2010-01-20

අපි ද කොටි ද තීරණය කරන ජනාධිපතිවරණය

අජිත් පැරකුම් ජයසිංහ -

ලබන සතියේ පැවැත්වෙන්නේ ලංකා ඉතිහාසයේ දූෂිත ම ජනාධිපතිවරණයයි. පොදු දේපල ජනාධිපතිවරණයේ එක් අපේක්ෂකයකු වූ මහින්ද රාජපක්ෂගේ ජයග්‍රහණය සඳහා මේ අන්දමින් යෙදවීම විසින් ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී ලෝකයේ කෙතරම් පහත් තැනකට ඇද හෙළා තිබේ ද යන්න ලෝකයට ම ප්‍රදර්ශනය වේ. මෙවැනි මැතිවරණ පැවැත්වෙන්නේ ආඥාදායකත්වයන් හා  ඒක පාක්ෂික දේශපාලන ක්‍රම තුළයි. බලයේ සිටින පක්ෂය තම පාලනය ය‍ටතේ තිබෙන මහජන දේපල තමන්ගේ ජයග්‍රහණය සඳහා යොදා ගැනීම ලංකාවේ හැමදාමත් තිබුණු තත්වයක් වූ මුත් මෙතරම් විලි ලැජ්ජා නැති අන්දමින් එසේ කිරීම අලුත් ම සංසිද්ධියකි.

සිය ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය මේ අන්දමින් මහජන මුදල් හා දේපල මත දියත් කිරීමෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ එක පැත්තකින් ඔහුට එරෙහිව එල්ල වන දූෂණ චෝදනාවලට තමන් ම සාක්ෂ්‍ය වූයේ ය. අනෙක් පැත්තෙන් ඒ ඔස්සේ ප්‍රදර්ශනය වූ තවත් දෙයක් වන්නේ පරාජයේ භීතිකාවයි. විශේෂයෙන් ම ආණ්ඩු පක්ෂයේ දෙවන හා තුන්වන මට්ටම්වල දේශපාලකයන් බිම් මට්ටමේදී හැසිරුණේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පරාජයෙන් බේරා ගන්නට දත කන අසරණ පුලන්නන් පිරිසක් ලෙසයි. නිදසුනක් ලෙස, තමන්ගේ කතාවලට සවන් දීම සඳහා ඔවුන් ජනතාව එක් රැස් කර ගත් ඇතැම් ආකාරයන් ජනාධිපතිවරයාට කරන ලද අපහාසයකි. ජනවාරි 20ට පෙර පාසල් සංවර්ධන සමිති රැස්වීම් පවත්වන ලෙස අධ්‍යාපන බලධාරීන් හරහා විදුහල්පතිවරුන්ට නියෝග කළ රජය එම රැස්වීම්වලට මහජන නියෝජිතයන් සහභාගි කරන ලෙස ද නියෝග කළේ ය. දරුවාගේ අධ්‍යාපනයේ නාමයෙන් කැඳවන ලද මෙම දෙමාපියන් ඉදිරියේ ලජ්ජා විරහිත අන්දමින් නීති විරෝධී රැස්වීම් පවත්වමින් බුලත් කොළයට ඡන්දය දෙන්නැයි පවසන්නට තරම් ආණ්ඩු පක්ෂයේ දේශපාලනඥයෝ ලජ්ජා විරහිත වූහ.

ආණ්ඩුව මෙතරම් බියකින් හැසිරෙන්නේ පාලක පැළැන්තියේ වෙනසක් කිරීමේ ප්‍රබල අවශ්‍යතාවක් සමාජය වෙතින් ප්‍රකාශමාන වෙමින් තිබෙන නිසා ය. කුමන අන්දමකින්වත් වෙනස පිළිබඳ මෙම අපේක්ෂාව යටපත් කර ගැනීමට බැරි වී තිබේ. එහෙත්, වෙනසක් අපේක්ෂා කරන මෙම බලවේගය රටේ බහුතරය ද යන්න දැන ගන්නට ලැබෙන්නේ ජනාධිපතිවරණ ප්‍රතිඵලයෙනි. පසුගිය වසරේ ඉන්දියාවේ පැවති මහ මැතිවරණයේදී ද මෙබඳු තත්වයක් දක්නට ලැබිණි. මෙය විශේෂයෙන් ප්‍රදර්ශනය වූ ප්‍රාන්තයක් වූයේ තමිල්නාඩුවයි. එහෙත් ප්‍රචාරක ව්‍යාපාරයන් තුළ තිබුණු වෙනසක අපේක්ෂාව ඡන්දයෙන් ප්‍රකාශයට පත් නො වූ අතර හිටපු පාලකයන් වූ කොංග්‍රස් පක්ෂය හා එය සමග සන්ධානගත වී සිටි ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් වැනි පක්ෂ මැතිවරණය ජයගත්තේ ය. ලංකාවේ ද තත්වය මෙය වීමට යම් ඉඩක් තිබේ.

එහෙත්, ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් සිය ප්‍රතිවාදීන්ට ලබා දුන් ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයේ සීමිතභාවය හේතුවෙන් ජනාධිපතිවරණයේ තරගය දැඩි ලෙස අසමමිතික ය. මෙම අසමමිතික තරගයේදී ජනාධිපතිවරයාගේ නැවත තේරී පත් වීම සිදු විය යුත්තේ අඩු තරමින් 60%කින්වත් ය. නැති නම් එය සත්‍ය වශයෙන් ම පරාජයකි.

ජය පරාජය කුමක් වුවත්, මෙම මැතිවරණය විසින් ජනතාව වෙත ලබා දුන් සුබදායී ප්‍රතිඵල රැසක් තිබේ.  ජනතා ප්‍රශ්න කුණු කූඩයට තල්ලු කරන්නට බැරි අන්දමින් මේසය මතට පැමිණීම එකකි. විපක්ෂය විසින් ප්‍රබල ලෙස මතු කරන ලද විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ අපේක්ෂාව ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මැතිවරණ ප්‍රකාශය තුළ ලේඛනගත වීම එයින් ප්‍රධාන එකකි. එසේ ම, ජීවන වියදම අඩු කිරීම, හදිසි නීතිය, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත, අවතැන් වූවන් යළි පදිංචි කිරීම, අධි ආරක්ෂක කලාප ඉවත් කිරීම, දේශපාලන සිරකරුවන්ට නඩු පැවරීම හෝ නිදහස් කිරීම ආදී විපක්ෂය විසින් මතු කරන ලද කරුණු රැසක් ආණ්ඩු පක්ෂයේ අවධානයට ද යොමු වී තිබේ. විපක්ෂය විසින් මතු කරන ලද ප්‍රධාන තේමාව වූ දූෂණ දුරලීම පිළිබඳ කාරණය පවා මගහැර යාමට ඉදිරි ධුර කාලය සඳහා තේරී පත් වුවහොත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට අපහසු වනු ඇත. ඔහුට ලැබෙන ඡන්ද වනාහි දූෂණ, ඥාති සංග්‍රහ, ඒකාධිපතිවාදය හා අවනීතිය පවත්වාගෙන යාම සඳහා ලැබෙන ජනවරමක් නො වන බව ආණ්ඩුව තේරුම් ගත යුතු ය. මෙම මැතිවරණ ව්‍යාපාරයේදී ආණ්ඩු පක්ෂය විසින් ඔසවා තබනු ලැබුවේ දේශපාලන සටන් පාඨ නොවේ. කළ ගුණ සැලකීම වැනි අදේශපාලනික භාවාතිශය කරුණු ය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ජය ගන්නේ නම්, ඔහුගේ ජයග්‍රහණයට ඉවහල් වන්නේ මෙම හෘදය සාක්ෂියේ ඡන්දයි. ජනතාව ඔහුට ඡන්දය දෙන්නේ තවත් වසර හයක් හෝ අටක් සිය පවුල හා හිතවතුන් සමග නාඩගම් නැටීමට නොවේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවා මෙම තත්වය ඉවසා දරා ගැනීමේ සීමාවකට පැමිණ ඇති බව පක්ෂ අභ්‍යන්තරයේ තිබෙන කැළඹීම්වලින් ප්‍රදර්ශනය වේ.

මෙම ජනාධිපතිවරණයේදී විපක්ෂයේ ප්‍රධාන තේමාව වූ  දූෂණ දුරලීම පිළිබඳ සටන් පාඨය ආණ්ඩු පක්ෂය විසින් අභියෝගයට ලක් කරනු ලැබුවේ සරත් ‍ෆොන්සේකා හමුදාපති ධුරය හෙබවූ සමයේ බෑණාට සැපයුම් කොන්ත්‍රාත් ලබා දීම සඳහා ඔහු බලය පාවිච්චි කර ඇති බව පෙන්වමිනි. මෙම සිද්ධියෙන් ඔප්පු වන එක් දෙයක් වන්නේ ලාභය මත පදනම් වූ ධනවාදයේ පදනම ම දූෂිත බවයි. ව්‍යාපාර සඳහා විවිධ මට්ටම්වලදී සම්බන්ධ වන අතරමැදියන්ට ගෙවන කොමිස් ධනේශ්වර ක්‍රමයේ ප්‍රධාන ලක්ෂණයකි. කොමිස් නැති ධනවාදයක් යනු අද දවසේ සිතා ගත නො හැක්කකි. දන්නා හඳුනන අහිංසක හිතවතකු රවටා හෝ යම් අන්දමකින් බියට පත් කරගසා කන මුදලින් රක්ෂණ සමාගම් සිය නියෝජිතයන්ට සුවිසල් කොමිස් ගෙවන්නේ ඉතා ම මහත්මා රැකියාවකට වැටුප් ගෙවන ආකාරයටයි. මෙම උදාහරණ හරහා අප පෙන්වා දෙයන්නේ ධනවාදය කේශාන්තයේ සිට පාදාන්තය දක්වා ම දූෂිත එකක් බවයි. එබැවින් එහි දූෂණ දුරලීම යනු සාපේක්ෂ කරුණක් පමණි. කළ හැක්කේ අද කෙරෙන අන්දමේ මහ දවල් මංපැහැරීම් නැවැත්වීම පමණි. ධනවාදයෙන් අසාධාරණ ලාභය හෙවත් සොරකම ඉවත් කිරීම මිනිස් සිරුරකින් හෘදය වස්තුව ඉවත් කිරීම වැනි ය.

අප දකින ආකාරයට නම් මේ මැතිවරණයේදී ද වැදගත් ම සාධකය වන්නේ ජාතීන්ගේ ප්‍රශ්නය බවයි. තමන් බලයට පත් වුවහොත් ජාතීන්ගේ ප්‍රශ්නය විසඳීම සඳහා කුමන ක්‍රියාමාර්ග ගනු ඇද්ද යන්න ජනාධිපති  මහින්ද රාජපක්ෂ හෝ සරත් ෆොන්සේකා පැහැදිලිව කියා නැත. බැලූ බැල්මට පෙනෙන අන්දමට නම්, වැඩි ජන පදනමක් ඇති  දෙමළ ජන නායකයන් සරත් ෆොන්සේකාට සහාය දක්වන්නේ දෙමළ ජනයාට කුමන අන්දමකින් හෝ රාජපක්ෂ පීඩනයෙන් මිදීමට අවශ්‍යව තිබෙන නිසා මිස අන් කිසිදු අනාගත අපේක්ෂාවක් ඇතිව නොවේ. එහෙත් ජනවාරි 27දායින් පසු ලංකාවේ ද ප්‍රධාන ගැටළුව ජාතික ප්‍රශ්නය ම වීම වැළැක්විය නො හැකි ය. මෙහි තිබෙන්නේ සරළ කරුණකි. එය ආණ්ඩුව සමාජය බෙදා දක්වන 'කොටි සහ අපි' යන බෙදුම්කඩනය තුළ ම සරළව පැහැදිලි කර දිය හැකි ය. එනම්, ඉදිරි තාලයේදී ලංකාවේ බලය බෙදා ගැනීමේ යථාර්ථවාදී ක්‍රියාමාර්ගයක් ඔස්සේ ජාතීන් අතර සංහිඳියාව ඇති කර ලාංකීය ජාතියක් ගොඩනැඟීමෙන් 'අපි' බවට පත් වෙනවා ද, නැතිනම් මේ ප්‍රශ්නය තව දුරටත් ඇදී යන්නට ඉඩ දී බෙදුම්වාදී යයි කියන ව්‍යාපාරවලට යළි තහවුරු වීමට ඉඩ ලබා දී 'කොටි' වෙනවා ද යන්නයි. ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා ම අපට පෙනෙ අන්දමින් නම් කොටි වෙති. 

No comments:

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.