W3lanka.com

NEWS IN
ENGLISH

භූමිය අල්ලාගැනීම හා හදවත් දිනාගැනීම

අජිත් පැරකුම් ජයසිංහ
‍ශ‍්‍රී ලංකා රාජ්‍යයේත්, එහි ආධිපත්‍යය හොබවන ප‍්‍රධාන වශයෙන් සිංහල බෞද්ධ වන ධනේශ්වර සහ සුළු ධනේශ්වර පංතීන්ගේත් දේශපාලනය මුළුමනින්ම වාගේ කැරකෙන්නේ කොටි සංවිධානයත්, එහි පදනම වූ දෙමළ ජනයාගේ රාජ්‍ය ප‍්‍රතිසංස්කරණ ඉල්ලීමත් යන දෙක වටායි. ඔවුන්ගේ ප‍්‍රමුඛ අරමුණ වන්නේ ලංකාවේ සිංහල බෞද්ධ-මූලික රාජ්‍යය හා එහි දූෂිත ආර්ථික යටිතලය නොවෙනස්ව රැුකගැනීමයි. දියුණු රාජ්‍යයක් හෝ දේශපාලන ප‍්‍රජාවක් කරා සංවර්ධනය වන මං පෙත් සෙවීම සඳහා කාලයක් හෝ උවමනාවක් හෝ හැකියාවක් හෝ මෙම පාලක කණ්ඩායමට ඇති බවක් ඔවුන් පෙන්වා නැත. කෙසේ වෙතත්, මැනැවින් සංවිධානය කරන ලද යුදමය වැඩසටහනක් ඔස්සේ වසර තුනක් ඇතුළත එල්.ටී.ටී.ඊ. සංවිධානය යුදමය වශයෙන් සහමුලින්ම පාහේ කොටු කිරීමට ඔවුහු සමත් වූහ. ඒ සමගම ලාංකීය දේශපාලනයේ සුසමාදර්ශයන් තීරණාත්මක ලෙස වෙනස් කිරීමටද ඔවුහු සමත් වූහ.

ලංකාවට රාජ්‍ය ප‍්‍රතිසංස්කරණයක් අවශ්‍ය වන්නේ අන් කිසිදු හේතුවක් නිසා නොව, පවත්නා රාජ්‍යයට තවදුරටත් තමන් විසින් පාලනය කරනු ලබන දේශපාලන ප‍්‍රජාව ප‍්‍රගතිය වෙත යොමු කිරීමට නොහැකි බැවිනි. සත්තකින්ම එහි ඉදිරි ගමන ඇණ හිටියේ මීට දශක ගණනාවකට ඉහතයි. සුළුතර ප‍්‍රජාවන් රාජ්‍යය සමග සාමකාමී සහජීවනයකට ඇතුළත් කරගැනීමට අසමත් වීම උච්චත්වයට පත් වූයේ දැවැන්ත දෙමළ සිංහල වාර්ගික යුද්ධයකිනි. එයින් දෙමළ විකල්ප රාජ්‍ය හමුදා තීරණාත්මක ලෙස පරාජය වී තිබේ. එහෙත් සිංහල පාලක පක්ෂය යුද්ධය දිනා ඇති බවක්ද ඉන් අදහස් නොවේ. එයට ප‍්‍රධාන හේතුව වන්නේ බලහත්කාරය හැර පරාජිත සුළුතර ජාතීන් රාජ්‍යය හා සම්බන්ධ කරගැනීමට වෙනත් වැඩපිළිවෙලක් ඔවුන් සතුව නැති බැවිනි. සුළුතර ජාතීන් රාජ්‍යය හා කිසි ලෙසකින්වත් තිරසර ලෙස සම්බන්ධ කර ගත නොහැක්කේද බලහත්කාරය ඔස්සේය.

රජය පවසන පරිදි දැන් හමුදා ප`භාකරන් කොටු කර හමාරය. ගුප්ත විශ්වාසයන් නොඅදහන ඕනෑම කෙනෙකුට ප‍්‍රභාකරන් ඕනෑම මොහොතක රජයේ දඩයමට ලක් විය හැකි බව තේරුම් ගැනීමට පුළුවන. එය එක්තරා ආකාරයකට ලංකාවේ දේශපාලනයේ ගුරුත්වාකර්ෂණය හිටිවනම නැති වී යාමක් වැනි විය හැක. ඔහු තරම් ශක්තිමත් සතුරෙක්, සත්තකින්ම, යළි නිර්මානය කරගැනීම ලංකාවේ දේශපාලකයන්ට ඉතා දුෂ්කර වනු ඇත. සිය සියලූ නොහැකියාවන් ආවරණය කරගැනීම සඳහා ත‍්‍රස්තවාදයට එරෙහි යුද්ධය නම් සළුව ඇඳගැනීමට සදාචාරය සැපයූ ප‍්‍රභාකරන් නොමැති අවකාශයක දුෂ්කරතාව වැඩිපුරම දැනෙනු ඇත්තේ ඔහුගේ සතුරන්ටයි.

පශ්චාත් යුද සමයේ ලංකාවේ රාජ්‍ය අර්බුදය නම් රජය පවසන ‘අභ්‍යන්තර ප‍්‍රශ්නය‘ දිගහැරෙනු ඇත්තේ දේශීය පොරම`ඩලක නොව ජාත්‍යන්තර එකකයි. මැයි 03, ‘ද වීක් සඟරාවට‘ ලියන ප‍්‍රභාකරන් සමග ළඟ සම්බන්ධයක් තිබුණු පුවත්පත්කලාවේදිනියක වන ඇනීටා ප‍්‍රතාප් මෙසේ පවසයි. ”අද ප‍්‍රභාකරන්ගේ තත්වය භයානකය. එහෙත් වාසනාවේ චක‍්‍රය එක තැන තිබෙන්නේ නැත. ලෝකය වෙනස් වෙමින් තිබේ. මෑත ඉතිහාසයේ බොහෝ නිශ්චයන් අලූත් සුළං විසින් රැගෙන යන අතර, නව අවස්ථා, අලූත් පෙළගැසීම් සහ සුසමාදර්ශයන් ලෝක වේදිකාව මත ස්ථාපනය වෙමින් තිබේ. ඈත ශ‍්‍රී ලංකාවේ දුරබැහැර අහුමුළුවලටද ඒවායේ බලපෑම බුරුලක් නොදැනෙන සේ එතෙනු ඇත.”

ලංකාවේ දේශපාලන වර්ධනයන් තියුණු ලෙස නිරීක්ෂණය කරන, ප‍්‍රභාකරන් හමු කීප වරක් හමු වී ඇති, කලින් ප‍්‍රවෘත්ති ඡායාරූප ශිල්පියෙකු වූද, දැන් පුවත්පත් කලාව සහ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ සිංගප්පූරු විශ්වවිද්‍යාලයක ඇදුරකුද වන ශ්‍යාම් ටෙක්වානි අපේ‍්‍රල් 25 හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පතට ‘කොටින්ගේ කාලක‍්‍රියාව දැන්ම නොලියනු‘ යි ලිපියක් ලියමින් මෙම කරුණ පිළිබඳ මෙසේ පවසයි. ”ඊලාම් සිහිනය අද වඩාත් දුරස්ථ ෆැන්ටසියක් බවට පත් වී තිබේ. එහෙත්, ඒ පිළිබඳ ඔහුගේ (ප‍්‍රභාකරන්ගේ) නෙවෙනස් පක්ෂපාතිත්වය විසින් සටන අඛණ්ඩව පවතින බව තහවුරු කරයි......... ඔහු අද වැඩි බලාපොරොත්තුවක් තබා තිබෙන්නේ දෙමළ විදෙස්ගත ප‍්‍රජාව කෙරෙහිය. 2006දී අවසන් ඊලාම් යුද්ධය දියත් කරමින් ඔහු සුවිශේෂයෙන්ම ආමන්ත‍්‍රණය කළ අට ලක්ෂයක් වූ මෙම දෙමළ විදෙස්ගත ප‍්‍රජාව අද ඔහුගේ කණ්ඩායමේ ජීවයයි. වෙනත් කිසිදු කැරැලි නායකයකු කිසිදු කලෙක කිරීමට අසමත් වූ ආකාරයකින් විදෙස්ගත ප‍්‍රජාව බලමුළුගැන්වීමට ප‍්‍රභාකරන් සමත් වී තිබේ.”

ලංකාවේ රජය ඉදිරියේ ඇති ප‍්‍රබලම අභියෝගය වන්නේ ඔවුන් ‘අභ්‍යන්තර ප‍්‍රශ්නයක්‘ යයි කියන මෙම ගැටළුව විසින් ජනිත කර තිබෙන ජාත්‍යන්තර යුද පෙරමුණයි. පරාජිත යයි කියන කොටි සංවිධානය විසින් මෙම පෙරමුණ ඉතා මැනැවින් හසුරුවනු ලබන බව සත්‍යයකි. එහෙත් ලංකාවේ කියන ආකාරයට මුළු මහත් බටහිරම කොටින් සමග අත්වැල් බැඳගෙන ඇතැයි සිතීම මුළාවකි. මේ බටහිර රටවල් පසුගිය කාලය මුළුල්ලේම කොටි සංවිධානය මර්දනය කිරීම සඳහා ලංකාවේ රජය ඉල්ලූ සෑම උපකාරයක්ම පාහේ කළහ. අද පවා ඔවුහු ලංකාවේ රජය කරන සියලූ රාජ්‍ය තාන්ත‍්‍රික නොපනත්කම්වලට, ක‍්‍රම විරෝධී කොටි සංවිධානය මර්දනය කිරීම සඳහා රජය කරන සාර්ථක යුද්ධය හේතුවෙන් සමාව දෙති. ලංකාවේ රජයට අද ප‍්‍රාණ නාලිය සපයන ‘ත‍්‍රස්තවාදයට එරෙහි යුද්ධය‘ නම් සංකල්පයද බටහිර නිර්මානයකි.

එහෙත්, ජනතාව විසින් දීර්ඝ කාලයක් තිස්සේ සටන් කර දිනා ගන්නා ලද ශක්තිමත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජ පදනමක් හා දේශපාලන සංස්කෘතියක් බටහිර රටවල පවතී. අන්ත දිළින්දන්ගේ සිට රාජ්‍ය පාලකයන් දක්වා බොහෝ ලාංකිකයන් මේ රටවල පදිංචියට යාමට සිහින දක්න්නේද, මහා විප්ලවවාදීන් පවා අභය පිණිස මේ රටවලට පළා යන්නේද එම රටවල ජනතාව විසින් දිනාගෙන තිබෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකම්වලට පිං සිදු වන්නටය. ජෝර්ජ් බුෂ්ගේ දේශපාලනය පරාජයට පත් කරමින් සිදු වූ ඔබාමාගේ බලයට පත් වීමෙන් සලකුණු වූ ලෝක සුසමාදර්ශීය වෙනස සමගම, මානව හිමිකම් හා ප‍්‍රජාතාන්ත‍්‍රික අයිතිවාසිකම් පිළිබඳ ගරු කරන ලෝක ජනමතයට නව ජවයක් ලැබී තිබේ. ලංකාවේ යුද්ධය විසින් ජනිත කර තිබෙන තියුණු මානුෂීය අර්බුදය පිළිබඳ දෙමළ විදෙස්ගත ප‍්‍රජාව කරන අරගළය මගහැර යාමට බටහිර ආණ්ඩුවලට හැකියාවක් නැත්තේ මෙම සංදර්භය තුළයි. දෙමළ මිනිසුන්ට එරෙහිව දිගින් දිගටම කෲරත්වය මුදා හැරීමට සිංහල ජනයාටත්, ඔවුන්ගේ ආණ්ඩුවටත් ‘නිදහස‘ නැත්තේ එහෙයිනි. බටහිරට කෙණහිලි කරමින්, බැණ අඬගසමින් හෝ අඬාදොඩා හෝ ඒ සඳහා හිමිකම් කීමට රජය උත්සාහ කිරීම නිරර්ථක ක‍්‍රියාවකි.

අනෙක් පැත්තෙන් සහමුලින්ම වනසා දමා ඇති වන්නියේ ආර්ථික හා සමාජ යටිතලය පුනරුත්ථාපනයට සහ ප‍්‍රතිසංස්කරණයට අරමුදල්ද රජය බලාපොරොත්තු වන්නේ ප‍්‍රධාන වශයෙන්ම බටහිරින්ය. ඒ මුදල් නොලදහොත් පුනරුත්ථාපනය හා ප‍්‍රතිසංස්කරණ කෙසේ වෙතත්, රුපියල අවප‍්‍රමාණ වීම හා විදේශ සංචිත අර්බුදයවත් පියමං කරගැනීමට රජයට හැකි වන්නේ නැත.

දෙමළ ජනයාගේ භූමිය අල්ලා ගැනීම සහ ඔවුන්ගේ හදවත් දිනාගැනීම යනු කාර්යයන් දෙකකි. රජය සිංහල ජනයා අතර කෙතරම් ජනප‍්‍රිය වුවත්, එය සුළුතර ජාතීන් වෙතින් කෙතරම් දුරස්ථද යන්න පසුගිය බස්නාහිර පළාත් සභා මැතිවරණයේ සන්ධානයේ ‘විශිෂ්ඨ‘ ජයග‍්‍රහණය විශ්ලේෂණය කර බැලූ විට පෙනේ. සුළුතර ජාතීන් වැඩිපුර ජීවත් වූ ආසන සියල්ලක්ම පාහේ සන්ධානය පරාජය වූ අතර සන්ධානය බස්නාහිර පළාතෙන් දිනූ ආසන 66කින් සුළුතර ජාතීන් නියෝජනය කරන අපේක්ෂකයන් තේරී පත් වී ඇත්තේ එකම එක් අයෙක් පමණි. කලූතර, ගම්පහ දිස්ත‍්‍රික්කවල සුළු ජාතික පක්ෂවලින් කිසිදු අපේක්ෂකයකු දිනා නැත. සමාජයක් ලෙස අප මෙසේ බෙදී වෙන් වන්නේ නම් භූමිය අල්ලා ගැනීමෙන් සිදු වන්නේ කවර යහපතක්ද?


Facebook සමග බෙදා ගන්න
මේ පිටුව ගැන කාට හරි කියන්න
අදහස් දක්වන්න
පුවත් පිටුවට
නිවහන් පිටුවට

© POWERED BY W3LANKA