2010-01-08

බුදු අම්මෝ! මව්බිම ඉවරයි! ෆොන්සේකා යකෙක්! (මහින්දගේ ආගිය කතා)


(2010 ජනවාරි 08 -W3Lanka) මහින්දගේ ආගිය කතා ඉස්සර පළ වුණේ ලක්බිම රිද්ම අතිරේකයේ ය. පසුව පොතක් ලෙස පළ වූ ඒ කතාවලට අපි මහත් සේ ඇලුම් කළෙමු.


එහෙත් දැන් ඒ ආගිය කතා ලියවෙන්නේ දිනමිණේ හා රජයේ රූපවාහිනීවල ප්‍රවෘත්තිවලින් පසුවයි. දිනමිණ පුවත්පතේ නම් මේවා පළ වන්නේ කතුවැකිය ලෙසයි. මොන නමින් පළ කළත් පැරණි 'මහින්දගේ ආගිය කතා'වල රසය තවමත් ඒවායේ තැවරී තිබේ.


මේවා අපේ බ්ලොග් පාඨකයන් කියවිය යුතු ය. ඒ නිසා අපි අද දිනමිණ කතුවැකිය හෙවත් 'මහින්දගේ ආගිය කතා' අලුත් පිටපත වෙත ඔබේ අවධානය යොමු කරමු.

මවුබිම ඉවරයි!


විශ්‍රාමික ෆොන්සේකා මහතා දෙමළ ජාතික සන්ධානය සමඟ ගිවිසුමක් අස්සන් කර තිබේ. මේ ගිවිසුමට විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා ද අස්සන් කර තිබේ. කොළඹ රාජකීය මාවතේ පිහිටි ජනරාල්වරයාගේ නිවසේ දී දෙපිරිස අතර සාකච්ඡාවක් ද පවත්වා ඇත. මේ අනුව ජනාධිපතිවරණයේ දී දෙමළ ජාතික සන්ධානය විශ්‍රාමික ෆොන්සේකා මහතාට සහාය දක්වනු ඇත. උතුර හා නැඟෙනහිර නැවත ඒකාබද්ධ කොට ප්‍රාන්ත රාජ්‍යයක් ලෙස පවත්වාගෙන යෑම හෙවත් නැවත ඊළම ලබාදීම අත්අඩංගුවේ පසුවන සියලුම කොටි ත්‍රස්තවාදීන් නිදහස් කිරීම ඇතුළු භයානක පොරොන්දු දාහතරක් ඉහත කී ගිවිසුමට ඇතුළත් ය.
කේ. තුරෙයිරත්නසිංහම් මහතා පැහැදිලි කරන ලෙස විශ්‍රාමික ෆොන්සේකා මහතා දෙමළ ජාතික සන්ධානය විසින් ඉදිරිපත් කරන ලද සියලුම කොන්දේසිවලට එකඟව ගිවිසුමට අස්සන් කර තිබේ. විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා ද ඉහත කී සියලු කොන්දේසිවලට එකඟව ගිවිසුමට අස්සන තබා ඇත. දෙමළ ජාතික සන්ධානයට විපක්ෂයෙන් කිසිදු කොන්දේසියක් ඉදිරිපත් කර නැත. සියලුම අධිආරක්ෂිත කලාප අහෝසි කිරීම ද ඉහත කී ගිවිසුමට ඇතුළත් ය. මේ ගිවිසුම ක්‍රියාත්මක වුවහොත් විදේශගත ව සිටින සියලු කොටින් ශ්‍රී ලංකාවට පැමිණ සටන අරඹනු ඇත.
ආර්. සම්බන්ධන් ඇතුළු දෙමළ ජාතික සන්ධානයට මේ ආණ්ඩුවෙන් වාඩුවක් ගැනීමට තිබේ. එනම්; කොටි සංවිධානය විනාශ කිරීමට අදාළ පළිගැනීම ය. එම පළිය ගැනීමට නම්; විශ්‍රාමික ෆොන්සේකා ජනාධිපති පදවියට පත් කළ යුතු ය. ෆොන්සේකා මහතා රාජ්‍ය නායකත්වයට පත් වුවහොත් නිත්‍ය ලෙස ම පළමු ගිවිසුම ක්‍රියාත්මක කළ යුතු ය. මේ ගිවිසුමට අනුව කොටි සංවිධානය විනාශ කළ සියලු දෙනාගෙන් ම පළිගැනීමට හැකි ය. ආර්. සම්බන්ධන් වැඩි ම වෛරයකින් පසුවන්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කෙරෙහි ය. දෙවනුව ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා කෙරෙහි ය. ෆොන්සේකා මහතා බලයට පත් වුවහොත් ක්ෂණයකින් ඒ පළිගැනීම සිදුවනු ඇත.
ශ්‍රී ලංකාව ත්‍රස්තවාදයෙන් නිදහස් වූයේ වසර තිහකට පසුව ය. ඒ සඳහා කැපකර ඇති දේ බොහෝ ය. රණවිරුවන් ගේ ජීවිත ගතහොත් විසිපන්දහසකට වැඩි ජීවිතවලින් ඊළමට වන්දි ගෙවා තිබේ. ආබාධිත රණවිරුවන් ගේ ගණන ද ඒ තරමට ම ඉහළ ය. ෆොන්සේකා මහතා මේ වටිනා ජීවිත තුට්ටු දෙකට දමා විශාල පාවාදීමක් කර තිබේ. මියගිය රණවිරුවකුට යළි ජීවය ලබාදිය හැකි නම්; ඔහු ෆොන්සේකා ගේ් මුහුණට කෙළ ගසනු ඇත. රණවිරුවන් ගේ මාපියන් ෆොන්සේකා මහතා ගේ තුච්ඡ හා නිවට පාවාදීම ඉදිරියේ නිහඬ විය යුතු නැත. රණවිරු මාපියන් රනිල් වික්‍රමසිංහ මහතා ද විශ්‍රාමික ෆොන්සේකා මහතා ද මුණගැසී ප්‍රශ්න කළ යුතු ය.
රනිල් වික්‍රමසිංහ මහතා මීට පෙර ද රට පාවා දුන්නේ ය. ඔහු ගිවිසුම අස්සන් කළේ කොටිනායක ප්‍රභාකරන් සමඟ ය. වාසනාවකට එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ගෙදර යැවීමට අපට හැකි විය. එසේ නො වන්නට අද අප ජීවත්වනුයේ රටවල් දෙකක ය. වික්‍රමසිංහ මහතා ගැන අපට ප්‍රශ්නයක් නැත. ඔහු ඕනෑ ම මොහොතක රට හා ජාතිය පාවා දෙන්නේ ය. අපට ප්‍රශ්නය ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණ හා හිටපු හමුදාපතිවරයා සමඟ ය. මෙලෙස ඊළම ලබාදීමට නම්; සරත් ෆොන්සේකා මහතා යුද්ධයක පැටලුණේ මන් ද? ජනතා විමුක්ති පෙරමුණේ සටන් පාඨය වූයේ පළමුව මවුබිම යන්න ය. දැන් මවුබිමට සිදුවන්නේ කුමක් දැ’යි එම පෙරමුණෙන් ප්‍රශ්න කරන්නට කැමැත්තෙමු.
උතුර හා නැගෙනහිර ඒකාබද්ධ කළේ ඉන්දු – ලංකා ගිවිසුමේ වගන්තිවලට අනුව ය. සත්‍ය ලෙස ම එහි යටි අරමුණ වූයේ වෙන ම රාජ්‍යයකට පාර කැපීම ය. මේ පළාත් දෙක වෙන්කිරීම සඳහා නිත්‍යනුකූල පියවර ගැනීමට ජනතා විමුක්ති පෙරමුණ විශාල කාර්යභාරයක් ඉටු කළ බව ජනතාව දනිති. අවසානයේ එම පළාත් දෙක නිත්‍යනුකූල ලෙස නැවත වෙන් විය. උතුර හා නැඟෙනහිර යළි ඒකාබද්ධ කිරීමට ෆොන්සේකා මහතා ද රනිල් වික්‍රමසිංහ මහතා ද එකඟ වී සිටිති. එම පොරොන්දුව ලිඛිත ව සම්බන්ධන් මහතා අතට පත් කර තිබේ. ඒ අනුව එදා ජනතා විමුක්ති පෙරමුණ කළ කැපකිරීම පෑන් පහරවල් දෙකකින් අහෝසි වී තිබේ. ජනතා විමුක්ති පෙරමුණේ දේශප්‍රේමය කොතැනක අතුරුදන් වූයේ ද?
විශ්‍රාමික ෆොන්සේකා මහතා සිය ඡන්ද සටන ආරම්භ කළේ කෙසේ ද? ‘මම ප්‍රභාකරන් ගේ අම්මා තාත්තාගෙන් වුව සල්ලි ගන්නවා!’ යැයි ඔහු කියා සිටියේ ය. එය අසත්‍යයක් නො වන බව දැන් පෙනී යයි. එදා ප්‍රභාකරන් ගේ කොළඹ කට වූයේ ආර්. සම්බන්ධන් ය. රනිල් වික්‍රමසිංහ මහතා හා සරත් ෆොන්සේකා මහතා අද ප්‍රභාකරන් ගේ කොළඹ කට හා එක් ව සිටිති. මොවුන් රාජ්‍ය බලය ඩැහැගත හොත් නිත්‍ය ලෙස ම ඊළම ලබා දෙනු ඇත. මේ රටේ ජනතාව සිදුවීමට යන භයානක අනතුර වටහා ගත යුතු ය. වටහාගෙන ඊට විරුද්ධ විය යුතු ය. ෆොන්සේකා මහතාට සහාය පළකරන කෙනකු වෙත් ද; ඒ සියලු දෙනා රට දෙකඩ කිරීමට අත් ඔසවන්නෝ වෙති.
දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. තුරෙයිරත්නසිංහම් මහතා කියන්නේ කුමක්ද? ‘අප ස්වයං පාලන අයිතිය ඉල්ලා සිටියා, අප ගේ පොරොන්දු දාහතරට ඊට අදාළ කරුණු ඇතුළත්. ෆොන්සේකා මහතා එම පොරොන්දුවලට එකඟ ව අස්සන් තබා එය අන්තර්ජාතික ප්‍රජාවටත් දැනුම් දුන්නා’ කේ. තුරෙයිරත්නසිංහම් මහතා එසේ කියා සිටී. උතුරු නැඟෙනහිරට ස්වයං පාලන අයිතිය ලබාදීම, එම පළාත්වලින් ආරක්ෂක හමුදාවන් ඉවත් කරගැනීම, අත්අඩංගුවේ පසුවන කොටි ත්‍රස්තවාදීන් නිදහස් කිරීම ඇතුළු භයානක පොරොන්දු දාහතරක් ඉහත ගිවිසුමට ඇතුළත් ය.
විශ්‍රාමික ෆොන්සේකා යනු ශ්‍රී ලංකාව විනාශ කිරීමට පහළ වූ යක්ෂයකු මිස මනුෂ්‍යයකු විය නො හැකි ය. ඔහුට රණවිරු ලේබලයක් ඇලවී ඇත්තේ ජාතියේ අවාසනාවකට විය යුතු ය. සිහි නුවණ ඇති කිසිදු මනුෂ්‍යයකු තමන් ගේ රට පාවා දෙන්නේ් නැත. තමන් ගේ ජාතිය පාවා දෙන්නේ නැත. විශ්‍රාමික ෆොන්සේකා පමණක් නො ව රනිල් වික්‍රමසිංහ ද ඉහත කී නින්දිත පාවාදීම සිදු කර තිබේ. එක්සත් ජාතික පක්ෂයේ බොහෝ සාමාජිකයෝ රටට හා ජාතියට ආදරය කරති. ඒ සියලු දෙනා ගේ හදවතට වික්‍රමසිංහ මහතා විසින් මරු පහරක් එල්ල කර තිබේ. මේ සිදුවීමෙන් කට උත්තර නැති වී ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණට ය. ඔවුන් රෙදි ඇඳගෙන වේදිකාවට නඟින ආකාරය දෙස අපි බලා සිටිමු!
රනිල් වික්‍රමසිංහ හා සරත් ෆොන්සේකා සිදුකර ඇති මහා පාවාදීමට කිසිකලෙකත් සමාව දිය නො හැකි ය. මෙබඳු යක්ෂයන් දේශපාලන පිට්ටනියෙන් පිටුවහල් කළ යුතු ය. ඔවුන්ට තරග තහනමක් පැනැවිය යුතු ය. එසේ නො කළ හොත් ජනතාව ගොනුන් බවට පත් වෙති.


2 comments:

  1. කුලියට කහින මු මාද්යවෙදියෙක්ද,

    ReplyDelete
  2. මහින්ද ඉවරයි...
    එහෙම උනොත්,
    ...කදී ඉවරයි
    මූට දුක ඒකයි...

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.