W3lanka.com

NEWS IN
ENGLISH

යුද්ධය අලූත් පෙරමුණකට මාරු වීම

අජිත් පැරකුම් ජයසිංහ
වන්නියේ කොටි කැරැලිකරුවන් විසින් පාලනය කරනු ලබන භූමිභාගය රජය විසින් නම් කරන ලද ආරක්ෂිත කලාපයට සීමා වීමත් සමගම යුද්ධයේ සුසමාදර්ශීය වෙනසක් සිදුවෙමින් තිබේ. යුද කලාපයේ සිර වී සිටින සිවිල් වැසියන් මුහුණ දෙන මානුෂීය අර්බුදය පිළිබඳ යොමු වී තිබෙන ලෝක අවධානය හමුවේ ‘මානුෂීය සටන් අත්හිටුවීමක්‘ සඳහා කැමැත්ත රජය විසින් ප‍්‍රකාශයට පත් කර තිබේ. සටන් විරාමයකට ඇති රජයේ බලවත් අකැමැත්ත හමුවේ එක්සත් ජාතීන්ගේ සංවිධනය හා බටහිර රටවල් විසින් යෝජනා කරන ලද විකල්ප වචන අතරින් එකකි, මේ ‘මානුෂීය සටන් අත්හිටුවීම.‘ මෙහි අර්ථය සටන් විරාමය නම් සම්ප‍්‍රදායික වදනෙහි අරුතින් කිසි සේත් වෙනස් වන්නේ නැත.

මෙම යුද්ධයේදී, එයට මැදි වී සිටින වන්නියේ සිවිල් වැසියන් යනු අතිශය වැදගත් සාධකයකි. ඔවුන් දිගටම තම පාලන ප‍්‍රදේශය තුළ රඳවාගැනීම කොටි සංවිධානයේ යුදමය හා දේශපාලනික උපායමාර්ගයකි. එයට එම සිවිල් වැසියන් එකඟ වන්නේ හුදෙක්ම කොටින්ට ඇති බිය නිසා යයි තක්සේරු කිරීම මුග්ධකමකි. මෙම වැසියන් රජය විසින් ඇති කර තිබෙන උපරිම මානුෂීය පීඩනය මධ්‍යයේ පවා දිගටම රඳවාගැනීමට හැකි වීම එල්.ටී.ටී.ඊ. සංවිධානයේ දේශපාලන ජයග‍්‍රහණයකි. මෙහිදී කොටි සංවිධානයේ උපාය මාර්ගය වන්නේ උපරිම ප‍්‍රතිරෝධයක් එල්ල කරමින් හැකි තරම් කාලයක් සටන පවත්වාගැනීමයි. දැඩි ලෙස ජනාකීර්ණ වූ දැවැන්ත අවතැන් කඳවුරක් ඉලක්ක කරන යුද්ධයකදී ඇති වන මානව අර්බුදයේදී රජය වර්තමානයේදී පත් වී සිටින අපහසුතාව තවත් වැඩි වනු ඇත. ලංකාවේ මානුෂීය තත්වය පිළිබඳ සාකච්ඡාවක් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේදී පසුගිය 26වෙනිදා පැවැත්විණි. චීනය, රුසියාව වැනි රටවල් ලංකාවේ ප‍්‍රශ්නය අභ්‍යන්තර අර්බුදයක් මිස ජාත්‍යන්තර සාමයට බාධාවක් නොවේය යන තර්කය මත පිහිටා, ආරක්ෂක මණ්ඩලය ලංකාවේ ප‍්‍රශ්නය සාකච්ඡා කිරීම වැළැක්වීමට උත්සාහ කළද, බටහිර රටවල් විසින් ලංකාව වෙත එල්ල කළ පීඩනය හමුවේ එම සාකච්ඡාවට සහභාගි වූ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ‍්‍රී ලංකා තානාපතිවරයා සාකච්ඡාව අවසානයේදී මාධ්‍යවලට කීවේ තමන් රජයට ‘මානුෂීය සටන් අත්හිටුවීමක්‘ නිර්දේශ කරන බවයි.

චීනය, රුසියාව, වියට්නාමය වැනි පැරණි කොමියුනිස්ට් කඳවුරේ රටවල් ලංකාවේ රැකවරණයට පැමිණීම විසින්ම බටහිර සමග ලංකාවේ රජයේ සබඳතා අර්බුදයට පත් කෙරෙන අතර එය රාජ්‍ය තාන්ත‍්‍රික වශයෙන් ලංකාවේ රජයට අවාසිදායක තත්වයක් නිර්මානය කරයි. එහි දේශපාලනික වාසිය අත්පත් කරගැනීමට කොටි සංවිධානයට ශක්තිය ඇත. උග‍්‍ර විදේශ සංචිත අර්බුදය හමුවේ රජයට ආපසු සිය බටහිර පැරණි මිතුරන් සොයා යාමට සිදු වී තිබේ. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ලබා දෙන්නට නියමිත ණය මුදල නොලැබුණොත් ආර්ථිකය පවත්වාගෙන යන්නේ කෙසේද යන්න බරපතල ගැටළුවකි. ලංකාවේ යුද්ධය නවත්වන්නැයි ජා.මු.අ. කෙළින්ම නිර්දේශ නොකළද, පණවනු ලබන කොන්දේසි විසින් රජය දැඩි පීඩනයකට ලක් කෙරෙනු නිසැකය. රුපියල අවප‍්‍රමාණ කිරීම, රුපියල් කොළ අච්චු ගසමින් රජය දිගින් දිගටම පෞද්ගලික අංශයෙන් ණයගැනීම සීමා කිරීම, රාජ්‍ය වියදම් කප්පාදුව වැනි ක‍්‍රියාමාර්ග සමග ආර්ථික අවපාතය විසින් ඇති කරනු ලබන රැකියා අහිමි වීම, කර්මාන්ත කඩාවැටීම වැනි තත්වයන් එක් වූ විට ඉදිරි මාසවලදී ලංකාවේ නිර්මානය වන තත්වයද වන්නියේ මානුෂීය අර්බුදයේ වෙනත් ස්වරූපයක් විය හැකිය. එවැනි තත්වයක් තුළ රජයේ පාලනය තුළ රඳවාගෙන සිටින දකුණේ සිවිල් වැසියන්ද, උතුරේ සිවිල් වැසියන් කොටි සංවිධානයට එරෙහිව කැරැලි ගසන ආකාරයටම රජයට විරුද්ධව නැගී සිටීමට ඉඩ ඇති බව පාලකයෝ දනිති. ඉදිරියේදී මහ මැතිවරණ, ජනාධිපතිවරණ පැවැත්වීමට නියමිතව ඇත්තේ මේ මහා අර්බුදය මධ්‍යයේය. කොටි සංවිධානය උතුරේ සිය පාලන ප‍්‍රදේශ තුළ සිවිල් වැසියන් රඳවාගැනීමට දරණ ප‍්‍රයත්නය වැනිම දුෂ්කර ව්‍යායාමයක් දකුණේ ජනයා රජයේ වැඩපිළිවෙලට පක්ෂව තබාගැනීම සඳහා දරන්නට රජයට සිදු වනු ඇත.

ලංකාවට විදේශ විනිමය ගලා ඒමට ඇති මාර්ග එකින් එක සීමා වෙමින් තිබේ. කොතරම් යටිතල පහසුකම් සංවර්ධනය කළත් ලෝක ආර්ථික අර්බුදය නිසා අලූතෙන් ආයෝජකයන් ලංකාවට එන්නේ නැත. සිටින විදේශ ආයෝජකයන් රැකගැනීම පවා දුෂ්කර වී තිබේ. ඇඟලූම් වැනි දේශීය කාර්මික නිෂ්පාදනද, තේ, රබර්, පොල් වැනි කෘෂි භෝගද, සංචාරක කර්මාන්තයද සඳහා විදේශ වෙළඳපොළවල ඉල්ලූම බිඳවැටී හමාරය. විදේශ රැකියා සඳහා පුහුණු ශ‍්‍රමිකයන් පිටරට යාම අඩු වී ඇති අතර, එහි සිටින පුහුණු ශ‍්‍රමිකයෝ ආපසු සියරට එමින් සිටිති. මෙම අර්බුදය සඳහා ඉක්මණ් විසඳුම් ලැබේ යයි අපේක්ෂා කළ නොහැකිය. මෙම තත්වය තුළ රජය රටට විදේශ විනිමය ඇදී එනු ඇතැයි බලාපොරොත්තු වන ප‍්‍රධාන මාර්ගයක් වන්නේ උතුරේ අවතැන් වූවන් පුනරුත්ථාපනයට සහ යුද්ධයෙන් විනාශ වූ ප‍්‍රදේශ ප‍්‍රතිසංස්කරණය සඳහා ලබා ගතහැකි විදේශ ආධාරයි. ඒවා එන්නේ බටහිරින්ය. අවසානයේ බටහිර බලපෑමට රජය යටත් වන්නේ ඒ නිසාය.

කවර හෝ තත්වයක් යටතේ සටන් විරාමයකට එළමෙන්නට සිදුවීම රජයේ යුද දේශපාලනික වැඩසටහන මුහුණ දෙන තියුණු අභියෝගයකි. මෙම හිරවීම පියමං කරගැනීම වර්තමාන සංදර්භය තුළ රජයට පහසු නැත. මේ සියල්ල සිදුවන්නේ දෙමළ අරගළයේද සුසමාදර්ශීය වෙනසක් සලකුණු වෙමින් තිබෙන සංදර්භයක් තුළයි. එය වනාහි, දෙමළ අරගළයේ සුක්කානම වන්නි සටන් පෙරමුණෙන් දෙමළ විදෙස්ගත ප‍්‍රජාව වෙත මාරුවීමයි. මෙම තත්වය නිරීක්ෂණය කරන රජයේ ප‍්‍රධාන ක‍්‍රමෝපාය උපදේශකවරයකු වන ආචාර්ය දයාන් ජයතිලක පවසන්නේ දෙමළ විදෙස්ගත ප‍්‍රජාව බැරෑරුම් ලෙස සැලකිය යුතු සතුරකු ලෙස වර්ධනය වෙමින් ඇති බවයි. එහිදීද, දෙමළ ප‍්‍රගතිශීලීන්ගේ හෝ මධ්‍යස්ථවාදීන්ගේ මතුවීමක් දක්නට නොලැබෙන බව පවසන හේ එහි බලයද ඇත්තේ කොටි සංවිධානය අතම බව පවසයි. දෙමළ අරගළයේ සුසමාදර්ශීය වෙනස සලකුණු කරන වැදගත් ප‍්‍රකාශයක් පසුගිය දිනෙක කොටි සංවිධානයේ දේශපාලන නායක බී. නඬේසන් බි‍්‍රතාන්‍යයේ සන්ඬේ ටයිම්ස් පුවත්පතට කළේය. ඔහු කීවේ දෙමළ ජනයා ජනමතවිචාරණයකදී ස්වාධීන දෙමළ රාජ්‍යයක් පිළිබඳ කරන ඕනෑම ප‍්‍රකාශයක් පිළිගැනීමට කොටි සංවිධානය සූදානම් බවයි. මෙම සංවර්ධනයන් හරහා පෙන්නුම් කෙරෙන්නේ දෙමළ අරගළයේ අනාගත දිශානතිය වැටී ඇත්තේ ජාත්‍යන්තර පෙරමුණේ රාජ්‍ය තාන්ත‍්‍රික අරගළය හා උතුරු නැගෙනහිර පදනම් කරගත් ගරිල්ලා යුද්ධය තුළ බවයි. කොටි සිය ජාත්‍යන්තර දේශපාලනයේ නායකත්වය වෙනුවෙන් සෙල්වරාජා පත්මනාදන් නම් පූර්ණ බලතල සහිත තානාපතිවරයකු පත් කරන්නේද, එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු පිළිබඳ ප‍්‍රධානී ජෝන් හෝම්ස් ඔහු සමග දුරකථනයෙන් සාකච්ඡා කරන්නේද මෙම පසුබිම තුළයි.

රජය උතුරු නැගෙනහිර හා විදෙස්ගත දෙමළ ජනයා පිළිබඳව දකුණේ ජනමාධ්‍ය ඔස්සේ පවසන්නේ ඔවුන් ශීඝ‍්‍රයෙන් කොටි සංවිධානයෙන් ඈත් වෙමින් ඇති බවයි. .තත්වය එසේ නම්, ජනමතවිචාරණයක් පිළිබඳ මෙම අභියෝගය භාරගැනීමෙන් රජයට කොටි සංවිධානයේ පදනමම පුපුරුවාහැරීමට පුළුවන. තත්වය එසේ නොවේ නම්, කොටි සංවිධානය යුදමය වශයෙන් පරාජය කිරීමත් සමග වඩා දුෂ්කර සටන් පෙරමුණකට ජනවාර්ගික ප‍්‍රශ්නය තල්ලූ වී ඇති බව තේරුම් ගැනීමට අකැමැත්තෙන් හෝ සිදු වේ. ජනවාර්ගික ප‍්‍රශ්නයට විධිමත් විසඳුමක් යෝජනා නොකරන තාක් කල් ලංකාවේ රජයට ක‍්‍රීඩා කිරීමට සිදු වන්නේ අවාසිදායක පොළවක බව අපේ අදහසයි.

දේශපාලන විශ්ලේෂිකාවක් වන තිසරණී ගුණසේකර රජයේ යුද දේශපාලනික වැඩසටහන පිළිබඳව මෑතදී ලියූ රචනාවක් සඳහා යොදා තිබූ මාතෘකාවක් මෙහිදී සිහිපත් වේ. එනම්, ‘පරදින්නට දිනන්නේද?‘ (Winning to Lose) යන්නයි.

අදහස් දක්වන්න
පුවත් පිටුවට
නිවහන් පිටුවට


© POWERED BY W3LANKA