2010-01-03

මැතිවරණ නිරීක්ෂණ ජාවාරමේ නව ප්‍රවණතා; පැෆරල් වෙනුවට ඩැෆරල්


(2010 ජනවාරි 03 -W3Lanka) මැතිවරණ නිරීක්ෂණයේ යෙදුණ ප්‍රධාන රාජ්‍ය නො වන සංවිධානයක් වන පැෆරල් හෙවත් සාධාරණ හා නිදහස් මැතිවරණ සඳහා ජනතා ක්‍රියාකාරිත්වය දෙකට බෙදී ඇත.


එයින් බිඳී ආ පිරිසක් විසින් ඩැෆරල් නම් සංවිධානයක් බිහි කර තිබේ. එය ජනතා ක්‍රියාකාරිත්වයක් නොව ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාකාරිත්වයකි.එහි නායකයා වසන්ත පුෂ්පකුමාර ය.



අපට දැනගන්න‍ට ලැබී ඇති පරිදි නම් මේ ගැටුම පිටුපස තිබෙන ලොකු ම ක්‍රියාකාරිත්වය විදේශ අරමුදල් ය. ගැටුම් ඇති වූ තිබෙන්නේ ඒවා බෙදා නො ගෙන බදා ගන්නට යාමෙනි. 


පැෆරල් හිටපු ප්‍රධානී කිංස්ලි රුද්‍රිගු මිය යාමෙන් පසු කලින් සිදු වූ දූෂණ හෙළිදරව් වෙමින් ඇති බව පැෆරල් ලේකම් ජෙහාන් පෙරේරා පවසයි.‍

මේ ජෙහාන් පෙරේරා ජාතික සාම මණ්ඩලය ඇතුළු තවත් රාජ්‍ය නො වන සංවිධාන ගණනාවක නායකයෙකි. ඔහු සිය නිවස පැෆරල් සංවිධානයට කුලියට දී මසකට රු. 40,000 බැගින් ලබා ගත් බව දැන් කිංස්ලි රුද්‍රිගුගේ බිරිඳ චෝදනා කරයි. වංචාවල‍ට සම්බන්ධ බව කියන චෙක් පත්වලට ජෙහාන් පෙරේරා ද අත්සන් තබා ඇති බව ඇය කියන්නී ය.



මෙවැනි සංවිධානවලට විදේශ සංවිධාන ආධාර සපයන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ සහ යහපාලනයේ නාමයෙන් වුව ද මෙම සංවිධාන ඇතුළත ඇත්තේ ම නැති දෙය ද එයයි. රාජ්‍ය නොවන සංවිධාන රැසක අධ්‍යක්ෂ මණ්ඩලවල සිටින ප්‍රභූ පැළැන්තියක් විසින් මෙහෙයවනු ලබන ලංකාවේ රාජ්‍ය නො වන සංවිධාන ජාලය දූෂණයේ හා ඥාති-හිතවත් සංග්‍රහයේ තෝතැනි වෙති.


පසුගිය කාලයේ පැෆරල් නායකයෝ සිය දූෂණ හෙළිදරවි වීම වළක්වා ගැනීම පිණිස බලයේ සිටින පක්ෂවල මැතිවරණ දූෂණ හෙළිදරව් නො කර සි‍ටීමේ යට ගනුදෙනුවක යෙදී සිටියහ.

No comments:

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.