2010-01-01

සන්ඩේ ලීඩර් පුවතින් ජනරාල්ට අවාසි -සමීක්ෂණයක් පවසයි


(2010 ජනවාරි 01 -W3Lanka) ලබන ජනවාරි 26වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයේ ප‍්‍රධාන අපේක්ෂකයින් දෙදෙනා වන මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සහ ජනරාල් සරත් ෆොන්සේකා ජනපි‍්‍රයත්වය විමසීමේ නවතම ජනමත සමීක්ෂණයේදී ජනරාල් සරත් ෆොන්සේකාගේ ජනපි‍්‍රයත්වය 7.2‍% කින් අඩුවී ඇති බව සමීක්ෂණයක් ආශ්‍රය කර ගනිමින් නිදහස් සහ සාධාරණ මැතිවරණ වාර්තාකරණ ජාලය පවසයි. 

නාමයෝජනා දිනය වන විට දෙදෙනාගේ ජනපි‍්‍රයත්වය එක හා සමාන මට්ටමක තිබුණද එල්.ටී.ටී.ඊ. ප‍්‍රබල නායකයින් තිදෙනෙකුගේ මරණ පිළිබඳව ජනරාල්වරයා රජයට චෝදනා නැගූ බවට ඉරිදා ඉංගී‍්‍රසි පුවත්පතක පලවී තිබූ වාර්තාව සහ ඉන් මතුවූ විරෝධතාවන් මෙම සීඝ‍්‍ර පසුබැමට හේතු වී තිබෙන බව මෙම සමීක්ෂණයට සහභාගීවූ බොහෝ දෙනා ප‍්‍රකාශකර තිබිණි.

මෙම කරුණු අනාවරණ වනුයේ නිදහස් සහ සාධාරණ මැතිවරණ වාර්තාකරණ ජාලය මගින් කරනු ලබන නවතම ජනමත සමීක්ෂණයේදීය. මෙහි ප‍්‍රථම සමීක්ෂණය ජනාධිපතිවරණ නාමයෝජනා බාරදුන් දෙසැම්බර් 17වැනිදා සිට 28වනදා දක්වා පැවත්විණි. දිස්ත්‍රික් 18ක් ආවරණය වන
පරිදි කේෂේත‍්‍ර සමීක්ෂකයින් 54 දෙනෙකු මේ සඳහා මැතිවරණ කාලසීමාව තුලදී සතිපතා සහභාගි කරගනු ලබයි. මෙම සමීක්ෂණයේ ප‍්‍රතිඵල අනුව මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට 57.4‍%ක්ද සරත් ෆොන්සේකා ජනරාල්තුමාට 39.6‍%ක්ද ලැබී ඇත. තෙවන ස්ථානයට හිමිකරගෙන ඇති නව වාමාංශික පෙරමුණේ ආචාර්ය වික‍්‍රමබාහු කරුණාරත්න ලබා ගත් ප‍්‍රතිශතය 0.7‍%කි. අදහස් දැක්වීම ප‍්‍රතික්ෂේප කල සංඛ්‍යාව 0.9‍%කි. 

ජනරාල් සරත් ෆොන්සේකාගේ මතභේදයට තුඩුදුන් පුවත්පත් ප‍්‍රකාශයෙන් පසු වාමාංශික අදහස් දරණ අපේක්ෂකයින් වෙත ජනතාව දැක්වූ මනාපය 1.4‍%කින්ද මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට දක්වන
කැමැත්ත 6.6‍%කින්ද වැඩිවී ඇත. මේ අනුව ප‍්‍රධාන අපේක්ෂකයන්
දෙදෙනාට බාහිරව වාමංශික අපේක්ෂකයින් වෙත මෙවර කැමැත්ත
ප‍්‍රකාශකල සංඛ්‍යාව 2.1‍%කි.

මෙවර ජනාධිපතිවරණය සදහා ඉදිරිපත්වන ජනාධිපති අපේක්ෂකයින් සංඛ්‍යාව 22ක් වන අතර ඉන් 05දෙනෙක් ස්වාධීන අපේක්ෂකයින්ය.

නිදහස් සහ සාධාරණ මැතිවරණවාර්තාකරණ ජාලයේ  මීලඟ සමීක්ෂණයේ ප‍්‍රතිඵල ජනවාරි 09වනදා නිකුත් වනු ඇත. 




No comments:

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.