2010-01-10

විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරමු; නිදහස සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා සටන් වදිමු

පීපල්ස් මාච් -
ආණ්ඩුව ඉතාම තීරණාත්මක ඡන්දයක් වෙත රට යොමු කර තිබෙනුයේ රට බරතල ආර්ථික හා දේශපාලන ප‍්‍රශ්න රැසක ගිලී තිබෙන තත්ත්වයක් තුළ ය.


විධායක ජනාධිපති බලය උපයෝගී කර ගනිමින් ද ත‍්‍රස්තවාදයට එරෙහි යුද්ධය යන කඩතුරාවේ ආවරණය ලබමින් ද වත්මන් පාලනය ගෙන යන්නේ මූලික මානව හිමිකම් ද ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතීන් ද අමු අමුවේ උල්ලංඝනය කරන අත්තනෝමතික පාලනයකි.


ආර්ථිකය මුළුමනින්ම මෙහෙය වනුයේ පරපුටු පාලන තන්ත‍්‍රයක සාමාජිකයන් කිහිප දෙනෙක් ද ඔවුන්ගේ පවුල් හා ගජ මිතුරන් අතලොස්සක් ද අත සම්පත් ගොඩ ගසා ගැනීම හා සුඛ විහරණය සඳහා ය. සංවර්ධනය යනු මේ අතලොස්සේ පෞද්ගලික ආර්ථික සංවර්ධනය යි. ජනතාව මත දැරිය නොහැකි තරම් බදු බර පටවමින් අල්ලස හා දූෂණය ඉහළම පරිමාණයකට සිහසුන් ගත කර තිබේ. විවිධ මූලාශ‍්‍රයන්ගෙන් වාර්තාවන පරිදි මේවා හරහා කෙරෙන කොමිස් කොල්ලය ගණනය කළ යුත්තේ මිලියන නොව බිලියන සිය ගණන්වලිනි.


මහත් විනාශකාරී යුද්ධයකට මග පෑදූ හා ලංකාව වෙලාගෙන ඇති බොහෝ සමාජ ආර්ථික දේශපාලන ප‍්‍රශ්න සම්බන්ධයෙන් සැලකිය යුතු බලපෑමක් කළ ජාතික ගැටළුවට හේතු පාදකවූ එකදු ප‍්‍රශ්නයකටවත් ආමන්ත‍්‍රණය නොකෙරේ. දෙමළ ජාතික ප‍්‍රශ්නය ද කිසිදු සාකච්ඡාවක් නැති තරමට යටපත් කර දමනු ලැබ තිබේ.


මේවා පිළිබඳව සමාජය තුළ පළල් කතිකාවක් වෙනුවට විරාමයකින් තොරව දෝංකාර දෙන්නේ දේශපේ‍්‍රමියා, දේශද්‍රෝහියා. මහා පාවාදීම, විදේශ කුමන්ත‍්‍රණ යනාදී වචන ගොන්නක් පමණි. රටේ දැවෙන සමාජ, ආර්ථික හා දේශපාලන ගැටළු කෙරේ සැබෑ කතිකාවක් හෝ ඒවායින් ගොඩ ඒමේ සංයුක්ත වැඩපිළිවෙලක් හෝ තවමත් කිසිදු පාර්ශවයක් රට හමුවේ තබා නොමැත. විධායක ජනාධිපතිධූරය අහෝසිකිරීම, 17 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක‍්‍රියාත්මක කිරීම, අවතැන් වූවන් යළි පදිංචි කිරීම යන සමාජය ප‍්‍රජාතන්ත‍්‍රීයකරණයට අදාලව යම් වැඩපිළිවෙලක් විපක්ෂ බලවේග වෙතින් ඉදිරිපත්ව ඇත ද එය අර්බුදයට කොහෙත්ම ප‍්‍රමාණවත් නොවන අතර නිශ්චිත තත්ත්වයක ද නොපවතී.


පවත්නා අර්බුදයට විසඳුම් වශයෙන් ඉදිරිපත් කෙරෙන හදිසි සංයුක්ත වැඩපිළිවෙලක් පහත සඳහන් කරුණුවලට ආමන්ත‍්‍රණය කළ යුතු ය යනු පීපල්ස් මාච් හි අපගේ ස්ථාවරය යි.


1. ජනතා අවශ්‍යතා මත පදනම් වූ ආර්ථික ප‍්‍රතිපත්තියක්


රට මුහුණ දෙන දැඩි ආර්ථික අර්බූදයෙන් යම් තරමක් හෝ ගැලවීමට නම් ජාතික අවශ්‍යතා මත පදනම් වන නිෂ්පාදන හා දැනට පවතින ආදායම් බෙදී යාමේ විශාල විෂමතාවය අඩුකර ජාතික නිෂ්පාදනය දිළිඳු කොටස් අතරේ ද සාධාරණ ලෙස බෙදී යන ආර්ථිකයක් ගොඩ නැගීම ඉලක්ක කර ගත් ආර්ථික ප‍්‍රතිපත්තියක් සකසා ඊට අනුකූලව ආර්ථිකය මෙහෙයවීම.


2. විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම


ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයකට කිසිසේත්ම හිතකර නොවන, ප‍්‍රජාතන්ත‍්‍රවාදය හකුලා ඒකාධිපතියකු බිහිවීමට අවශ්‍ය වටපිටාව සකසන හා අල්ලස දූෂණය රජ කරවන අසීමිත බලතල සහිත විධායක ජනාධිපති ධූරය වහාම අහෝසි කළ යුතු ය. අප හැමවිටම විධායක ජනාධිපති ධූරයට විරුද්ධ වන්නේත් එය අහෝසි කළ යුතු යයි කියා සිටින්නේත් එය සතු අසීමිත බලය මහජන නියෝජිතයින් රූකඩ බවට පත් කළ හැකි ඒකාධිපතියකු බිහිවන ක‍්‍රමයක් ය යන නිශ්චිත පදනමේ සිට මිස පුද්ගල බද්ධ ප‍්‍රවේශයකින් නොවේ.


3. ජාතික ප‍්‍රශ්නය


මෙරටේ බොහෝ සමාජ ආර්ථික දේශපාලන ගැටළු කෙරේ බෙහෙවින් බල පෑ හා ඉදිරියේ දී ද බෙහෙවින් බලපානු ඇති ජාතික ප‍්‍රශ්නයට ආමන්ත‍්‍රණය කිරීම වෙනුවට යුද්ධය, යුද ජයග‍්‍රහණයේ උරුමය හා යුද වීරයන් ගැන කථා කරනවා මිස මේ පිළිබඳ ප‍්‍රධාන වේදිකාවලින් ඉදිරිපත් වන කිසිත් නැති තරම් ය. එම කථාවලින් රටටවත් ජනතාවටවත් වන යහපතක් නොමැත. මෙය බඩගෝස්තරවාදී දේශපාලකයන්ගේ පැවැත්ම සඳහා පමණක් ම වූවකි. මෙරට සමාජයේ අර්බූද කළමනාකරණයට හා සමාජය ප‍්‍රජාතන්ත‍්‍රීයකරණයට උනන්දුවන ඕනෑම දේශපාලන ව්‍යාපාරයක් දෙමළ ජාතික ප‍්‍රශ්නය ඇතුළු සුළුතර ජාතික ජන කොටස්වල ප‍්‍රශ්න සඳහා තිරසාර විසඳුම් මාලාවක් ඉදිරිපත් කිරීම අනිවාර්ය දෙයකි. දෑවැන්ත යුද්ධයක් නිර්මාණය කළ හේතු එසේම තිබියදී මෙම ප‍්‍රශ්නය කෙරේ නිසි අවධානයක් යොමු කිරීමට මෙරටේ දකුණේ දේශපාලන ව්‍යාපාර අසමත්වුව හොත් යුදමය වශයෙන් පාලනය කර ඇති දෙමළ ජාතික අරගලය නැවත වරක් දීර්ඝකාලීන පැතුරුණ අරගලයක් දක්වා වැඞීමට ඕනෑ තරම් හේතු තිබෙන බව යළි යළිත් අවධාරණය කිරීම අවශ්‍ය ය.


4. අවතැන් වූවන් ඉතා ඉක්මනින් ඔවුන්ගේ ගම්බිම්වල පදිංචි කිරීම හා දේශපාලන සිරකරුවන්ගේ නිදහස කඩිනම් කිරීම


ජාතික ප‍්‍රශ්නයේ ම දිගුවක් වන දැනට අභ්‍යන්තර අවතැන්වූවන් බවට පත් කරනු ලැබ සිටින උතුරු නැගෙනහිර සියලූම වැසියන් මනුෂ්‍යයින් ලෙස හා සුරක්ෂිත ලෙස නැවත පදිංචි කිරීම. ඔවුන්ට නිසි ජීවන මාර්ගයක් සකසා ගැනීමට රාජ්‍ය දායකත්වය වහා ලබා දිය යුතු ය. අවතැන් වූවන්ගේ පූර්ණ යහපත තකා මිස මෙම පදිංචි කිරීම් ජාත්‍යන්තර ප‍්‍රජාවගේ අවධානය යොමු කරවා ගැනීමේ හෝ විදේශ ආධාර ලබා ගැනීමේ අරමුණු ඇතිව සිදු නෙකළ යුතු අතර කිසිසේත් ම ජාතීන් අතර විෂමතා ඇතිවන ආකාරයට හෝ ජාතීන් විසිරුණු ආකාරයට නොකළ යුතු ය.


පාලකයින්ගේ අවස්ථාවාදී බල ලෝභී දේශපාලනයේ ප‍්‍රතිඵලයක් වූ දෙමළ ජාතික අරගලය නිසා දැනට අත්අඩංගුවේ පසුවන සියළු දෙමළ සිංහල සිරකරුවන් නිදහස් පුරවැසියන් ලෙස සමාජයට එක් කිරීමට කඩිනම් පියවර ගත යුතු ය.


5. අල්ලස සහ දූෂණය පිටුදැකීම


අද මේ රටේ සමාජ දේහයම වෙලාගත් මහා පිළිකාවක් වී ඇති අල්ලස සහ දූෂණය පිටු දැකීමේ කඩිනම් වැඩපිළිවෙලක් ක‍්‍රියාවට නැගිය යුතු ය.


6. පුද්ගල නිදහස සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කිරීම සඳහා,


  • දැනට අවදානමකට ද මාධ්‍ය සදාචාරයේ සෝදා පාලූවකට ද ලක්වී ඇති ලංකාවේ ජන මාධ්‍ය නිදහස හා සදාචාරය සුරක්ෂිත කර මහජනතාවට සත්‍ය තොරතුරු දැන ගැනීමට ඇති අයිතිය තහවුරු කළ යුතු ය.

  • ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනත, හදිසි නීතිය ඇතුළු සියළු මර්දන අනපනත් අහෝසි කළ යුතු ය.

  • 17 වෙනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව යටතේ පිහිටුවා ඇති සියළුම ස්වාධීන කොමිෂන් සභා වහා ස්ථාපිත කර අනතුරුව ඒවායේ පවතින දෝෂ හා දුර්වලතා නිවැරදි කිරීමට කඩිනම් පියවර ගත යුතු ය.

  • ජනතාවගේ නිදහස, ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා මුලික අයිතිවාසිකම් සුරක්ෂිත කරන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කර සම්ම්ත කර කි‍්‍රයාවට නැගීමට අවශ්‍ය කඩිනම් පියවර ගත යුතු ය.


මෙම කාරණාවලට ආමන්ත‍්‍රණය කරන වැඩ පිළිවෙලක් සඳහා පවතින පාලනය නිශ්චිතව ම ඛණ්ඩනය කළ යුතු ය. ඒ පිළිබඳව විවාදයක් නොමැත. වත්මන් ගැටළුවල වත්මන් වග උත්තරකරුවා එය ය. එය අවසන් කළ යුතු ම ය. එහෙත් ඇප කැප වී සටන් වැදී බලයට ගෙන ආ යුතු විකල්පයක් වත්මන් සන්දර්භය තුළ අප හමුවේ ඇත්තේ ද? එය මේ නිශ්චිත මොහොතේ විමසා බැලිය යුතු සංකීර්ණ ප‍්‍රශ්නයකි.


විපක්ෂයේ පොදු අපේක්ෂකයා ගේ ආගමනය


රාජපක්ෂ පාලනයේ අත්තනෝමතිකත්වය විසින් ම ඉන් බැටකන විපක්ෂ බලවේගයන් සියල්ලම වාගේ ඒවා එකිනෙක අතර කෙතරම් ප‍්‍රතිපත්තිමය වෙනස්කම් තිබුණත් ඊට එරෙහිව පොදු වේදිකාවක් තුළට කැඳවා ගනු ලැබ තිබේ. එමෙන්ම කඩිනම් ජනාධිපතිවරණයක් කැඳවීමෙන් පොදු අපේක්ෂකයෙකු පෙරට ගෙන ඒවාට එක්සත් වීමට අවස්ථාවක් ද තමන්ට අභියෝගයක් විය හැකි යයි සිතෙන මිනිසුන්ගේ හා ගැහැණුන්ගේ බෙලි කැපීමේ රාජපක්ෂ සූත‍්‍රය මගින් විපක්ෂ සන්ධානයට ජනාධිපති රාජපක්ෂට නියම අභියෝගයක් දිය හැකි පොදු අපේක්ෂකයෙකු ද නිර්මාණය කර දී තිබේ. ඒ රාජපක්ෂ පාලනයේ පැවැත්මේ සාධකයක් කරගත් යුද්ධයට අණ දුන් යුද්ධයේදී රාජපක්ෂලාගේ පවා වීරයා වූ ජෙනරාල් සරත් ෆොන්සේකා ය. පවතින අත්තනෝමතික දූෂිත පාලනයට එරෙහිව අභියෝගයක් ලෙස විපක්ෂ සන්ධානයක් මතුවීම ද විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම සහ 17 වන ව්‍යවස්ථා සංශෝධනය කි‍්‍රයාත්මක කිරීම එහි ප‍්‍රධාන තේමාව විම ද අතින් එය යම් ප‍්‍රගතිදායක වර්ධනයක් පෙන්නුම් කරයි.


විපක්ෂ පොදු අපේක්ෂක සන්ධානයේ වැඩපිළිවෙළ


විපක්ෂ සන්ධානයේ වැඩපිළිවෙල විධායක ජනාධිපති ධුරයේ බලතල කප්පාදු කිරීම හෝ එම ක‍්‍රමය අහෝසි කිරීම යන්නට සීමා කෙරුණ වැඩ පිළිවෙලක් පමණක් බව පෙනේ. පළමුව 17 වන සංශෝධනයෙන් ප‍්‍රකාශිත කොමිෂන් සභා පිහිටුවීම හා අනතුරුව පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් පවත්වා නව ආණ්ඩුවක් තෝරා පත්කර ගැනීමට ඉඩ සැලසීම ද දෙවනුව මහ මැතිවරණයෙන් තේරී පත්වන නව ආණ්ඩුව විසින් විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම(හෝ එහි බලතල කප්පාදු කිරීම) සඳහා සහ අවශ්‍ය තවත් සංශෝධනයන් සඳහා ආණ්ඩුක‍්‍රම ප‍්‍රතිසංස්කරණ යෝජනා ගෙන ඒම ද එම වැඩපිළිවෙලේ සීමා මායිම බව පෙනෙන්ට තිබේ. කෙසේ වුව ද මෙම සන්ධානයට පළමු කාරණයෙන් ඔබ්බට ගමන් කිරීමේ හැකියාවක් තිබේ ද යනු ප‍්‍රශ්නයකි. මන් ද නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ දී දෙමළ ජාතික ප‍්‍රශ්නය සම්බන්ධව සාධාරණ විසඳුමක් ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණයන් තුළ අඩංගු විය යුතු වීම ය. මෙම කරුණ අරභයා ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණයකට යාමේදී විපක්ෂ පක්ෂ අතර අද ඇති එකගතාවය බිඳ වැටී අර්බූද මතුවීම නොවැළැක්විය හැකි බව පැහැදිලි කරුණකි. එම අර්බූදය මතු වන්නේ ජවිපෙ සහ එජාපය දෙමළ ජනයාගේ ප‍්‍රශ්නය සම්බන්ධයෙන් පරස්පර ස්ථාවරයන් දැරීම නිසා ය. අද මෙම තත්ත්වය විපක්ෂයේ පොදු අපේක්ෂකයා පිටුපස තාවකාලිකව වසන් කර තබා ගැනීමට ඔවුන් වග බලාගෙන ඇත.


අනෙක් අතට අපරට වෙලාගත් සමාජ ආර්ථික හා දේශපාලන පරිහානියෙන් සාපේක්ෂව හෝ මිදීමට විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම පමණක් ප‍්‍රමාණවත් නොවන අතර අනිවාර්යෙන්ම ආර්ථික හා දේශපාලන ප‍්‍රතිසංස්කරණ රැුසක් කි‍්‍රයාත්මක කළ යුතුව ඇත. ආර්ථික කරුණු අරභයා ද මෙම දෙපාර්ශවය අතර ඇත්තේ බරපතල පරස්පරතාවකි. මෙම පරස්පරතාවන් නිසැකවම මග පාදනුයේ යළිත් ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී භාවිතයන්ට ය.


ප‍්‍රගතිශීලී බලවේගයන්ගේ වගකීම


ජනාධිපතිවරණය තුළ අව්‍යාජ ප‍්‍රගතිශීලී බලවේගයන්ට කි‍්‍රයාකරන්නට සිදුව ඇත්තේ විරුද්ධභාසීය පදනමකිනි. එනම් පවතින දූෂිත අත්තනෝමතික පාලනයට එරෙහිව දැඩි ලෙස කි‍්‍රයා කළ යුතු නමුදු ඊට එරෙහිව එන වත්මන් විකල්පය වෙනුවෙන් සෘජු ලෙස පෙනී සිටීමට හෝ ඒ සමග අත් වැල් බැඳ ගන්නට හෝ ඒවාට ඉහත කී තත්ත්වයන් ඉඩ නොදෙයි. පොරොන්දු දේශපාලනය මත විශ්වාසය තබා කටයුතු කරන්නට දැක්ම මගින් ද ප‍්‍රායෝගික අත් දැකීම් මගින් ද ඉඩ සලසා නැත. ඉදිරි දැක්මක් සහිත ප‍්‍රගතිශීලී බලවේගයන්ගේ වර්තමානය හා සම්බන්ධ ප‍්‍රතිපත්ති හා කි‍්‍රයාමාර්ග හුදෙක් වර්තමානය මත ම පිහිටා තීන්දු කරන්නට ද බැරි ය. ඒවා තීන්දු කළ යුතු වන්නේ අනාගත දැක්මකින් යුතුව ය. හුදෙක් වර්තමානය මත ම පදනම්ව තීන්දු ගැනීම ව්‍යාපාරයේ අනාගතය ”අහිංසක” බලාපොරොත්තු මත පදනම්ව නමුත් පාවා දීමක් වෙයි.


එසේ ම අනෙක් අතට අව්‍යාජ ප‍්‍රගතිශීලී හා වාම බලවේග ලෙස පෙනී සිටින කොටස් ඡන්දයක් දකින දකින ගානේ වේදිකාව පාවිච්චියට ගත යුතු යයි කියමින් ඒවාට ඉදිරිපත් වීම ද විකාර සහගත ය. මෙතෙක් ඡන්ද වලට ඉදිරිපත්වීමෙන් ඒවා ජනතාවට දී ඇති අධ්‍යාපනය කුමක් ද? එම අධ්‍යාපනය තුළින් ගොඩ නගන ලද බලවේග කොපමණ ද? ඇත්තවශයෙන් ම මැතිවරණ සමයන්හි උද්යෝගය සෝඩා බෝතලය කැඩුවා වැන්නකි. එම උද්යෝගය පසුවත් රඳවා ගන්නට පසුබිමේ තිරසර ජනතා ව්‍යාපාරයක් ගොඩ නැගීමේ සජීවී කි‍්‍රයාවලියක් තිබිය යුතුම ය. මැතිවරණ ජනතාවට අධ්‍යාපනය දීමේ වේදිකා බවට පත් කර ගත යුතු ය. එහෙත් ඒ අර්ථවිරහිතව ඡන්දවලට ඉදිරිපත් වීමෙන් ම නොවේ.




මේ මොහොතේ අව්‍යාජ ප‍්‍රගතිශීලී හා වාම කොටස්වල වගකීම විය යුත්තේ පවත්නා පාලනය ඛණ්ඩනය කිරීම සඳහා අරගලයේ ප‍්‍රධාන ප‍්‍රහාරය ඊට එල්ල කරමින් කිසිවෙකුගේ වලිගයන් බවට පත් නොවී ස්වාධීන මහජන ව්‍යාපාරයක් ගොඩ නැගීම සඳහා වන කි‍්‍රයාකාරිත්වයන් මත සිය ප‍්‍රයත්නයන් කේන්ද්‍රගත කිරීම ය.
⋆⋆⋆⋆⋆


  • ජනතා අවශ්‍යතා මත පදනම් වූ ආර්ථික ප‍්‍රතිපත්තියක් සඳහා සටන් වදිමු.
  • විධායක ජනාධිපති ධූරය අහෝසි කරමු.
  • පූර්ණ ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණයක් සඳහා සටන් වදිමු.
  • දේශපාලන සිරකරුවන්ගේ අයිතීන් සුරැකීමට ද නිදහස සඳහා ද බල කරමු.
  • ජාතික ප‍්‍රශ්නයට තිරසාර විසඳුමක් සඳහා පෙළ ගැසෙමු.
  • අවතැන් කිරීමට භාජනය වූවන් විධිමත් ලෙස පදිංචි කරවීමට බල කරමු.
  • මර්දන අණ පනත් අහෝසි කිරීමට බල කරමු.
  • අල්ලස හා දූෂණය පිටු දකිමු.
  • භාෂණයේ අයිතිය තහවුරු කිරීම සඳහා සටන් වදිමු.
  • යහපත් සෞඛ්‍ය, අධ්‍යාපන හා ප‍්‍රවාහන සේවාවක් සඳහා පෙළ ගැසෙමු.
  • මාධ්‍ය නිදහස හා සදාචාරය සුරැකීම සඳහා පෙරමුණ ගනිමු.
  • ජනතා බලය ගොඩනැගීමට සටන් වදිමු.
  • ජනතා බලය කෙරේ පමණක් විශ්වාසය තබමු.




No comments:

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.