W3lanka.com

NEWS IN
ENGLISH

පශ්චාත් එල්.ටී.ටී.ඊ. සමයේ ප්‍රජාතන්ත්‍රවාදය

(W3Lanka, ජුනි 14, 2009)
පශ්චාත් එල්.ටී.ටී.ඊ. සමයේ ලංකාවේ ධනවාදයේ මධුසමය ඇරඹී තිබේ. රජය බටහිරත් සමග ඇති අරෝවේ ප්‍රතිඵලයක් ලෙස ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය තව දුරටත් පමා වෙමින් ඇති නමුදු පුනරුත්ථාපන හා ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් ඉන්දියාවෙන්, චීනයෙන්, එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ලැබෙන ආධාර සමග ගෙවුම් ශේෂ අර්බුදය තාවකාලිකව සමනය කරගෙන ආර්ථිකය පවත්වාගෙන යාමට රජය සමත් වී තිබේ. රජය ඉදිරි කාලයේදී තවත් පුනරුත්ථාපන හා ප්‍රතිසංස්කරණ ආධාර බලාපොරොත්තුවෙන් සිටියි.

ජෝර්ජ් සෝරෝස්, මාක් මෝබියස් වැනි ඉහළ පෙළේ අරමුදල් කළමනාකරුවන් ආයෝජන සඳහා කැඳවාගැනීමට ලංකාවට උවමනා වී තිබෙන බව බ්ලූම්බර්ග් පුවත් සේවය වාර්තා කළේය. ජිම් රොජර්ස් නම් ආයෝජකයා, කොටි නායකත්වය මුලිනුපුටා දමා පැය ගණනකින්, මැයි 21 දින පැවසුවේ ලංකාවේ "අපූරු අවස්ථා" ඇති බවයි. නාට්‍යමය වෙනස්වීම්වලින් පසුව "දැවැන්ත, ලාභදායී" අවස්ථා සොයාබැලීමට ලංකාවට එන්නට කැමති බව ඔහු පැවසූවේ යයි බ්ලූම්බර්ග් වාර්තා කළේය. මේ අතර, විනිමය හා සුරැකුම්පත් කොමිෂමේ අධ්‍යක්ෂ ජනරාල් චන්න ද සිල්වා පවසන්නේ කොළඹ කොටස් වෙළඳපොළ මාස තුනක් ඇතුළත යාපනයේ කාර්යාලයක් ආරම්භ කරන බවයි. අරලියගහ මන්දිරයට ගොස් ජනාධිපතිවරයා බැහැ දුටු දෙමළ ව්‍යාපාරික හා ආගමික ප්‍රජාවේ නියෝජිත පිරිසක් ඔහුට සහාය පළ කළහ. ජනාධිපතිවරයා මෙහිදී දෙමළ බසින් කතාවක් පැවැත්වූ අතර ඔහුගේ වාක්‍යයෙන් වාක්‍යය‍ට අත්පොළසන් දුන් ව්‍යාපාරිකයෝ කතාව අවසානයේ නැඟී සිට ආචාර කළහ.

රජය කොළඹ වරායේ ධාරිතාව සිංගප්පූරු වරායේ මට්ටමට ගෙන ඒම සඳහා තුන් අවුරුදු සංවර්ධන සැලැස්මකට අත ගසා තිබේ. සංචාරක ව්‍යාපාරය වැනි තවත් අංශ රැසක් කෙරෙහිද අවධානය යොමු වී තිබේ. මේ අතර, නව ලිබරල්වාදී ආර්ථික ප්‍රතිපත්තිය වූ පෞද්ගලික අංශය සංවර්ධනයේ යන්ත්‍රය බවට පත් කිරීම වෙනුවට ශක්තිමත් රාජ්‍ය අංශයක් නඩත්තු කිරීම ප්‍රතිපත්තිය කර ගත් මහින්ද රාජපක්ෂ රජයට පසුගියදා ලොතරැයි දිනුමක් ඇද දීමට ජනාධිපති උපදේශක වාසුදේව නානායක්කාර සමත් විය. ඒ දූෂිත පෞද්ගලීකරණ ගනුදෙනුවක් වූ රක්ෂණ සංස්ථාව විකිණීමේ ක්‍රියාවලියට එරෙහිව ගොනු කරන ලද නඩුවේ තීන්දුවෙනි. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව හැරී ජයවර්ධනට විකිණීම නීති විරෝධී බව ප්‍රකාශ කරමින් එය ආපසු පවරා ගන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව සමගම පෞද්ගලික රෝහල් තුනක හා බැංකු දෙකක වැඩි අයිතිය රජයට හිමි වී තිබේ. රක්ෂණ සංස්ථාව ඇපලෝ රෝහල හිමි ලංකා රෝහල් සමාගමේ කොටස්වලින් 53.8%ක්ද, ආසිරි රෝහලේ කොටස්වලින් 27%ක්ද, ආසිරි ශල්‍ය රෝහලේ කොටස්වලින් 19%ක්ද හිමිව ප්‍රධාන කොටස්කරුවා වී සිටි අතර දැන් එම තත්වය මහා භාණ්ඩාගාරයට හිමි වී තිබේ. රක්ෂණ සංස්ථාව, ඩිස්ටිලරීස් සමාගම හා හැටන් නැෂනල් බැංකුව සතු කොටස් හරහා හැරී ජයවර්ධන DFCC බැංකුව පාලනය කළේය. රක්ෂණ සංස්ථාවට හිමි 11.23% සහ ලංකා බැංකුවට හිමි 14.55% සමග දැන් විශාලම කොටස් හිමිකරුවා වන්නේ මහා භාණ්ඩාගාරයයි. රක්ෂණ සංස්ථාවේ අරමුදල් විසින් කොමර්ෂල් බැංකුවේ කොටස් 9.59%ක් අයිති කරගෙන සිටි අතර, ඒවා රජයට හිමි වීමත් සමග හැරීගේ ව්‍යාපාරික අධිරාජ්‍යයේ ආධිපත්‍යය කොමර්ෂල් බැංකුවෙන්ද ගිලිහිණි. යළි විකුණන්නට වුව දේපල සමුදායක් දැන් රජය සතු වී තිබේ.

එල්.‍ටී.ටී.ඊ. සංවිධානය මර්දනය කිරීමෙන් අනතුරුව සංහිඳියාව ඇති කරන ලෙස විශේෂයෙන් බටහිරින් ඉදිරිපත් වී තිබෙන ඉල්ලීම කෙරෙහි රජය අවධානයක් යොමු කර ඇති බවක් නොපෙනේ. දීර්ඝ කාලීන දෙමළ අරගළයකට හේතු වූ දේශපාලන ගැටළුවලට විසඳුම් ලබා දීම සංහිඳියාව සඳහා මූලික අවශ්‍යතාවකි. දේශපාලන විසඳුම පිළිබඳ යම් කතිකාවක් සර්ව පාක්ෂික නියෝජිත කමිටු යෝජනාවලිය පිළිබඳ තොරතුරුත් සමග ඇති වී තිබෙන මුත්, රජයේම තවත් මුඛයක් වන ජාතික නිදහස් පෙරමුණ එයට විරුද්ධව නඟන හඬ සමග එයද අවිනිශ්චිත තත්වයකට පත්ව තිබේ. මෑතදී කොළඹදී පැවති නීතිඥ එච්. එල්. ද සිල්වා සමරු වැඩසටහනේදී විමල් වීරවංශ කීවේ ‍ඊලාම් රාජ්‍යයක් වෙනුවෙන් සටන් කළ ප්‍රභාකරන් මරා දමනු ලැබුවේ ෆෙඩරල්වාදයත් පරාජය කරමින් බවයි. ඔහු වැඩිදුරටත් කී පරිදි ආරක්ෂක හමුදාවල ජයග්‍රහණය අවතක්සේරු කරමින් තිස්ස විතාරණ හෝ වෙනත් කෙනෙකු ෆෙඩරල්වාදය ව්‍යාප්ත කිරීමට උත්සාහ කළහොත් ඒ අයගේද ඉරණම ප්‍රභාකරන්ගේ වැනි වනු ඇති බවයි. ජාතික ප්‍රශ්නයට විසඳුම් යෝජනා කිරීම පිණිස ජනාධිපතිවරයා විසින් පත් කරන ලද සර්ව පාක්ෂික නියෝජිත කමිටුව විසින් ගෙන එන්නට යන්නේ ෆෙඩරල් අදහසට කිසි සේත්ම ළං නොවන ‍ඒකීය රාජ්‍යය තුළ සාමාන්‍ය බලය විමධ්‍යගත කිරීමකි. පළාත් සභා සහ මධ්‍යම රජය අතර බලය සමගාමී බලතල ලැයිස්තුව ඉවත් කර, බලතල පැහැදිලිව බෙදා වෙන් කර ගැනීම වැනි වර්ධනයන් කීපයක් එමගින් යෝජනා කෙරේ. එහෙත්, ජනාධිපතිවරයා‍ගේ ළඟම හිතවතකු වන විමල් වීරවංශ ජුනි 09දා පාර්ලිමේන්තුවේදී පැවසුවේ සර්ව පාක්ෂික නියෝජිත නමිටුව විසුරුවා හැරිය යුතු බවයි.

සංහිඳියාව සඳහා මහන්සි වීම වෙනුවට රජය අවධානය යොමු කර තිබෙන්නේ යළි කැරැළි ඇති වීමට ඉඩක් ඇති නොවන පරිදි ආරක්ෂාව තර කිරීම කෙරෙහිය. කොටි සංවිධානයේ විනාශයත් සමග දැඩි ලෙස පරාජිත තත්වයකට ඇද වැටී තිබෙන දෙමළ සමාජයට තම හඬ රට තුළදී මතු කිරීමට අවස්ථාවක් නොලැබෙන අන්දමින් දෙමළ දේශපාලනයේ ස්වාධීනත්වය යටපත් කර දැමීමට රජය සමත් වී තිබේ. එහෙත්, මෙය දීර්ඝ කාලීනව සාර්ථක උපාය මාර්ගයක් වන්නේ නැත. ප්‍රජාතන්ත්‍රවාදී දෙශපාලන අවකාශය තුළ ස්වාධීන දේශපාලනයක් සඳහා දෙමළ ජනයාට අවකාශය විවර කර නොදුන්නොත් කොටි සංවිධානය වැනි හෝ ඊටත් වඩා ප්‍රචණ්ඩ ව්‍යාපාරයකට යළි මතු වීම සඳහා හේතු ඉතිරි වනු ඇත. කොටි සංවිධානය ඉවත් කර දමනු ලැබීමත් සමග දෙමළ ජාතිකවාදී දේශපාලනය තියුණු පරාජයකට ගොදුරු වී තිබෙන මුත්, සෑම කළු වළාකුළකම රිදී රේඛාවක් ඇත්තා සේ දෙමළ සමාජයට ප්‍රජාතන්ත්‍රවාදය ස්පර්ශ කිරීමේ අවස්ථාවක්ද හිමි වී තිබේ. කොටින්ගේ ආධිපත්‍යය හා සිවිල් යුද්ධය තුළ දෙමළ ජනයාට දකුණේ ජනයා භුක්ති විඳි ආකාරයේ ප්‍රජාතන්ත්‍රවාදයක්වත් හිමි වූයේ නැත. දකුණේ ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සීමා කරන්නටද යුද්ධය ආවරණයක් විය. ඒ සිවිල් යුද්ධය කොටි සංවිධානයේ පරාජයත් සමග අවසන් වී තිබේ. ඒ සමගම දෙමළ ජාතික අන්තවාදයද පරාජයට පත් වී ඇත. එකිනෙකා අනෙකා කරගෙන එකිනෙකාගෙන් පෝෂණය වෙමින් ලාංකීය සමාජය මත පිළිලයක් ලෙසින් වර්ධනය වෙමින් තිබූ සිංහල - දෙමළ ජාතික අන්තවාදයන් දෙකටම මෙම නව තත්වය තුළ පැවැත්මක් නැත. මෙවැනි පසුබිමක් තුළ ප්‍රගතිශීලී දේශපාලන බලවේගවල වගකීම වන්නේ යුද සමයේ සීමා කරන ලද ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය පුළුල් කරගැනීම සඳහා අරගළ කිරීමයි.


Bookmark and Share

RSS icon
Facebook සමග බෙදා ගන්න
අදහස් දක්වන්න
නිවහන් පිටුවට | ඉංග්‍රීසි පිටුවට
¤ W3lanka පුවත් විද්‍යුත් තැපෑලෙන් ලබාගන්න
¤ RSS News Feed හා එක්වන්න

© POWERED BY W3LANKA