|
|||||||||||||||
|
කොටින්ගේ පාරජාතික පාලනය හා පොළවේ යථාර්ථය (W3Lanka, ජුනි 28, 2009) දේශීයව යුදමය වශයයෙන් පරාජය කරන ලද දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානයේ විදෙස්ගත ප්‍රජාවේ ඉතිරි බලවේග අලුත්ම සංකල්පයක් වන පාර ජාතික පාලනයක් පිළිබඳ අදහසක් ඉදිරිපත් කරති. සත්කාරක රටක් අවශ්‍ය වන, රටින් පිට පිහිටුවනු ලබන ආණ්ඩුවක් යන සම්ප්‍රදායික සංකල්පයට වඩා මෙය වෙනස් බව ඔවුහු කියති. සත්‍යය නම් ඊලාම් දෙමළ ජනයාගේ රටින් පිට ආණ්ඩුවක් සඳහා කිසිදු රටක් සත්කාරක රාජ්‍යයක් වෙතැයි අපේක්ෂා කළ නොහැකි වීමයි. "කාලයේ අවශ්‍යතාව වන්නේ පවතින යටිතලය ප්‍රජාතන්ත්‍රවාදී හා ඇතුළත්කාරී පාර ජාතික ආණ්ඩුවක් බවට රූපාන්තරණය කර මව් රටේ ඊලාම් දෙමළ ජනයාගේ නිදහස සහ ස්වෛරීත්වය දිනාගැනීමේ අරමුණ සාක්ෂාත් කරගැනීම සඳහා ඇති ජාත්‍යන්තර අභියෝගවලට ජාත්‍යන්තරව මුහුණ දීම සඳහා ඊලාම් දෙමළ ජනයා සමාජ, ආර්ථික හා සංස්කෘතික වශයෙන් සවිමත් කිරීම" බව ටැමිල්නෙට් වෙබ් අඩවිය පවසයි. මෙහි 'පවතින යටිතලය' යන්නෙන් අදහස් කරන්නේ කොටි සංවිධානයේ සමාජ ජාලය, ප්‍රචාරණ සහ බලපෑම් කිරීමේ හා ආධාර එකතු කිරීමේ යාන්ත්‍රණ බව සිතිය හැකිය. දෙමළ විදෙස්ගත ප්‍රජාව හා නිජබිමේ දෙමළ ජනයා අතර තත්වයන්ගේ වෙනස ප්‍රදර්ශනය කරමින් ටැමිල්නෙට් මෙසේ කියයි. "කොළඹ සහ දිල්ලියේ 'ආක්‍රමණිකයන්ගේ' යථාර්ථයට මුහුණ දීමට සිදු වන අයට පැවැත්ම සඳහා (එසේ) කළ හැකි අතර විදෙස්ගත ප්‍රජාව තුළ සමාන්තරව පාර ජාතික ආණ්ඩුවක් තිබිය යුත්තේ යටත් කර ගත නොහැකි වූ ඊලාම් දෙමළ ජනයාගේ ජීවගුණය නඟා සිටුවීමට, නිජබිමේ දෙමළ ජනයාගේ දේශපාලන ක්‍රියාමාර්ගවලට සහාය දීමට හා ඊලාම් දෙමළ දේශපාලනය වෙනත් අය විසින් පැහැර ගැනීමක් සිදු නොවන බවට වග බලා ගැනීමටයි. ස්වදේශික දෙමළ ජනයා විවෘතවම පාර ජාතික ආණ්ඩුවට අඩංගු කර ගැනීම අවශ්‍ය නොවන මුත් එකිනෙකා අතර සහයෝගයෙන් ක්‍රියා කිරීමක් තිබිය යුතුය." මේ සඳහා හදිසි නොවිය යුතු බව කියන ටැමිල්නෙට් පවතින යටිතලයේත් ඉන් බැහැර කවවලත් එකඟත්වය ඒ සඳහා අවශ්‍ය බව කියයි. පවතින යටිතලයේ අණ කිරීමේ ව්‍යූහය නියෝජන ව්‍යූහයක් කරා රූපාන්තරණය කිරීමේ සුවිසල් වගකීමක් ඔවුන් සතු බව ටැමිල්නෙට් පවසයි. මෙයින් අදහස් කරන්නේ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ යුදමය ව්‍යූහයේ පූර්ණ පරිවර්තනයකි. යෝජනාව ක්‍රියාත්මක කිරීම පිළිබඳව ටැමිල්නෙට් කර්තෘ මණ්ඩලය මෙසේ කියයි. " වඩුක්කොඩෛ මූලධර්ම යළි තහවුරු කිරීම, මුලින් ව්‍යවස්ථාදායක සභාවක් වන මන්ත්‍රණ සභාවක් සඳහා ජාතික හා ගෝලීය මට්ටමෙන් නියෝජිතයන් තෝරා පත් කරගැනීම, එයින් විධායකයක් තොරා පත් කරගැනීම ගත හැකි පියවර වේ. ඊලාම් දෙමළ ජනයා අතර, හැකි තරම් බිම් මට්ටමේ ප්‍රජාතාන්ත්‍රික සංවිධාන පිහිටුවීමද යෝග්‍ය වන අතර ඒවා විසින් කළ යුත්තේ වත්මන් අවාසනාවන්ත තත්වයේ විවිධ පැතිකඩවලට මුහුණ දීමයි. පාර ජාතික පාලනයක උපරිව්‍යූහයේ ප්‍රජාතාන්ත්‍රික ස්වභාවය චිරස්ථායී කිරීම හා සුරක්ෂා කිරීම පිණිස එවැනි බිම් මට්ටමේ ආයතන උපකාරී වේ." සාර්ථක වුවහොත් හා කාලය විසින් ඉල්ලා සිටිනු ලැබුවහොත්, මෙම පාරජාතික ආණ්ඩුවට රටින් පිට ආණ්ඩුවක් බවටද පත් විය හැකි බව ටැමිල්නෙට් පවසයි. පරාජයත් සමග එල්.ටී.ටී.ඊ. සංවිධානය සිය අභ්‍යන්තරය ප්‍රශ්න කර ගන්නා තත්වයකට තල්ලු වීම සාධනීය තත්වයකි. එහෙත්, සිය මුළු ඉතිහාසය පුරාම, තනි පුද්ගල යයි සිතිය හැකි මධ්‍යම අණ දෙන මූලයක් විසින් මෙහයවන ලද සංවිධානයකට ප්‍රජාතන්ත්‍රවාදය වෙත රූපාන්තරණය වීම පහසු කාරණයක් නොවේ. මෙය බොහෝවිට වත්මන් අර්බුදය පියමං කරගැනීම හා සංවිධානය විසිරී යාම වළක්වාගැනීම සඳහා දරණ ප්‍රයත්නයක් විය හැකිය. විදෙස්ගත දෙමළ ප්‍රජාව මෙවැනි චලනයක සිටිද්දී ලංකාවේ දෙමළ නායකයන් ගමන් කරමින් සිටින්නේ වෙනත් අතකටයි. දෙමළ ජාතික සන්ධානයේ රැඩිකල් මන්ත්‍රීවරු බොහොමයක්ද මේ වන විට විදෙස්ගත දෙමළ ප්‍රජාවේ සාමාජිකයන් බවට පත්ව සිටිති. මධ්‍යස්ථ දෙමළ නායකයන් ලෙස සැලකිය හැකි දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ නායක ආර්. සම්බන්ධන් ඇතුළු පිරිසක් ලංකාවේ තත්වය වෙනස් කිරීමට ඉන්දියාවේ සරණ සොයමින් සිටිති. මේ අතර සිවනාදන් කිෂෝර් මන්ත්‍රීවරයා ඇතුළු තවත් පිරිසක් රජය සමඟ සහයෝගයෙන් වැඩ කිරීමට සූදානම් වෙමින් සිටිති. ලංකාවේ උතුරු නැඟෙනහිර දෙමළ ජනයා මුහුණ දී සිටින ජීවන යථාර්ථය දෙමළ විදේස්ගත ප්‍රජාවේ තත්වයනට හාත්පසින්ම වෙනස් එකක් බව ඉතා පැහැදිලිය. එය ප්‍රවෘත්ති කීපයක් ඔස්සේ අවබෝධ කරගැනීමට උත්සාහ කරමු. උතුරු පළාත දේශපාලන කටයුතු සඳහා සුද්ද කර නැති බව ආරක්ෂක අමාත්‍යංශය දෙමළ ජාතික සන්ධානයට දැනුම් දී ඇතැයි 'දි අයිලන්ඩ්' පුවත්පත ජුනි 19දා වාර්තා කළේය. ඒ අනුව, නාම යෝජනා භාර දීමට හෝ මැතිවරණ ප්‍රචාරක කටයුතු සහා යාපනයට හෝ වවුනියාවට යාමට ආරක්ෂක අමාත්‍යංශය දෙමළ ජාතික සන්ධානයට අවසර ලබා දී නැත. යාපනය දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස් පී. කුගනාදන් පවසන පරිදි යාපනය මහ නගර සභාව සඳහා ඡන්දය දීමට සුදුසුකම් ලබා සිටින 100,417ක් ඡන්දදායකයන් අතරින් 40%ක් අභ්‍යන්තර අවතැන් වූවෝ වෙති. මෙම අවතැන් වූවන් විවිධ දිස්ත්‍රික්කවල ජීවත් වන අතර නිදසුනත් ලෙස ගම්පහ දිස්ත්‍රික්කයේ යාපනයෙන් අවතැන් වූ මුස්ලිම් ඡන්දදායකයන් 10,000ක් ජීවත් වන බව ඔහු පවසයි. මුලතිව්, කිලිනොච්ච් දිස්ත්‍රික්කවල වැසියෝ සහමුලින්ම සරණාගතයෝ වී සිටිති. ඔවුන්ට මේ මොහොතේ පාර ජාතික පාලනයක් පිළිබඳ අදහස පිළිබඳ සලකා බැලීමටවත් ඉස්පාසුවක් නැත. එක්සත් ජාතීන්ගේ සංවිධානය කියන පරිදි, මෙම කඳවුරුවලට වැසිකිළි 6000ක් තිබුණොත් 50 දෙනෙකු වෙනුවෙන් එක් වැසිකිලිය බැගින් සැපයිය හැකිය. එහෙත් ඇත්තේ 3150කි. නාන ස්ථාන 1200ක් අවශ්‍යමුත් ඇත්තේ 200කි. මේ මූලික ප්‍රශ්න සමුදායක් අතරින් දෙකක් පමණි. දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ නායක වී. ආනන්දසංගරී කියන පරිදි අවතැන් වූවන්ගෙන් සෑම දහදෙනෙකුගෙන්ම එක් අයෙකුට කිසියම් ආබාධයක් ඇත. රජයේ සංඛ්‍යාලේඛන අනුව සරණාගත දරුවන් 850දෙනෙකුට මව්පිය දෙදෙනාම අහිමි වී තිබේ. වන්නියෙන් සොරකම් කර රැගෙන එමින් සිටි ඩොල්පින් වර්ගයේ වෑන් රියක් හා ටී – 56 ගිනි අවියක් ඇතුළු උපකරණ රැසක් සමඟ හමුදා ලුතිනන් වරයෙකු පොලිස් කොස්තාපල් වරයකු ඇතුළු තිදෙනකු හබරණ පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද බව ජුනි 14දා දිනමිණ පුවත්පත වාර්තා කළේය. උතුරේ කොටි පාලන ප්‍රදේශවල ජනයා අවතැන්ව පළා ඒමේදී ඔවුන් සතුව තිබුණු වාහන, යතුරුපැදි, පාපැදි වැනි දේපල රැසක් මග දමා පැමිණ තිබේ. ඇතැමුන් මුදල් හා ස්වර්ණාභරණ වල දමා පැමිණ ඇති බවද කියැවේ. එම දේපලවල ඉරණම කුමක්දැයි සොයා බැලීමට කඳවුරුවලින් පිටතට යාමට ඔවුන්ට අවසර නැත. බොහෝ ඒවා ප්‍රහාරවලින් හා සෝදිසි මෙහෙයුම්වලදී හානියට පත් වී ඇතිමුත් හොඳ තත්වයේ වාහන දහස් ගණනක් තැන තැන දක්නට ලැබෙන බව වාර්තා වේ. උතුරේ අවතැන් වූ දෙමළ ජනයාට අද ඇති මූලික අවශ්‍යතාවන් වන්නේ යළි සිය ගම්බිම්වල පදිංචි වී අහිමි වූ ජීවිතය ගොඩනඟාගැනීම යළි පටන්ගැනීමයි. විසිරී ගිය පවුල් යළි එක්වීමයි. සිවනන්ද කිෂෝර් මන්ත්‍රීවරයා පසුගිය ඉරිදා සන්ඩේ ඔබ්සර්වර් පුවත්පතට කියූ පරිදි වීරත්වය හා සටන්කාමිත්වය පිළිබඳ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ වාගාඩම්බරවලින් වත්මන් විපත හැර කිසිවක් දෙමළ ජනයාට ලැබී නැත. මේ පිළිබඳ වෙනස් අදහස්ද ලංකාවේ දෙමළ ජනයා අතර තිබෙන බවට සැක නොමැතිමුත්, ඒවා ප්‍රකාශ වීමක් අද සිදු නොවේ. වන්නි දිස්ත්‍රික්වල ජනයාගෙන් 80%ක් ගොවීන් හා ධීවරයන් බව ජනාධිපති මහින්ද රාජපක්ෂ ජුනි 09දා අරලියගහ මන්දිරයේදී ඔහු හමු වූ විශිෂ්ඨ කෘෂි විද්‍යාඥයකු, විද්‍යාත්මක පර්යේෂකයකු හා ලේඛකයකු වන ඉන්දීය ජාතික ආචාර්ය එම්. එස්. ස්වාමිනාදන්ට පැහැදිලි කළේය. එහෙත්, මෑත වාර්තාවලින් කියැවුණු පරිදි ඉඩම් සඳහා නෛතික අයිතිය ඔප්පු කළ නොහැකි පවුල්වලට ලබා දෙන්නේ පර්චස් 20 බැගින් බව ඉඩම් හා ඉඩම් සංවර්ධන ඇමති ජීවන් කුමාරතුංග මාධ්‍යවලට කියා තිබේ. එසේම අවතැන් වූවන්ගෙන් 80%කටම ඉඩම් සඳහා නෛතික හිමිකම් ඔප්පු කළ නොහැකි බවද ඔහු කියයි. නැවතත් ඇමතිවරයා ජනමාධ්‍යවලට කීවේ යළි පදිංචි කිරීම්වලදී උපයෝගී කර ගනු ලබන්නේ 1983 ඡන්ද හිමි නාමලේඛනය බවයි. එයට හේතුව එකම විශ්වසනීය ලේඛනය එය නිසා බව ඇමතිවරයා කියයි. 1984 වසරේ උපන් අයකු දැන් පවුලක් ගොඩනඟා ගත් වැඩිහිටියෙතු විය හැකිය. මෙම යළි පදිංචි කිරීම තුළ ඔහුගේ ඉරණම කුමක්ද? යළි පදිංචි කරනු ලබන දෙමළ ජනයා හමුවේ ඇත්තේ මෙවැනි ප්‍රශ්න සමුදායකි. පාරජාතික ආණ්ඩු යෝජනාවකට වඩා ඔවුන්ගේ ජීවිතවලට මේ මොහොතේ සමීප වන්නේ උතුරු නැඟෙනහිර වෙරළ තීරයේ ධීවර කර්මාන්තයට ලබා දෙන නිදහස, කෘෂිකර්මාන්තයට ලබා දෙන අවස්ථා හා සංචලනයේ නිදහස වැනි කාරණායි. දෙමළ විදෙස්ගත ප්‍රජාවේ පාරජාතික පාලන යෝජනාව සාර්ථක වීමට නම්, මේ සම්බන්ධයෙන් රජය විසින් ගනු ලබමින් තිබෙන ක්‍රියාමාර්ග අසාර්ථක විය යුතුය. උතුරු - නැඟෙනහිර දෙමළ වැසියන්ගේ ජීවිතය වත්මන් කාලකන්නිභාවයේ කබලෙන් ලිපට වැටිය යුතුය. සිංහල ජනයා තව තවත් අධානග්‍රාහී ජාතිවාදීන් විය යුතුය. දෙමළ ජනයාගේ දේශපාලන ප්‍රශ්නවලට බලය බෙදාගැනීම හරහා විසඳුමක් සෙවීමට සිංහල ජනයා උනන්දු නොවිය යුතුය. මේ වනාහි සිංහල ජනයා තවදුරටත්ජාතික අන්තවාදය තුළට තල්ලු කර තමන්ට ජාතික විමුක්තිය සලස්වා ගත හැකි යයි විශ්වාස කළ පැරණි උපායමාර්ගයේම දිගුවකි. එල්.ටී.ටී.ඊ. සංවිධානයේ පාරජාතික පාලන යෝජනාව මේ මොහොතේ කිසිදු ලෙසකින් ලංකාවේ දෙමළ ජනයාගේ භෞතික ප්‍රශ්න සමග සම්බන්ධ වන්නේ නැත. එය වැදගත් වන්නේ විදෙස්ගතව සිටින කොටි සංවිධානයේ ඉතුරු බිතුරුවලට තම පැවැත්ම තහවුරු කරගැනීම සඳහා පමණි. එහෙත්, යම් දිනෙක ඔවුන්ට යළි අවස්ථාවක් ලැබිය හැකිය. ඒ මේ දිවයිනේ පොළව මත පා තබාගෙන ජීවත් වන සිංහල, දෙමළ, මුස්ලිම් ජනයා ජාතීන්ගේ ප්‍රශ්නය ගෞරවනීය ලෙස විසඳා ගැනීමට තවත් වටයකින් අසමත් වන්නේ නම් පමණි.
අදහස් දක්වන්න නිවහන් පිටුවට | ඉංග්‍රීසි පිටුවට ¤ W3lanka පුවත් විද්‍යුත් තැපෑලෙන් ලබාගන්න ¤ RSS News Feed හා එක්වන්න |
|
|||||||||||||
|
© POWERED BY W3LANKA |
|||||||||||||||