W3lanka.com

NEWS IN
ENGLISH

විනාශය දිග්ගැසීම වළක්වා ගැනීමට ඇති මග කුමක්ද?

අජිත් පැරකුම් ජයසිංහ
”යුද්ධය අවසන් වන ආකාරය ශ‍්‍රී ලංකාවේ අනාගතයට ඉතා වැදගත්ය. එය තවත් දශක ගණනාවක යුද්ධයක් සහ ත‍්‍රස්තවාදයක් ඇවිළවිය හැකි මතකයක් ඉතිරි කරන රුධිර සංහාරයක්ද? නැතිනම් සාකච්ඡුා මාර්ගයෙන් සටන් අවසන් කිරීම සඳහා අලූත් උත්සාහයන් දැකිය හැකි වේද? එසේ වුවහොත්, සියලූ ශ‍්‍රී ලාංකිකයන් වෙනුවෙන් අලූත්, වඩා සාමකාමී ශ‍්‍රී ලංකාවක් ගොඩනැගීමට හැකි වනු ඇත.”
- රොබට් ටෙම්ප්ලර් ජාත්‍යන්තර අර්බුද කණ්ඩායම හෙවත් International Crisis Group නම් ලෝකයේ භයානක ගැටුම් නිරාකරණය සඳහා බුද්ධිමය වශයෙන් දායක වන සංවිධානයේ ආසියානු අධ්‍යක්ෂ

බස්නාහිර පළාත් සභාවට තරග කරන වාමාංශික අපේක්ෂක වික‍්‍රමබාහු කරුණාරත්න සහෝදරයාට සහාය පළ කිරීම සඳහා එක් වූ පුළුල් වමේ එකතුවක් වූ වාමාංශික එක්සත් සන්ධානයේ රැුස්වීමක් පසුගිය 20දා කොළඹ මහජන පුස්තකාල ශාලාවේදී පැවැත්විණි. එහිදී අදහස් දැක්වීම සඳහා එක් වී සිටි දීප්තිමත් ලිබරල් හා වාමාංශික බුද්ධිමතුන් සමූහය අතරින් මහාචාර්ය ජයන්ත සෙනෙවිරත්න ඉතා වැදගත් කරුණක් අවධාරණය කළේය. එනම්, එක් ජාතියකට එක් ජාතික රාජ්‍යයක් යන ධනේශ්වර ක‍්‍රමයේ මුල් යුගයේ සංකල්පය අදට වලංගු නැති බව හා එහි පුරෝගාමීන් වූ බි‍්‍රතාන්‍යය වැනි රටවල් පවා දැනටමත් එය අතහැර ඇති බවයි. ඒ වෙනුවට ලෝකයේ රාජ්‍යයන් වඩ වඩාත් බහු වාර්ගික, බහු සංස්කෘතික ව්‍යූහයන් බවට ප‍්‍රතිසංස්කරණය වෙමින් ඇති බව ඔහු ඉදිරිපත් කළ අදහස විය. ඔහුගේ ඉදිරිපත් කිරීම මූලික වශයෙන් ඉලක්ක කළේ ලංකාවේ සිංහල වාර්ගික ආධිපත්‍යයෙන් යුත් ශ‍්‍රී ලාංකික ජාතික රාජ්‍යය ප‍්‍රතිසංස්කරණය කිරීම වුවත්, එය දෙපැත්ත කැපෙන කඩුවක් සේ දෙමළ ජාතිකවාදයටද එරෙහිව එසවෙන්නකි.

ලංකාවේ දෙමළ සමාජය අද මුහුණ දී සිටින විනාශයෙහි වගකීම තනිකරම සිංහල ජාතිය පිට පැටවිය නොහැක්කේ මෑත යුගයේදී දෙමළ ජාතිකවාදීහුද වෙනම ජාතික රාජ්‍යයක් යන සටන් පාඨයේදී සිංහල ජාතිකවාදීන් තරම්ම අනම්‍ය වූ හෙයිනි. ශ‍්‍රී ලාංකික දේශපාලන ප‍්‍රජාව හා රාජ්‍ය ගොඩනැංවීම සහමුලින්ම ප‍්‍රතික්ෂේප කරමින් භෞමික වශයෙන් වෙන් වූ දෙමළ දේශපාලන ප‍්‍රජාවකගේ ජාතික රාජ්‍යයක්ම ප‍්‍රාර්ථනා කරන ජාතික අන්තවාදීන් පිරිසක් අතට දෙමළ අරගළයේ නායකත්වය මාරු වීම සමග පසුගිය දශක තුනක කාලය තුළ ලංකාවේ ජාතීන්ගේ ප‍්‍රශ්නය විසඳුම් ලබා දීමේ දුෂ්කරම ගැටුමක් ලෙස වර්ධනය විය. එහි තාර්කික අන්තය වූයේ දෙපාර්ශ්වය යුද්ධයෙන් ප‍්‍රශ්නය විසඳා ගැනීමෙහි අධිෂ්ඨානයකට 2005 නොවැම්බර් වන විට එළඹීමයි.

යුද්ධය සඳහා සිංහල සමාජයේ බහුතරය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සේනාධිනායක තනතුරට පත් කළේය. දෙමළ සමාජය ජනාධිපතිවරණය වර්ජනය කරමින් සිංහල සමාජයට එම තේරීම කිරීම සඳහා අවකාශය විවර කර දුන්නේය. එය ශ‍්‍රී ලාංකික දේශපාලන ප‍්‍රජාවගේ ප‍්‍රජාතාන්ත‍්‍රික රාජ්‍ය ප‍්‍රතිසංස්කරණ ව්‍යායාමයෙහි තීරණාත්මක අන්තයක් වූ අතර එතැන් සිට සිංහල හා දෙමළ ජාතික රාජ්‍යවාදී යුදමය ව්‍යාපෘතියක් පමණක් ඉතිරි විය. යුද්ධයෙහිදී ජය හිමි වන්නේ වඩා ශක්තිමත් හා උපායෙහි දක්ෂ පිරිසටයි. මහින්ද රාජපක්ෂ සේනාධිනායකවරයා ඉතා දක්ෂ ලෙස භෞතික යුද බිමෙහිත්, ඉන් බැහැරත් සේනා සංවිධානය කළේය. ඒ සඳහා ඔහු ත‍්‍රස්තවාදය නම් නූතන ධනේශ්වර සංකල්පය හා එයට එරෙහිව ඇති ලෝක ආකල්පය ඉතා සියුම් ලෙස උපයෝගී කර ගත්තේය. මහින්ද රාජපක්ෂ පාලනය සේනා සංවිධානය කිරීමෙහිදී යුද බිමේ එය කළ ආකාරය තරමටම තොරතුරු අවකාශයේදී එය කළ ආකාරයද හැදෑරීම ඉතා වැදගත් වේ. ජෝර්ජ් බුෂ්ගේ පාලන සමය තුළ ලෝකයේ සිදු වූ විපර්යාසය, එනම්, ගෝලීය ධනවාදයේ අර්බුද කළමනාකරණය කිරීම සඳහා ප‍්‍රජාතන්ත‍්‍රවාදී අවකාශය හැකිළවීම සඳහා ගත් පියවර මෙහිදී මහින්ද රාජපක්ෂ රජයට ඉතා වාසිදායක විය. තොරතුරු අවකාශය තුළ මානව හිමිකම්, ප‍්‍රකාශනයේ නිදහස වැනි මූලික හිමිකම් සඳහා ඇති ඉඩ මුළුමනින්ම වසා දැමූ හේ එය තනිකරම සිංහල, දෙමළ සේනාවන්ගේ ප‍්‍රචාරණ හෙවත් ප්‍රොපගැන්ඩා සංග‍්‍රාම භූමියක් බවට පත් කළේය. වාමාංශික ඇසකින් බැලූ විට මෙය ඉතාම නිශේධනීය දෙයක් වුවත්, එහි එක් සාධනීය ලක්ෂණයක් ගැබ් වී තිබිණි. සිංහල ජාතිකවාදීනට තිබුණු, දෙමළ ජාතිකවාදීන්ට නොතිබුණු එකම නූතන ලක්ෂණය එයයි. එනම් අඩංගුකරණයෙහි දක්ෂභාවයයි. අඩංගුකරණයෙහි (inclusivity) විරුද්ධාර්ථ පදය බහිෂ්කරණයයි (exclusivity). ප‍්‍රධාන වශයෙන්ම සයිබර් අවකාශය පදනම් කර ගනිමින් දියත් කරන ලද සිංහල ජාතිකවාදීන්ගේ ප්‍රොපගැන්ඩා මෙහෙයුම අධ්‍යයනය කිරීම ඉතා වැදගත් වේ.

දෙමළ ජාතිකවාදීන්ගේ බහිෂ්කරණ ප‍්‍රතිපත්තිය විශධ කරන කදිම උදාහරණයකි, ආචාර්ය වික‍්‍රමබාහු කරුණාරත්න ප‍්‍රමුඛ වාමාංශය. සිංහල සමාජය තුළ තම දේශපාලන අවකාශය පරදුවට තබමින් සුළුතර ප‍්‍රජාවන්ගේ හිමිකම් වෙනුවෙන් නොසැලී සටන් කළ සිංහල වාමාංශිකයන් පමණක් නොව වෙව්ල-වෙව්ලා, අඩපය ගසමින් හෝ ලාංකීය රාජ්‍යය බහුත්වවාදී පදනමකින් ප‍්‍රතිසංස්කරණය කිරීමට තීරණාත්මක උත්සාහයක් කිරීම වෙනුවෙන් වන්දි ගෙවීමට සිදු වී තිබෙන රනිල් වික‍්‍රමසිංහ ප‍්‍රමුඛ ලිබරල්වාදීන් පවා දෙමළ ජාතිකවාදීන් විසින් තල්ලූ කරනු ලැබුවේ වාර්ගික ආධිපත්‍යවාදී සිංහල ජාතිකවාදීන් ගණයටයි. සිංහල සමාජය වාර්ගික ආධිපත්‍යවාදී තනි සමස්තයක් නොවන බව තේරුම් ගැනීමට දෙමළ ජාතිකවාදීහු කණගාටුදායක ලෙස අසමත් වූහ.

කෙසේ හෝ වේවා, අවසානයේදී ලංකාවේ දෙමළ ජාතිකවාදීන්ගේ ජාතික රාජ්‍ය ගොඩනැගීමේ අරගළය තීරණාත්මක අන්තයකට තල්ලූ කිරීමට සිංහල ජාතිකවාදීහු සමත් වී සිටිති. දෙමළ ජාතිකවාදී සන්නද්ධ ව්‍යාපාරය සමූලඝාතනය කිරීමේ සිංහල අභිලාෂය සාක්ෂාත් කර ගැනීමටද ඔවුන් සමත් වනු ඇති බව දේශීය හා ජාත්‍යන්තර වර්ධනයන් නිරීක්ෂණය කළ විට පෙනේ. එහෙත් ප‍්‍රශ්නය ඇත්තේ එයින් සිංහල ජාතියට සැබෑ ජයග‍්‍රහණයක් අත්පත් වේද යන කාරණය තුළයි. සම්පූර්ණයෙන්ම ජීවන යටිතලය අහිමි කරන ලද ලක්ෂ සංඛ්‍යාත දෙමළ ජනකායක් වවුනියාවේ කඳවුරුවලට ගාල් කරනු ලැබ තිබේ. කෝටි සංඛ්‍යාත දෙමළ ජනකායකගේ හදවත් ඉතා ගැඹුරින් පෑරී තිබේ. ලෝකය ඉදිරියේ සිංහලයා ගොඩනඟාගෙන තිබෙන ප‍්‍රතිරූපයද ගැටලුකාරීය. ලෝකයෙන්ම එක් කෝටි පණස් ලක්ෂයක් පමණ වන සිංහල ජනතාවක් ලංකාව නම් වර්ග කිලෝමීටර 65,610ක බිම්කඩක සිය වාර්ගික ආධිපත්‍යය තහවුරු කර ගැනීමට දරණ ප‍්‍රයත්නය ඒ ඔස්සේ සාර්ථක වී තිබේද?

අධ්‍යතන සිංහල ජාතිකවාදීනුත්, බලය උදෙසා සිංහල ජාතිකවාදය සරණ ගිය දේශපාලන උපා විශේෂඥයනුත්, තමන් සැබැවින්ම තම ඊනියා සතුරා වන කොටි සංවිධානය පරාජය කළේ යයි විශ්වාස කරන්නේ නම්, දැන්වත් ජාතියේ අනාගතය පිළිබඳ ගැඹුරින් කල්පනා කළ යුතුය. මෙම දිවයිනේ භෞමික සීමාව තුළ සුළුතර ප‍්‍රජාවක් වන දෙමළ ජනයා යටත් කර ගැනීම ඔස්සේ සිංහලයාට කිසිදු කලෙක සුරක්ෂිතභාවය හා යහපැවැත්ම තහවුරු කර ගත නොහැකිය. යටත් කරගැනීම වෙනුවට දිනාගැනීම කෙරෙහි අවධානය යොමු නොකළහොත් පශ්චාත් එල්.ටී.ටී.ඊ. යයි විග‍්‍රහ කරන සමයේ දේශපාලනය අතිශය දුෂ්කර වනු ඇත. මන්ද, පස්වන ඊලාම් යුද්ධය කොටින්ගේ වනගත හා නාගරික ගරිල්ලන් සමග පමණක් නොව, ලෝක දෙමළ ප‍්‍රජාවක් සමගද, කිරීමට සිදු වන ලකුණු දැනටම දක්නට ලැබෙන හෙයිනි.

විනාශය දිග්ගැසීම වළක්වා ගැනීමට ඇති එකම මාර්ගය වැටී ඇත්තේ ලංකාවේ බහු වාර්ගික හා සංස්කෘතික ස්වභාවය හා අනුරූප රාජ්‍ය ප‍්‍රතිසංස්කරණයකින් පමණක් බැව් සිංහල මෙන්ම දෙමළ ජාතිකවාදීන්ද වටහා ගත යුතුය. ජාතික බෙදුම් රේඛාවන් ඔස්සේ දෙපසට බෙදී වෙන් වී සිටින මේ දෙජාතීන් අතර සැබෑ මිත‍්‍රත්වයේ පාලමක් ඉදි කළ හැක්කේ වාමාංශිකයන්ට පමණි. මක් නිසාද යත්, දෙමළ අරගළය පිළිබඳ සහෝදරත්ව ස්ථාවරයක පිහිටා සිටි එකම සිංහල පිරිස ඔවුන් වන බැවිනි. බිඳී විසිරී ගිය වමේ සමගියක් බස්නාහිර පළාත් සභා මැතිවරණයේදී වික‍්‍රමබාහු සහෝදරයාගේ මැතිවරණ ව්‍යාපාරය පාදක කරගෙන හෝ ඇති වීම බලාපොරොත්තුවේ පහන් දල්වන්නකි. එහි දේශපාලන වැදගත්කම වික‍්‍රමබාහු සහෝදරයාට වැටෙන ඡන්ද ගණනට වඩා බොහෝ වැඩිය.


අදහස් දක්වන්න
පුවත් පිටුවට
නිවහන් පිටුවට

© POWERED BY W3LANKA