2010-01-02

ගෝඨා සහ තවත් ජ්‍යේෂ්ඨ රාජ්‍ය නිලධාරීහු ඡන්ද රැස්වීම් අමතති


(2010 ජනවාරි 02 -W3Lanka) ජ්‍යේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් දේශපාල‍න‍යේ නො යෙදිය යුතු ය යන නීතිය හා සම්ප්‍රදාය අමු අමුවේ උල්ලංඝනය කරමින් ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ හා සිවිල් ආරක්ෂක බලකායේ අධ්‍යක්ෂ සරත් වීරසේකර පවා දැන් මැතිවරණ ප්‍රචාරක රැස්වීම් අමතන තත්වයක් නිර්මානය වී තිබේ. 


මෙම රැස්වීම් පැවැත්වෙන්නේ ඍජුව ම ජනාධිපති මහින්ද රාජපක්ෂට සහාය පළ කිරීමේ රැස්වීම් ලෙස නොවේ. නිදසුනක් ලෙස පසුගියදා මාතර නගරයේ පැවති මෙවැනි වැඩසටහනක් හැඳින්වුණේ "විජයග්‍රහණයේ කතාව; අද සහ හෙට" ලෙසයි. 


එහෙත් ගෝඨාභය රාජපක්ෂ පැවැත්වූයේ දේශපාලන කතාවකි. ‍මේ දිවයින පුවත්පත වාර්තා කර තිබූ පරිදි ඔහුගේ කතාවේ කොටසකි. 


"අප ලැබූ ජයග්‍රහණය අර්ථවත් වෙන්නේ යුද්ධය නිසා කඩාවැටුණු අපේ රටේ ආර්ථිකය සහ ජන ජීවිතය නඟාසිටුවීම සිදුවුණු පසුවයි. යුද්ධය ජයග්‍රහණය කළ ජනාධිපතිතුමා ආර්ථික යුද්ධයත් ජය ගැනීමට රට පුරා සැලසුම් සහගත දැවැන්ත සංවර්ධන ක්‍රියාවලියක්‌ ආරම්භ කොට තිබෙනවා. යුද්ධය සඳහා ජනතා ශක්‌තිය එතුමාට ලැබුණා. ආර්ථික යුද්ධය ජය ගන්නත් එතුමාට ජනතා ශක්‌තිය අවශ්‍යයි.


"2005 දී ජනාධිපතිතුමා දුන් පොරොන්දු ඉටු කළා. එතුමා පොරොන්දු කඩ කරන නායකයෙක්‌ නොවෙයි. එතුමා රට බාර ගන්න විට හමුදාවට අරමුණක්‌ තිබුණේ නැහැ. එකල හිටපු නායකයින් ත්‍රස්‌තවාදය පරාජය කිරීම පිළිබඳ තීන්දු තීරණ වෙනස්‌ කළා. එක අරමුණක සිටියේ නැහැ. බටහිර රටවල ඕනෑඑපාකම් අනුව කටයුතු කළා. ත්‍රිවිධ හමුදාවට අභිමානවත් මානසිකත්වයක්‌ ඇති කළේ ජනාධිපතිතුමයි.


"ජනාධිපතිතුමා විසින් ත්‍රිවිධ හමුදාවේ ශක්‌තිය දස ගුණයකින් වැඩි කළා. ආර්ථික අමාරුකම් තිබුණත් සටනට අවශ්‍ය විධියට ආයුධ ලබා ගත්තා. විදේශ බලපෑම්වලට හිස නැමුවේ නැහැ. මාතෘ භූමිය කැබලි කරන්න ඉඩ දෙන්නේ නැහැ කියල එතුමා සෘජුව ප්‍රකාශ කළා.


"යුද ජයග්‍රහණයට අකුල් හෙලපු අය ජනාධිපති ප්‍රමුඛ යුද විරුවන් ජාත්‍යන්තර යුද අධිකරණවලට ගෙන යන්න උත්සාහ කළ අය අද මහින්ද රාජපක්‍ෂ මහතා බලයෙන් පහකරන්න කුමන්ත්‍රණ කරනවා.


"ජනාධිපතිතුමාම හමුදාපති ධුරයට පත් කළ හිටපු හමුදාපතිවරයා මෙම බලවේගවල ඉත්තෙක්‌ වෙලා. දේශපාලනයේ රට පාලනයේ අයන්නවත් නොදන්න නිසා ඔහු බේගල් ඇදබානවා. සුරංගනා කතා කියනවා."

සරත් ෆොන්සේකාගේ ඉදිරිපත් වීම හේතුවෙන් ජනාධිපතිවරණයේදී තියුණු තරගයකට මුහුණ දී සිටින ජනාධිපති මහින්ද රාජපක්ෂ හා ඔහුගේ පවුල ජයග්‍රහණය සඳහා නීතියට හා සදාචාරයට පටහැණි අන්දමින් කටයුතු කිරීම දැන් සාමාන්‍ය තත්වයක් බවට පත් වෙමින් තිබේ. මේ පිළිබඳව මැතිවරණ කොමසාරිස්වරයා හෝ විරුද්ධ පක්ෂ ප්‍රමාණවත් අවධානයක් යොමු කර නැත. අඩු තරමේ වාමාංශික පක්ෂ හෝ මෙම ප්‍රජාතන්ත්‍ර විරෝධී තත්වය ප්‍රශ්න නො කරයි.  




No comments:

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.