2010-01-15

මේකත් දූෂණයක් ද මහ රජ?


(2010 ජනවාරි 15 -W3Lanka) විපක්ෂ ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකාගේ බෑණාට අයත් හයිකෝප් නම් සමාගමක් විසින් කරන ලදැයි කියන අවි ආයුධ සැපයීමේ ව්‍යාපාරයක් පිළිබඳ හා ඒ පසුබිමෙහි තිබෙන දූෂණ පිළිබඳව අති විශාල වියදමක් දරමින් දැවැන්ත මාධ්‍ය ප්‍රචාරයක් ආණ්ඩුව විසින් කරමින් තිබේ.


දැන්වීම් පළ කිරීම සඳහා යන වියදම්, සරත් ෆොන්සේකාගේ පැරණි හිතවතුන් මිළ දී ගැනීමට කරන වියදම් හා ඔවුන් මෙරටට ගෙන්වා ගැනීමට ගුවන් ටිකට්පත් ආදියට කරන වියදම් ආදිය අති විශාල විය හැකි බවට සැකයක් නැත.

හයිකෝප් සමාගම විසින් සපයන ලද අවි ආයුධ හෝ වෙනත් උපකරණවලින් ලැබූ ලාභ හෝ ඒවායේ කොමිස් මුදල් කා‍ වෙත ගියේ ද යන්න පිළිබඳව සංවාදයක් මතු වී නැත. ඒ වෙනුවට කියවෙන මූලික කරුණු වන්නේ මෙම සමාගම පිළිබඳ නීතිමය ගැටළු ඇති බව, එම සමාගමට සැපයුම් කොන්ත්‍රාත් ලබා දීමේදී සරත් ෆොන්සේකා හමුදාපති ලෙස සිය බලතල පාවිච්චි කර ඇති බව හා සමාගමේ ගැටළු පිළිබඳව ඔහු දැන සිටි බවයි. 


නිදසුනක් ලෙස මෙම සංවාදය සඳහා අලුතෙන් ම සම්බන්ධ කර තිබෙන ඇමරිකාවේ සිට ආනයනය කර තිබෙන පුද්ගලයකු වන උපුල් ඉලංගන්ගේ දීර්ඝ විස්තරයේ ඇත්තේ වල් පල් ගොඩක් සහ කරුණු ස්වල්පයකි. එම කරුණු අතර යම් වැදගත්කමක් තිබෙන කරුණු වන්නේ ඔහුගේ අත්සන හොරට යොදා ඇති බව හා ‍මෙම සමාගමට සැපයුම් කොන්ත්‍රාත් ලබා දීම සඳහා සරත් ෆොන්සේකා බලපෑම් කළ බව පමණි.


මෙම සිදුවීම් පිටුපස දූෂණ සිදු වී ඇති බව බොරුවක් නොවේ. කියන දූෂණ නේ ම නො කියන දූෂණ ද ඇත. නිදසුනක් ලෙස මෙවැනි පිළිතුරු නො සපයන ලද ප්‍රශ්න ඇත. හමුදාවේ කපිතාන්වරයකු ව සිටි ඉලංගන්ගේ ඇමරිකාවට ගියේ හමුදාවෙන් පැන ගොස් ද? ඔහු පැන ගිය සෙබළකු නම්, නීති පරිදි ඔහු අත්අඩංගුවට ‍ගැනීම සඳහා කටයුතු නො කර, ඔහු සමග නීති  විරෝධී ලෙස සම්බන්ධකම් පවත්වමින් ඔහුට හමුදාවෙන් ඉවත් වීමට හමුදාවේ උසස් නිලධාරියක් වූ සරත් ෆොන්සේකා උදව් කළේ ඔහු ඇමරිකාවේදී සරත්ගේ පවුලේ අයගේ දාසයකු ලෙස කටයුතු කළ නිසා බව ඔහු ම කියයි. 


මෙකී කරුණු සම්බන්ධයෙන් රජයට ඉතා පහසුවෙන් අධිකරණ ක්‍රියාමාර්ගවලට එළඹීමට හැකියාව තිබියදී එසේ නො කර මාධ්‍ය හමුවේ මෙම කරුණු ඉදිරිපත් කරන්නේ සත්තකින් ම මේ දූෂණ දුරලීමේ උවමනාවක් ඔවුන්ට නැති නිසා ය. තමන් කර ඇති දූෂණවල හැටිය‍ට මේවා එතරම් දේ නො වන බව චෝදනා එල්ල කරන අය හොඳටම දනිති. ආණ්ඩුව උත්සාහ කරන්නේ සරත් ෆොන්සේකා කියන තරම් පිරිසිදු චරිතයක් නො වන බව පෙන්වීමටයි. 



ලංකාවේ සමාජය කේශාන්තයේ සිට පාදාන්තය දක්වා ම දූෂණයෙන් ඉහ වහා ගොස් ඇති බව අමුතුවෙන් කිව යුතු නොවේ. මෙය සමස්ත ධනවාදයේ ම ගැටළුවකි. ධනවාදය පවතින්නේ ලාභය මත ය. අසාධාරණ ලාභය හැම විට ම දූෂණයකි. වර්තමානයේ තේ කඩයක වේටරයකු පවා ගනුදෙනුකරුවකුට සේවය සපයන්නේ ටිප් එක වෙනුවෙනි. මුදලාලි වේටර්ගේ වැටුප ගණන් හදන්නේ ද ටිප් එක ප්‍රසිද්ධියේම ගත හැකි එකක් සේ සලකා ය. ටිප් එක නොදුන් ගනුදෙනුකරුවා දෙවන දිනයේ තේ කඩයට ආ විට වේටර්ගේ සැලකිල්ල අඩු වේ.


ගමේ කණිෂ්ඨ විද්‍යාලයකට ගුණාත්මක යෙදවුම් ලෙස රජය ලබා දෙන මුදලින් අවශ්‍ය හාෆ්ෂීට්, පැස්ටල් පෙට්ටි වැනි සුළු සුළු භාණ්ඩ මිළ දී ගැනීමේදී පවා සැපයුම්කරුවන් තිදෙනෙකුගෙන් මිළ ගණන් කැඳවා අඩු ම මිළ දක්වන අයගෙන් මිළ දී ගැනීම කළ යුතු ය. ඈත නගරවල මෙවැනි සැපයුම්කරුවන් තිදෙනෙකු සොයා ගන්නට ද දුෂ්කර ය. මෙම ගැටළුවට විසඳුම් ලෙස සැපයුම් කරන කඩ හිමියන් ම විදුහල්පතිට වැඩි මිළ සැපයුම්කරුවන් දෙදෙනෙකුගේ මිළ ගණන් ලබා දෙයි. එම සැපයුම්කාර සමාගම් ද අර මුදලාලි‍ගේ ම ය. ‍‍


ඉහත නිදසුන් දෙක ඔස්සේ අප පෙන්නුම් කරන්නේ ධනවාදය විසින් සමාජය තුළ දූෂණය කෙතරම් සාමාන්‍යකරණය කර තිබේ ද යන්නයි. එසේ දූෂණය රජ වූ සමාජයක සරත් ෆොන්සේකා කියන තරම් සුදු හංසයකු නො වන බව අමුතුවෙන් කිව යුතු නොවේ. සමාජය එවැනි සුපිරිසිදුකමක් අපේක්ෂා කරන්නේ ද නැති බව අපේ අදහසයි. 


ධනවාදී යහපාලනය යනු දූෂණය පාලනය කිරීම මිස දුරලීම නොවේ. ශත ගණනට ලබා ගත හැකි පැරසිටමෝල් පෙත්ත වෙළඳ නම් යොදා එකට සියයකට වැඩි ලාභයක් ලැබීම මනුෂ්‍යත්වය අනුව අපරාධයක් වුව ද ධනවාදය අනුව සාර්ථක ව්‍යාපාරකරණයයි. නිෂ්පාදකයාත් පාරිභෝගිකයාත් අතර වෙළඳ දැන්වීම්කරුවන්, අලෙවි නියෝජිතයන්, ප්‍රවර්ධකයන්, තොග හා සිල්ලර වෙළෙන්දන් ආදී බලවේග රැසක් හිඳිමින් අධික ලාභ ගරා ගැනීම ධනවාදයේ සාමාන්‍ය ලක්ෂණයකි. 


සරත් ෆොන්සේකා බලයට පත් වූ පසු ඔහු කියන අන්දමින් දූෂණය නැති කළත් ඇත්තෙන් ම සිදු වන්නේ දූෂණයේ යම් පාලනයක් පමණි. රජයට භාණ්ඩ හා සැපයුම් කිරීමේදී කොමිස් ගැසීම එසේ ම පවතිනු ඇත. මේවා නතර කළහොත් පවතින රාජ්‍ය අංශය මුළුමනින් ම අකාර්යක්ෂම වනු ඇත. නිදසුනක් ලෙස පාරක් කොංක්‍රීට් කිරීම සිදු වන්නේ එයින් කොංත්‍රාත්කරුවන්ට ඇති ලාභය හා කොංත්‍රාත් ලබා දෙන නිලධාරීන්ට එම ලාභයෙන් කොටසක් යන නිසා ය. වර්තමාන සමාජයේ බොහෝ හාමුදුරුවරු බණක් දෙසන්නේ ද ලැබෙන පිරිකරට ඇති ලොල්කම නිසා ය. ලාභය මත පදනම් වූ ධනවාදී ආකල්ප ඒ තරමට මේ සමාජයේ මුල් බැස තිබේ. එවන් තත්වයක් තුළ සරත් ෆොන්සේකා සුදු ම සුදු හංසයක් ලෙස පෙන්නන්නට ජවිපෙ හා එජාපය දරන උත්සාහය තේරුමක් නැති වෙහෙසකි. 


එසේම, ෆොන්සේකාගේ බෑණාගේ දූෂණ ගැන සොයන අය තමන්ගේ බෑණලාට පමණක් නොව ආච්චිගේ නැන්දාගේ පුතාගේ මාමංඩිගේ නැනාගේ මුණුබුරාට පවා සලකා ඇති සැලකිලි ගැන සිහිපත් කර ගැනීම යහපත් ය.  අපට පෙනෙන පරිදි මේ විවාදය බොල් ය.


දූෂණය මේ ධනේශ්වර සමාජයට අවශ්‍ය ය. එය මේ සමාජයේ කොටසකි. සමාජ වෙනසකින් තොරව දූෂණය නැති කරන්නට ගියහොත් සිදු වන්නේ ගුරුත්වාකර්ෂණය නැති වී යාම වැනි සිතා ගන්නට බැරි දෙයකි. අපට තේරෙන පරිදි නම් සමාජය පාලකයන්ගෙන් ඉල්ලා සිටින්නේ දූෂණය නැති කරන්නැයි කියා නොවේ. පාලනය කරන්නැයි කියා ය. මහින්ද රාජපක්ෂට බැරි වී තිබෙන්නේ එයයි. 


සරත් ෆොන්සේකා කර ඇති අන්දමේ දූෂණ පිළිබඳ පරීක්ෂණ කරන්න‍ට නම් පොලිසියට හා අධිකරණයට ජනගහණයෙන් භාගයක්වත් බඳවා ගත යුතු ය. දූෂිතයන් හිරේ දැමීමට කොළඹ නගරය තරමේ කඳවුරු ගණනාවක් අවශ්‍ය වනු ඇත.


ධනවාදයට දූෂණ දුරලිය නො හැකි ය. එය එහෙම පිටින් ම දූෂණයකි.

1 comment:

  1. සරත් පොන්සේකා මහතා දුෂිත අවිගනුදෙනු කල බව රාජපක්ෂ රජයත් එම ර‍ජයට පක්ෂපාතී අයත් දැන සිටි බව මේ දිනවල ඉදිරියට පැමිණ ප්‍රකාශ කරනව. එහෙත් මෙවැනි දූෂිත රාජ්‍ය නිලධාරීන් සම්බන්ධයෙන් විනයානුකුලව කටයුතු නොකලේ ඇයි. එයින් තහවුරු වන්නේ ඔහු විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ජනපතිවරණයට ඉදිරිපත් නොවුයේනම් මොවුන් මේ කිසිවක් හෙලි නොකරන බවයි. එසේම ඔවු‍න්‍ පෙන්වා දෙන්නේ තමන්ට විරුද්ධ නොවන තාක් තමන්ගේ පිලේ සිට ඕනෑම දූෂිත වංචනික හොරකමක් මැරකමක් කිරීමට බාධාවක් නොවන බව නේද? ඒකනම් නියම රටට ජාතියට ආදරය කිරීමක්.

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.