 25ක් බව සෞඛ්‍ය අමාත්‍යංශය තක්සේරු කර තිබේ.


වන්ධ්‍යාකරණ සැත්කම් ඔස්සේ මෙම සංඛ්‍යාව 2016 වන විට ලක්ෂ 10 දක්වා අඩු කිරීමට වැඩසටහනක් දියත් වන බව ද පැවසේ.


ජාතික සෞඛ්‍ය අය වැයෙන් කෝටි 50 ක මුදලක් වැය කරන්නේ ජලභීතිකා නිවාරණ කටයුතු වෙනුවෙන් බව සෞඛ්‍ය ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

මේ වසරේ පසුගිය අගෝස්තු මාසය දක්වා ජලභීතිකා රෝගය වැළඳීමෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 35 කි. මෑතදී හීලෑ අලින් දෙදෙනෙකු ද ජලභීතිකා රෝගයට ගොදුරු වූ බව හඳුනාගන්නා ලදී.


රජයේ රෝහල් මගින් ජලභීතිකා නිවාරණය සඳහා ලබා දෙන එන්නතකට සෞඛ්‍ය අමාත්‍යංශය රු. 35,000 ක් වැය කරයි.

2009-09-27

අනාථ කඳවුරු උණුසුම්: අට හැවිරිදි දරුවකුට වෙඩි



(2009 සැප්තැම්බර් 27 - W3Lanka) යුද අනාථයන් රඳවා තිබෙන වවුනියාවේ අනාථ කඳවුරුවලින් ඔවුන් නිදහස් කිරීම පමා වීමත් සමගම අසහනය මෝදු වෙමින් ගැටුම්කාරී තත්වයන් මතු වෙමින් ඇති බව වාර්තා වේ.

සෙනසුරාදා රාත්‍රියේ සෙට්ටිකුලමේ මැනික් ෆාම් කඳවුරේ ඇති වූ හමුදාව විසින් වෙඩි තැබීමේ සිද්ධියකින් අට හැවිරිදි දරුවකු ඇතුළුව අඩු තරමේ තිදෙනෙකුවත් තුවාල ලබා ඇති බව හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් උදය නානායක්කාර පැවසීය.

ඔහු පවසන්නේ මෙම පුද්ගලයන් පළා යාමට උත්සාහ කළ බව හා ඉන් අනතුරුව හමුදාවට ගල් ගැසූ බවයි. එක් පුද්ගලයකු ‍අත් බෝම්බයකින් ද පහර දීමට උත්සාහ කළ බව ඔහු පවසයි.

ඔහු පවසන විස්තර අනුව දැන් මෙම කඳවුරුවල ඇත්තේ මීට මාස කීපයකට පෙර රජය පැවසූ ආකාරයේ ප්‍රීතිමත් වාතාවරණයක් නොවන බව පෙනේ.

අවතැන් කඳවුරුවල සිටින ජනයා හා ආරක්ෂක සෙබළුන් අතර ගැටුම්කාරී සිද්ධි ගණනාවක්ම පසුගිය සමයේ ජනමාධ්‍ය වාර්තා කළහ.

දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී ශිවශක්ති ආනන්දන් පවසන්නේ පිසූ ආහාර නොසැපයීම නිසා ආහාර උයා ගැනීම පිණිස දර සොයා ගැනීමට මෙම පිරිස කඳවුරේ වෙනත් කලාපයකට යමින් සිටි බවයි.

පුවත්පත් මණ්ඩලයට එරෙහිව හා තිස්සනායගම් නිදහස් කරගැනීමට සමුළුවක්


(2009 සැප්තැම්බර් 27 - W3Lanka) ජනමාධ්‍යවේදීන්ගේ දෑතට විලංගු දමා ලියන්නටත්, කියන්නටත් ඇති අයිතිය උදුරා ගන්නට සැරසෙමින් පුවත්පත් මණ්ඩලය යලි සක‍්‍රීය කිරීමට එරෙහිව හා තම මතය ලියූ වරදට ත‍්‍රස්තවාදියෙකු කර, විසි වසරකට සිපිරිගෙට යැවූ මාධ්‍යවේදී ජේ. එස්. තිස්සනායගම් නිදහස් කර ගැනීම සඳහාත්, ජනමාධ්‍යවේදීන් බහුතරයකගේ නියෝජනයෙන්ද, සිවිල් සංවිධාන, දේශපාලන පක්‍ෂ, කලාකරුවන්, ආගමික නායකයින් සහ යුක්තිගරුක සමාජයක් උදෙසා පෙනී සිටින සියලූ පුරවැසියන්ගේ සහභාගිත්වයෙන් යුත් දැවැන්ත සමුළුවක් 2009 සැප්තැම්බර් මස 29 වැනි අඟහරුවාදා සවස 4.00ට කොළඹ 07, ධර්මපාල මාවතේ, ජයවර්ධන කේන්ද්‍රයේදී (විහාර මහාදේවී උද්‍යානය ඉදිරිපිට) පැවැත්වීමට සුදානම් කර ඇත.

එදින පුවත් පත් මණ්ඩලයට එරෙහිව ජනතා විරෝධය සටහන් කරන මහජන පෙත්සමක් අත්සන් කිරීම ආරම්භ කරන අතර ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක ජනමාධ්‍ය නිදහසේ ඇති අගය වටහාගත් අයට මෙම සමුළුව නියෝජනය කරන මෙන් සවිධායකයෝ ඇරයුම් කරති.


සමුළුව කැඳවා තිබෙන්නේ පහත සඳහන් මාධ්‍ය සංවිධාන විසිනි.

x    ශ‍්‍රී ලංකා කර්තෘ සංසදය
x    ශ‍්‍රී ලංකා වෘත්තීය පත‍්‍ර කලාවේදීන්ගේ සංගමය
x    මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය
x    ශ‍්‍රී ලංකා මුස්ලිම් මාධ්‍යවේදීන්ගේ සංසදය
x    ශ‍්‍රී ලංකා දෙමළ මාධ්‍යවේදීන්ගේ සංසදය
x    නිදහස් මාධ්‍ය ව්‍යාපාරය
x    ජනමාධ්‍යවේදීන්ගේ ජාතික සංසදය

මෙන්න අලුත්ම ප්‍රශස්තිය - යුවරජා ඔබ


(2009 සැප්තැම්බර් 27 - W3Lanka) මෙන්න ලංකාවේ අලුත්ම ප්‍රශස්ති රැල්ලේ අලුත්ම ගීතය. ගීතය ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂටයි. මෙවර ගායනයෙන් ගොඩ යන්නේ අමිල පෙරේරා සහ නිශාන්ත කල්පගේයි. සංගීතයෙන් ගොඩ යන්නේ ශාන්ත ජයලත් තිසේරායි. ලිව්වේ කවුරුදැයි මෙම වීඩියෝවේ සඳහන් වන්නේ නැත.


උපහාර උත්සව සූදානම්වෙමින් තිබේ.


මීළඟ ගීතය බැසිල්ටයි. එය නිර්මානය කරන අය වහා ඉදිරිපත් වන්න.


ඊළඟ එක නාමල්ටයි. එය ගැනත් සිතන්න.


කලාකරුවනි, යුව රජුන් පත් කර ගැනීම රජුටම පවරන්න. යුවරජුන් වීමට සිටින වෙනත් අය තරහා වුවහොත් ඔන්න අපි නම් දන්නේ නැත. රජුන් ඇසුර සැප මෙන්ම භයානක ද විය හැකි බව පැරණි සාහිත්‍යයේ ඇත.


මෙය යූටියුබ් දැමූ අය කියන පරිදි මෙතෙක් බිහි වූ හොඳම ගීය මෙයයි. එතකොට සහේලි රෝචනා ගමගේ මහරජාණන් ගැන කී එක මීට වඩා පල් විය යුතුය. ඔන්න අපි නම් ඔවා ගැන දන්නේ නැත. ඔයගොල්ලන්ගෙ මැට්ටං තම්මැට්ටං නෙමෙයිනේ.


ජයවේවා! ජයවේවා! ඔහොම යං!



2009-09-26

ඉස්ලාම් අත්හැර ක‍්‍රිස්තියානියට හැරී ප‍්‍රසිද්ධියට පත් ලාංකික රිෆ්කාගේ කතාව


ෆාතිමා රිෆ්කා බාරි යනු එක්සත් ජනපදයේ ඔහියෝ ප‍්‍රාන්ත රාජ්‍යයෙහි ජීවත් වූ 17 හැවිරිදි ශ‍්‍රී ලාංකික සම්භවයක් ඇති යව්වනියක්. ඇය පසුගිය දිනවල එරට ජනමාධ්‍යවල පුවතක් නිර්මානය කළා.

උපතින් ඉස්ලාම් දහම හිමි මුස්ලිම් අයෙකු වූ ඇය පසුගියදා ක‍්‍රිස්තියානිය වැළඳගෙන තිබෙනවා. එය ඇගේ ෆේස්බුක් විස්තරයෙන් සිය පවුලේ අය දැන ගැනීමෙන් පසු ඇය ෆ්ලොරිඩා රාජ්‍යය වෙත පළා විත් තිබෙනවා. ඇය සහ ඇමරිකාවේ ශුභාරංචි ක‍්‍රිස්තියානි නිකායිකයන් පවසන්නේ ඇගේ දෙමාපියන් ඇය ලංකාවට ගෙන ආවොත් ඇය නියත වශයෙන්ම පවුලේ ගෞරවය වෙනුවෙන් මරා දැමෙනු ඇති බවයි. කුරානයේ මෙවැනි ගරුත්වය වෙනුවෙන් කරනු ලබන මරණ පිළිගන්නා බව හා ලංකාවේ ශුභාරංචි ක‍්‍රිස්තියානි නිකායිකයන් ඝාතනයට ලක් වන බව ඇතැම් එක්සත් ජනපද මාධ්‍ය වාර්තා කරනවා. ලොව පුරා මෙවැනි ගරුත්වය වෙනුවෙන් කෙරෙන මරා දැමීම් 5000ක් පමණ වසරකට සිදු වන බව ඔවුහු එක්සත් ජාතීන්ගේ ජනගහණ වාර්තා උපුටා දක්වමින් පවසනවා.


මේ අතර මේ යව්වනියගේ මවිපියන් වන මොහොමඞ් සහ අයිෂා බාරි පවසන්නේ සිය දියණිය මුරණ්ඩු ගතිගුණ ඇත්තියක බවයි. මොහොමඞ් ස්වර්ණාභරණ වෙළෙන්දෙක්. රිෆ්කාට තර්ජන ඇති බවට විශ්වාස කළ හැකි වාර්තා නැති බව ෆ්ලොරිඩා නීති දෙපාර්තමේන්තුව පවසනවා. කෙසේ වෙතත්, ඇගේ පැමිණිල්ල මීළඟට විභාග වන සැප්තැම්බර් 29 දින දක්වා ෆ්ලොරිඩාහි අලූත් කැපකරු මාපියන් සමග ජීවත් වීමට අධිකරණය ඇයට අවසර දී තිබෙනවා.

ඉන්දියාවේ චීන භීතිකාව: මුහුදේ සහ ගොඩබිම ‘රතු අනතුර‘


ඉෂාන් තරූර් සැප්තැම්බර් 20දා ටයිම් සඟරාවට ලියන ලද ලිපියක ඡායානුවාදයකි.

ඉන්දියාවත් චීනයත් අතර දිගු කාලයක් තිස්සේ තිබෙන භූමි සීමා ගැටළු පිළිබඳ පවත්වන ලද තවත් සාකච්ඡා වටයක් පසුගිය ග‍්‍රීෂ්ම ඍතුවේදී අසාර්ථකව අවසන් විය. එම සාකච්ඡා අරම්භ වද්දී ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ හිමාල අඩවියේ දේශ සීමාවල දරුණු ගැටුම් ඇති වන බවයි. එහෙත් දෙපාර්ශ්වයේම බලධාරීහු මෙය ප‍්‍රතික්ෂේප කළහ. ඉන්දීය මාධ්‍යයන්හි ඇතැම් බලවේග දිනපතාම වාගේ පෙන්වා දෙන්නේ චීනය ඉන්දියාවේ නැඟීම මෙල්ල කිරීමට කුමන්ත‍්‍රණ කරන බවයි. මෙම කරුණ ඔප්පු කිරීම සඳහා ඔවුන් ඉවහල් කර ගත්තේ චීන රාජ්‍ය මාධ්‍ය විසින් මෑතදී පළ කරන ලද උඩඟු කතුවැකි කීපයකි. පසුගිය සතියේ ප‍්‍රධාන ඉන්දීය ජනමාධ්‍ය චීනයේ අතික‍්‍රමණයන් හැඳින්වීම සඳහා පාවිච්චි කළේ ‘රතු උවදුර‘ හා ‘මකරාගේ ප‍්‍රවේශය’ වැනි යෙදුම්ය.

1962දී දේශසීමා ප‍්‍රශ්නයක් මත චීනය ඉන්දියාව සමග යුද වැදුණේය. එහෙත්, චීනය අද වන විට ඉන්දියාවේ විශාලතම වෙළඳ සහකරුවායි. එහෙත් දෙරට අතර කර්කශ අතීතය තවමත් හොල්මන් කරයි. බි‍්‍රතාන්‍ය යටත්විජිතවාදීන් විසින් සලකුණු කරනු ලැබූ දේශ සීමාව නොපිළිගන්නා චීනය  ඊසානදිග ඉන්දියාවේ සමස්ත අරුණාචල් ප‍්‍රදේශ් ප‍්‍රාන්තයම පාහේ චීනයට හිමි විය යුතු බවට තර්ක කරයි. ඉන්දීය උපායික විශේෂඥයන් පවසන්නේ බීජිංහි ස්ථාවරය මෑත වකවානුවේදී දැඩි වී ඇති බවයි. ආර්ථික හා යුදමය තරගකාරිත්වය හා නේපාලය හා ඉන්දියාව වැනි අසල්වැසි රාජ්‍ය කෙරෙහි චීන බලපෑම වැඩි වීම මෙම තත්වයට හේතුව බව ඔවුහු පෙන්වා දෙති. ඉන්දියාවේ චීන ප‍්‍රතිපත්තිය පිළිබඳ ළඟදී පළ වීමට නියමිත පොතක කතුවරයා වන ලන්ඩනයේ කිංග්ස් කොලේජ්හි ආරක්ෂක අධ්‍යයන පිළිබඳ මහාචාර්ය හාෂ් පෑන්ට් පවසන්නේ තමන්ට චීනයේ නැඟීම පාලනය කර ගත නොහැකි හා තමන් ඉතා පසුපසින් සිටින්නේ යයි ඉන්දීය ප‍්‍රතිපත්ති සම්පාදකයන් සිතන බවයි.


මේ අතර, ඉන්දීය උපායික විශේෂඥයන් පෙන්වා දෙන්නේ අනාගත ගැටුම්වල සැබෑ රණබිම වන්නේ ඉන්දීය උප මහාද්වීපය වටා ඇති මුහුද බවයි. ලෝකයේ සමුද්‍ර වෙළ`දාමෙන් අඩක් පමණ සිදු වන්නේ ඉන්දීය සාගරය හරහායි. එයට මුහුණ ලා පිහිටි රටවල් ලෝකයේ තෙල් සම්පත්වලින් 60%කට වඩා සහ ගෑස් සංචිතවලින් තුනෙන් දෙකකට උරුම කියති. සම්ප‍්‍රදායිකව ඉන්දියාව සිය නාවික හමුදාවට කර තිබෙන ආයෝජනය පැරණි සතුරා වන පකිස්තානය සමග පැටලී සිටින පාබල හා ගුවන් හමුදාවලට යොදන මුදලට වඩා අඩුය.


විශේෂයෙන්ම අප‍්‍රිකාවෙන් සිය රටට අවශ්‍ය දැවැන්ත තෙල් සහ ස්වාභාවික සම්පත් සැපයුම තහවුරු කරගැනීම සඳහා මලක්කා සමුද්‍ර සන්ධියේ සිට ශුභ ප‍්‍රාර්ථනා තුඩුව දක්වා ඉන්දීය සාගර පරිධිය ඔස්සේ මුතු පොටක් වන් වරාය ජාලයක් ඉදි කිරීම සඳහා චීනය කටයුතු කරමින් සිටියි. ඒවා පිහිටි ඇතැම් රටවල් ඉන්දීය බලපෑම් රාමුව තුළ පිහිටි ඒවායි. චීන ආධාර මත ඉදි වන ලංකාවේ හම්බන්තොට වරාය ද මෙම පොටේ එක් මුතු ඇටයක් වන අතර එය ඉන්දියාවේ විශේෂ අවධානයට ලක් වී තිබේ. පාකිස්තානයේ ග්වඩාර්හි ද මෙවැනි තවත් වරායක් ඉදි වෙමින් තිබේ. අවසානයේදී ඉන්දීය සන්නිවේදන හා නැව් මාර්ග අඩාල කළ හැකි වැදගත් නාවික මර්මස්ථාන කීපයක චීනය ස්ථානගත වේ.


මේ අතර ඉන්දීය නාවික හමුදාව ද සිය බලය නවීකරණය කරගන්නට පටන් ගෙන තිබේ. ජුලි මාසයේදී ප‍්‍රථම න්‍යෂ්ඨික සබ්මැරීනය දියත් කළ ඉන්දියාව රුසියාවෙන් හා එක්සත් ජනපදයෙන් අලූත් ප‍්‍රහාරක යාත‍්‍රා මිළ දී ගත්තේය. එහෙත්, චීනයට ඇත්තේ ගුවන් යානා ගෙන යා හැකි යාත‍්‍රා තැනීම හා සබ්මැරීන් බලකාය වැඩිදියුණු කිරීම වැනි ඉන්දියාවට වඩා බොහෝ දුර ගිය සැලසුම්ය.


මුරුසිය, සීෂෙල්ස්, මැඩගස්කරය, මාලදිවයින වැනි දූපත් රාජ්‍ය සමග ඉන්දියාව ආරක්ෂක සබඳතා වර්ධනය කර ගත් ඉන්දියාව චීනයේ වර්ධනය නොරුස්සන ජපානය හා වියට්නාමය වැනි රටවල් සමග නාවික අභ්‍යාස පවත්වා තිබේ. එහෙත්, චීනය ද මේ බොහෝ රටවල් සමග දැඩි සබඳතා පවත්වන අතර දුප්පත් ඉන්දියාවට සැපයිය හැකි දේවලට වඩා එම රටවලට පිරිනමයි.


චීනයත්, ඉන්දියාවත් අතර වෙළද සබඳතා සරු වෙමින් තිබුණ ද, දෙරට අතර ඇත්තේ ඉතා අවම දේශපාලන අවබෝධයකි. ඉහත ස`දහන් කරන ලද හාෂ් පැන්ට් පෙන්වා දෙන පරිදි දෙරට අතර ඇත්තේ මතුපිට සම්බන්ධයක් පමණක් වන අතර, මූලික කාරණා කිසිවකදී දෙරට අතර එකඟත්වයක් නැත.


මාර්තු-අපේ‍්‍රල් ෆොරින් එෆෙයාස් සඟරාවට ලිපියක් ලියන ප‍්‍රසිද්ධ ඇමරිකානු ලේඛකයකු සහ බුද්ධිමතකු වන රොබට් නැප්ලාන් යෝජනා කරන්නේ තවමත් ලොව ප‍්‍රමුඛතම යුද බලවතා වන එක්සත් ජනපදයට ඉන්දීය සාගරයේ ප‍්‍රධාන සමබරකරු සහ අවංක මැදිහත්කරු විය හැකි බවයි. එහෙත්, ආසියානු රටවල් මෙම යෝජනාවට දක්වන්නේ සීතල ප‍්‍රතිචාරයකි. ඔවුන් එක්සත් ජනපදය දකින්නේ පිටරටවල වියදම් අධික මෙහෙයුම්වල යෙදෙමින් ගරා වැටෙමින් තිබෙන රාජ්‍යයක් ලෙසයි. ඔබාමා යටතේ එක්සත් ජනපදය චීනයේ ආක‍්‍රමණශීලී මතු වීම බැරෑරුම්ව නොගන්නා බව ද ඔවුහු පවසති.


ඉන්දීය නාවික හමුදාවට සම්බන්ධ බුද්ධිමතකු වන උදේ භාස්කර් පවසන්නේ ඉන්දියාව සහ චීනය දෙරට අතර දේශ සීමා අර්බුදයට මුල් වී තිබෙන පශ්චාත් යටත් විජිත බර පොදිය බිම තබා නව අන්තර් ආසියානු සම්මුතියක් වෙනුවෙන් සෙමින් වැඩ කළ යුතු බවයි. 


මතට තිත නිසා රැකියා අහිමි වෙතැයි සුරාබදු නිළධාරීහු අසහනයේ

(2009 සැප්තැම්බර් 26 - W3Lankaමහින්ද රාජපක්ෂ පාලනය විසින් ළඟදීම මතට තිත තබන බැවින් සුරා බදු නිලධාරීන් මහත් අසහනයට පත් වී සිටින බව දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.

මෙසේ අසහපයට පත් වී සිටින පුෂ්ප කුමාර සිල්වා නමැති එක් සහකාර සුරා බදු කොමසාරිස්‌වරයකු පසුගිය 16 වැනිදා පස්‌වරු 2.30 ට පමණ යුනියන් පෙදෙසේ පිහිටි අවන්හලකට පැමිණ විකිණීමට තිබූ මත්පැන් බෝතලයක්‌ ගෙන එහි සේවය කළ සේවකයකුගේ හිසට වත්කර පහර දීමෙන් මේ වන විට එම සේවකයා කොළඹ අක්‌ෂි රෝහලේ ප්‍රතිකාර ලබන බව පෙන්වා දෙමින් පොලිසිය අදාළ නිලධාරියා අධිකරණයට ඉදිරිපත් කළේය. 


සැකකරු රුපියල් දෙලක්‌ෂ විසිපන් දහසක මුදල් හා ශරීර ඇප මත මුදාහැරීමට කොටුව අතිරේක මහෙස්‌ත්‍රාත් රුවන් ධම්මික දිසානායක මහතා (24 දා) පස්‌වරුවේ නියෝග කළේය. ඔහු වෙනුවෙන් පෙනී සිටියේ නීතිඥ රියන්සි අර්සකුලරත්නයි. 


රජයේ මතට තිත හා මසට තිත වැනි ප්‍රතිපත්ති හේතුවෙන් මෙසේ අසහනයට පත් වන සේවකයන් වෙනුවෙන් විකල්ප වැඩසටහන් දියත් කිරීමේ අවශ්‍යතාව අපි රජයට පෙන්වා දෙමු. නැතිනම් මසට තිත නිසා රැකියා අහිමි වීමට නියමිත මිනිසුන් පාරිභෝගිකයන්ට එරෙහිව පිහි අමෝරා ගන්නට පවා ඉඩ ඇති බව පෙනේ. මේ අයට භාවනා පංති පැවැත්වීම, භාවනා කරන්නන්ට උවටැන් කිරීම වැනි විකල්ප රැකියා උත්පාදනය කළ හැකි බව අපි යෝජනා කරමු.




මෙන්න ආණ්ඩුවේ අලුත්ම බඩා ගැහිල්ල; ගණ පූර්ණ කෙළිය


(2009 සැප්තැම්බර් 26 - W3Lanka) ලංකාවේ ආණ්ඩුවේ නවතම සෙල්ලම පාර්ලිමේන්තුවේ ගණ පූර්ණය නැති කර විපක්ෂය අපහසුතාවට පත් කිරීමද යන සැකය මතු කරන සිද්ධියක් ඊයේ පාර්ලිමේන්තුවේදී සිදු විය. සිද්ධිය වූ ආකාරය අද දිනමිණ පුවත්පත වාර්තා කළේ මෙසේයි. 


සභා ගැබෙහි ගණ පූර්ණය නොමැති වීම හේතුවෙන් කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී රවි කරුණානායක මහතාගේ යෝජනාව ඊයේ (25) පස්වරුවේ විවාදයට නොගැනිණි.

සභාව කල් තබන අවස්ථාවේ විවාදය සඳහා යෝජනාව ඉදිරිපත් කැර තිබුණේ රවි කරුණානායක මහතාය. 

ඒ මහතා යෝජනාව ඉදිරිපත් කිරීමට නැගී සිටි මොහොතේ සභාවේ ගණ පූර්ණය නොමැති බවට මගී ප්‍රවාහන සේවා ඇමැති ලසන්ත අලගියවන්න මහතා මුලසුනට පෙන්වා දුන්නේය.

මුලසුනේ සිටි නියෝජ්‍ය කථානායක පියංකර ජයරත්න මහතා මන්ත්‍රීවරුන් කැඳවීම සඳහා සීනුව නාද කිරීමට ලේකම් මණ්ඩලයට උපදෙස් දුන්නේය.

සීනුව නාද වීමත් සමඟ සභා ගැබට මන්ත්‍රීවරුන් පැමිණියද එම සංඛ්‍යාව ගණ පූර්ණයට ප්‍රමාණ නොවන බව විදේශ කටයුතු පිළිබඳ නියෝජ්‍ය ඇමැති හුසේන් බහිලා මහතා මුලසුනට පෙන්වා දුන්නේය. දෙවන වරද සීනුව හැඩවිණ.

එවරද ගණ පූර්ණය සම්පූර්ණ නොවීම නිසා ඔක්තොම්බර් අටවැනිදා දක්වා පාර්ලිමේන්තුව කල් තැබීමට නියෝජ්‍ය කථානායකවරයා තීරණය කෙළේය.

සභාව කල් තබන අවස්ථාවේ ඝනපූරණය පිළිබඳ ප්‍රශ්න නොකිරීමේ හොර ගිවිසුමක් පසුගිය සමයේ ආණ්ඩුවත්, විපක්ෂයත් අතර තිබී ඇත. එහෙත් පසුගිය අඟහරුවාදා මගනැඟුම පිළිබඳ විවාදයේ පිළිතුරු කතාව පැවැත්වීමට නියෝජ්‍ය මහාමාර්ග ඇමති ඩබ්.බී. එකනායක නැඟී සිටි අවස්ථාවේ එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක ගණ පූර්ණය නොමැති බව පෙන්වා දුන්නේය. සීනුව හැඬවූවද අවශ්‍ය මන්ත්‍රීන් සංඛ්‍යාව වන 20 සම්පූර්ණ නොවූයෙන් ඒකනායක නියෝජ්‍ය ඇමතිගේ පිළිතුරු කතාව පැවැත්විය නොහැකි විය. 

පාර්ලිමේන්තුව කට් කිරීම සඳහා ආණ්ඩුවත් විපක්ෂයත් ජනතාවට හොරෙන් ගසා තිබුණු හොර ගිවිසුම කැඩීම ගැන පසුව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජෝසප් මයිකල් පෙරේරා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක දිනේෂ් ගුණවර්ධනගෙන් සමාව ඉල්ලුවේය. 


එහෙත්, මේ ඊයේ ආණ්ඩුව රවි කරුණානායකට රිටර්න් එක දුන් ආකාරයයි. මේ ආදර්ශය අනුව කටයුතු කළහොත් ඉදිරියේදී විපක්ෂයට පාර්ලිමේන්තුවේදී කතා පවත්වන්නට වන්නේ ආණ්ඩුව රැස්වීම්වලට බස්වලින් ජනතාව රැස් කරන්නා සේ නොවඳිනා වැඳුම් වැඳ විපක්ෂයේ කම්මැලි මන්ත්‍රීන් ටික එකතු කරගෙනයි. මක් නිසා ද යත් ආණ්ඩු පක්ෂයට ඔනෑ නම් ඝනපූරණය නොමැති බව පෙන්වා දීම සඳහා මන්ත්‍රීවරයකු පමණක් සභා ගැබ තුළ රැඳවිය හැකිය. 


පාර්ලිමේන්තුව රැස් වන සෑම විනාඩියක් වෙනුවෙන්ම විශාල මුදලක් වැය වේ. ඇතැම් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීන් පාර්ලිමේන්තු එන්නේ මහජන මුදලින් හෙලිකොප්ටර්වලිනි. ඇමතිවරුන්ට යාම ඒම සඳහා කොළඹ පාරවල් වසා ජනතාව විශාල පීඩනයකට ද පත් කරනු ලැබේ. මේ එකී පාර්ලිමේන්තුව කටයුතු කරන ආකාරයයි. 

මහජන මුදලින් සුර සැප විඳින ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ මන්ත්‍රීවරු මේ ගේම් දෙන්නේ කාටද?

වැඩිදුර ඉගෙනගන්න රට ගිය දොස්තරලා 215ක් ගල් වෙලා


(2009 සැප්තැම්බර් 26 - W3Lanka) 1994 සිට වැඩිදුර අධ්‍යපනය සඳහා යයි කියමින් විදේශගත වූ වෛද්‍යවරුන් 1915ක් අතරින් 215ක් ගල් වී හෙවත් ආපසු නොපැමිණ එහි නතර වී ඇති බව සෞඛ්‍ය ඇමති නිමල් සිරිපාල ද සිල්වා ඊයේ පාර්ලිමේන්තුවේදී පැවසීය.

නිදහස් අධ්‍යාපනය ඔස්සේ වෛද්‍යවරයකු බිහි කිරීම සඳහා වසර පහක් පුරා වැය කරන මහජන මුදලට අමතරව මේ හොරුන් සඳහා රජය එකාට මිලියනය ගානේ වැය කර තිබේ. මේ දොස්තර හොරුන්ගෙන් 67දෙනෙක් තවමත් රජයට විදේශගත වීමේදී තැබූ පොලු බේරා නැත. රු. මිලියන 107ක් තවමත් ඔවුන්ගෙන් අය කර ගැනීමට තිබෙන බව සෞඛ්‍ය ඇමති පවසයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙවැනි වංචනික ක්‍රියා පිළිබඳ මුනිවත රකියි.

2009-09-25

කරගාටකාරන් කෙසෙල් විහිළුව හා ලංකාවේ ජාතීන්ගේ ප්‍රශ්නය

අජිත් පැරකුම් ජයසිංහ -

කරගාටකාරන් (නැට්ටුක්කාරයා) නම් ගංගෛ අමරන් අධ්‍යක්ෂණය කළ දෙමළ චිත්‍රපටයෙහි ගවුන්ඩමනි සෙන්දිල්ට රුපියලක් දී කෙසෙල් ගෙඩි දෙකක් ගෙන එන්නට කියයි. සෙන්දිල් මගදී එක් ගෙඩියක් කා ඉතිරි එක ගවුන්ඩමනිට ගෙනැවිත් දෙයි. අනෙක් ගෙඩිය කොහෙදැයි ගවුන්ඩමනි අසයි. ඔය තියෙන්නේයි ගවුන්ඩමනි අතෙහි ඇති කෙසෙල්ගෙඩිය පෙන්වමින් සෙන්දිල් කියයි. ගවුන්ඩමනී ඔහුට වඩාත් සරළව පැහැදිලි කර දී අනෙක් ගෙඩිය කොහිදැයි අසයි. සෙන්දිල් කියන්නේ ඔය තියෙන්නේ කියායි.

ගවුන්ඩමනි කෝපයට පත්ව සෙන්දිල්ට පහර දීමට ගිය විට ඔහු වළක්වන ඔහුගේ මිතුරෙක් සෙන්දිල්ට වඩාත් සරළව පැහැදිලි කර දෙයි. සෙන්දිල් තමන්ට තේරෙන බව කියයි. ඉන් පසු ඔහු නැවතත් අනෙක් කෙසෙල් ගෙඩිය කොහිදැයි අසයි. සෙන්දිල්ගේ පිළිතුර ඔය තියෙන්නේ කියායි. වඩාත් කුපිත වන ගවුන්ඩමනි ඔහුට පහර දීමට යන විට කාන්තාවක පැමිණ එය වළක්වා වඩා කරුණාවෙන් සෙන්දිල්ට කියා දී අනෙක් කෙසෙල් ගෙඩිය කොහිදැයි අසයි. එහෙත් ලැබෙන්නේ ඔය තියෙන්නේ යන සුපුරුදු පිළිතුරමය.

අන්තිමේදී ගවුන්ඩමනි කෝපය මැඩගෙන මෙසේ පැහැදිලි කරයි.

    ග: මම උඹට මොනවද ගේන්න කීවෙ?

    සෙ: කෙසෙල් ගෙඩි දෙකක්

    ග: මම උඹට කීයක් දුන්නද?

    සෙ: රුපියලයි.

    ග: රුපියලට කෙසෙල් ගෙඩි කීයක් ගන්න පුළුවන්ද?

    සෙ: දෙකයි.

    ග: උඹට කඩකාරයා කෙසෙල්ගෙඩි කීයක් දුන්නද?

    සෙ: දෙකයි.

    ග: දැන් මෙතන එකක් තියෙනවා. අනෙක් ගෙඩිය කෝ?

    සෙ: (එම ගෙඩියටම ඇඟිල්ල දිගු කරමින්) ඔය තියෙන්නේ.


(කරගාටකාරන් කෙසෙල් විහිළුව බලන්න මෙතැන ක්ලික් කරන්න)

ලංකාවේ ජාතීන්ගේ ප්‍රශ්නය ද කරගාටකාරන් චිත්‍රපටයේ කෙසෙල් ගෙඩි විහිළුව වැනිය. සිංහල ජාතිකවාදියාට කෙතරම් පැහැදිලි කර දුන්නත් දෙමළාගේ ප්‍රශ්නය තේරෙන්නේ නැත. එයට හේතුව, හොරෙන් කෑ කෙසෙල්ගෙඩිය සේ සිංහල ජාතිකවාදයේ පදනම සිංහල මූලික ජාතික රාජ්‍යය ඉදි වන්නේ දෙමළ ජනයාගෙන් පැහැර ගත් ජාතික හිමිකම් මත බැවිනි. දෙමළ ජාතිකවාදියා තම ප්‍රශ්නය හොඳින් කියා දීමට උත්සාහ කරයි. ඒත් අවසානයේදී සිංහල ජාතිකවාදියා නැවතත් අසන්නේ දෙමළ ජනයාට ඇති ප්‍රශ්නය කුමක්දැයි කියාය. එවිට දෙමළ ජාතිකවාදියා කෝපාවිෂ්ඨව පහර දීමට එළවයි.

එසේ එලවාගෙන ආ දෙමළ ජාතිකවාදියාට අවසානයේදී සිදු වූයේ බඩපුරා කන්නටයි. දැන් ප්‍රශ්නය නැවත මුලට ගොස් ඇත. දෙමළ ජනයාට ඇති ප්‍රශ්නය කුමක්දැයි සිංහල ජාතිකවාදියෝ දැන් නැවතත් අසති. ඇත්තෙන්ම කීවොත් දෙමළ ජනයාට ඇති ලොකුම ප්‍රශ්නය වන්නේ තමන්ට ප්‍රශ්නයක් ඇති බව සිංහල ජාතිකවාදීන්ට නොපෙනීමයි. සිංහල ජාතිකවාදියාට ඇති ප්‍රශ්නය වන්නේ දෙමළාගේ ප්‍රශ්නය තේරුම් ගත්තොත් තමන්ගේ ජාතිකවාදයේ පදනම දෙදරා යාමයි. මෙයට විසඳුම වන්නේ එක්කෝ දෙමළ ජාතිකවාදයට ඉඩක් විවෘත වන පරිදි සිංහල ජාතිකවාදය නවීකරණය කිරීමයි. නැතිනම් ලංකාවේ සිංහල හා දෙමළ භාෂා කතා කරන දේශපාලන ප්‍රජාවන් දෙක එක්ව නව ලාංකික ජාතියක් ගොඩනැඟීමේ ව්‍යායාමයකට උර දිය යුතුය.

ලාංකික ජාතියක් ගොඩනැඟීම යනු වර්තමානයේ ශ්‍රී ලාංකික ජාතිය යයි කියන නොපවතින මිථ්‍යාව තුළට දෙමළ ජනයා තල්ලු කිරීමට උත්සාහ කිරීම නොවේ. වත්මන් ශ්‍රී ලාංකික ජාතිය යනු සිංහල රාජ්‍ය ආධිපත්‍යවාදයට පර්යාය පදයක් පමණි. ලාංකිකයා ඉන්දියානුවා වැනි පුළුල් අනන්‍යතාවක් ඇති දේශපාලන ප්‍රජාවක් විය යුතුය. ඉන්දියානුවාට එසේ වන්නට හැකි වූයේ හින්දි කතා කරන මහ ජාතියට මෙන්ම දෙමළ කතා කරන තමිල්නාඩු වැසියා වැන්නන්ට ද කැමැත්තෙන්ම අනුගත විය හැකි සේ ඉන්දීය ජාතික අනන්‍යතාව පුළුල් වූ බැවිනි. සුළුතර ප්‍රජාවන්ගේ භාෂා හිමිකම තහවුරු කිරීම හා සුළුතර ජාතීන්ට තමන් බහුතරය ‍වන ප්‍රදේශ පාලනය කිරීමේ පාලන බලතල ලබා දීම ද ඉන්දීය ජාතික අනන්‍යතාව ශක්තිමත් කිරීමට හේතු විය. ප්‍රාදේශීය පාලන ඒකක 35කින් සැදුම් ලත් ඉන්දියා‍වේ වහරන භාෂාවන් සිය ගණනක් අතරින් 22කට නිල භාෂා තත්වය හිමි වී තිබේ. එසේම මධ්‍යම ආණ්ඩුව තුළ සුළු ජාතීන්ට සමානත්වය ලබා දීම ද ඉන්දීය ජාතික අනන්‍යතාවේ ප්‍රධාන ලක්ෂණයකි. වර්තමාන ඉන්දීය ආණ්ඩුවේ අගමැති සික් ජාතිකයෙකි. 2004දී ඉංග්‍රීසි කතා කරන බෞද්ධයකු වූ දෙමළ නොදත් නමුත් දෙමළ නමක් හිමිව සිටි ලක්ෂ්මන් කදිර්ගාමර් අගමැති කිරීමට ජවිපෙ දැරූ උත්සාහය අසාර්ථක වූයේ ඇයි?

ලංකාවේ සිංහල ජාතිකවාදීන් මෙන්ම දෙමළ ඊලාම් ජාතිකවාදීහු ද අනුගමනය කරන්නේ ඊශ්‍රායල් ජාතිය ගොඩනැඟීමේ ආක්‍රමණශීලී ක්‍රමවේදයයි. අවසාන වරට කොළඹට මරාගෙන මැරෙන ගුවන් ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා පැමිණි එල්.ටී.ටී.ඊ. ගුවන් නියමුවකු ලියා තැබූ මාධ්‍යයට නිකුත් කරන ලද ලියුමක ද ඊශ්‍රායලය උත්කර්ෂයට නඟා තිබිණි. දෙපාර්ශ්වයම යුද උපක්‍රම සම්බන්ධයෙන් ඊශ්‍රායලයට ණයගැතිය. නූතන සංදර්භය තුළ ඊශ්‍රායල් ජාතිකවාදය සෙසු ජාතීන් බැහැර කරන අවකලනාත්මක, පටු, පීඩක ජාතිකවාදයකි. ලංකාවේ සංදර්භය විසින් ඉල්ලා සිටින්නේ ජාතීන්ට ස්වයංව අනුකලනය විය හැකි පුළුල් ලාංකික ජාතික අනන්‍යතාවකි.

සිංහල, දෙමළ දෙජාතීන්ගේ ප්‍රගතිශීලී බලවේග ජාතික සමගිය සඳහා ප්‍රබල මැදිහත්වීමක් නොකරන තාක් කල් කරගාට්ටකාරන් කෙසෙල්ගෙඩි විහිළුව තව බොහෝ වරක් ලාංකීය පොළව මත රඟ දැක්වෙනු ඇත. එහෙත්, එය විහිළුවක් නොවන්නේ සිදු වන්නේ රුහිරු ගංගාවක් මත වන බැවිනි.

පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට රජය පක්ෂ නැහැ. රජයේ ආයෝජන මණ්ඩලය පක්ෂයි

(2009 සැප්තැම්බර් 25 - W3Lanka) පෞද්ගලික විශ්වවිද්‍යාල ඇරඹීම ලංකාවේ රජයේ ප්‍රතිපත්තියක් නොවන බව ද, මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ආයෝජන මණ්ඩල ව්‍යාපෘතියක් බව ද උසස් අධ්‍යාපන ඇමති විශ්වා වර්ණපාල ඊයේ පාර්ලිමේන්තුවේදී පැවසීය. 

එහෙත් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය රජයේ ව්‍යාපෘතියකි. මාලබේ වෛද්‍ය විද්‍යාලයේ උපාධිය රජය පිළිගන්නා බව ද ඇමතිවරයා පැවසීය. මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය රුසියාවේ විශ්වවිද්‍යාලයකට අනුබද්ධය. ළඟදී අධ්‍යයන කටයුතු ඇරඹීමට නියමිත මෙම විශ්වවිද්‍යාලයේ පළමු කණ්ඩායම ලෙස සිසුන් 100ක් බඳවා ගැනීමට නියමිතය. මෙම විශ්වවිද්‍යාලයේ උපාධියක් ලබාගැනීම සඳහා රු. ලක්ෂ 55කට වඩා වැය කළ යුතුය. 


එක්සත් ජනපදයේ හෝ ඕස්ට්‍රේලියාවේ වෛද්‍ය උපාධියක් සඳහා ලියාපදිංචි වීමටම මෙවැනි මුදලක් වැය වේ. අවුරුදු පතා සිය ගණනක් ලාංකික සිසුවෝ වෛද්‍ය උපාධි සඳහා විදේශගත වෙති. 


ලංකාවේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ආරම්භ කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, වෛද්‍ය පීඨ ශිෂ්‍ය සභා, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය හා ජනතා විමුක්ති පෙරමුණ දැඩි ලෙස විරෝධය පළ කරයි.



විශ්වවිද්‍යාල පෞද්ගලීකරණයට මෙම බලවේග විරුද්ධ මුත් මේ වන විට විශ්වවිද්‍යාල වරම් අහිමි වන්නන්ට අධික මිළට විශ්වවිද්‍යාල විසින් විවිධ පාඨමාලා පැවැත්වීම පිළිබඳ ඔවුන් විරෝධය පළ කරන්නේ නැත.

මහජන දේපල පරිස්සම් කර ගනියෝ‍! ජයසුන්දර එනෝ!


(සැප්තැම්බර් 25, 2009 - W3Lanka) වරාය අධිකාරියට හිමි ඉඩමක් ජෝන් කීල්ස් සමාගමට පැවරීමේදී රජයට පාඩු සිදු කිරීමේ චෝදනාවට වරදකරු වී ලක්ෂ පහක වන්දියක් ගෙවූ මුදල් අමාත්‍යංශයේ හිටපු ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර ළඟදීම යළි එම තනතුරට පත් වනු ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි. 

හිටපු අග විනිසුරු සරත් එන්. සිල්වාගේ ඇණවුම පරිදි ඉදිරියේදී කිසිදු රජයේ තනතුරක් භාර නොගන්නා බවට ජයසුන්දර විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන ලද දිවුරුම් පෙත්සම ඉල්ලා අස් කර ගැනීමට ඉඩ දීමට ඊයේ ඔහුගේ ඉල්ලීමක් සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණයේ සත් පුද්ගල විනිසුරු මඬුල්ලක් විසින් බහුතර කැමැත්ත මත එකඟත්වය පළ කරන ලදී. අග්‍ර විනිශ්චයකාර අසෝක ද සිල්වා විසින් සභාපතිත්වය හොබවන ලද මෙම විනිසුරු මඬුල්ලේ ආචාර්ය ශිරානි තිලකවර්ධන විනිසුරුවරිය පමණක් මෙම තීන්දුවට එකඟ නොවූවාය. 


යළිත් මුදල් අමාත්‍යංශ ලේකම් ධුරය භාර ගන්නා ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ තමන්ගෙන් ඉල්ලා ඇති බව ජයසුන්දර ශ්‍රේෂ්ථාධිකරණයට ඉදිරිපත් කරන ලද මෝසමේ සඳහන් කරයි. 


ජයසුන්දර ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සමීප හිතවතකු වන අතර ඔහු වරදකරු වූ මානව හිමිකම් නඩුව ගොනු කරනු ලැබුවේ රාජපක්ෂගේ තවත් හිතවතකු හා ජනාධිපති උපදේශකයකු වන ප්‍රකට වාමාංශිකයකු වන වාසුදේව නානායක්කාරයි.

2009-09-24

ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ශ්‍රම බලකාය පිලිබදව ජාතික මට්ටමේ සමීක්ෂණයක්

(සැප්තැම්බර් 24, 2009 - W3Lanka) ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ශ්‍රම බලකාය පිලිබදව ජාතික මට්ටමේ සමීක්ෂණයක් සිදු කිරීමට ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) පියවර ගෙන ඇත.




රාජ්‍ය ආයතන, දෙපාර්තමේන්තු, පෞද්ගලික ආයතන, රාජ්‍ය නොවන සංවිධාන සහ තොරතුරු තාක්ෂණ ව්‍යාපාර ක්‍රියාවලි බාහිරකරණ කර්මාන්තයේ (IT-BPO) යෙදී සිටින ආයතන මෙම සමීක්ෂණයට ලක් කෙරෙන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය පවසයි.


එම්. ජී. කන්සල්ටන්ට්ස් ආයතනය විසින් මෙම සමීක්ෂණය සිදු කරනු ලබන අතර එම ආයතනයේ අධ්‍යක්ෂ රංජිත් ගුණවර්ධන සහ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී රෙෂාන් දේවපුර යන මහත්වරු අදාල ගිවිසුමට අත්සන් කළහ.


ශ්‍රී ලංකාවේ සංවර්ධනය කෙරෙහි තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රය අතිශය වැදගත් සාධකයක් බවට පත්වෙමින් තිබෙන යුගයක මෙවැනි සමීක්ෂණයක් සිදු කිරීම ඉදිරි සංවර්ධන සැලසුම් සකස් කිරීම සදහා මනා පිටු බලයක් වන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ප්රමධාන මෙහෙයුම් නිළධාරී රෙෂාන් දේවපුර ප්‍රකාශ කරයි.

කොටි ගුවන් යානා 10ක් එරිත්‍රියාවේ සිට ගෙන එන්න සැලසුම් කරලා


(සැප්තැම්බර් 24, 2009 - W3Lanka) එල්.ටී.ටී.ඊ. සංවිධානය එරිත්‍රීයාවේ සිට ගුවන් යානා 10ක් ‍කොටස් වෙන් කර රැගෙන ඒමට සැලසුම් කර තිබූ බව ද, එහෙත්, යුද්ධය ඔවුන් බලාපොරොත්තු වූ තරම් දිග්ගැසුණේ නැති බැවින් මෙම සැලසුම ව්‍යර්ථ වූ බව ද දැනට අත්අඩංගුවට පත් වී සිටින කොටි නායක කේ.පී.ගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළි වූ බව යුද හමුදා ප්‍රකාශකයෙකු උපුටා දක්වමින් ඉන්දියාවේ හින්දුස්ථාන් ටෛම්ස් පුවත්පත පවසයි.


මෙම ගුවන් යානා පැදවීම පිණිස අඩු වශයෙන් නියමුවන් 12ක්වත් මැලේසියාවේ සහ ඉන්දුනීසියාවේ පුහුණු කර තිබෙන බව ද ඔවුන්ගෙන් දෙදෙනෙක් අත්අඩංගුවට පත් වී ඇති බව ද එම හමුදා නිලධාරියා පවසා තිබේ.


ගුවන් යානා පැදවීම පුහුණු කිරීමේදී යොදා ගනු ලබන නියමු කුටියක නිදර්ශකයක් ද වන්නියේ සෝදිසි මෙහෙයුම්වලදී සොයා ගත් බව හමුදා නිලධාරියා පවසා ඇත.

Lanka Polity අද සිට: හිතන්නෙ පීඩිත සිංහලෙන්. ලියන්නෙ කඩ්ඩෙන්.

(2009 සැප්තැම්බර් 24 -W3Lanka) 'ජනමාධ්‍යකරුවාගේ කාර්යභාරය වාර්තා කිරීම පමණයි; තීරණය ග්‍රාහකයා අතේය' කියන මිථ්‍යාව අපි පිළිගන්නේ නැහැ. ග්‍රාහකයාට ඔනෑ විදියකට පිළි ගන්න පුළුවන්. ඒත්, මාධ්‍යකරුවා හැම විටම වාර්තාකරණයේදී මැදිහත් වෙනවා. යම් සිද්ධියක් ප්‍රවෘත්තියක් බවට පත් වන්නේ මාධ්‍යකරුවාගේ තෝරාගැනීම අනුවයි. එසේම ප්‍රවෘත්තිය ඉදිරිපත් කරද්දී එකතු කරන හා ඉවත ලන කරුණු විසින් ග්‍රාහකයාට තීරණ ගත යුතු ආකාරය පිළිබඳ බලපෑමක් කරනවා. මේක අහිංසක වැඩක් නෙමෙයි.


අපි නම් කෙළින්ම පොල්ලෙන් ගැහුවා වගේ මේ වැඩේ කරනවා. වෘත්තිකමය හෙවත් ප්‍රොෆෙෂනල් විදියට මේ වැඩේ කරන අය කියාවි මේක පුවත්පත් කලාව නෙමෙයි කියලා. ඉතින් අපට මොකෝ?


ඒක නෙමෙයි, W3Lankaගේ සහෝදර ඉංග්‍රීසි වෙබ් අඩවිය වන Lanka Polity (www.lankapolity.com) අද සිට විධිමත් ප්‍රවෘත්ති පළ කිරීමක් ආරම්භ කරනවා. අපේ දැක්ම එහෙමමයි. මේ තමයි ප්‍රොෆෙෂනල් නොවන ඉංග්‍රීසි පුවත්පත් කලාවේ සිංග්ලිෂ් පිටුව. හිතන්නෙ පීඩිත සිංහල විධියට. ලියන්නෙ කඩ්ඩෙන්.

උදව්වක් වශයෙන් මේ ගැන අනෙක් අයටත් කියන්න.

මාතර අධිවේගී පාරේ පාලමක කෑලි හැලී පෝද්දල ගමක් නොසන්සුන්

(2009 සැප්තැම්බර් 24 -W3Lanka) මහා පරිමාණ වංචා දූෂණ හේතුවෙන් පාලම් 30ක් ප්‍රමිතියෙන් බාල බව තහවුරු වී තිබෙන, තවත් බෝක්කු රැසක් පිළිබඳ ගැටළු පවතින මාතර-කොළඹ අධිවේගී මාර්ගයේ තවත් පාලමක කෑලි හැලීම නිසා ඊයේ සිට ගාලු දිස්ත්‍රික්කයේ ගම්වැසියන් පිරිසක් නොසන්සුන් තත්වයට පත් වී සිටිති.


පෝද්දල නරාවල වලවත්ත ගම්මානයට යන පිවිසුම් මාර්ගය වැටී ඇත්තේ කොංක්‍රීට් පදාස බැගින් කෑලි හැලෙන මෙම පාලම යටින්ය.


මීට පෙර අවස්ථාවකදී ද මේ ආසන්නයේ පාලමක් සිරුර මත කඩා වැටීමෙන් ප්‍රදේශයේ තරුණයකු මරු මුවට පත් විය.


මෙම මාර්ගය වාහන ධාවනය සඳහා විවෘත කිරීමටත් පෙර තත්වය මෙසේ නම් කවදා හෝ මෙය විවෘත කළ පසු යන එන වාහනවලටත්, ඒවායේ මගීන්ටත්, මේ පාරේ පාලම් යටින් යන එන අයටත් බුදු සරණයි! දෙවි පිහිටයි!

පාර්ලිමේන්තු රැස්වීම් කට් කරන්න ආණ්ඩුවයි යූඇන්පියයි අතර හොර ගිවිසුමක්

(2009 සැප්තැම්බර් 24 - W3Lanka) පාර්ලිමේන්තුවේ සභාව කල් තබන අවස්ථාවේදී ඝනපූරණය පිළිබඳ ප්‍රශ්න මතු නොකර සිටීමට එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුවත් සමග ජනතාවට හොරෙන් එකඟ වී තිබූ බව වාර්තා වේ. 


මහජන මුදලින් සුර සැප විඳින ඇමතිවරු හා මන්ත්‍රීවරු පාර්ලිමේන්තු රැස්වීම් මගහැර යාම හේතුවෙන් පසුගිය අඟහරුවාදා පාර්ලිමේන්තුවේදී මග නැඟුම ව්‍යාපෘතිය පිළිබඳ විවාද‍ය අතරතුර ඝනපූරනය සඳහා අවශ්‍ය මන්ත්‍රීවරු 20 සභා ගැබේ නොසිටීම හේතුවෙන් මහාමාර්ග ඇමති ඩබ්. බීත ඒකනායකගේ පිළිතුරු කතාව නවතවා සභාව කල් තබන ලදී. 


ආණ්ඩුව සමග හොර ගිවිසුම උල්ලංඝනය කරමින් එක්සත් ජාතික පක්ෂයේ රවි කරුණානායක මන්ත්‍රීවරයා ඝනපූරණ ප්‍රශ්නය මතු කිරීම පිළිබඳ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජෝසප් මයිකල් පෙරේරා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක දිනේෂ් ගුණවර්ධනට කණගාටුව ප්‍රකාශ කර තිබේ. 


මහජන මුදල්වලට වන නාස්තියට නම් සොරි කියන්නට කිසිවෙක් නැත. රජයේ සේවකයකු වැඩට ඒමට විනාඩියක් පමා වුණත් රජය පඩි කපයි. එහෙත්, කපුවන් දේවාලයේ මළපහ කරන්නේ දෙපක්ෂයේ කපුවන් මුහුණට මුහුණ බලාගෙන ඇස් ගහමිනි. ජනතාවට ඉතින් හැමදාම සොරිම තමාය.

2009-09-23

පාර්ලිමේන්තුවේ ඝනපූරණය නැහැ: මේකට කරන වියදමින් කිරි නිෂ්පාදනය නැංවුවා නම් නරකද?


(2009 සැප්තැම්බර් 23 - W3Lanka) ඊයේ මගනැඟුම පිළිබඳ පාර්ලිමේන්තුවේ පැවති විවාදයේදී ආණ්ඩුව‍ වෙනුවෙන් මහාමාර්ග ඇමති ඩබ්. බී. ඒකනායක පිළිතුරු දීමට සූදානම් වෙද්දී එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තු රැස්වීම පවත්වාගෙන යාමට අවශ්‍ය අවම මන්ත්‍රී සංඛ්‍යාව හෙවත් ඝනපූරණය වන 20ක් නැති බව පෙන්වා දීමෙන් පසු මන්ත්‍රීන් කැදවීමේ සීනුව නාද කරන ලදී. 


එහෙත් ගරු මන්ත්‍රීවරුන් විස්සක් නොපැමිණි නිසා පාර්ලිමේන්තුව කල් තැබීමට සිදු විය. 

පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරුන්ගෙන් තුනෙන් දෙකක් විතර ඉන්නේ ආණ්ඩුවේය. ඇමතිවරුම එකසිය ගණනකි. රැස්වීමකටවත් හරි හැටි සහභාගි නොවන මොවුන් නඩත්තු කිරීම සඳහා මහජන මුදලින් කරන වියදම ලංකාවේ කිරි නිෂ්පදනය ඉහළ නැංවීම සඳහා යෙදවූයේ නම් රටට මහත් ප්‍රයෝජනයක් වීමට තිබිණි. 


හිතාමතාම ඝනපූරණය නැති කිරීම පිළිබඳ අපි විපක්ෂ්‍යට දොස් නොකියමු. මන්ද එය ඔවුන් රජයට විරෝධය පෑම සඳහා පාවිච්චි කළ උපක්‍රමයක් බැවිනි. පාර්ලිමේන්තුවේ ඝනපූරණය තියා ගැනීමටවත් බැරි වුණ ද රටේ ජනාධිපතිට පාර්ලිමේන්තු කටයුතු සඳහා උපදේශකවරු පවා සිටිති.

අනේ ලංකාවෙ බිස්නස් ක්ලාස් එක දන්න පාක් ඇන් රයිඩ්!


(2009 සැප්තැම්බර් 23 - W3Lanka) ප්‍රවාහන ක්ෂේත්‍රයේ ගුණාත්මක බව රැක ගැනීමට යයි කියමින් හඳුන්වා දුන් කටුබැද්දේ මොටෝ රිය නවතා කොළඹ දක්වා සුඛෝපභෝගී බසයෙන් යා හැකි සල්ලිකාරයන්ගේ හෙවත් බිස්නස් ක්ලාස් එකේ පාක් ඇන් රයිඩ් සේවාව දැන් නියම සුදු අලියෙක් වී තිබේ.


පසුගිය මාර්තු මස මෙය ආරම්භ කළ අතර "මාර්තුවල ඉඳන් සැප්තැම්බර් දක්වා මගීන් 12 ක් විතර තමයි හිටියේ" යි ප්‍රවාහන ඇමති ලසන්ත අලගියවන්න පවසයි.  "ඒත් දැන් මගීන් 40 දක්වා සංඛ්‍යාව වැඩි වෙලා තියෙනවා," යි ද සැප්තැම්බර් 23දා දිනමිණ පුවත්පතට කී ඔහු මොරටුව -කොළඹට අමතරව හයිලෙවල් පාර, මීගමු පාර වැනි පාරවල් වලත් මේ ක්‍රමය ක්‍රියාත්මක කරන බව පවසයි.


මේ අතර නිල් පාට අලුත් සුඛෝපභෝගී හිස් බස් ඉන්ධන පුළුස්සාගෙන, මාර්ග තදබදය වැඩි කරමින්, පාරවල් අබලන් කරමින් මාර්ගවල සැරිසරනු ගාලු පාරේ බස්වල ‍ටින් මාළු සේ තෙරපෙමින් වවුලන් සේ එල්ලී යන ජනයාට දකින්නට ලැබේ.


පාක් ඇන් රයිඩ් සාර්ථක නොවන්නට ප්‍රධාන හේතුව අපේ රටේ ඉහළ මධ්‍යම පංතියට හා ධනපති පංතියට සංස්කෘතියක් නැතිකමයි. ප්‍රධාන වශයෙන් ම ජනතා දේපල මංකොල්ලකෑමෙන් හා ගසාකෑමෙන් තර වන මෙම සමාජ තීරයේ අයට ඇත්තේ පුළුවන් තරම් පරිභෝජනය කිරීමේ බඩජාරි සංස්කෘතියක් බව කාටත් වඩා හොඳින් දන්නේ මෙම සංකල්ප හඳුන්වා දෙන දේශපාලකයන්ය.පාක් ඇන් රයිඩ් වෙතින් බලාපොරොත්තු වන සමාජ වගකීම ඇත්තේම නැත්තේ මේ බස්වල ලියා තිබෙන බිස්නස් ක්ලාස් යන පංතියට අයිති අයටයි.


ආණ්ඩුවේ මහා පරිමාණ දූෂණ හා නාස්ති අතරට මෙය ද එක් වීම වළක්වා ගැනීම සඳහා ආණ්ඩුවට වහා කළ හැකි දෙයක් වන්නේ මේ බස් කොළඹ වටා යන ඉස්සර තිබුණු ආකාරයේ කොළ කවය බස් වැනි සාමාන්‍ය ජනතාවට පරිහරණය කළ හැකි බස් සේවාවක් බවට පත් කිරීමයි. එම බස්වල ලියා ඇති බිස්නස් ක්ලාස් යන වචන දෙක කටු ගා නොදැමුවොත් සාමාන්‍ය ජනයා ඒවාට නැඟීමට බිය වනු ඇත.


කටුබැද්දේ පාක් ඇන් රයිඩ් රථ නැවතුම්පොළේ දඩාවතේ යන බල්ලන්ට අනාථාගාරයක් හැදිය හැකිය. පාක් ඇන් රයිඩ් බෝඩ් ලෑල්ල ගලවා කටුබැද්ද රජයේ බලු අනාථාගාරය කියා බෝඩ් ලෑල්ලක් දැමිය හැකිය. 

කුමට එරට අධිකරණය නීතිය සහ විනිසුරන්


(2009 සැප්තැම්බර් 23 - W3Lanka) බාලසූරිය කංකානමලාගේ අභය පද්මසිරි බාලසූරිය  මහනුවර මල්වතු පාර්ශවයේ භික්ෂුන් වහන්සේ නමකට එරෙහිව මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයේ දේපළ නඩුවක් පැවැරීය. එම නඩුව මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග කිරීම ප්‍රශ්නගත වු බැවින් එය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට මාරු කරන ලෙස පැමිණිලිකරු අභියාචනය කළේය.


මෙකල අභියාචනාධිකරණයේ සභාපති ධුරය හෙබවූ අගවිනිසුරු සරත් නන්ද සිල්වා පැමිණිලිකරුට අභියාචනාධිකරණයේ පෙනී සිටින ලෙස දන්වමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට නඩුව මාරු කිරීමේ මුල් නියෝගය අවලංගු කළේය.

හිටපු අගවිනිසුරුවරයා, මහනුවර දිසා-විනිසුරුවරයා , භික්ෂුන්වහන්සේ සහ නඩුවට අදාල සමාගම් නියෝජිතයා නිතර හමුවන අය බැවින් තමනට අගතියක් වෙතැයි සිතූ පැමිණිලිකරු සිය නඩුව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණයට නඩුව යොමු කිරීමෙන් පසුව නඩුව යළිත් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළ අතර මේ ක්‍රියාදාමයෙන් එවකට අභියාචනාධිකරණ සභාපති වූ සරත් නන්ද සිල්වා වෛර බැඳගත් බව අභය පද්මසිරි බාලසූරිය සඳහන් කරයි. 


මේ වෛරය පිරිමසාගැනීම පිණිස 2007 මාර්තු 20 වැනි දින මහනුවර දිසා අධිකරණයේ නීතිඥවරයකු ලෙස පෙනී සිටියේ යයි බොරු චෝදනාවක් ඉදිරිපත් කර මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය මාර්ගයෙන් තමා රක්ෂිත බන්ධනාගාර ගත කළ බවත්, කිසි දිනෙක නොකළ මේ වරදට 2008 ජනවාරි 08 වැනි දින දක්වා දින 294ක් තමා බන්ධනාගාර ගත වූ බවත්, ඉන්පසු චෝදනාවක් නොමැතිව නිදහස් වූ බවත් අභය පද්මසිරි බාලසූරිය සඳහන් කරයි. 

මේ පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිර්පත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාග කිරීමේදී එවකට අගවිනිසුරු වු සරත් නන්ද සිල්වා සියලු නඩු කැඳවා අවසානයේ සිය නඩුව විභාගයට ගෙන, ඔහු රිමාන්ඩ් භාරයට පත් කළේ තමාගේ උවමනාව පරිදි බව කියා තර්ජනය කැර බැනවැදී තමන්ව පළවා හැරි බවත් අභය පද්මසිරි බාලසූරිය සඳහන් කරයි. 

අගවිනිසුරු සරත් නන්ද සිල්වා නිල බලය පෞද්ගලික අරමුණක් වෙනුවෙන් භාවිත කර අභය පද්මසිරි බාලසූරිය මහතා දින 294ක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීම හේතුවෙන් සිදුවූ හානියට රු. ලක්ෂ 100ක් වන්දි ඉල්ලා දැන් ඒ මහතා කොළඹ දිසා අධිකරණයේ නඩු පවරා තිබේ. 

ප.ලි: හෙන්රි ජයසේන විසින් අනුවර්තනය කරන ලද බර්ටෝල්ඩ් බ්‍රෙෂ්ට්ගේ හුණුවටයේ කතාවේ අසඩක් නම් හොරාට නඩුකාර පදවියක් ලැබීමෙන් පසු ඔහු කියන්නේ මෙතෙක් කල් නඩුකාරයන් හොරුන් වූ නමුදු මෙය හොරකු නඩුකාරයකු වූ පළමු අවස්ථාව බවයි. 


("ප.ලි." සඳහන ඉහත පුවත සමග කිසිදු සම්බන්ධයක් නැත. මාතෘකාව නන්දා මාලිනී ඉස්සර කී ගීයක පදයකි. මෙම සටහන සඳහා පාඨක අදහස් අවුරා තිබේ.)

අනර්කලී අක්කිට ඇයි මෙහෙම කරදර


(2009 සැප්තැම්බර් 23 - W3Lanka) අනර්කලී අක්කිට මුතුහෙට්ටිගම අයියා ඇතුළු ගාලු දිස්ත්‍රික්කයට තරග කරන ඇතැම් සන්ධාන අපේක්ෂකයන්ගෙන් තරදරය. එක්සත් ජාතික පක්ෂයේ දයාසිරි, මනුෂ වගේ අයියලා ද එයාට අපහාස කතා කියති. රඟපානවා කියන්නේ වෙනින් මොකක්ද අමුතු දෙයක් කරනවා වගේ ස්වරයකින් රංජන් රාමනායක අයියා කියන්නේ "එයා ඉතින් මා එක්ක රඟපාපු එක්කෙනානෙ" කියායි.


අප නම් කියන්නේ අනර්කලී අක්කිත් ලංකාවේ අනෙකුත් දේශපාලකයන් වගේම ඒ වැඩේට නුසුදුසු කෙනෙක් බවයි. වැඩි නුසුදුසුකමකට තියෙන්නේ ඇය ගැහැනියක වීම පමණයි.


නුසුදුසු නායකයන්ව ප්‍රජාතන්ත්‍රවාදී විදියට ඡන්දය දීලා පත් කරගන්න මේ රටේ මහජනතාවත් ඇත්තෙන්ම කිව්වොත් ඡන්දදායකයන් වෙන්න සුදුසු අය නොවෙයි. ඒත් ඉතින් මක් කොරන්නද? සුද්ද දීල ගියපු සර්ව ජන ඡන්ද බලේනෙ. මොකෝ එපා කියන්නයැ. 


ගැහැනියක වන අනර්කලී අක්කිට සපෝට් එකක් වශයෙන් අපි අපේ පරණ බ්ලොග් පෝස්ට් එකක් නැවත පළ කරනවා. කියවලා බලන්න.


අනර්කලී: දකුණු පළාත් ඡන්දයේ දිදුලන තරුව

අජිත් පැරකුම් ජයසිංහ විසිනි

ජනප්‍රිය නිළි අනර්කලී ආකර්ශා මාතර දිස්ත්‍රික්කයෙන් දකුණු පළාත් සභා ඡන්දයට ඉදිරිපත් වීම බොහෝ දෙනෙකුගේ උපහාසයට හා අපහාසයට නිමිත්තක් වී තිබේ. ඉහළ දේශපාලන සම්බන්ධයක් හරහා පළාත් සභා අපේක්ෂකත්වය දිනා ගත්, 'සුදුසුකම්' රහිත පළමු හා එකම තැනැත්තිය ඇය ලෙසයි, ඇතැමෙකුට පෙනෙන්නේ. ලංකාවේ දේශපාලනය සඳහා අවශ්‍ය සුදුසුකම් නිශ්චිතව අර්ථකථනය කළ නොහැක. අනර්කලී නුසුදුසු යයි කියන අය හමුවේ ඇති ලොකුම අභියෝගය වන්නේ මැතිවරණ අපේක්ෂකයකු සතු විය යුතු සුදුසුකම් මොනවාදැයි පෙන්වා දීමයි.

යකාගේ හැටිය‍ට විමානය කිව්වා සේ රටක පාලකයන් බිහි වන්නේ ඒ රටේ ජනතාවගේ හැටියටය. නීතිය පිළිබඳ ජාත්‍යන්තර වශයෙන් පවා කීර්තිමත් මහාචාර්යවරයතු වන ජී. එල්. පීරිස් සිටින මේ ආණ්ඩුවේ නීතිය පිළිබඳ වගකියන්නේ මහජන මුදල් අපහරණය කළ නීති විරෝධී ක්‍රියාවල යෙදුන බවට කෝප් වාර්තාවේ සඳහන් වූ කෙනෙකි. සසිරිබර මෙසිරිලක හැටි එහෙමය. මාතර දිස්ත්‍රික්කයම වෙනුවෙන් සන්ධාන ලැයිස්තුවට දමන ලද අනර්කලී එම දිස්ත්‍රික්කයෙන් සොයා ගත හැකි සුදුසුම ගැහැනිය නොවන බව අමුතුවෙන් කියන්නට ඕනෑ නැත. මක් නිසාද යත්, සියයට අනූනමයක්ම පිරිමින් වන  මේ රට කරවන අනෙක් සියල්ලන්මත් ඒ සඳහා සුදුසුම අය නොවන බව අප දන්නා බැවිනි. හොරකමට, මැරකමට, තක්කඩිකමට, තකතිරුකමට, ජඩකමට, වාචාලකමට හා වනචරකමට පමණක් සුදුසු කී දෙනෙකු අපි පාලකයන් ලෙස අපේම ඡන්දයෙන්, මනාපයෙන් පත් කරගෙන ඇද්ද?

ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකේම අපේක්ෂක ලැයිස්තුවල සිටින බහුතරයක් පිරිමින්ගේ කෙරුවාව සහ අනර්කලීගේ කෙරුවාව අතර වෙනසක් තිබේ නම් තිබෙන්නේ අනර්කලී ගැහැනියක් වීම නිසා පමණි. යමෙකුට ආණ්ඩු පක්ෂ සන්ධානයේ අපේක්ෂක ලැයිස්තුවට රිංගා ගැනීමට ලැබෙන්නේ ජනාධිපතිවරයාගේ හෝ ඇමතිවරුන්ගේ හෝ නෑයන්, යාළුවන්, මෙහෙකරුවන්, කේලමුන් හා තවත් අය වීම යන අංක එකේ සුදුසුකම නිසාය. තවත් හේතු ඇත්නම් ඒවා ඉහත කී කාරණාවලට දෙවෙනි වන ඒවාය. පළාත් සභා අපේක්ෂක පිරිමිද, දේශපාලක පිරිමිද, මාධ්‍ය පිරිමිද, සෙසු සුචරිතවාදී පිරිමිද දැන් අනර්කලී ඉහළ මනාප ඡන්ද ගණනක් ගනු ඇතැයි බියෙන් වෙව්ලමින් සිටිති. ඇයට එරෙහිව නඟන අවලාද කෙළින්ම ලිංගිකත්වය සමග සම්බන්ධය. අනර්කලී 'සෙක්සි මැතිවරණ කැම්පේන් එකක්' කළොත් ඇත්තෙන්ම රෙදි ගැලවෙන්නේ මේ ආණ්ඩුවේ සිටින බොරු සුචරිතවාදීන්ගේය. අනර්කලී නිරුවත් කරන්නට උත්සාහ කරන පිරිමි ඇත්තෙන්ම කරන්නේ තම තමන්ගේම සළු ඉනීමයි. අනර්කලීගේ ‍භෞතික නිරුවත සුන්දරය. මහජන දේපල සූරා කා අධි පෝෂිත වූ මේ බොහෝ පිරිමින්ගේ හිස කඳ ගාත්‍රා වෙන් කර හදුනා ගත නොහැකි හෙළුවැල්ල වස අජූවය. ඔවුන්ගේ චරිත නිරුවත නම් කිව නොහැකි තරම් පිළිකුල්සහගතය. මේ රටේ මහජනතාව  ශාරීරිකව මෙන්ම මානසිකවද රෝගී තමන්ට ඡන්දය දීමට මෝඩ වෙනවාට වඩා සුන්දර සිරුරු ඇති අනර්කලී වැනි අයට ඡන්දය දීම සඳහා මෝඩ වනු ඇතැයි දැන් ඔවුහු බිය වී සිටිති. මේ මෝඩකම් දෙකෙන් කොයි මෝඩකම කළත් මහජනතාවට ලැබෙන්නේ එකම ආනිශංසයයි.

අප දන්නා තරමින් අනර්කලී මහජන දේපල සොරකම් කර නැත. ඇතැම් මහ ඇමතිවරුන් මෙන් මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ කරන්නට සිතාවත් නැත. ඇය ඇගේ මව් බසට අමතරව සිංහලත් කතා කරන්නීය. රටේ ජනාධිපති දෙමළෙන් කතා කරන විට තිබෙන්නේද ඔය හුරතලයමය. වර්තමානයේදී පාර්ලිමේන්තු, පළාත් සභා ආදියෙහි මන්ත්‍රීන්ට, ඇමතිවරුන්ට නැති කිසිදු නොසුදුසුකමක් අනර්කලීට නැත. සත්තකින්ම ඇයට දකුණේ මහඇමතිකම වුව කරන්නට බැරිකමක් තිබේ යයි මහඇමතිකම් කරන උදවියගේ කෙරුවාව දෙස බැලූ විට පෙනේ. හැරත් දැන්, දැන් පලාත් සභාවල වැදගත් චරිතය වන්නේ ඡන්දයෙන් පත් වන මහඇමතිවරයා නොව ජනාධිපති විසින් පත් කරනු ලබන ආණ්ඩුකාරයා බව සබරගමුව, නැඟෙනහිර වැනි පළාත් සභා දෙස බලන විට පෙනේ.

ප්‍රධාන විපක්ෂය වන එක්සත් ජාතික පක්ෂය, ආණ්ඩු පක්ෂයේම දේශපාලනඥයන් හා ජනමාධ්‍ය හුදෙක්ම ගැහැනියක වීම යන එකම හේතුව මත අනර්කලී අපහාසයට උපහාසයට ලක් කිරීම විසින් ප්‍රකාශ වන්නේ ලංකාවේ සමාජ-දේශපාලන අර්බුදයේ එක් භයානක පැතිකඩකි. 2005 ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේදී රනිල් වික්‍රමසිංහට එදිරිව මහින්ද රාජපක්ෂගේ ප්‍රචාරක ව්‍යාපාරයේ සිටි ජවිපෙ ප්‍රමුඛ සංවිධායකයන් විසින් උත්කර්ෂයට නඟනු ලැබූ ප්‍රධාන ලක්ෂණයක් වන්නේ වත්මන් ජනාධිපතිවරයාගේ පුරුෂවාදී ශාරීරික හැඩරුව හා චරිත ලක්ෂණයි. ඍජුවම නොවුණත්, එයින් පහත්භාවයට ඇද හෙළනු ලැබුවේ ස්ත්‍රීත්වයයි. ලිබරල් දේශපාලනඥයන් විසින් ගැටලුවක් ලෙස හඳුනාගෙන තිබුණු ලංකාවේ දේශපාලනයේ ස්ත්‍රී සහභාගිත්වයේ ප්‍රශ්නය 2005න් පසු තීව්‍ර වනු දක්නට ලැබේ. මේ වන විට කැබිනට් මණ්ඩලයේ, පාර්ලිමේන්තුවේ, පළාත් සභාවල හා පළාත් පාලන ආයතනවල කාන්තා නියෝජනය සියයට දහයට වඩා අඩු වන අතර මෑතදී පවත්වන ලද බස්නාහිර පළාත් සභා මැතිවරණයේදී මෙම ප්‍රතිශතය සියයට පහටත් වඩා අඩු විය. වඩාත්ම මෑතදී පැවැත්වුණු ඌව පළාත් සභා මැතිවරණයේදී තේරී පත් වූයේ එකම එක කාන්තාවක් පමණි. අවාසනාවන්තම තත්වය වන්නේ ලිබරල්වාදී එක්සත් ජාතික පක්ෂය හෝ සමාජවාදී ජනතා විමුක්ති පෙරමුණ හෝ ඌව පළාත් සභා මැතිවරණයේදී එකම එක කාන්තාවක්වත් තම අපේක්ෂක ලැයිස්තුවලට ඇතුලත් කිරීමට අසමත් වීමයි.

දකුණු පළාත් සභා මැතිවරණයේදීද මෙම කණගාටුදායක තත්වයේ සැලකිය යුතු වෙනසක් දක්නට නොමැති මුත්, ආණ්ඩු පක්ෂයෙන් අනර්කලී ආකර්ශා හා සුසන්තා චන්ද්‍රමාලි යන නිළියන් පළාත් සභාවට තරග කිරීමත් සමග ඔවුන් දෙදෙනාම සභාවට තේරී පත් වනු ඇතැයි අපේක්ෂා කළ හැකිය. එපමණක් නොව, වැඩිම මනාප ලබා ගන්නා අපේක්ෂකයාට මහ ඇමතිකම දෙන සන්ධාන ප්‍රතිපත්තිය හා ආණ්ඩුවේ ඉහළම තැන්වලට ඇති සම්බන්ධතා සැලකිල්ලට ගත් විට අනර්කලී එළඹෙන දකුණු පළාත් සභා මැතිවරණයේදී වැඩිම මනාප ලබා ගතහොත් ඇය මහ ඇමතිවරිය වීමට වුව ඉඩ තිබේ. දකුණු පළාත් සභා මැතිවරණය හරහා වර්තමාන දේශපාලන ක්‍රමයට කළ හැකි කිසියම් බලපෑමක් තිබේ නම් එය කළ හැක්කේ අනර්කලී ප්‍රධාන ඇමතිනිය කිරීමෙන් පමණි.

ආණ්ඩුවේ දේශපාලන චින්තනය හැසිරවීමේ ලා වැදගත් කාර්යභාරයක් කරන කිසිදු කාන්තා නායිකාවක් නැති ජාතික හෙළ උරුමයේ පුරුෂෝත්තම සිංහල ජාතිකවාදය පමණක් නොව, නමට පමණක් කාන්තාවන්ට සම තැන දෙන ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු වාමාංශිකයන්ගේ ස්ත්‍රී විරෝධී සමාජවාදයද, එක්සත් ජාතික පක්ෂයේ බොල් ලිබරල්වාදය ද එක පෙළට තබා අභියෝග කිරීමට අනර්කලීට හැකියාව තිබේ.

මට ආසයි දූෂිත නිලධාරියෙකු වෙන්න


(2009 සැප්තැම්බර් 23 - W3Lanka) පසුගිය සැප්තැම්බර් 1දා චීනයේ අලූත් පාසල් වාරය ආරම්භ වූ අවස්ථාවේදී ගුවාන්ෂෞහි සදර්න් මෙට්‍රොපොලිටන් ඬේලි පුවත්පත පළමු ශ්‍රේණියේ සිසු දරුවන් පිරිසක් සම්මුඛ සාකච්ඡුාවකට සහභාගි කර ගත්තා. එහිදී එක් දැරියක් සිය අනාගත බලාපොරොත්තුව (රජයේ) නිලධාරියකු වීම බව පැවසුවා. 

කුමන අන්දමේ නිලධාරියකුදැයි මාධ්‍යවේදියා ඇසූ විට ඇය කීවේ ඇයට උවමනා දූෂිත නිලධාරියකු වන්නට බවයි. එවැනි අය ළඟ හොඳ හොඳ දේවල් ඇතැයි ද ඇය පැවසුවා.

චීනයේ ජනමාධ්‍ය හරහා විකාශය වූ මෙම සම්මුඛ සාකච්ඡාව දැන් යූටියුබ් ඔස්සේ අපටත් නරඹන්න පුළුවන්. අයිෆෙං වෙබ් අඩවියේ මේ පිළිබඳ අදහස් දක්වන එක් පාඨකයකු මෙම සිද්ධිය සම කරන්නේ  රජ්ජුරුවන්ගේ සීතාම්බර සළුවේ කතාවට. වැඩිහිටියන් සළුවේ රුව වර්ණනා කරද්දී රජතුමා හෙළුවෙන් බව කීවේ කුඩා දරුවෙක්.

2009-09-22

අ‍පේ තෙලට ඉරානයේම පිහිටයි


(2009 සැප්තැම්බර් 22 - W3Lanka) සියයට 0.5 සහන පොලියක් මත ලංකාවට තවත් වසරක කාලයක් සඳහා ණයට ඉන්ධන ලබා දීමට ඉරානය කැමැත්ත පළ කර තිබේ.


2008 ජනවාරි සිට 2009 අගෝස්තු 31 දක්වා මෙම ණය සැපයීමට 2007 නොවැම්බරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉරානයේ චාරිකා කළ අවස්ථාවේදී ඉරානය එකඟ විය. මෙම ණය යටතේ 2008 වසරේදී පමණක් ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 1.05ක ඉන්ධන ආනයනය කළාය.


සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ ධාරිතාව දිනකට තෙල් බැරල් 50,000 සිට 100,000 දක්වා වැඩි කිරීම සඳහා එය නවීකරණය පිණිස ඉරානය ලංකාවට ඩොලර් බිලියන 1.05ක ආධාරයක් සපයයි.

සංස්කෘතික අමාත්‍යංශයේ හොල්මන්කාරයෝ මැරුණු අයටත් ආරාධනා යවති

(2009 සැප්තැම්බර් 22 - W3Lanka) පසුගියදා පොළොන්නරුවේදී පැවැත්වුණු 2009 වසරේ රාජ්‍ය සාහිත්‍ය උළෙලට ඇරැයුම් ලැබූවන් අතර මීට වසර 11කට පෙර මිය ගිය රුහුණු විශ්වවිද්‍යාලයේ උද්භිද විද්‍යා අංශ ප්‍රධානී අලවත්තේගොඩ ප්‍රේමදාස මහතා ද සිටියේය.


විශිෂ්ට ලේඛකයකු හා විද්වතකු වූ එතුමාට මෝටර් රිය ඇතුල් කිරීමේ අවසරපතක්ද නිකුත් කිරීමට සංස්කෘතික හා ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යංශය කාරුණික වී තිබේ. 

කොළඹදී පැවැත්වුණු රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේදී ජනාධිපතිතුමා පුටුවෙන් වැටීම පිළිබඳව ආන්දෝලනයක් තිබෙන අතර, ඉහත කී ඇරැයුම් පත ද නිකුත් කළ සංස්කෘතික හා ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යංශයේ ලේකම් ජී.එල්.ඩබ්. සමරසිංහ පසුව තනතුරින් ඉවත් කරන ලදී. 

අනාථයන් නිදහස් කරන්න බලපෑම් කරන්න තවත් එක්සත් ජාතීන්ගේ නිලධාරියෙක් හෙට එයි


(2009 සැප්තැම්බර් 22 - W3Lanka) ලක්ෂ තුනක් පමණ වන කඳවුරුවල රඳවාගෙන සිටින දෙමළ සරණාගතයන් නිදහස් කරන ලෙස බලපෑම් කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ මහ ලේකම්ගේ සරණාගත අයිතිවාසිකම් පිළිබඳ දූත වෝල්ටර් කලින් බදාදා ලංකාවට පැමිණීමට නියමිතය. 


ලංකාවේ ප්‍රශ්නය නිසි පරිදි මෙහෙයවූයේ නැති බවට එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා වෙත බටහිර ජාතීන් වෙතින් චෝදනා එල්ල වී තිබේ. 


ලංකාවේ නායකයන් සමග සාකච්ඡා කරන කලින් අනාථ කඳවුරු බැලීමට යාමට ද නියමිතය. කොටි නායකත්වය සමූලඝාතනය කර යුද්ධය අවසන් කිරීමට පෙර පසුගිය අප්‍රේල් මාසයේදී ද වෝල්ටර් කලින් ලංකාවට පැමිණියේය.



ගිය සතියේ එක්සත් ජාතීන්ගේ දේශපාලන ප්‍රධානි ලින් පැස්කෝ ද ලංකාවේ චාරිකා කළේය. අනාථයන් යළි පදිංචි කිරීම පිළිබඳව රජය හා එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන් අතර මැයි මාසයේ ඇති වූ එකඟත්වය අනුව යන ප්‍රමාණවත් වේගයකින් රජය කටයුතු නොකරන බව කී පැස්කෝ යුද්ධයේ අවසන් සමයේ රජයේ හමුදා අතින් සිදු වූ සීමාව ඉක්මවා යාම් පිළිබඳ සත්‍යය සෙවීමේ යාන්ත්‍රණයක් සැකසීමේ අවශ්‍යතාව ද අවධාරණය කළේය.

එන්න සාහිත්‍යය කන්න; තෝකියෝ පොත් සල්පිලේ සිට කම්මැල්ලවීර නොදන්නා ගුරුවරුන් දක්වා


අජිත් පැරකුම් ජයසිංහ -

මීට දස වසරකට ඉහත එක් සරත් ඍතුවක ජපානයේ තෝකියෝහි පැවැත්වුණු ජාත්‍යන්තර පොත් සල්පිල බලන්නට යාමේ අවස්ථාවක් මට ලැබිණි. ජපානය සම්ප‍්‍රදායිකවම සෑහෙන්න පොත් පත් කියවන මිනිසුන්ගෙන් පිරි රටකි. එහි පොත් සල්පිල පැවැත්වුණේ පොත් ප‍්‍රකාශන ආයතන හා පොත්හල් බහුල වීදියකයි. එය පොත් සැණකෙළියක් වූ අතර සෑම තරාතිරමකම ජනයා එහි පැමිණියහ.
ඒ වන විට කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රද්ර්ශනය ආරම්භ වී නොතිබුණු අතර, පොත් එතරම් මහජන ආකර්ශනයක් වී තිබීම මගේ විස්මයට තුඩු දුන්නේය.


එහෙත් දැන් අපටද සැප්තැම්බරයේ මහා පොත් සල්පිලක් තිබේ. මුදල් නැති නිසා මම මෙවර පොත් සල්පිල බලන්නට යන්නේ නැත. හමු වන අය "ගියෙ නැද්ද පොත් ප‍්‍රදර්ශනේ බලන්න?’’ යි අසන අසහනකාරී සමය ඉදිරියෙන් තිබේ.


මා එදා තෝකියෝවේදී දුටු පොත් සල්පිල කොළඹ පොත් සල්පිල මෙන් එකිනෙකාට වැලමිටින් අනිමින්, පොදි කමින්, දාඩිය පෙරාගෙන, දූවිලි කාගෙන, ලෝක විනාශයට පෙර සියල්ල කියවා අවසන් කරන්නට මෙන් වියරුවෙන් පොත් තෝරන, තදබද තැනක් නොවේ. පොතපත කියවන්නට මෙන්ම ළමයින්ට දුව පැන ඇවිදින්නට, සෙල්ලම් කරන්නට ඉඩකඩ ද එහි තිබිණි. 


මගේ සිත් පැහැර ගත් දර්ශනයක් වුණේ එහි තිබුණු කියවීම් ප‍්‍රවර්ධන වැඩසටහන්ය. මපට්, රූකඩ, සිනමා පට මෙන්ම කතන්දර කීමේ සැසි ද භාවිතා කරමින් විශේෂයෙන්ම ළමයින් අතර කියවීම ප‍්‍රවර්ධනය කිරීමේ වැඩසටහන් රැසක් එහි තිබිණි.


පොත ආකර්ශනීය භාණ්ඩයක් හා විලාසිතාවක් බවට පත් කිරීම කොළඹ ජාත්‍යන්තර පොත් සල්පිලේ ජයග‍්‍රහණයකි. එහෙත්, ලංකාවේ මිනිසුන් ඇත්තටම පොත් කියවනවාද යන්න වෙන කාරණයකි. කියවීම ප‍්‍රවර්ධනය කිරීමේ වැඩසටහන් අවශ්‍ය වන්නේ මෙම පසුබිම තුළයි.


මීට වසර කීපයකට පෙර මම බස්නාහිර පළාතේ එක් මධ්‍ය මහා විද්‍යාලයක පොත් ප‍්‍රදර්ශනයක් හා ජයතිලක බංඩාරගේ ගී රස වින්දන වැඩසටහනක් සංවිධානය කළෙමි. එදිනට කලින් දිනයේ එකී පොත් ප‍්‍රදර්ශනය පැවැත්වීමට නියමිතව තිබුණේ එක් ජාතික පාසලකයි. පොත් ප‍්‍රදර්ශනය සංවිධානය කළ රංජිත් ඒ හා සමගාමීව සාහිත්‍ය දේශනයක් ද සංවිධානය කර තිබිණි. ඒ සඳහා සහභාගි වීමට ප‍්‍රවීණ ලේඛක ජයතිලක කම්මැල්ලවීර පැමිණිමුත් පාසලෙන් දේශනයට හා පොත් ප‍්‍රදර්ශනයට පහසුකම් සපයා දී තිබුණේ නැත. ආපසු යන ගමනේදී හෙට දිනයේ පැවැත්වෙන පොත් ප‍්‍රදර්නය සඳහා පොත් පෙට්ටි ටික පාසලේ තබා යාමට රංජිත් මා සේවය කළ පාසලට පැමිණියේ ජයතිලක කම්මැල්ලවීර මහතා ද සමගයි. ඔහුගේ කාලයෙන් හා ගමනින් ප‍්‍රයෝජන ගනු පිණිස මම විදුහල්පතිගේ අවසරය ඇතිව උසස් පෙළ හා සාමාන්‍ය පෙළ ළමුන් වෙනුවෙන් දේශනයක් සංවිධානය කළෙමි. දේශනයේ වැදත්කම මගේ සහෝදර ආචාර්ය මණ්ඩලයට ඒත්තු ගැන්වීම සඳහා ජයතිලක කම්මැල්ලවීර යනු කවුරුදැයි හඳුන්වා දීමට ගිය කල මම මහත් අමාරුවක වැටුණෙමි. සිංහල විෂය සඳහා ශාස්ත‍්‍රපති උපාධි, පශ්චාත් උපාධි අධ්‍යාපන චිප්ලෝමා ආදිය තිබුණු ගුරුවරුන් පවා කීවේ ජයතිලක කම්මැල්ලවීර යන නම අසා පුරුදු මුත් මතක නැති බවයි. ඒ කසුන් කල්හාරගේ බිරිඳගේ පියා බව කී විට නම් ඔවුන්ට මේ වැදගත් පුද්ගලයකු විය හැකි බව තේරිණි. කෙසේ වෙතත්, ශිෂ්‍යයෝත්, ගුරුවරුත් ඔහුගේ දෙසුම රස වින්දහ. අනාගත පරපුර හැඩගස්වන ගුරුවරුන්ගේ සාහිත්‍ය දැනුමේ හා රස වින්දනයේ මට්ටම එයයි. පොත් සල්පිල් මෙන්ම කියවීම් ප‍්‍රවර්ධන වැඩසටහන් හා තවත් බොහෝ දේ මේ සමාජයට අවශ්‍ය වන්නේ එබැවිනි.


පොත් සල්පිලට සමගාමීව පාසල් පුස්තකාලවලට පොත් මිළ දී ගැනීම සඳහා අධයාපන දෙපාර්තමේන්තුව මුදල් ලබා දෙන්නේ ඇත්තෙන්ම සිසුන්ට ඇති ආදරයට වඩා පොත් ප‍්‍රකාශකයන්ට ඇති සෙනෙහස නිසා යයි සිතේ. මක් නිසාද යත් පාසල් පුස්තකාලවල පොත් තිබුණත්, ඒවායින් බොහොමයක් සිසු පරිහරණය සඳහා නොයෙදවෙන බැවිනි. එක පැත්තකින් සිසුන් අතර කියවීමේ නැඹුරුව දුර්වල වන අතර, අනෙක් පැත්තෙන් පුස්තකාල ළමුන් පොත් පරිහරණයට දිරි ගන්වන්නේ නැත. පාසල්වල අවුරුදු පතා පැවැත්වෙන භාණ්ඩ සමීක්ෂණ වෙනුවෙන් පුස්තකාල සෑහෙන කාලයක් වසා දමා තිබේ. එසේම, ළමයින් අතින් පොත් නැති වුණොත් අතින් ගෙවන්නට සිදු වන නිසා පුස්තකාල භාර නිලධාරීන් පොත් කියවීම අධෛර්යය කරති. පාසල්වල පුස්තකාල යනු බොහෝ විදුහල්පතිවරුන්ට හා ගුරුවරුන්ට අමතර පංති කාමරයක්, ගබචාවක්, ගුරු විවේකාගාරයක්, කෑම කාමරයක් හෝ ගුරු රැස්වීම් ශාලාවක් හෝ පමණි.


සැප්තැම්බරයට පොත් මතක් වන්නේ පාඨකයන්ට පමණක් නොවේ. පොත් ලියන්නෝද කාලයක් තිස්සේ අතගාමින් සිටි පොත් දඩිබිඩි ගා ඉවර කර මුද්‍රණාලවලට භාර දෙති. එහෙයින් සැප්තැම්බරයේදී මුද්‍රණාලවලින් වැඩක් කර ගැනීමට මුද්‍රණාල හිමියන් පා මුල වැඳ වැටීමට සිදු වේ. ලංකාවේ බොහෝ ලේඛකයන්ගේ පොත්වල මුල් පිටු පනහ පමණක් රසවත් වීමට ප‍්‍රධාන හේතුව පොත් ප‍්‍රදර්ශනයට පෙර පොත පළ කර ගැනීමට තිබෙන තදියමයි. එහෙත්, මේ පොත්වලට රාජ්‍ය සාහිත්‍ය සම්මාන හා වෙනත් සම්මාන ද ලැබේ. එයට හේතුව මෙම පොත් විනිශ්චය කිරීම සඳහා සිටින මණ්ඩලවලට ද මුල් පිටු පනහට වඩා කියවන්නට වෙලාවක් නොමැති වීමයි. එහෙත් සැප්තැම්බරයේදී සම්මාන ප‍්‍රදානය සඳහා පොත් තෝරා දිය යුතු හෙයින් මේ විනිශ්චයකාරවරු එපමණකින් සෑහෙන බව පසුගිය වසරවල සම්මාන ලැබුණු පොත් කියවා බලන විට සිතේ.


පොත් ලිවීම හා පළ කිරීම සම්බන්ධයෙන් ලංකාවේ තිබෙන බරපතල ගැටළුවක් වන්නේ පොත් සංස්කරණය කියා දෙයක් ඇත්තේම නැති වීමයි. තෝකියෝ පොත් සල්පිල පැවැත්වුණ වීදියේ කොඩැන්ෂා පොත් ප‍්‍රකාශන ආයතනය බලන්නට ගිය ගමන මට සිහිපත් වේ. එම සත් මහල් දැවැන්ත ගොඩනැඟිල්ලේ එක් මහලක් පුරා සිටියේ පොත්, කරදාසි සහ ලිපි ගොනු අට්ටි ගසා තිබුණු පරෙවි කූඩු වන් මේස අසල හිඳගෙන වට පිට නොබලා වැඩ කරන සංස්කාරකවරුය. පොතක මුලික සංකල්පයේ සිට කර්තෘවරුන් සමග කටයුතු කරමින් ගුණාත්මක පොතක් පළ කිරීම සඳහා කටයුතු කරන්නේ සංස්කාරකවරුය. එහෙත් ලංකාවේ ලේඛකයන් සිතා සිටින්නේ තමන් ලියන දේ ශුද්ධ වූ බයිබලය සේ කාගේවත් අතින් සංස්කරණය නොවිය යුතු ‍ඓතිහාසික ලේඛන කියා බැවින් ලංකාවේ සංස්කාරකවරුන්ට කිරීමට දෙයක් නැත.


ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා සාහිත්‍යය කන්නදැයි ඇසූ බව කියමින් සාහිත්‍ය ලෝලීහු, ලේඛකයෝ, මාධ්‍යවේදීහු සහ දේශපාලකයෝ අවුරුදු පතා සැප්තැම්බරයේදී බැණ වදිති. එහෙත්, ජයවර්ධනගේ චින්තනය ඉක්මවා ගිය අපි දැන් සාහිත්‍යය හුදු වෙළඳ භාණ්ඩයක් කරගෙන ඇතිවා පමණක් නොව දැන් එය භක්ෂණය කරමින් ද සිටිමු.

2009-09-21

තමිල්නාඩුවේ ලාංකික සරණාගත රැදවියන් 40ක් උපවාසයේ


(2009 සැප්තැම්බර් 21 - W3Lanka) ලංකාවේ දෙමළ අනාථයන් පිළිබඳ කිඹුල් කඳුළු හෙළන ඉන්දියාවේ තමිල්නාඩුවේ කාංචිපුරම් ආසන්නයේ චෙංගල්පත්තුහි විශේෂ කඳවුරක රඳවා සිටින ශ්‍රී ලාංකික දෙමළ සරණාගත සිරකරුවන් 40ක් ඊයේ සිට උපවාසයක් ආරම්භ කර තිබේ. 

මෙම සරණාතයන්ගෙන් වැඩි දෙනෙක් වසර දහයකට වැඩි කාලයක් තිස්සේ රඳවනු ලැබ සිටිති.


ඉන්දීය ජාතික ආරක්ෂක පනත යටතේ සහ අපරාධ පටිපාටි පනත යටතේ චෝදනා එල්ල වී තිබෙන මොවුන්ගේ නඩු කටයුතු ඉක්මන් කරන්නැයි උපවාසකරුවෝ ඉල්ලා සිටිති. (PTI)

විදුලි අමාත්‍යංශයේ අලුත් කාර්යාලයේ කුලිය ලක්ෂ පහළොවයි; මණ්ඩලයේ පාඩුව බිලියනයයි

(2009 සැප්තැම්බර් 21 - W3Lanka) ලංකා විදුලි බල මණ්ඩලය මසකට රු. මිලියනයක පමණ දැවැන්ත පාඩුවක් ලබමින් සිටින අතරතුර විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය කලින් සිටි රජයේ ගොඩනැඟිල්ලෙන් ඉවත්ව පෞද්ගලික ගොඩනැඟිල්ලකට ගෙවැදී තිබෙන අතර නව ගොඩනැඟිල්ලේ කුලිය වශයෙන් මසකට රු. ලක්ෂ 15ක් ගෙවයි.

මෙම ගොඩනැඟිල්ල තුලියට ගැනීම සඳහා එය අයිති ඇමති තොන්ඩමන්ගේ නායකත්වයෙන් යුත් ලංකා කම්කරු කොංග්‍රසයට දෙවසරක කුලිය හා සමාන වන රු. තුන්කෝටි හැටලක්ෂයක අත්තිකාරමක් ද ගෙවා තිබේ. මෙම ගෙවීම ඇමති මණ්ඩලය විසින් අනුමත කර තිබේ. 


ලංකා කම්කරු කොංග්‍රසයේ මූලස්ථානය ද වන සෞම්‍ය භවන් නම් මෙම ගොඩනැඟිල්ල පිහිටා ඇත්තේ කොල්ලුපිටියේය. මීට පෙර එහි ශ්‍රී ලංකා රතුකුරුස සමාජයේ මූලස්ථානය පිහිටා තිබිණි. 

විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය කලින් පිහිට තිබුණේ මහවැලි අධිකාරියට අයත් ගොඩනැඟිල්ලකයි.






මතට තිත තියන්න ගොස් ADIC පස්ස බිම ඇන ගනියි

(2009 සැප්තැම්බර් 21 - W3Lanka) ලංකාවේ මත්පැන්, මත්ද්‍රව්‍ය හා දුම් පානයට එරෙහිව පමණක් සටන්කාමී ලෙස කටයුතු කරන මධ්‍යම පංතික රාජ්‍ය නොවන සංවිධානයක් වන මත්පැන් හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය හෙවත් ADIC සංවිධානය ලංකාවේ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ චෝදනාවන්ට ලක් වන අලුත්ම සංවිධානයයි.


පසුගියදා ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම පිණිස හික්කඩුවේ පැවති හික්කා-2009 සැණකෙළියේදී ගත් බව කියමින් වෙනත් තැනකදී ගන්නා ලද ‘වල්‘ යයි කියන ඡායාරූප ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් ඇඩික් සංවිධානයේ තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 


පසුගිය බස්නාහිර පළාත් ඡන්දයේදී ජාතික නිදහස් පෙරමුණෙන් තරග කළ රොජර් සෙනෙවිරත්නට එරෙහිව සිගරැට් රොජර් පන්නමු යනුවෙන් තාප්පවල පාඨ ලියුවේ ඇඩික් සංවිධානයේ ක්‍රියාකාරිකයන් යයි සැක කෙරේ. ඇඩික් ක්‍රියාකාරිකයන් තිදෙනා අත්අඩංගුවට ගෙන තිබෙන්නේ ජාතික නිදහස් පෙරමුණේ නන්දන ගුණතිලක ඇමති යටතේ තිබෙන සංචාරක මණ්ඩලයේ පැමිණිල්ලකට අනුවයි. 


ඇඩික් සංවිධානය පසුගිය වසර 15ක් තිස්සේ මතට එරෙහිව සටන්කාමී සහ සම්ප්‍රදායික නොවන අන්දමින් කටයුතු කළේය. 


ඔවුන් පස්ස බිම ඇනගෙන ඇත්තේ දවල් දවසේ බොරුවට මතට තිත කියමින් හැන්දෑවට හොරෙන් කණමදයින් සේ විස්කි, බ්‍රැන්ඩි ගහන දේශපාලකයන් මතට තිත තියන්නට යන්නේ ඇත්තටම යයි සිතාගෙන ඉර පැන නටන්නට ගිය නිසා යයි විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් දැන ගන්නට තිබේ.

2009-09-20

හිටපු අගවිනිසුරුට එරෙහිව අල්ලස් විමර්ශන කොමිසමට පැමිණිල්ලක්


(2009 සැප්තැම්බර් 20 - W3Lanka) යුක්තිය හා සාධාරණත්වය සඳහා ව්‍යාපාරය ඇතුළු සංවිධාන ගණනාවක සාමාජිකයන් වන පුරවැසියන් පිරිසක් විසින් හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂම හමුවේ පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.


බලපත්‍ර ප්‍රශ්නයක් මත තහනම් කර තිබූ CBN SAT නම් චන්ද්‍රිකා රූපවාහිනී විකාශන ආයතනය සම්බන්ධ නඩුවක් 2006දී විභාග කළ හිටපු අගවිනිසුරුවරයා තමන් අධ්‍යක්ෂ ධුරයක් හෙබවූ බෞද්ධයා රූපවාහිනී නාලිකාව වෙනුවෙන් CBN SAT සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි වූ මුහුන්දන් කානගීගෙන් රු. මිලියන 65ක ප්‍රදානයක් ලබාගැනීමපිළිබඳ මෙම පැමිණිල්ලෙහි විශේෂයෙන් සඳහන් කර ඇති බව වාර්තා වේ.


CBN SAT තහනම් කළ අවධියේ රජයේ ජනමාධ්‍ය පැවසුවේ මෙම සමාගම එල්.ටී.ටී.ඊ. සංවිධානයට සම්බන්ධ බවයි. පසුව මෙම සමාගමේ උපකරණ ඩයලොග් සමාගමට විකිණීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවසර දෙනු ලැබූ අතර බෞද්ධයා නාලිකාව ආරම්භ වූයේ ඩයලොග් චන්ද්‍රිකා රූපවාහිනී සේවාව හරහා විකාශනය කිරීමටයි.


මේ අතර, අලුත්ම වාර්තා පවසන්නේ ඩයලොග් සමාගම ද චන්ත්‍රිකා රූපවාහිනී සේවාවන් විකාශනය සඳහා විදුලි සංදේශ නියාමන කොමිෂමෙන් අදාළ අවසර ලබාගෙන නැති බවයි.

ලංකාවේ යුද අපරාධ පිළිබඳ එක්සත් ජනපද වාර්තාවක් හෙට නිකුත් වේ


(2009 සැප්තැම්බර් 20 - W3Lanka) ලංකාවට අතිශය වැදගත් පසුගිය යුද සමයේ සිදු වූ යුද අපරාධ පිළිබඳ වාර්තාවක් හෙට (21) එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කිරීමට නියමිතය. 


යුද අපරාධ කාරණා පිළිබඳ කාර්යාලය විසින් නිකුත් කිරීමට නියමිත මෙම වාර්තාව එක්සත් ජනපද කොංග්‍රසයේ තක්සේරුව සඳහා ඉදිරිපත් කෙරේ. එක්සත් ජනපදය ඉදිරි කාලයේදී ලංකාව සමග පවත්වන සබඳතා විෂයෙහි හා දිවයිනට සපයන ආධාර කෙරෙහි මෙම වාර්තාව බලපානු ඇතැයි සැලකේ.

මෙම වාර්තාව සැකසීම සඳහා යුද සමයේ සිදුවීම් ඇසින් දුටු අයගෙන් සාක්කි ලබාගෙන ඇති බව ද වාර්තා වේ.

ස්මෝල් මිරැකල් ලොකු කරන්න දැන්වීම් දාන්න විතරක් නන්දනට ලක්ෂ අටයි


(2009 සැප්තැම්බර් 20 - W3Lanka) සංචාරක අමාත්‍යංශය විසින් පසුගිය සමයේ රුපියල් කෝටි ගණනක් වියදම් කර ලංකාවේ සංචාරක ලර්මාන්තය ලෝකයේ ප්‍රවර්ධනය කිරීම සඳහා සකසන ලද Sri Lanka Small Miracle යන ප්‍රචාරක පාඨය හා ඒ හා සම්බන්ධ අනෙකුත් ප්‍රචාරක ද්‍රව්‍ය පතික්ෂේප කළ නව සංචාරක ඇමති ජාතික නිදහස් පෙරමුණේ නන්දන ගුණතිලක ඒ සඳහා පාඨයක් යෝජනා කරන ලෙස මහජනයාට දැනුම් දීම සඳහා රු. ලක්ෂ අටක් පමණ වියදම් කරමින් පුවත්පත් දැන්වීම් පළ කර තිබේ. 

ලෝකය පුරාම මෙවැනි වෙළඳ නාම ප්‍රවර්ධන කටයුතුවලදී විද්‍යාත්මක ක්‍රමවේදයක් අනුගමනය කරනු ලබන අතර ඒවා පිළිබඳ මහජනතාව දන්නා රෙද්දක් නැත. අනෙක් පැත්තෙන් ලංකාවේ සංචාරක කර්මාන්තය විකුණන්නේ ලංකාවේ ගම්වල ගොයියන්ට නොව විදේශිකයන්ටය. 



ඇමති නන්දන ගුණතිලකගේ අදහස වන්නේ වෙළඳ නාම ප්‍රවර්ධනය සඳහා මුදල් වියදම් නොකළ යුතු බවයි. එහෙත් දැන් එම ඇමතිවරයාම ඊළඟ ඡන්දයෙන් ගොඩ ඒම සඳහා තම නම ප්‍රවර්ධනය කර ගැනීම සඳහා කලුතර දිස්ත්‍රික්කය පුරා පෝස්ටර් අලවමින් සිටියි.


ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් සංචාරක කර්මාන්තය එම කර්මාන්තයේ උන්නතියට අහිතකර අදහස් දරන මාක්ස්වාදී ඇමතිවරයකුට භාර දීම හේතුවෙන් සංචාරක ක්ෂේත්‍රයේ අවිනිශ්චිත තත්වයක් ඇති වී තිබෙන බව සංචාරක අමාත්‍යංශය සම්බන්ධ ආරංචි මාර්ග පවසයි.

පෙත්සම: ගරු ප‍්‍රවාහන ඇමතිතුමනි,

ඔබතුමාට පමණක් නොව ඔබ වටා සිටින නිලධාරීන් කිසිවකුටත් වසර ගණනාවකින් පොදු ප‍්‍රවාහන සේවයක ගමන් කරන්නට අවස්ථාව ලැබෙන්නට නැතිව ඇති. එහෙයින් මගී ජනයාට ඇති, ඔබතුමන්ලාට නොපෙනෙන ප‍්‍රශ්න කීපයක් දෙස අවධානය යොමු කිරීම පිණිස මෙම ලිපිය ලියමි.

සතියට වාර ගණනාවක් මතුගම සිට කොළඹ දක්වා ගොස් සවස ආපසු යන මම මාසයකට වරක් දෙවරක් දුර ගමන්වල ද යෙදෙමි. ඇතැම් විටෙක මතුගමට කෙළින්ම බසයක යාමට වඩා කලූතරට දුම්රියෙන් ගොස් එතැන් සිට බසයක යාම අතමිටට පහසුවක් වනවා පමණක් නොව ඉක්මන් ද වේ. මන්ද ශීඝ‍්‍රගාමී දුම්රියක් කලූතරට යාම සඳහා ගත වන කාලය මෙන් දෙගුණයක් බසයෙන් යාම සඳහා ගත වේ. සිටගෙන වුව දුම්රියෙන් යාම බසයේ වාඩි වී යාමට වඩා පහසුය.

බසයේ වාඩි වී යාම අපහසු කරන හේතු කීපයක් ඔබතුමාට පෙන්වා දෙන්නේ ඒවා විසඳීම එතරම් අපහසු නොවන නිසාය. බොහොමයක් බස්වල අසුන් තනා ඇත්තේ එක්කෙනෙකුට අවශ්‍ය ප‍්‍රමාණයට වඩා ලොකුවට හා දෙදෙනෙකුට ඉඩ මදි වන ආකාරයටයි. බොහෝ ලංගම බස්වල මේ ප‍්‍රශ්නය නැති නිසා අපට සිතෙන්නේ මෙය පෞද්ගලික බස් හිමියන් වැඩිපුර සෙනඟපැටවීම සඳහා යොදා ගන්නා උපක‍්‍රමයක්ය කියායි. බොහෝ පෞද්ගලික බස්වල කවුළු අසලින් ඇතුල් පැත්තෙන් යකඩ බට සවි කර තිබීම හේතුවෙන් අසුනේ තදබදය කවත් වැඩි වේ. මෙම යකඩ බට සවි කරන්නේ අමතර ශක්තිය සඳහා නම් ඒවා බසයේ පිට පැත්තෙන් සවි කළත් එම අමතර ශක්තිය ලැබේ. ඇතුල් පැත්තෙන්ම සවි කිරීමට අවශ්‍ය නම් එය උරහිස් මට්ටමට ඉහළින් සවි කරනවා නම් මගීන්ට පහසුවකි.

වැඩිපුර සෙන`ග පැටවීම සඳහා බස් හිමියන් අනුගමනය කරන තවත් උපායක් වන්නේ අසුන්වල වාඩි වන කොටස පටු කිරීම හා අසුන් අතර දුර අඩු කිරීමයි. බස් අයිතිකාරයෝ හා ඔවුන්ගේ සේවකයෝ පුළුවන් නම් රාක්කවල පවා මගීන් අඩුක් කරති. එහෙත් ගෞරවනීය ලෙස අසුන් ගෙන යාම ද බස් මගියකුගේ හිමිකමක් විය යුතුය.

ආසනවල ප‍්‍රශ්න බරපතළ ලෙස ඇත්තේ සුඛෝපභෝගී යයි කියමින් මගීන්ගෙන් දෙගුණයක් මුදල් අය කරන බස් රථවලයි. ඇතැම් සුඛෝපභෝගී බස් රථවල ආසන සකස් කර ඇත්තේ කුදු මිනිසුන්ට පමණක් පහසුවෙන් ගමන් කළ හැකි වන පරිදිය. මෑතක සිට සුඛෝපභෝගී යයි කියන බස් අයිතිකරුවන් අතර පැතිරෙමින් තිබෙන තවත් සූත්තරයක් වන්නේ මැද තිබෙන හකුළන ආසනය වෙනුවට මැදින් ඉඩ තබා ආසන පේලි දෙක බැගින් සැකසීමයි. ඉතා පටු මෙම ආසනවල දෙදෙනෙකුට වාඩි වී යා නොහැක. ඒ මදිවාට තදබදය ඇති වෙලාවට සීට් පේලි දෙක අතරින් හිටගෙන ද මගීන් පටවනු ලැබේ. සුඛෝපභෝගී බස්වල හිටගෙන යාම නවත්වන පවට ඔබතුමා නිකුත් කළ ප‍්‍රකාශ එක්කෝ ඔබතුමාටම මතක නැත. නැතිනම් බස්කාරයන් ශබතුමා ගණන් ගන්නේ නැත.

දෙගුණයක් අය කරන බස්වල තත්වය පිළිබඳ වහාම ඔබතුමන්ගේ අවධානය යොමු විය යුතුය. අවුරුදු පහකට වරක් ඔබතුමන්ලාට අලූතින් වාහනයක් ගෙන්වා ගැනීමට බලපත‍්‍ර ලැබෙන්නේ වාහන පරණ වන විට ඒවා තව දුරටත් සුවපහසු ඒවා නොවන නිසා නේද? සුඛෝපභෝගී යයි කියන මේ බොහෝ බස් රථ නිසි ලෙස නඩත්තු නොකර අතින් අත මාරු වූ වසර දහයකට වඩා පරණ ලදරම් වේ. තව දුරටත් ඒවා සුඛෝපභෝගී නැත. අය කරන ගාස්තුව පමණක් අයිතිකරුවන්ට සුඛයකි.

අපට නොතේරෙන තවත් කාරණයක් වන්නේ අර්ධ සුඛෝපභෝගී ලෙස හැඳින්වෙන බස්ය. මේවා සාමාන්‍ය බස්වලින් වෙනස් වන්නේ ඒවායේ කවුළුවල කිළිටි තිර රෙදි එල්ලා තිබීමයි. ගාස්තුව එකහමාරකි. හමාර අර රෙද්දටයි. මේවාට අර්ධ සුඛෝපභෝගී බස් යයි කියනවාට වඩා රෙද්දෙ බස් යයි කියනවා නම් තේරුමක් තිබේ. රෙද්දෙ බස්වල අර්ධ සුඛෝපභෝගී යයි කියා ලියා ඇත්තේ කාටවත් නොපෙනෙන තැන්වලයි. සුඛයේ තරම දැනෙන්නේ ටිකට් කඩන විටය.

දැන් දැන් සමහර බස්වල හිස් විවේක හෙවත් හෙඞ් රෙස්ට් සහිත ආසන තුනේ හා දෙකේ පේලි සවි කර තිබේ. මේවා දුර ගමන්වලදී නම් අර කලින් කී සුඛෝපභෝගී ඒවාට වඩා සැප පහසුය. එහෙත් නිතර මගීන් න`ගින බසින ළ`ග ගමන් සේවා සඳහා ද ඒවා යොදවා තිබේ. ඒවායේ අසුන් අතර මගීන්ට ගමන් කිරීම හා සිටගෙන යාම අතිශය දුෂ්කරය. බලපත්‍ර නිකුත් කරන විට බස් රථවල ආසනවල තත්වය සැලකිල්ලට ගත යුතු අතර, වසරින් වසර එම තත්වය අධීක්ෂණය කළ යුතු යයි අපි යෝජනා කරමු.

බස් අයිතිකරුවන් අතර මෑතක සිට පැතිර යන තවත් වසංගතයක් වන්නේ ඔරිජිනල් සයිලන්සරය වෙනුවට වෙනත් ‘සයිලන්සරයක්‘ සවි කර අධික ශබ්දයකින් වාහනය ධාවනය කිරීමයි. වාහනයකින් නිකුත් විය යුතු ශබ්දයේ උපරිම සීමාව ඉක්මවන මෙකී බස් රථ විසින් විශාල ශබ්ද දූෂණයක් කරනු ලැබේ. ඒ පිළිබඳ ඔබතුමාගේත්, පරිසර ඇමතිතුමාගේත් අවධානය යොමු විය යුතුය.

පෞද්ගලික බස්වල ටිකට් නොදීම පිළිබඳ ප‍්‍රශ්නය නම් ටිකට් මැෂිම හඳුන්වා දීමත් සමග දැන් බොහෝ දුරට විසඳී තිබේ. ඒ ගැන ස්තුතියි. බස් නැවතුම් පොළවල් තැනීම හා අලූත්වැඩියා කිරීමද දැන් තැන තැන සිදු වේ. අ``ගුරුවාතොට වැනි එකම එක ලංගම බස් සේවයකට පමණක් ගමනාන්තය වන, බස් හෝල්ට් එකක් පමණක් අවශ්‍ය තැන්වල බස් නැවතුම් පොළවල් තනා ඇත්තේ අයාලේ යන හරකුන්ට ලැගීමටයි. මෙවැනි බස් නැවතුම්පළවල මගීහු රැුඳී නොසිටිති. ඒවායේ බලා සිටියොත් කිසිදාක ගමන යාමට හැකි වන්නේ නැත. මක් නිසාද යත් ප‍්‍රධාන මාර්ගවල ධාවනය වන බස් එම නැවතුම්පොළවල නොනවත්වන හෙයිනි. මතුගම වැනි ප‍්‍රධාන ගමනාන්තවල බස් නැවතුම්පොළවල හරිහමන් මගී ආවරණයක්වත් නැත. ඇත්තේ පැල වෙන මුල්ගල් පමණි. කිසිදු බස් නැවතුමක නැත්තේ හරිහමන් නඩත්තු කිරීමකි. බස් නැවතුම්පොළවල් හදන විට නඩත්තු කරන වැසිකිලියකුත් හැදීම අනිවාර්ය විය යුතුය.

අධි වේගයෙන් හෝ අධි හෙමින් හෝ ධාවනය වීම පෞද්ගලික බස් සම්බන්ධ තවත් ප‍්‍රශ්නයකි. එකිනෙකා අතර ඇති තරගය මෙයට ප‍්‍රධාන හේතුවයි. ඒකාබද්ධ කාලසටහනකට අනුව බස් ධාවනය වනවා නම් මගී ජනයාගේ ආරක්ෂාව, කාලය මෙන්ම ඉන්ධනද පිරිමසා ගත හැකිය. මෙය කළ නොහැක්කක් වන්නේ කෙසේදැයි අපට වැටහෙන්නේ නැත.

දුර ගමන් යන බස් තේ බීම හා ආහාරය සඳහා නවත්වන ඇතැම් තැන්වල අධික මිළ ගණන් අය කරන බව හා මගීන්ට වැසිකිළි, කැසිකිළි වැනි අත්‍යවශ්‍ය පහසුකම් නිසි පරිදි නොසපයන බව ඔබතුමා දන්නවාද? මේ තැන්වල බස් නවත්වන්නේ එම ස්ථානවල හිමියන් බස් සේවකයන්ට දෙන විවිධ ආකාරයේ සන්තෝසම් නිසාය. දුර ගමන් බස් ආහාර හා තේ පානය සඳහා නැවැත්විය යුතු ස්ථාන නිර්දේශ කරන්නත්, එම ස්ථාන අධීක්ෂණය කරන්නත් වැඩ පිළිවෙලක් යෙදීම ප‍්‍රවාහන අමාත්‍යංශයට අමාරු නැත.

බස් රථවල සේවක මහතුන්ට නිල ඇඳුම් දීම හොඳ දෙයකි. එහෙත් දී තිබෙන නිල ඇඳුම වෙනුවට ඉස්සර බස් කොන්දොස්තර මහතුන් ඇන්ද පන්නයේ උඩින් ඇඳිය හැකි සාක්කු සහිත කබායක් දුන්නා නම් හොඳය. මක් නිසාද යත් දැනටත් ඔවුන් නිල ඇඳුම පාවිච්චි කරන්නේ කබායක් ආකාරයෙන් බැවිනි. මේ සේවක මහතුන් කරන්නේ ඉතාම දුෂ්කර සේවයකි. කොන්දොස්තර මහතකු දිනකට කිලෝමීටර් සිය ගණනක් බසයේ හිටගෙන යනවාට අමතරව බසය තුළමත් ඔවුහු කිලෝමීටර් ගණනක් ඇවිදිති. එහෙත් කිසිදු පෞද්ගලික බස් නැවතුමක ඔවුන් වෙනුවෙන් විවේක කාමරයක්, ආපන ශාලාවක් හෝ ඇ`ගපත සෝදා ගැනීමට නාන කාමරයක් හෝ නැත. පෞද්ගලික බස් නැවතුම්පොළවල් තවමත් කප්පම්කරුවන්ගේ හා මැරයන්ගේ රජදහන වේ. ආණ්ඩුවේ ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වන පබා ටෙලි නාට්‍යයේ මේ බව ප‍්‍රසිද්ධියේම කියයි. වසන්තට වෙන රස්සාවක් සොයා දෙන්නැයි එහි පිටපත් රචකයාට කියන්නැයි අනුර යාපා ඇමතිතුමාට කියන ගමන් මේ ප‍්‍රශ්නය විසඳීමටත් යමක් කරනවා නම් හොඳය.

බස් මගී ප‍්‍රවාහනය හා සම්බන්ධ මෙවැනි බොහොමයක් ගැටළු විසඳීම දුෂ්කර නැත. එහෙත්, ඔබතුමන්ලා වටේ සිටින කිසිවකු බස්වලින් ගමන් කරන්නේ නැති බැවින් ඔවුහු මෙවැනි ප‍්‍රශ්න නොදනිති. හිටපු ජනමාධ්‍යවේදියකු නිසා ඔබතුමා තවමත් පත්තර බලන්නේ යයි අපි සිතමු.


ස්තුතියි
මෙයට,
බස් මගී අජිත් පැරකුම් ජයසිංහ

ස්වර්ණ පුස්තකය පොදු පුරුෂයා


(2009 සැප්තැම්බර් 20 - W3Lanka)  ශ්‍රී ලංකා ග්‍රන්ථ ප්‍රකාශකයන්ගේ සංගමය විසින්  හොඳම නවකතාවටපිරිනමනු ලබන ස්වර්ණ පුස්තක සම්මානය මෙවර හිමි වී තිබෙන්නේ සුනේත්‍රා රාජකරුණානායකගේ පොදු පුරුෂයාටයි.


රාජ්‍ය සාහිත්‍ය සම්මානවලදී ද හොඳම නවකතාව වූයේ පොදු පුරුෂයායි.


බටුවන්ගල රාහුල හිමියන්ගේ ‘බොරතෙල්’, කරුණාදාස සූරියආරච්චිගේ ‘අන්ධකාර තාරකාව‘, මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරුගේ ‘එපුර රජ වූ ඇය’, කැත්ලින් ජයවර්ධනගේ ‘සත්‍යකාම’යන පොත් ද ස්වර්ණ පුස්තක සම්මානය නිර්දේශ වී තිබිණි.