2010-01-09

ජනාධිපතිවරණය මල්ලට රිංගූ නයෙකි

අජිත් පැරකුම් ජයසිංහ -

මහජන මුදලින් දැවැන්ත වැටුප්, සුඛෝපභෝගී වාහන, ඉන්ධන, දුරකථන, කාර්ය මණ්ඩල, ගෙවල් කුලී වැනි වරප‍්‍රසාද රැසක් ලබා ගන්නා, 110ක ඇමති කට්ටුවක් ද නඩත්තු කරන පාර්ලිමේන්තුව සිය මූලික කාර්යය වන නීති සම්පාදනය හා ඒ හා සම්බන්ධ මහජන නියෝජනයන් ලබා ගැනීම සදහා මසකට දින අටක් රැස් විය යුතු ය. එහෙත්, නොවැම්බර් මාසයේ නියමිත දින අටෙන් සභාව රැස්‌වුණේ දින තුනක් බව ද, ජනාධිපති පදවි ප‍්‍රාප්තියත්, එතුමාගේ උපන් දිනයත් නිසා රැස්‌වෙන්න බැරි යයි ආණ්ඩුව කී බව ද, දෙසැම්බර් මස දවස්‌ අටෙන් රැස්‌ වුණේ එක දිනක් හා ජනවාරි මස රැස් වුණේ එක දිනක් බව ද, පෙබරවාරියේදීත් එසේ සිදු වනු ඇති බව ද ජනවාරි 05දා පාර්ලිමේන්තු රැස්වීමේදී ජවිපෙ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක අනුර කුමාර දිසානායක පෙන්වා දුන්නේ ය. දැන් දැන් පාර්ලිමේන්තුව රැස් වන්නේ හදිසි නීතිය මසකින් දීර්ඝ කරවා ගැනීමට පමණක් බව පෙනේ. රටක ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ප‍්‍රකාශනය වන පාර්ලිමේන්තුව ප‍්‍රජාතන්ත‍්‍රවාදය අවුරන කියාමාර්ග ගැනීම සඳහා පමණක් රැස් වන තත්වයක් ඇති වීම රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය අනතුරට ලක් වී තිබෙන තරම පෙන්වා දීම කදිම නිදසුනකි.


මේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය නිර්වචනය කරන රුවන් වැකියක් ඇමති නිමල් සිරිපාල ද සිල්වා පාර්ලිමේන්තුවේදී ම ප‍්‍රකාශ කළේ ය. ‘ජනාධිපතිවරණයට සෑම පක්‌ෂයක්‌ම දේශපාලන ක‍්‍රියාවල යෙදී සිටිනවා. විපක්ෂ‌යටත් මේ කාලය අවශ්‍යයි. එහෙම කාලය ලබාදීම තමයි ප‍්‍රජාතන්ත‍්‍රවාදය කියන්නේ.‘


සෙසු මහජන නියෝජිත සභාවල තත්වය ද මෙසේ ම ය. නිදසුනක් ලෙස ජනවාරි 05දා පැවැත්වීමට නියමිතව තිබුණු දකුණු පළාත් සභා රැුස්වීම ගණපූරණය නොමැතිකම නිසා නො පැවැත්විණි. මෙවැනි රැස්වීමක් සංවිධානය කිරීමටත්, ආරක්ෂාව හා වෙනත් පහසුකම් සැපයීමටත් මහජන මුදලින් රුපියල් ලක්ෂ ගණනක් වැය වේ. මෙවැනි දේශපාලනයක් හැඳින්වීම සඳහා කාලකන්නිකම යන වචනය සුදුසු ය. කාලකන්නි සභා සඳහා කාලකන්නි නියෝජිතයන් පත් කර යවන කාලකන්නි ජනතාවගේ අනාගතය කාලකන්නි වීම වැළැක්විය නො හැකි ය. මේ දිනවල පැවැත්වෙන ජනාධිපතිවරණය මේ කාලකන්නිකමේ හොඳ ම ප‍්‍රකාශනයයි. දූෂණ මෙහි හොඳ ම මාතෘකාවක් වී තිබේ. අපේක්ෂකයෝ දෙදෙනා ම දැන් සිය ප‍්‍රතිවාදියා නිරුවත් කරමින් සිටිති.


‘මගේ අතේ මඩ නැහැ. ලේ නැහැ. හැබැයි මගේ අතේ ෆයිල් තියෙනවා. මේ අය කරපු දේවල් ගැන, මම ඒවා එළියට දාන්නේ නැහැ. මොකද අවුරුදු 4 ක්‌ උදේ ඉඳන් රෑ වෙනකම් එකට වැඩකරපු අය. එකට කාපු අය මට එහෙම කරන්න බැහැ.‘ උතුරු මැද පළාතේ බැංකුවල වෘත්තීය සමිති නියෝජිතයන් සමග පැවැති හමුවේදී හා අනුරාධපුරය, මඩකලපුව, ත්‍රිකුණාමලය, මුලතිව්, කිලිනොච්චිය යන ප‍්‍රදේශවල ව්‍යාපාරිකයන්, ගොවි නියෝජිතයන් සමග අනුරාධපුර ජනාධිපති මන්දිරයේදී පසුගියදා පැවැති හමුවකදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මෙසේ පැවසීය. මේ ෆයිල් හෙවත් ලිපි‍ ගොනු මොනවාද? ඒවායේ සඳහන් ‘මේ අය කරපු දේවල්‘ මොනවාද? සොරකම්, වංචා, දූෂණ, අපචාර හා මිනීමැරුම් වැනි අපරාධ ද? එසේ නම් ඒවා පිළිබඳ පරීක්ෂණ පැවැත්වීම සඳහා එම ලිපිගොනු අදාළ අංශවලට යොමු නො කිරීමෙන් ජනාධිපතිවරයා ද එම අපරාධ සඳහා සහාය වෙමින් අපරාධයක නියැලෙනවා නේද?


දූෂණ පිළිබඳ කළ යුතුව තිබෙන්නේ විවාද නොව පරීක්ෂණ හා නීතිය ක‍්‍රියාත්මක කිරීමයි. එසේ සිදු නොවේ නම් රටේ නීතියේ ආධිපත්‍යයක් හා යහපාලනයක් නැති බව ඔප්පු වේ. දැන් සිදු වන්නේ දූෂණයේ යෙදෙමින්, බලය පාවිච්චි කර ඒවා සගවා ගනිමින්, ‘පුළුවන් නම් අපේ දූෂණ ඔප්පු කරපල්ලා,‘යි අභියෝග කිරිමයි. ආණ්ඩුව මේ වන විට රාජ්‍ය බලය හා පොදු දේපල උපරිම අන්දමින් ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප‍්‍රචාරක ව්‍යාපාරය සඳහා යොදා ගනිමින් උපරිම අන්දමින් මැතිවරණ දූෂණයේ යෙදී සිටින්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට පමණක් නොව පරමාධිපත්‍යය හිමි යයි කියන ජනතාවට ද ඔලොක්කු කරමිනි. සියලූ ජංගම දුරකථන ග‍්‍රාහකයන්ගේ පෞද්ගලිකත්වය සම්පූර්ණයෙන් ම උල්ලංඝනය කරමින් මහජන මුදලින් හෝ වෙනත් වංචනික ආකාරයකින් අනවසර කරදරකාර එස්. එම්. එස්. පණිවුඩ හෙවත් එවීම හෙවත් ‘ස්පෑම් කිරීම‘ දක්වා ම මේ දූෂණ විහිදී තිබේ. රාජ්‍ය මාධ්‍ය මැතිවරණ නීති උල්ලංඝනය කරමින් ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප‍්‍රචාරය සඳහා යොදා ගැනීම, ජ්‍යේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් මැතිවරණ ප‍්‍රචාරක රැස්වීම් පැවැත්වීම, පොලිසිය බලා සිටිද්දී මාර්ගයේ ධාවනය වන වාහන හා පදිකයන්ට ද හිරිහැර සිදු වන සේ ප‍්‍රචාරක පුවරු එල්ලීම, විරුද්ධවාදීන් මර්දනය කිරීම ආදිය මේ දූෂණ හා නීති විරෝධී ක‍්‍රියා අතරින් සමහරක් පමණි.


ජනවාර්ගික යුද්ධයේදී තම පාර්ශවයන් ජයග‍්‍රහණය කරවීමේ අභිප‍්‍රායෙන් යුතුව නායකයන් සිය හිමිකම් පැහැර ගැනීම සිංහල හා දෙමළ දේශපාලන ප‍්‍රජාවන් විසින් ඉවසා දරා ගන්නා ලදී. යුද්ධය අවසන් වී තිබියදීත් පාලකයන් කරන්නේ ජනතාවගෙන් පැහැර ගන්නා ලද හිමිකම් යළි ලබා නොදී මර්දනකාරී පාලනයක් පවත්වාගෙන යාමයි. ලංකාවට සමාජයක් ලෙස ප‍්‍රජාතන්ත‍්‍රවාදය, යහපාලනය හා නීතියේ ආධිපත්‍යය සඳහා ඇති ප‍්‍රජා හිමිකම් අහිමි වී තිබේ.


එළඹෙන ජනාධිපතිවරණය මෙම තත්වය දිගට ම පවත්වාගෙන යනවා ද නැති නම් යළි ප‍්‍රජාතන්ත‍්‍රවාදය කරා සමාජය ගෙන යනවා ද යන කරුණ මත සමාජයේ බෙදුම් රේඛාව සලකුණු කරන මැතිවරණයක් බවට පත් වෙමින් තිබේ. කුමන හෝ තත්වයක් මත මේ වන විට ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සටන් පාඨ හිටපු යුද නායක සරත් ෙත්‍ාන්සේකා අතට මාරු වී තිබේ. ආණ්ඩුවේ ජනාධිපතිවරණ ප‍්‍රචාරක ව්‍යාපාරය ඉලක්ක කර තිබෙන්නේ සරත් ෙත්‍ාන්සේකා සැක කරන්නැයි පුන පුනා සමාජයට කීම සඳහා ය. සරත් ෆොන්සේකා ප‍්‍රජාතන්ත‍්‍රවාදය යළි පිහිටුවන බවට දෙන පොරොන්දු ඔහුගේ ම ඉතිහාසයේ කළු පැල්ලම් විසින් අඳුරු කරන බව සත්‍යයකි.


පීඩිත ප‍්‍රජාවන්ට මෙම ජනාධිපතිවරණය බරපතල අභියෝගයක් වී තිබේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සටන් පාඨ ඔසවාගෙන සිටින හිටපු හමුදා නායකයා සැක කිරීම යනු ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී, පවුල්වාදී, ඒකාධිපති පසුගාමිත්වයක් ජයග‍්‍රහණය කරවීමයි. මල්ලේ නයෙකි. එය අත තබාගෙන මග සිටියොත් කොයි මොහොතක හෝ ඌ සපා කනු ඇත. ගෙදර ගියොත් මල්ල අතට ගන්නා බිරියට නයා දෂ්ඨ කරනු ඇත. ජනාධිපතිවරණය මේ නයාට සමාන ය.


මෙහිදී දෙමළ ජාතික සන්ධානය ප‍්‍රශ්නය විසඳා ගත් හෝ වත් අවුල් කර ගත් හෝ ආකාරය කෙරෙහි මඳකට අවධානය යොමු කරමි. දෙමළ ජාතික සන්ධානය සරත් ෆොන්සේකාට සහාය දැක්වීමට තීරණය කරන අතරතුර ලාංකීය සම්භවයක් සහිත දෙමළ ජාතිකයන් දෙලක්ෂයක් ජීවත් වන කැනඩාවේ ලංකා තානාපති කාර්යාලය අවට අලවා තිබුණු පෝස්ටරයක ජනාධිපති මහින්ද රාජපක්ෂ, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සමග හිටපු හමුදාපති සරත් ෆොන්සේකා ද යුද අපරාධකරුවකු ලෙස දක්වා අත්අඩංගුවට ගත යුතු බව සඳහන් කර තිබිණි.


එහෙත්, ලංකාවේ දෙමළ ජනයා සිංහල අධිපතිවාදී මහින්ද රාජපක්ෂ පාලනයෙන් හෙම්බත්ව ඇති බවක් ද, එතරම් ප‍්‍රතිඵලයක් අපේක්ෂා නො කරමින් හෝ වෙනසක් බලාපොරොත්තු වන බව ද දෙමළ ජාතික සන්ධානය සරත් ෙත්‍ාන්සේකාට සහාය දැක්වීමට ගත් තීරණයෙන් පෙනේ. කැනඩාවේ පිහිටුවා තිබෙන ‘ලංකාවේ යුද්ධය නැවැත්වීම සඳහා සන්ධානයේ‘ ප‍්‍රකාශක සෙන්දන් නඩා ඩිජිටල් ජර්නල් වෙබ් අඩවියට පවසා තිබුණේ දෙමළ ජනයා යක්ෂයා හා ගැඹුරු මහ සයුර අතර සිර වී සිටින බවයි. දෙමළ ජනයාට වෙනසක් අවශ්‍යව ඇති බව ද දුෂ්ඨයන් දෙදෙනෙකු අතරින් අඩු දුෂ්ඨයා තේරීමට තීරණය කර ඇති බව ද ඔහු පවසයි.


No comments:

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.