2010-01-23

දේශපාලන සිරකරුවන්ට පොදු සමාවක් දී නිදහස් කිරීම අද දවසේ වැදගත් ම දේශපාලන පියවරකි


(2010 ජනවාරි 23 -W3Lanka) සමාජ සංවර්ධනය හැම විට ම සාමකාමී ආකාරයෙන් සිදු වන්නේ නැත. ඉතිහාසයේ ඇතැම් යුග අතිශය ප්‍රචණ්ඩ ය. විටෙක ප්‍රචණ්ඩත්වය අසාධාරණයට එරෙහි ප්‍රතිචාරයකි. කෙසේ වෙතත්, ඉතිහාසය ගොඩනැඟී ඇත්තේ ප්‍රචණ්ඩත්වය ද ඇතුළත්ව ය. 


ඉතිහාසයේ තීරණාත්මක චලනයන්ට සාධනීය ලෙස දායක වූ ඇකැම් ප්‍රචණ්ඩ නායකයන් සමාජයේ වීරයන් වී ඇත. ජෝර්ජ් වොෂින්ටන් හෝ ලෙනින් හෝ චේ ගෙවාරා හෝ නෙල්සන් මැන්ඩෙලා හෝ පමණක් නොව මහින්ද රාජපක්ෂ හෝ සරත් ෆොන්සේකා හෝ අයත් වන්නේ ද මෙම ප්‍රභේදයටයි. ඔවුන් අතර දේශපාලන දෘෂ්ඨිවාදයන් පිළිබඳ බරපතල වෙනස්කම් තිබීම වෙන ම කරුණකි. 


සිය ප්‍රචණ්ඩ අරගල ඔස්සේ ඉතිහාසයේ තීරණාත්මක සාධනීය ප්‍රතිඵල ලබා දීමට අසමත් වූ නිසා ඇතැමෙකුට වීරත්වය අහිමි වී තිබේ. ඉන්දියාවේ සුභාෂ් චන්ද්‍රබෝස් හෝ රෝහණ විජේවීර හෝ ප්‍රභාකරන් හෝ අයත් වන්නේ මෙම ප්‍රවර්ගයටයි. එහෙත් ඔවුන් විසින් නායකත්වය දෙන ලද අරගලයන්ගේ ප්‍රතිඵලය ශුන්‍යය නොවේ. 


ඉතිහාසය චලනය වී ඇත්තේ පවත්නා තත්වයන්ට අභියෝග කර ඒවා වෙනස් කිරීම සඳහා සමත් වූ හෝ අසමත් වූ පුද්ගලයන් විසින් සපයන ලද දායක්වය ද උකහා ගනිමිනි. පවත්නා තත්වය ඉවසා දරා සිටින පුද්ගලයන්ට වඩා මේ පුද්ගලයෝ ඉතිහාසයේ සක්‍රිය චරිත වෙති. 


කරුණා අම්මාන් කොටි සංවිධානයේ හිටපු දෙවැනියා ය. ඔහුගේ මෙහෙයවීම යටතේ නැගෙනහිර පළාතේ සිදු වූ මිනිස් ඝාතන හා ප්‍රහාර සංඛ්‍යාව අති විශාල ය. පිල්ලෛයන් යනු ඔහු යටතේ සිටි මෙම ප්‍රචණ්ඩ ක්‍රියාවලට දායක වූ සටන්කරුවෙකි. පසු කලෙක ඔවුහු සිය මුල් අරමුණ අත්හැර රජය සමග එක් වී සිය පැරණි සගයන් විනාශ කිරීමට දායක වූහ. තමන් අතීතයේ කළ අපරාධ පිළිබඳව ඔවුන් කිසි කලෙක ස්වයං විවේචනයක් හෝ කර නැත. එහෙත්, අප්‍රකාශිතව ම රාජ්‍යය හා සමාජය විසින් ඔවුන්ට පොදු සමාවක් පිරිනමා තිබේ. සිය අතීතය අත්හළ අලුත් මිනිසුන් ලෙස සමාජයට එක් වීමට ඔවුනට අවස්ථාව සලස්වා දී තිබේ. මෙය ඉතා හොඳ තත්වයකි. සමාව දීම දේව ගතියකැයි කතාවට කියනු ලැබේ.




දෙවියන් යමෙකුට සමාව දෙන්නේ සමාව ලබන්නා පාවා දෙන්නකු වූ නිසා පමණක් නොවේ. සටනින් පරාජය වූවන්ට සමාව දීම ජයග්‍රාහකයාගේ වීරත්වය ඔප් නංවයි. 


කරුණා අම්මාන් ඉහළ ම නායක මණ්ඩලයක හිඳිමින් මෙහෙයවන ලද සංවිධානයක සාමාජිකත්වය දරමින් එම සංවිධානයේ මිලිටරි ස්වභාවයට යටත්ව නායකත්වය විසින් දෙන ලද නියෝග ක්‍රියාත්මක කිරීම හේතුවෙන් දහස් ගණනක් අරගලකරුවෝ මේ මොහොත වන විට ද සිරගත කරනු ලැබ සිටිති. ඔවුන් සටන් කළේ හා සතුරා යයි අර්ථකථනය කරන ලද අයට පහර දුන්නේ සිය කැමැත්තෙන් බව සත්‍යයකි. එහෙත් ඔවුන් එම තත්වයට පත් කරනු ලැබුවේ එදා පැවති සංදර්භය විසිනි. දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානයේ පරාජයෙන් පසු මෙම සංදර්භය වෙනස් වී තිබේ. සටන දිනුවා නම් වීරයන් ලෙස ඉතිහාස ගත වන්නට සිටි පිරිසක් ද්‍රෝහීන් ලෙස නම් ලැබ පරාජිතව සිරගත වී සිටිති. 

මේ වනාහි පුද්ගල අරමුණු වෙනුවෙන් හානිකර ක්‍රියාවල යෙදුණු සාමාන්‍ය අපරාධකරුවෝ නොවෙති. යම් දේශපාලන අරමුණක් වෙනුවෙන් ජීවිතය පරදුවට තබා සටන් කළ, ප්‍රචණ්ඩ ක්‍රියාවල යෙදුණු අය වෙති. පවත්නා නීතිය අනුව ඔවුන් වැරදිකරුවන් විය හැකි ය. එහෙත් ඔවුන් සටන් කර තිබෙන්නේ ම පවත්නා නීති හා පාලන රාමුව වෙනස් කිරීමට ය. නීති සම්පාදක ආයතන විසින් තම ජනතාවන්ගේ ගැටළු ආමන්ත්‍රණය නො කළ බව ඔවුන්ගේ මූලික තර්කයයි. 


දෙමළ ජනතාව විසින් ජීවිත, ධනය හා කාලය පරිත්‍යාග කර ගොඩනඟන ලද සටන පරාජය වී තිබේ. එහෙත්, එම සටන සඳහා හේතු වූ ජාතික අසමානත්වය එහෙම ම තිබේ. පවත්නා නීතිමය රාමුවේ ප්‍රචණ්ඩත්වයට එරෙහිව එයට පිටින් සිට කරන ලද ප්‍රචණ්ඩ දෙමළ අරගලය පරාජය කර ඇති මේ මොහොතේ අවශ්‍ය වන්නේ සටන් කළ සමාජයන් දෙක අතර සංහිඳියාවයි. ඒ සඳහා මූලික පියවර ගත යුත්තේ ජයග්‍රාහී සිංහල සමාජය විසිනි. දෙමළ සමාජය ද පරාජිත මානසිකත්වය ඉවත දමා සමාජයන් දෙක අතර සම්මුතියක් ඇති කර ගැනීම සඳහා උපරිම උත්සාහය කළ යුතු ය. 


මෙම උත්සාහයේදී දෙමළ සමාජයේ සක්‍රිය ම කොටස් එයට දායක කර ගත යුතුව තිබේ. මෙම සක්‍රිය කොටස් අතරින් ප්‍රධාන ම බලවේගයක් වන්නේ දැනට සිරගතව සිටින පරාජිත සටන්කරුවෝ ය. අලුත් ආරම්භයක් සඳහා ඔවුන් යොමු කර ගැනීම සඳහා ක්‍රමවේදයක් දෙමළ සිංහල සමාජයන් දෙක එක්ව ආරම්භ කළ යුතුව තිබේ. ඒ සඳහා පළමුකොට ම ඔවුන්ට පොදු සමාවක් දිය යුතු ය. 


දේශපාලන සිරකරුවන්ට පොදු සමාවක් දී නිදහස් කිරීම අද දවසේ ඉතා ම වැදගත් දේශපාලන තීන්දුවක් වන්නේ එහෙයිනි. 


(ඡායාරූප ඊයේ වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට පැවති උද්ඝෝෂණයකිනි)

No comments:

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.