|
|||||||||||||||
|
ලාංකීය ධනවාදයට අවස්ථාවක් (W3Lanka, මැයි 31, 2009) ලෝකයේ සමස්ත ඉතිහාසය සාරාංශගත වන කරුණක් මෙසේයි. ජාතීන් ශක්තිමත් වන විට ඔවුහු හැමවිටම යුක්තිගරුක නොවෙති. ඔවුන් යුක්තිගරුක වන්නට සිතන විට ඔවුහු තවදුරටත් ශක්තිමත් නොවෙති. -වින්ස්ටන් චර්චිල් (දෙවන ලෝක යුද සමයේ බි‍්‍රතාන්‍යයේ අගමැති) අප පසු කරමින් සිටින අවධිය වනාහි ලාංකීය ඉතිහාසයේ ධනවාදය වඩාත්ම ශක්තිමත් වූ අවධියයි. ශ‍්‍රී ලාංකික ධනේශ්වර රාජ්‍යයට තීරණාත්මක ලෙස අභියෝග කළ පීඩිත පංති ව්‍යාපාර දෙකක් ලංකාවේ තිබිණි. ඒ වනාහි දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය සහ ජනතා විමුක්ති පෙරමුණයි. ජවිපෙ 1989දී ධනේශ්වර පංතියේ මර්දනයකට ලක් වූ ආකාරයටත් වඩා කෲර ස්වරූපයකින් කොටි සංවිධානය මර්දනයට ලක් වී ඇති බවද, එහි සංවිධානමය පදනම මුලිනුදුරා ඇති බවද පිළි නොගන්නේ ජාතිකවාදයෙන් අන්ධ වූ සීමිත පිරිසක් පමණි. පංති අරගළය මත මූලික වශයෙන් පදනම් වන ව්‍යාපාරයක් වන ජවිපෙ, යථාර්ථයට මුහුණ දෙමින් 1989 මර්දනයෙන් පසු නව ස්වරූපයකින් යළි නැඟී සිටීමට සමත් විය. කොටි සංවිධානය අර්බුදයට කෙසේ මුහුණ දෙන්නේදැයි අපි නොදනිමු. සෑම ඉතිහාසයක්ම සමාජ සංවර්ධනයේ විවිධ අවධිවලදී අධිපති පංතීන් අතර පංති අරගළවල ඉතිහාසයක් බව ෆ්‍රෙඞ්රික් එංගල්ස් පවසා තිබේ. දෙමළ පීඩිත පංතීන්ගේ හා කුලවල ආධිපත්‍යයෙන් දියත් වූ දෙමළ ජාතික අරගළය ශ‍්‍රී ලාංකීය ධනේශ්වර රාජ්‍යයට එල්ල වූ ප‍්‍රබලම අභියෝගය වන අතර එය මේ වන විට මුළුමනින්ම මර්දනය කර හමාරය. ඒ සමගම, වෙන් වූ දෙමළ ජාතික රාජ්‍යයක් ගොඩනැඟීම සඳහා කරන ලද උත්සාහයද පරාජය වී තිබේ. ජාතික ප‍්‍රශ්නය මෙම දිවයිනේ නිවැසි ප‍්‍රධාන වශයෙන් කාන්තාවන් වන කම්කරුවන් (වතු කම්කරුවන්, ඇඟලූම් කම්කරුවන්, මැද පෙරදිග ගෘහ සේවිකාවන් ආදීන්) වෙතින් සූරාගනු ලබන අතිරික්ත ශ‍්‍රමයේ වටිනාකම හා ස්වභාවික සම්පත් නිර්දය ලෙස සූරාකෑමෙන් ලබා ගන්නා ලාභය බෙදාගැනීමේ පදනම නිර්ණය කරගැනීම සඳහා වන සිංහල, දෙමළ ධනේශ්වර පංතීන් අතර අරගළයක් ලෙස ඇරඹුණු අතර, සිංහල ධනේශ්වරය ව්සින් ජාතික හිමිකම් අහිමි කරන ලද පීඩිත දෙමළ ජනකොටස් පසුකාලීනව මෙම අරගළයේ ආධිපත්‍යය සියතට ගත්තේ දෙමළ ධනේශ්වරය හා සුළු ධනේශ්වරයේ ඉහළ ස්ථරය විස්ථාපනය කරමිනි. ඒ සමඟම දෙමළ අරගළය ජාතික අරගළයක මෙන්ම ධනවාදයට එරෙහි අරගළයකද මාන එක් කරගනිමින් වර්ධනය විය. මර්දනයට ලක් වී මුලිනුපුටා දැමුණේ දෙමළ අරගළයේ මෙම පීඩිත මානයයි. දකුණේ ජවිපෙ වෙතින් එල්ල වන දුබල ප‍්‍රතිරෝධය හැර, වෙනත් අභියෝගයක් ලාංකීය ධනවාදයට දැන් නැත. ධනවාදයට දැන් අභියෝගය තිබෙන්නේ ක‍්‍රමයේ පැවැත්ම සඳහා අර්බුද සමයේ ප‍්‍රවර්ධනය කරන ලද ජාතිකවාදී, කුලවාදී හා ගෝත‍්‍රවාදී අගතීන්ගෙන්ය. ශක්තිමත් ධනේශ්වර පාලකයකු ලෙස දීප්තිමත් අනාගතයකට උරුම කිව හැකි තත්කාර්යවාදී නායකයකු වන මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට වැඩවසම් රජ ඇඳුම් ඇන්දවීමට දරන ප‍්‍රයත්නය අද ඔහුට ඇති සත්‍ය අභියෝගයයි. ධනවාදයට එරෙහිව සටන් කිරීම සඳහා ජාතිකවාදයේ සරණ ගිය ක‍්‍රම විරෝධී බලවේගද අද එම පසුගාමී අදහස් නියමින් හෝ අනියමින් ප‍්‍රවර්ධනය කරන තත්වයකට පත්ව සිටින්නේ ඒ ඔස්සේ සිය අරමුණු සාක්ෂාත් කරගැනීමට හැකි වෙතැයි ඔවුන් සිතන බැවිනි. කොටි සංවිධානය මුලිනුපුටා දැමීම හරහා ධනවාදය විසින් විවෘත කරගෙන ඇති අවකාශය සමාජ, ආර්ථික, දේශපාලන වශයෙන් ගත් කල අතිශය පුළුල් එකි. තව වසර කීපයකින් නාවික සැතපුම් 1100ක් දුරට පුළුල් වන ලංකාවේ බාහිර ආර්ථික සමුද‍්‍ර කලාපය, එහි ඇතැයි අනුමාන කරන පෙට්‍රෝලියම් ඇතුළු ඛනිජ හා වෙනත් ස්වභාවික සම්පත්, වන්නියේ තැනිතලාවල ස්වාභාවික සම්පත්, නෑඹුල් පොළව, කෘෂිකාර්මික ශ‍්‍රම බලකාය, මිළ අඩු ශ‍්‍රමික ගහණය, ඉංග‍්‍රීසි භාෂාමය හා තොරතුරු තාක්ෂණාදී දැනුමින් පරිපූර්ණ දෙමළ මධ්‍යම පංතික ශ‍්‍රම සම්පත්, විදෙස්ගත දෙමළ ප‍්‍රජාවේ ධනේශ්වර කොටස් වෙතින් ලබාගත හැකි ආයෝජන ආදී කලාපයන් රැුසක් අලූතින් විවෘත වී තිබේ. අනෙක් පැත්තෙන් ආයෝජන ගෙන්වා ගැනීම, සංචාරක කර්මාන්තය නැංවීම හා ජාත්‍යන්තර වෙළඳ මධ්‍යස්ථානයක් හා අසල්වැසි ඉන්දියාවේ වේගයෙන් වර්ධනය වන ආර්ථිකයට සේවා මධ්‍යස්ථානයක් බවට පත් වීම වැනි කරුණුවලදී අවශ්‍ය ආර්ථික සාමයද තහවුරු කරගැනීමේ හැකියාව තිබේ. මෙම පසුබිම තුළ යම් ප‍්‍රගතිශීලී කාර්යභාරයක් ඉටු කිරීමේ හැකියාවක් ලාංකීය ධනවාදයට තිබේය යන යෝජනාව සංවාදය සඳහා අපි ඉදිරිපත් කරමු. විශේෂයෙන්ම දෙමළ, මුස්ලිම් ආදී සුළුතර ප‍්‍රජාවන්ගේ දේශපාලන හා සංස්කෘතික හිමිකම් තහවුරු කෙරෙන රාජ්‍ය ප‍්‍රතිසංස්කරණයක් කිරීමේ හා ධනේශ්වර ප‍්‍රජාතන්ත‍්‍රවාදය යළි ස්ථාපිත කිරීමේ හැකියාවක් ලාංකීය ධනවාදයට තිබේය යන යෝජනාවද අපි ඉදිරිපත් කරමු. සිංහල ආධිපත්‍යවාදයට පර්යාය පදයක් වූ ශ‍්‍රී ලාංකිකත්වයක් වෙනුවට සැබෑ ශ‍්‍රී ලාංකික ජාතියක් ගොඩනැඟීමේ අවස්ථාවක් ලාංකීය ධනවාදය හමුවේ විවෘත වී තිබේ. එහෙත්, මෙම කටයුතු සම්පූර්ණ කරගත හැකි වන්නේ ප‍්‍රතිභාවන්ත, සුධීමත් ධනේශ්වර නායකත්වයක් බිහි කරගැනීමට ලාංකීය ධනවාදය සමත් වේ නම් පමණි. අතීතයේ ඉතිහාසයට වඩා අනාගතයේ සිහිනවලට තමන් කැමති බව 1776 එක්සත් ජනපද නිදහස් ප‍්‍රකාශනයේ ප‍්‍රධාන කතුවරයා හා එරට තුන්වන ජනාධිපතිවරයා වූ තෝමස් ජෙෆර්සන් වරක් පැවසීය. පරාජිත අරගළවල සිහින තුළ එල්බ සිටීමෙන් ලාංකීය දේශපාලන ප‍්‍රජාවට අත් වන සෙතක් නැති බව අපේ අදහසයි. අද අවශ්‍ය වන්නේ අලූත් තත්වයන් හා අනුකූලව වඩා යහපත් සමාජයක් සඳහා වූ පීඩිතයන්ගේ අරගළ යළි ව්‍යූහගත කරගැනීමයි.
අදහස් දක්වන්න පුවත් පිටුවට | නිවහන් පිටුවට ¤ W3lanka පුවත් විද්‍යුත් තැපෑලෙන් ලබාගන්න ¤ RSS News Feed හා එක්වන්න |
|
|||||||||||||
|
© POWERED BY W3LANKA |
|||||||||||||||