|
||||||||||||||
|
බස්නාහිර ඡන්දය දෙස වම් ඇසින් බැල්මක් අජිත් පැරකුම් ජයසිංහ බස්නාහිර පළාත් සභා මැතිවරණයේදී කොළඹ දිස්ත‍්‍රික්කයට තරග වදින ආචාර්ය වික‍්‍රමබාහු කරුණාරත්න සහෝදරයාට සහාය පළ කරන වමේ පිරිසක් විසින් එම මැතිවරණ ව්‍යාපාරය සඳහා www.bahu2009.blogspot.com නම් බ්ලොග් අඩවිය දියත් කිරීම වෙනුවෙන් පසුගිය දිනෙක චාම් උත්සවයක් කොළඹදී පැවැත්විණි. එම අවස්ථාවට දෙමළ ජාතික සන්ධානයේ මන්ත‍්‍රීවරයකුට ආරාධනා කර තිබුණද එවැන්නකු පැමිණියේ නැත. රැස්වීමේ මුලසුන හෙබවූ සහෝදරයා එම මන්ත‍්‍රීවරයා පැමිණීමට නියමිත බව උත්සවය අවසානය ආසන්නයේදී පවා කීවද, එය සිදු වූයේ නැත. ආචාර්ය වික‍්‍රමබාහු කරුණාරත්න සිංහල ජාතිකවාදීන්ට පෙනෙන්නේ කොටියකු ලෙසයි. ජන්මයෙන් හොඳ සිංහලයකු වූද, සිංහල ජාතිකවාදය සහ බෞද්ධ දර්ශනය පිළිබඳවද ගැඹුරු දැක්මක් ඇති පුද්ගලයකු වූද ඔහුට කොටි ලේබලය ඇලවෙන්නේ දෙමළ ජාතියේ ස්වයං නිර්ණ අයිතිය සඳහා අරගළය ඔහු ප‍්‍රගතිශීලී විමුක්ති අරගළයක් ලෙස සැලකූ හෙයිනි. සැම විටම කොටි සංවිධානය සම්බන්ධයෙන් විවේචනාත්මක ස්ථාවරයක් ගත් ඔහු, තම විමුක්ති ව්‍යාපාරය ලෙස තමන් කැමති නම් කොටි සංවිධානය තෝරාගැනීමට දෙමළ ජනයාට ඇති අයිතියටද ගරු කළේය. තම දේශපාලන ස්ථාවරයන්හි දිගින් දිගටම නොසෙල්වී සිටි පුද්ගලයකු වූ, ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදී‘ රාමුව තුළ දේශපාලනයේ නියැලි වාමාංශිකයකු වූ ඔහුට ඒ වෙනුවෙන් ගෙවීමට සිදු වූ වන්දිය අති විශාලය. ඔහුගේ පක්ෂයේ ඡන්ද පදනම් ඡන්දයෙන් ඡන්දයට කඩා වැටිණි. එහෙත්, එම පරාජයන් විසින් ඔහුගේ දේශපාලන ස්ථාවරයන් සෙලවූයේ නැත. වික‍්‍රමබාහු කරුණාරත්න සහෝදරයා අරගළ කළේ දෙමළ ජනයාගේ හිමිකම් වෙනුවෙන් පමණක් නොවේ. වෙනත් සුළුතර ප‍්‍රජාවන්ගේ හිමිකම් වෙනුවෙන් සේම, කම්කරු අයිතිවාසිකම් අරගළ, ගෝලීය ධනවාදයට එරෙහි සටන්, ප‍්‍රජාත්නත‍්‍රවාදී අයිතීන් කප්පාදු කිරීමට එරෙහි ක‍්‍රියාමාර්ග ආදී අරගළ බිම් රාශියක ඔහුගේ දේශපාලන පරාසය විහිදී තිබිණි. එහෙත් මතුපිටට ප‍්‍රදර්ශනය වුණේ ජාතීන්ගේ ප‍්‍රශ්නය පිළිබඳව ඔහුගේ ස්ථාවරයයි. මෙය ඔහුට පමණක් නොව ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සිට රනිල් වික‍්‍රමසිංහ දක්වා සියලූ දේශපාලකයන්ට පොදු විය. එයට හේතුව ලංකාවේ ප‍්‍රශ්න අසංඛ්‍යයක් අතරින් මහා ප‍්‍රශ්නය ලෙස ඉස්මතු වුණේ ජාතික ප‍්‍රශ්නය වීමයි. නමුත් මෙයින් වැඩියෙන්ම බැට කෑවේ ලංකාවේ සිංහල වාමාංශිකයන්ය. එයට හේතුව ඔවුන් තම ස්ථාවරයේ අචලව පිහිටා සිටීමයි. බස්නාහිර පළාත් සභාවේ කොළඹ දිස්ත‍්‍රික්කයේ සැලකිය යුතු සුළුජන ඡන්ද ප‍්‍රතිශතයක් තිබේ. වික‍්‍රමබාහු කරුණාරත්න සහෝදරයාගේ ඡන්ද ව්‍යාපාරය මෙම ඡන්ද පදනම ස්පර්ශ කිරීමට උත්සාහ නිරීම සාධාරණය. දෙමළ ජාතික සන්ධානය කොළඹට තරග නොකරන සංදර්භයකදී කරුණාරත්න මහතාගේ සහායකයන් ඔවුන්ගේ සහාය ලබාගැනීමට උත්සාහ කිරීම උපක‍්‍රමශීලීය. එහෙත් දෙමළ ජාතික සන්ධානය එය බැරෑරුම් ලෙස සලකන බවක් නොපෙනේ. අප සාකච්ඡා කරන්නට යන්නේ එසේ සිදු වන්නේ ඇයිද යන්නයි. වාමාංශිකයන් ජාතීන්ගේ ප‍්‍රශ්නය ස්පර්ශ කරන්නේ ස්වයං නිර්ණ අයිතිය පිළිබඳ මාක්ස්වාදී න්‍යායික පදනමකිනි. එම න්‍යායික පදනම අනුව ස්වයං නිර්ණය යනු වෙන්වීම මිස අන් යමක් නොවේ යයි තර්ක කළ හැකිය. ජාතියකට ජාතික රාජ්‍යයක් සඳහා හිමිකම තිබේ යන්න මෙහි පදනමයි. මේ පිළිබඳ සම්භාව්‍ය මාක්ස්වාදයේ න්‍යායික ගොඩනැංවීම් දැන් සියවසක් පැරණිය. ඒ අතරතුර ජාතික රාජ්‍ය සංදර්භය බොහෝ විපර්යාසයනට ලක් වෙමින් සංකීර්ණ ගෝලීය ධනවාදී ක‍්‍රමයක් නිර්මානය වී තිබේ. ඒ සමගම ස්වයං නිර්ණ හිමිකම පිළිබඳ කතිකාවද අලූත් වෙමින් ඇති අතර ස්වයං නිර්ණය මත පදනම් වූ රාජ්‍ය ප‍්‍රතිසංස්කරණයක් අනිවාර්යයෙන්ම වෙනම ජාතික රාජ්‍යයක් බිහි කිරීම ඉලක්ක කරගත යුතු නැත යන තර්කය ඉදිරිපත් වී තිබේ. කොටි සංවිධානය පවා ‘අභ්‍යන්තර ස්වයං නිර්ණය‘ නම් සංකල්පයක් ඉදිරිපත් කර ඇති බව අප අමතක නොකළ යුතුය. කොටි සංවිධානය 2002දී සටන් විරාම ගිවිසුම අත්සන් කළේ ඇයිද යන්න තේරුම් ගැනීම අසීරු කරුණකි. ඔවුන් යුදමය වශයෙන් උච්ච ස්ථානයකදී එවැනි සටන් විරාමයකට එකඟ වූයේ නව සංදර්භයන් මත රාජ්‍ය ප‍්‍රතිසංස්කරණයක් සඳහා සටන් කරන්නට නම් එය සාධනීය පියවරකි. එහෙත් ඒ සඳහා ඔවුන් ලොකු උත්සාහයක් නොකළ බව අපේ නිරීක්ෂණයයි. රනිල් වික‍්‍රමසිංහ රජය බටහිර බලවේග සමග එක්ව තමන් ක‍්‍රමය තුළ කොටු කර දියකර හැරීමට හා රටම ගෝලීය ධනවාදයේ නව ලිබරල්වාදී අර්ථ ක‍්‍රමයත් සමග ගැටගැසීමට උත්සාහ කරන්නේය යන අදහසේ පිහිටා සිට එතැන් පටන් ඔවුන් උත්සාහ කළේ සටන් විරාම උගුලෙන් ගැලවීමටයි. රනිල් වික‍්‍රමසිංහ රජය එවැන්නකට අරඇන්ද බව සත්‍යයක් මුත්, එය මගහැරීම සඳහා කොටි සංවිධානය තෝරාගත් උපාය මාර්ගය වාමාංශිකයනට බරපතල ගැටළුකාරී එකකි. කොටි සංවිධානය තෝරා ගත් උපාය මාර්ගය වන්නේ දකුණේ සිංහල ස්වෝත්තමවාදී දේශපාලනය හැකි තරම් පෝෂණය වන පරිදි කටයුතු කිරීමයි. සටන් විරාම ගිවිසුම උල්ලංඝනය කිරීමේ ක‍්‍රියාමාර්ගවලින් ඇරඹුණ එහි කූටප‍්‍රාප්තිය දෙමළ ජනයා ලවා 2005 ජනාධිපතිවරණය වර්ජනය කරවීමයි. එතැන් සිට ඔවුන් තනිකරම විශ්වාසය තැබුවේ යුදමය වශයෙන් රජය පරාජයට පත් කිරීම කෙරෙහිය. රජය හා දකුණේ සමාජය සිංහල වර්ගවාදයට ගොදුරු කරලීමෙන් ජාත්‍යන්තර පෙරමුණේදී තම හිමිකම් සාධාරණීකරණය සඳහා අවස්ථාව ලැබෙන බව ඔවුහු විශ්වාස කළහ. මෙම උපාය මාර්ගයේ අවසානය තවමත් විවෘතව ඇති මුත්, අතරමගදී කොටි සංවිධානයත්, දෙමළ දේශපාලනයත්, සමස්ත ලංකාවේම දෙමළ ප‍්‍රජාවත්, මුළු මහත් දිවයිනේම ප‍්‍රජාතන්ත‍්‍රවාදී අවකාශයත් ඒ වෙනුවෙන් ගෙවා ඇති මිළ අධිකය. මෙහිදී ගිරයට හසු වූ පුවක් ගෙඩියේ තත්වයට පත් වූයේ ලංකාවේ වාමාංශකයෝයි. දෙමළ ජාතික හිමිකම් පිළිගනිම්න් සිංහල දෙමළ සමාජයන් අතර අවබෝධය හා සංහිඳියාව ඇති කිරීමට වාමාංශිකයන් දැරූ සියලූ පරිශ‍්‍රමයන් කොටි සංවිධානය විසින් තේරූ දකුණේ සිංහල වර්ගෝත්තමවාදය ප‍්‍රවර්ධනය කිරීමේ උපාය මාර්ගය හමුවේ ගඟට කැපූ ඉණි බවට පත් විය. වික‍්‍රමබාහු සහෝදරයා බස්නාහිර ඡන්දයට ඉදිරිපත් වී සිටින මේ මොහොත ජාතීන්ගේ ප‍්‍රශ්නය හා අදාළ යුදමය සංදර්භය තීරණාත්මක ලෙස වෙනස් වෙමින් පවතින අවස්ථාවකි. දෙමළ ජාතිකවාදීන් තවමත් සිටින්නේ තම විමුක්තිය සලස්වා ගැනීමේ මාර්ගය වැටී තිබෙන්නේ දකුණේ සිංහල වර්ගෝත්තමවාදය ප‍්‍රවර්ධනය කිරීම හරහා යයි විශ්වාස කරන තැනකදැයි අපි නොදනිමු. අදහස් දක්වන්න පුවත් පිටුවට නිවහන් පිටුවට |
|||||||||||||
|
© POWERED BY W3LANKA |
||||||||||||||