W3lanka.com

NEWS IN
ENGLISH

රතිඤ්ඤා ගොළු වූ හා කිරිබත් පිළුණු වූ පසු

(W3Lanka, මැයි 20, 2009)
එල්.ටී.ටී.ඊ. සංවිධානයට එරෙහිව කළ යුද්ධයේ ජයග්‍රහණය ප්‍රකාශයට පත් කරමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුව හරහා රටත්, ලෝකයත් අමතමින් කරන ලද විචක්ෂණ ලෙස සකසන ලද කතාව මෑත ඉතිහාසයේ ලංකාවේ නායකයකු විසින් පවත්වන ලද ‍ඓතිහාසික වැදගත්කම අතින් ඉහළම මට්ටමේ එකක් බවට විවාදයක් නැත. යුද්ධයට අනුග්‍රහ දැක්වූ සිංහල ප්‍රජාවගෙන් එක් කොටසක් මහ මඟ දක්වන විසූක දස්සනවලට හාත්පසින්ම වෙනස් ගැඹුරු රාජ්‍යතාන්ත්‍රික ප්‍රවේශයක් එම දෙසුම තුළ විය. තමන් අමතන්නේ පරාජිත මානසිකත්වයකින් යුත් දෙමළ ප්‍රජාවකට බව ජනාධිපතිතුමා දැන සිටි බව පෙනේ. අදහස් ප්‍රචාරකයන් කුමක් කීවත් කොටි සංවිධානය යනු උතුරු නැගෙනහිරදෙමළ ජනයා විසින් නිර්මානය කරන ලද ඔවුන්ගේ සමාජ ව්‍යාපාරයක් බැව් ප්‍රතික්ෂේප කිරීම උගහටය. එසේම, එහි නායකත්වයද ඓතිහාසික අහම්බයකට වඩා ඓතිහාසික තත්වයන්ගේ ප්‍රතිඵලයකි. එහෙයින් කොටි සංවිධානයේ යුදමය පරාජය දෙමළ ජාතික ව්‍යාපාරයේ පරාජයක් වීම නොවැළැක්විය හැකිය.

කොටි සංවිධානය සිව්වන ඊලාම් යුද්ධය සඳහා අරමුදල් රැස් කරද්දී දෙමළ ජනයාට කීවේ මෙය අවසන් ඊලාම් යුද්ධය බවයි. එය එසේම වූ බව පෙනේ. එහෙත් අවසානය සලකුණු වූයේ ඔවුන් බලාපොරොත්තු වූ ජයග්‍රහණයකින් නොව පරාජයකින් හා දැවැන්ත විනාශයකිනි. කොටි නායකයාගේ මරණය නිවේදනය කිරීම‍ට පැය කීපයකට පෙර බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ රූපවාහිනියට අදහස් දක්වන එල්.ටී.ටී.ඊ. ජාත්‍යන්තර සම්බන්ධතා ප්‍රධානී සෙල්වරාසා පත්මනාදන් පැවසුවේ දෙමළ ප්‍රශ්නයට විසඳුම් සෙවීම සඳහා සාමකාමී මාර්ගයක් අනුගමනය කරන ලෙස සිය නායක ප්‍රභාකරන් අණ කළ බවයි. සෙල්වරාසා තම නායකයා සමග පැය හතරක පමණ කාලයක් කතා කළ බවද, ඉහත කී පණිවුඩය ඔහු ශ්‍රී ලංකා රජයට සහ ජාත්‍යන්තර පාර්ශ්වකරුවන්ට දැනුම් දුන් බවද, පිළිතුරක් බලාපොරොත්තුවෙන් සිටින බවද, එහෙත් තවම පිළිතුරක් හෝ යුද්ධය නැවැත්වීමට කෙනෙකු නොමැති බවද හේ පැවසීය. තුවක්කු නිහඬ කිරීමට, අවි බිම තැබීමට, සාකච්ඡා කිරීමට හෝ පෙනෙන්නට තිබෙන පරිදි යටත් වීමට කොටි නායකයා එකඟ වූයේ විනාශය ඇත්තෙන්ම වළක්වා ගැනීමට නම් ඒ සඳහා ප්‍රමාද වූවා වැඩිය. මේ උත්සාහය දැරිය යුතුව තිබුණේ මරණය හා සංවිධානයේ විනාශය අද්දර හිඳ නොව, සිවිල් වැසියන්ගේ හා කොටි සාමාජිකයන්ගේ ජීවිත සිය දහස් ගණනක් බේරාගැනීමට අවස්ථාව තිබුණු මොහාතකදීය. නොඑසේ නම් එක්සත් ජාතීන් හා බටහිර රාජ්‍යයන් හරහා ප්‍රකාශයට පත් වන ලිබරල් ධනවාදයේ ආචාරධාර්මික පරමාදර්ශ පද්ධතිය ප්‍රශ්න කෙරෙන තත්වයක් සිය අවසානයත් සමග නිර්මානය කිරීමට ඔහු උත්සාහ කළා විය හැකිය. ලංකාවේ යුද්ධය ධනවාදයේ කොල්ලකාරී යථාර්ථය හා ලිබරල් සාරධර්ම අතර ඝට්ඨනය මෑත කාලයේදී මතු කර පෙන්වූ කදිම නිදසුනකි. කොටි සංවිධානය වැනි ක්‍රම විරෝධී දේශපාලන ව්‍යාපාර පොඩිපට්ටම් කර දැමීමේ අවශ්‍යතාවත්, ඒ අතරතුර තමන් විසින් ප්‍රවර්ධනය කරන ලද මානව හිමිකම්, නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ පරමාදර්ශීය රාමුව රැක ගැනීමත් අතර ගැටුම මැද වඩා දක්ෂ ලෙස ක්‍රීඩා කළේ කොටි සංවිධානය නොව ලංකාවේ රජයයි. රජයද කොටි සංවිධානය තරමටම සම්ප්‍රදාය වි‍රෝධී වීමට තිබූ සූදානම මෙහිදී එල්.ටී.ටී.ඊ.ය හැම පෙරමුණකදීම අන්දමන්ද කළ බව පෙනේ. නිදසුනක් ලෙස නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ ජේන්ස් ආරක්ෂක සඟරාව සමඟ කරන ලද සම්මුඛ සාකච්ඡාවකදී මුහුදු කොටින් මෙල්ල කළ ආකාරය පිළිබඳ දක්වන අදහස් මෙසේය.

"ඔවුන් වඩා වේගවත් වූ අතර විශාල සංඛ්‍යාවන්ගෙන් පැමිණ ප්‍රහාර එල්ල කළහ. මුහුදු සටන්වලදී සතුරු යාත්‍රා 15කට පමණ හා සියදිවි නසාගැනීමේ ප්‍රහාරක යාත්‍රා 10කට පමණ මුහුණ දීම අපගේ ඩෝරා යාත්‍රාවලට ඉතා දුෂ්කර විය. එයට මුහුණ දීම සඳහා අප කුඩා බෝට්ටු සංකල්පයක් ගෙන ආ අතර, ඒවා යුදබිමේදී සංඛ්‍යාවෙන් එල්.ටී.ටී.ඊ. බෝට්ටු ඉක්මවා ගියහ. අපි තුන් වර්ගයක වෙරළාසන්න මුර යාත්‍රා නිෂ්පාදනය කළ අතර, රළු මුහුදේ විවිධ මට්ටම්වලදී ඒවාට ක්‍රියාත්මක විය හැකි විය." අශ්වබල 250 එන්ජින්වලින් හා මිලිමීටර් 14.5 හා 23 තුවක්කුවලින්ද, ස්වයංක්‍රීය බෝම්බ විදිනවලින්ද සන්නද්ධ මෙම මුර යාත්‍රා උපරිම වේගය සහ වෙඩි බලය සඳහා තනා තිබිණි. විශේෂ යාත්‍රා බලගණය හා ක්ෂණික විහිදුම් විශේෂ යාත්‍රා බලගණය නම් වූ විශේෂ පුහුණු භට පිරිස් විසින් මේවා මෙහෙයවන ලදී. "අපි මෙම බලගණයන් උපායික වශයෙන් වැදගත් ස්ථානවල ස්ථාපිත කළ අතර, ඒ සෑම තැනකම එවැනි ඒකක 25ක් 30ක් ඇත. කෙටි කාලයකදී අපට එම බලගණයක් එක් තැනක සිට තවත් තැනකට ගෙන යා හැකි අතර, සමහර සටන්වලදී අපි ඒකක 60ක් පමණ ඒකරාශී කළෙමු," යි අද්මිරාල් වසන්ත කරන්නාගොඩ පවසයි.

කෙසේ වෙතත්, සිය ජීවිතයම ඊලාම් රාජ්‍යයක් පිහිටුවීමේ සන්නද්ධ දේශපාලනය බවට පත්කරගෙන සිටි දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානයේ නායක වේලුපිල්ලෛ ප්‍රභාකරන් ඒ අරමුණ වෙනුවෙන්ම අවසානය දක්වා සංග්‍රාම භූමියේ රැඳී සිටිමින් සටන් කර තම ජීවිතය කැප කළේ අරගළයට තර්කානුකූල අවසානයක් සනිටුහන් කරමින් බව පෙනේ. ලංකාවේ පොළවේ එල්.ටී.ටී.ඊ. දේශපාලනයේ හිස සුන් කර දැමීමත් සමඟ එයට යළි පැරණි ස්වරූපයෙන් නැඟී සිටීමට ඇති ඉඩකඩ අවමය. දෙමළ විදෙස්ගත ප්‍රජාවට පළි ගැනීමේ චේතනාව ප්‍රවර්ධනය කිරීමට හැකි වුවද, එය ලංකාවේ පොළවේ භෞතික සටනක් බවට පත් කිරීම අතිශය දුෂ්කරය. ජාත්‍යන්තර ප්‍රජාව හමුවේ තම ඉල්ලීම් සාධාරණීකරණය කරගැනීම සඳහා සිංහල ජනයා ජාතික අන්තවාදයේ කෙළවරට තල්ලු කිරීමේ වැරදි දේශපාලන උපායමාර්ගය දෙමළ දේශපාලන බලවේග විසින් දැන්වත් අත්හළ යුතුව තිබේ. දෙමළ ජනයාට මේ මොහොතේ ඇති හොඳම විකල්පය වන්නේ සිංහල දේශපාලන ප්‍රජාව සමඟ හරවත් සංවාදයක් ආරම්භ කිරීමයි. තම ඉල්ලීම පිළිබඳව සාකච්ඡා කිරීමේදී ජාත්‍යන්තර ප්‍රජාව හෝ රජයට වඩා දෙමළ ජනයාට වැදගත් වන්නේ සිංහල ජනයා බව දැන්වත් අවබෝධ කරගත යුතුව තිබේ.

ප්‍රශ්නයට විසඳුමක් දිය යුතු බව හා එය දේශීයව සංවර්ධනය කර ගත යුතු බව ජනාධිපති මහින්ද රාජපක්ෂ සිය දේශනයෙහිදී පැවසීය. මෙය හොඳ ප්‍රතිපත්තිමය ස්ථාවරයකි. ‍මක් නිසාද යත් ලංකාවේ දෙමළ ජනයාගේ අනාගතය ඇත්තේ කොටි සංවිධානය සිය අවසන් නිවේදන මගින් පවරන ආකාරයට ජාත්‍යන්තර ප්‍රජාව අත තබා අඩු තරමේ තමිල්නාඩුවේ දෙමළ ජනයා අතවත් නොවේ. මේ කිසිවෙක් ලංකාවේ දෙමළ ජනයාගේ සරණට ආවේ හෝ එන්නේ නැත. මේ ප්‍රශ්නය විසඳා ගත යුත්තේ අප අපමය. ලෝකය කරන්නේ අප දෙස බලා සිටීමයි. එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශක ඉයන් කෙලී පැවසූ පරිදි අර්බුදයේ අවසානය ශ්‍රී ලංකාවට අතීත පිටුව පෙරළා ප්‍රජාතන්තවාදය, ඉවසීම, ගෞරවය හා මානව හිමිකම්වලට ගරු කිරීම මත පදනම් වූ රටක් සෑදීමට අවස්ථාවකි. "සියලු ශ්‍රී ලාංකිකයන්ගේ හිමිකම් ආරක්ෂා වන හා ප්‍රවර්ධනය වන දේශපාලන සැකැස්මක් නිර්මානය කිරීම සඳහා දෙමළ, සිංහල සහ වෙනත් ශ්‍රී ලාංකිකයන් සහභාගි කරගැනීමට දැන් කාලය බව" හේ කීය.


Bookmark and Share

Facebook සමග බෙදා ගන්න
අදහස් දක්වන්න
පුවත් පිටුවට
නිවහන් පිටුවට

© POWERED BY W3LANKA