2010-01-20

ඕල්කට් බෞද්ධයන්ගේ ස්ත්‍රී විරෝධය හා භික්ෂුනීන්ට සම තැන නො දීම


(2010 ජනවාරි  20 -W3Lanka) ශ්‍රී ලාංකීය භික්‌ෂූනීන් වහන්සේලා විෂයෙහි රජය පරිපාලන විෂමතාවකින් කටයුතු කිරීමෙන් භික්‌ෂූනීන්ගේ මානව හිමිකම් උල්ලංඝනයවී ඇති බව සඳහන් කරමින් සියම් මහා නිකායේ රංගිරි දඹුළු පාර්ශ්වයේ මහානායක පූජ්‍ය ඉනාමළුවේ ශ්‍රී සුමංගල හිමියන් විසින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට දිවුරුම් ප්‍රකාශයක්‌ මගින් පැමිණිල්ලක්‌ ඉදිරිපත් කර ඇත.

බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව භික්‍ෂුනීන් වාසය කරන විහාරස්‌ථාන ලියාපදිංචිය පැහැර හැර ඔවුන් පිළිගැනීමට ලක්‌ නොකිරීමෙන් බරපතල අසාධාරණයක්‌ බෞද්ධ කටයුතු කොමසාරිස්‌ ජනරාල්වරයා සිදුකර ඇති බවට පැමිණිල්ලේ සඳහන් වේ.


රංගිරි දඹුළු පාර්ශ්වීය සංඝ සභාවට භික්‌ෂූනීන් වාසය කරන විහාරස්‌ථාන 147 ක්‌ ඇති බවත්, උපසම්පන්න භික්‍ෂුනීන් 500 කට අධික සංඛ්‍යාවක්‌ හා සාමණේර භික්‌ෂූනීන් 2000ක්‌ පමණ සිටින බවත් බෞද්ධ සමාජය භික්‌ෂු භික්‍ෂූනීන් හා උපාසක උපාසිකා යන සිව්වනක්‌ පිරිසකගෙන් සමන්විත වන බවත්, එම සිව්වනක්‌ පිරිසකගේම අභිවෘද්ධිය තකා කටයුතු කිරීම බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ වගකීම  බවත් සුමංගල හිමිගේ දිවුරුම් ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

භික්ෂුනීන්ගේ අත්දැකීම වනාහි වර්තමාන ලාංකීය සමාජයේමුල් බැසගෙන තිබෙන ස්‍ත්‍රී පීඩනයේ ආගමික ප්‍රකාශනයකි. නූතන ධනේශ්වර වානිජකරණයට ගොදුරු වෙමින් හා පැරණි වැඩවසම් ලක්ෂණ රැක ගැනීම සඳහා උත්සාහ කරමින් මහත් හැලහැප්පීමක් තුළ පවතින ලංකාවේ සංඝ ශාසනය තුළ භික්ෂුනීන්ට සම තැන නො දීම පසුපස හේතු සාධක කීපයක් ඇත. සම්ප්‍රදායික පුරුෂාධිපත්‍ය ආකල්ප ඉන් එකකි. දායකයන්ගෙන් ලැබෙන සැලකිලි හා රාජ්‍යයෙන් ලැබෙන ආධාර බෙදා හදා ගැනීමට ඇති අකැමැත්ත අනෙකයි. මුල් එක සමාජමය කාරණාවක් වන අතර දෙවැන්න ආර්ථික කාරණයකි.



බුදුරජාණන් වහන්සේ පස් වන වස විශාලා මහනුවර කූඨාගාර ශාලාවෙහි වැඩ වාසය කරමින් සිටියදී මහාප්‍රජාපතී ගෝතමිය ඇතුළු පිරිස විශාලාමහනුවරට ගොස් ආනන්ද හාමුදුරුවන් හමුව ඔවුන් පැවිදි වීමේ අපේක්‍ෂාවෙන් එහි පැමිණි බව දැන්වූහ. එවිට ආනන්ද හිමියන් විසින් බුදුන් වෙතින් කරන ලද ඉල්ලීම හේතුවෙන් පෙර බුදුවරයන්ගේ දවස ශ්‍රාවිකාවන් පිළිගත් ගුණධර්ම අට පිළිපැදිය යුතු ය යන කොන්දේසිය මත ඔවුන්ට මහණ වීමේ අවසරය පිරිනමන ලදී. මෙය කාන්තාවන් ගේ පැවිදිවීමේ ආරම්භයයි.

මහා ප්‍රජාපතී මෙහෙණීන් වහන්සේ බුදුන් වහන්සේගෙන් කමටහන් ගෙන විදසුන් වඩා රහත් වූහ. ඒ සමඟ සසුන් ගත වූ සෙසු මෙහෙණින් වහන්සේ ද පසුව රහත් වූහ. මහා ප්‍රජාපතී රහත් මෙහෙණිය අනෙක් රහත් භික්‍ෂුණීන් වහන්සේ අතරින් අග තනතුරට පත් වූවා ය. මේ කාලයේ දී දඹදිව විසූ විවිධ තරාතිරම්වල කාන්තාවෝ සසුන් ගත වූහ. 

අවුරුදු දෙකක් පමණ ශික්‍ෂාවන් සමාදන්ව ඒවා ආරක්‍ෂාකිරීමෙන් සිකමානා නමින් හඳුන්වන සාමණේරවරියකට උපසම්පදාව ලබා ගත හැකි විය. එය ලබාගත යුත්තේ භික්‍ෂු භික්‍ෂුණී සංඝයා ඉදිරියේ ය. නවක භික්‍ෂූණීන් ආචාර්ය උපාධ්‍යාය භික්‍ෂුණීන් ඇසුරෙහි දෑවුරුද්දක් ශාසනික ප්‍රතිපදා ප්‍රගුණ කළ යුතු ය.

භික්‍ෂුණීන් ගේ එදිනෙදා කටයුතු සමාජයේ ප්‍රසාදයට හේතු වනු පිණිස විනය ශික්‍ෂාවන් තුන්සිය පහක් බුදුරජාණන් වහන්සේ විසින් පනවන ලද බව විනය පිටකය අනුව පෙනේ.මෙහෙණි සස්න ක්‍රමයෙන් දියුණු වී භික්‍ෂුණීන් වහන්සේ භික්‍ෂූන් ලත් වරප්‍රසාද ද ලබා ගත්හ. ඒ අනුව ඛේමා, උප්පලවන්නා භික්‍ෂුණී ශාසනයේ අග්‍ර ශ්‍රාවිකාවෝ වූවා ය. පටාචාරා තෙරණිය විනය ධර තනතුර ලැබුවා ය. 

ලක්දිව භික්ෂුනී සාසනය ඇරඹෙන්නේ දෙවන පෑතිස් රජු දවස මෙරටට වැඩම කළ සංඝමිත්තා තෙරණිය ප්‍රමුඛ භික්ෂුනීන් විසින් මහානාග යුවරජුගේ සෝවාන් මගට පිවිස සිටි අනුලා දේවිය මහණ කරවීමෙන් බව ද දුටුගැමුණු රජ දවස ලංකාවේ මෙහෙණීන් ලක්ෂයක් පමණ විසූ බව ද මහා වංශයෙහි සඳහන් වේ. 

සිංහල රජ පරපුරේ අවසාන භාගයේදී භික්ෂු-භික්ෂුනී දෙශාසනය ම පිරිහී ගිය අතර වරින් වර නඟා සිටුවීම ද කරන ලදී. යටත් විජිත සමයේදී හා ඉන් පසු ඕල්කට්තුමා හා අනාගාරික ධර්මපාල වැනි අයගේ බලපෑමෙන් යුතුව ශාසනය ප්‍රතිසංවිධානය වද්දී එය රෝමානු කතෝලික ආගමික ව්‍යූහය අනුකරණය කරන ආකාරයක් දක්නට ලැ‍බේ. ඒ අනුව, භික්ෂුනීන්ට බුදු සසුන තුළ හිමි වූ සම තැන අහිමි කර කතෝලික කන්‍යා සොයුරියන්ගේ තත්වය හා සමාන්තර තත්වයක් ඇති කරන ලදී. භික්ෂුනී ශාසනය වෙනුවට 20වන සියවස මුලදී බුරුම අභාසයෙන් දස සිල් මාතා ක්‍රමයක් හඳුන්වා දෙනු ලැබුවේ මෙහි ප්‍රතිඵලයක් ලෙසයි. 

ඕල්කට් විසින් හඳුන්වා දෙන ලද බටහිර අනුකාරක ආකල්ප අනුව හැඩගැසුණු පුරුෂාධිපත්‍යයෙන් යුත් භික්ෂු සංස්ථාව තුළ භික්ෂුනීන්ට භික්ෂූන් සමග සම තත්වය හිමි නොවේ. ලංකාවේ ඕල්කට්වාදීන්ගේ ආගම සිංහල බුදු දහම නම් ඇදහිල්ලක් මිස බුදුන්ගේ බුදු දහම නො වන බවට මෙය තවත් එක් සාක්කියකි.

No comments:

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.