2010-01-05

(රජයේ සේවක වැටුප්, විශ්‍රාම වැටුප් වැනි) ඔලමොට්ටල වියදම් 2010දී සීමා කළ යුතුයි -මහ බැංකු අධිපති

(2010 ජනවාරි 05 -W3Lanka) ලංකාව අයවැය පරතරය සීමා කළ යුතු බව හා ඔලමොට්ටල (reckless) පුනරාවර්තන වියදම්වලින් වැළකිය යුතු බව මහ බැංකු ප්‍රධානී අජිත් නිවාඩ් කබ්රාල් පවසයි.  
2010 ආර්ථික ප්‍රතිපත්ති පිළබඳව කොළඹදී පැවති ඉදිරිපත් කිරීමකදී කබ්රාල් මේ බව පැවසූමත් එම ඔලමොට්ටල පුනරාවර්තන වියදම් මොනවාදැයි නිශ්චිතව සදහන් කළේ නැත. එවැනි ඔලමොට්ටල වියදමක් කරන බවක් ඔහුගේ ප්‍රධානියා වන මුදල් ඇමති මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පිළි ගන්නේ ද යන්න ද සැක සහිත ය. 


පුනරාවර්තන වියදම් යනු රජයේ එදිනෙදා වියදම් වන අතර ලක්ෂ 12 දක්වා වැඩි කළේ යයි ආණ්ඩුව පාරම් බාන දැවැන්ත රාජ්‍ය සේවයට ගෙවන වැටුප්, විශ්‍රාම වැටුප් හා සුබසාධන වියදම් පුනරාවර්තන වියදම්වලින් විශාල පංගුවකි. 

මේ වසරේ මුල් මාස නමය තුළ
තුළ රජයේ පුනරාවර්තන වියදම ගිය වසරේ (2008) වාර්තා වූ රුපියල් බිලියන 524.1 ක අගයේ සිට රුපියල් බිලියන 661.5 දක්‌වා සියයට 26 කින් වැඩි වී ඇත. මෙසේ පුනරාවර්තන වියදම් ඉහළ යැමට ප්‍රධාන වශයෙන්ම හේතු වී ඇත්තේ වැටුප් හා වේතන, විශ්‍රාම වැටුප් ගෙවීම් සහ පොලී ගෙවීම් සඳහා රජයට දැරීමට සිදු වූ වියදම් ඉහළ යැමයි. 


වැටුප් හා වේතන සඳහා දැරීමට සිදු වූ වියදම් සියයට 20 කින් ඉහළ ගොස්‌ ඇති අතර ඒ සඳහා ආරක්‍ෂක අංශ සහ රජයේ අමාත්‍යාංශ සහ ආයතනවලට කරන ලද නව බඳවා ගැනීම් හේතු වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව කියයි. 


මහ බැංකු අධිපතිවරයා කියන ආකාරයට ඔලමොට්ටල වියදම් සීමා කිරීමට නම් අලුතින් රජයේ රැකියා දීම නැවැත්විය යුතු ය. රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීම අත්හිටවිය යුතු අතර විශ්‍රාම වැටුප් හා වෙනත් සමාජ සුබසාධන වියදම් අඩු කළ යුතු ය. 2010දී බලාපොරොත්තු විය හැකි ආර්ථික ප්‍රතිපත්ති ඒවායි. එහෙත් මැතිවරණ හේතුවෙන් පාලකයන් මේවා නො කියති. නිකම් ඉඳ පඩි ගත හැකි රජයේ රැකියා පිළිබඳ මධ්‍යම පංතියට සිහින මවා දෙමින් ඇවිදිති.


2010දී ලංකාවේ ආර්ථිකය 7%කින් වර්ධනය වනු ඇතැයි කබ්රාල් පවසයි. 2009 ආර්ථික වර්ධන වේගය 3.5%කි. 2008දී 6%ක ආර්ථික වර්ධන වේගයක් පැවතුණමුත් ගෝලීය ආර්ථික අවපාතයේ ප්‍රතිඵල 2009දී ලංකාවට දැඩිව දැනිණි. යුද්ධයේ නිමාවත් සමග විශාල භූමිභාගයක් යළි ආර්ථිකය සමග ස්ථිරව සම්බන්ධ වීම ආර්ථික වර්ධනයට ඉවහල් වී තිබේ. 


1 comment:

  1. පොහොර සහනාධාරය ඔලමොට්ටල වියදමක් නොවෙයි, ආයෝජනයක් කියල රටපුරා ගිය එක්කෙනෙක් තමයි මෙයත්.

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.