2010-01-05

ලංකාවේ මුල් ම චන්ද්‍රිකාව‍ට අයෝජනය කරන්න මැලේසියානු සමාගම් දෙකකට ආරාධනා


(2010 ජනවාරි 05 -W3Lanka) ලංකාව ආතර් සී. ක්ලාක් නමින් අභ්‍යවකාශගත කිරීමට අදහස් කර තිබෙන පළමු සන්නිවේදන චන්ද්‍රිකාව සඳහා ලංකාවේ සන්නිවේදන ක්ෂේත්‍රයේ දැනටමත් ආයෝජනය කර ඇති මැලේසියානු සමාගම් දෙකකට ආරාධනා කර ඇති බව විදුලි සංදේශ නියාමන කොමිෂමේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රියන්ත කාරියප්පෙරුම පවසයි.


එම සමාගම් දෙක වන්නේ මැක්සිස් ටෙලිකොමියුනිකේෂන් බර්හාඩ් සහ ටෙලිකොම් මැලේසියා ය. මෙම සමාගම් ඩයලොග් හා ටෙලිකොම් සමාගම්වල පාර්ශ්වකරුවෝ වෙති. 


ලංකාවේ චන්ද්‍රිකා ව්‍යාපෘතිය සඳහා ඩොලර් මිලියන 150ක් වැය වේ යයි ගනන් බලා තිබේ. 


ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂම රටේ අභ්‍යවකාශ ශක්‍යතා වර්ධනය කර ගැනීම සඳහා සහ ප්‍රථම සන්නිවේදන චන්ද්‍රිකාව අභ්‍යවකාශගත කිරීමේ අරමුණින් බ්‍රිතාන්‍යයේ සරේ චන්ද්‍රිකා තාක්ෂණ සමාගම (Surrey Satellite Technology Ltd.-SSTL) සමග ගිවිසුමකට එළඹ තිබේ.

මේ අනුව එම සමාගම ලංකාව වෙනුවෙන් පෘථිවි නිරීක්ෂණ චන්ද්‍රිකාවක් නිෂ්පාදනය කිරීමට නියමිත ය. මෙම චන්ද්‍රිකාව අභ්‍යවකාශගත කළ විට ලංකාව ද එක්සත් ජාතීන් විසින් සම්බන්ධීකරණය කරනු ලබන ජාත්‍යන්තර ආපදා සහන උපකාරක ක්‍රියාකාරකම්වලට සහභාගි වන රටක් වනු ඇත. 


ශ්‍රී ලංකා අභ්‍යවකාශ නියෝජිතායතනය හෙවත් Sri Lanka Space Agency (SLASA) නම් වන ජාතික අභ්‍යවාශ වැඩසටහනක් පිහිටුවීම සඳහා ද ඉහත කී සමාගම උපදෙස් සපයයි.

සරේ චන්ද්‍රිකා තාක්ෂණ සමාගම  ලොව ප්‍රමුඛතම කුඩා චන්ද්‍රිකා තාක්ෂණ සමාගමකි. පෘථිවි නිරීක්ෂණ, විද්‍යා හා සන්නිවේදන කටයුතු සඳහා එම සමාගම අභ්‍යවකාශ මෙහෙයුම් සම්පාදනය කරයි. එම සමාගම 1981 සිට චන්ද්‍රකා 34ක් දියත් කර ඇත.





No comments:

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.