2010-01-07

වරාය සේවකයන් 300ක් හා වාහන 70ක් මහින්දගේ ඡන්ද ප්‍රචාරයට යොදලා


(2010 ජනවාරි 07 -W3Lanka) මේවන විට වරාය අධිකාරියේ සේවකයින් වැටුප් සහිතව 300 කට අධික පිරිසක් ද වරායේ වාහන 70 ක් පමණද වරායේ සේවා කටයුතු වලින් නිදහස් කර නීති විරෝධිව මැතිවරණ ප‍්‍රචාරක කටයුතු සඳහා ද, ප‍්‍රචන්ඩ කි‍්‍රයාවන්ට ද යොදවා ඇති බව සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතියේ නායක චන්ද්‍රසිරි මහගමගේ මැතිවරණ කොමසාරිස්වරයා වෙත ලිඛිතව පැමිණිලි කර ඇත.


මේ පිරිසෙන් කණ්ඩායම් කිහිපයක්ම රැකවරණය ලබමින් සිටින්නේ කොළඹ 10, ඞී.ආර්. විජේවර්ධන මාවතේ අංක 56 දරණ ස්ථානයේ පවත්වාගෙන යනු ලබන නීති විරෝධි රහසිගත කඳවුරක බව පැමිණිල්ලේ සඳහන් වේ. එයට අමතරව ඞී.ආර්. විජේවර්ධන මාවතේ අංක 300 දරණ ස්ථානය කුමන්ත‍්‍රණකාරි කටයුතු සැලසුම් කිරීමේ මුලස්ථානය බවට පත් කරගෙන ඇති බව ද සඳහන් වේ. එමෙන්ම ඞී.ආර්. විජේවර්ධන මාවතේ අංක 304- 10/11 දරණ ස්ථානයේ ද තවත් පිරිසක් වාහන සමඟ රඳවා තබා ඇත. 

කොළඹ නගරයට අමතරව වරාය සේවකයින් යොදවා ඇඹිලිපිටිය සහ දඹුල්ල යන නගරවලද තවත් අනුඛණ්ඩ 2 ක් පවත්වාගෙන යන බවටද තොරතුරු ලැබී ඇති බව පැමිණිල්ලේ සඳහන් වේ. 


මේ වන විටත් ජනාධිපතිවරණ අපේක්ෂක මහින්ද රාජපක්‍ෂගේ ජනාධිපති මැතිවරණ රැළි සඳහා වරාය අධිකාරිය සතු වේදිකා  යොදාගනිමින් සිටින අතර සේවකයින් හා වාහන 4 ක් වැටුප්, අතිකාල, බටා සමග එම වේදිකා ඉදිකිරීම් කටයුතු සඳහා යොදවා ඇත.

ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා නීති විරෝධී අන්දමින් යොදවා ඇති වරාය සේවකයන්ගේ නම් ලැයිස්තුවක් ද පැමිණිල්ල සමග ඉදිරිපත් කර තිබේ. 


No comments:

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.