2010-01-07

ගුරු, විදුහල්පති වැටුප් වැඩි කිරීම අමු ම අමු ප්‍රෝඩාවක්: ගුරු විරෝධය අභයාරාමයෙන්

(2010 ජනවාරි 07 -W3Lanka) ගුරු හා විදුහල්පති සේවාවල වැටුප් විෂමතා ඉවත් කිරීම මුලික කොට නිකුත් කර ඇති අංක: 6/2006/VIII රාජ්‍ය පරිපාලන චක‍්‍රලේඛය ගුරු හා විදුහල්පති වැටුප් විෂමතාවට කිසිදු විසඳුමක් නොදෙන එකක් බැවින් එය සහමුලින්ම ප‍්‍රතික්ෂේප කරන බව දිවයිනේ ප්‍රබල ම ගුරු සගම් දෙකක් වන ලංකා ගුරු සංගමය හා අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමය පවසති.


එම සංවිධාන මේ බව නිවේදනය කළේ අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් වැඩ වාසය කරන, එම සංගමයේ මූලස්ථානය පිහිටි නාරාහේන්පිට අභයාරාම‍යේදී ය.


රජය විසින් නිකුත් කර තිබෙන චක‍්‍රලේඛය මෙයට පෙර උසස් පෙළ පිළිතුරු පත් ඇගයීම් ක‍්‍රියාවලිය සිදුවන වකවානුවේදී ගුරු සංගම්වලට වැටුප් කොමිෂම විසින් ඉදිරිපත් කරනු ලැබ සංගම් විසින් මුලුමනින්ම ප‍්‍රතික්ෂේප කරන ලද එකක් බව අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ ලේකම් වසන්ත ධර්මසිරි පැවසීය. 

ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ නියෝග අනුව ලැබුනු ප‍්‍රතිලාභ කිසිවක් රජය විසින් මාධ්‍ය වෙත නිකුත් කරන ලද චක‍්‍රලේඛය තුළ අන්තර්ගත නොවන බව ද, මෙමගින් රාජ්‍ය මාධ්‍ය විසින් ප්‍රචාරය කරන ලද ආකාරයෙන් රු. 3000 සිට වැටුප් වැඩි වීමක් සිදු නො වන බව හා සත්‍ය වශයෙන් වැටුප් වැඩි වන්නේ රු. 105 සිට රු. 290 දක්වා පමණක් බව ද ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් පැවසීය. 

අධ්‍යාපන ඇමැතිවරයා කියන පරිදි වැඩි ප්‍රමාණයකින් වැටුප් වැඩි වන්නේ දෙලක්‍ෂයකට අධික ගුරුවරුන් අතරින් තුන් සියයකටත් අඩු පිරිසකට බව වසන්ත ධර්මසිරි පැවසීය. 


ස්ථාපිත සේවාවන් වන ගුරු සේවයේ හා විදුහල්පති සේවයේ සේවා නාම වෙනස් කිරීමට කැබිනට් අනුමැතිය අවශ්‍ය වුව ද, එය පවා නො තකා මෙම චක්‍රලේඛයෙහි මෙම සේවා නාම සාමාන්‍ය අධ්‍යාපන ගුරු සේවය හා සාමාන්‍ය අධ්‍යාපන විදුහල්පති සේවය ලෙස වෙනස් කර ඇති බව ද ජෝසප් ස්ටාලින් පෙන්වා දුන්නේ ය. 



සමස්ත ගුරු හා විදුහල්පති ප‍්‍රජාව රැවටීමට ලක් කරන මෙවැනි චක‍්‍රලේඛ නිකුත් කිරීම වහාම අත්හිටුවා මෙයට පෙර අධ්‍යාපන අමාත්‍යංශය විසින් වැටුප් කොමිෂමට ඉදිරිපත් කරන ලද, කැබිනට් පත්‍රිකාවක් ඔස්සේ අනුමැතිය ලද අතුරු වැටුප් යෝජනාව ක‍්‍රියාත්මක කරන මෙන් ගුරු සංගම් ඉල්ලා සිටිති. ඊට අමතරව අධ්‍යාපන ලේකම්ගේ 2008/45 චක‍්‍රලේඛයෙන් සහන නො ලඳ 1994ට පෙර සේවයේ සිටි වෘත්තීය පුහුණුව සහිත උපාධිධාරීන්ට ද, 94 න් පසු පත්විම් ලත් උපාධිධාරීන්ට ද, සෙසු පුහුණු හා විද්‍යාපීඨ ඩිප්ලෝමාධාරීන්ට ද ඇතිව තිබෙන විෂමතාව ඉවත්වන පරිදි අතිරේක වර්ධක එම ගුරුවරුන්ට ද ලබාදීම අවශ්‍ය බව දැඩිව අවධාරණය කරයි.


ඉහත කරුණු වලට අදාළව ඔබතුමාගේ පාර්ශ්වයෙන් ඉදිරි පැය 72 ඇතුළත යහපත් ප‍්‍රතිචාරයක් නොලබන්නේ නම් නැවත දැනුම් දීමකින් තොරව දැඩි වෘත්තීය ක‍්‍රියාමාර්ගයකට ගුරුවරුන් හා විදුහල්පතිවරුන් කැඳවන බවත් උසස් පෙළ පිළිතුරු පත් ඇගයීම වර්ජනය දක්වා වෘත්තීය ක‍්‍රියාමාර්ගය පෙරට ගෙන යාමට කවර බාධාවක් මධ්‍යයේ වුවද සංගම් පසුබට නොවන බවත් ගුරු සංගම් අවධාරණය කළහ.

No comments:

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.