2010-01-06

පාර්ලිමේන්තුව මාස තුනකින් රැස් වී ඇත්තේ දින පහයි: බස්නාහිර පළාත් සභාවේ ගනපූරණය නැහැ

(2010 ජනවාරි 06 -W3Lanka) මහජන මුදලින් දැවැන්ත වැටුප්, සුඛෝපභෝගී වාහන, ඉන්ධන, දුරකථන, කාර්ය මණ්ඩල, ගෙවල් කුලී වැනි වරප්‍රසාද රැසක් ලබා ගන්නා, 110ක ඇමති කට්ටුවක් ද නඩත්තු කරන පාර්ලිමේන්තුව සිය මූලික කාර්යය වන නීති සම්පාදනය හා ඒ හා සම්බන්ධ මහජන නියෝජනයන් ලබා ගැනීම සදහා මසකට දින අටක් රැස් විය යුතු ය. 

"නොවැම්බර් මාසයේ නියමිත දින අටෙන් සභාව රැස්‌වුණේ දින තුනයි. ජනාධිපති පදවි ප්‍රාප්තියත්, එතුමාගේ උපන් දිනයත් නිසා රැස්‌වෙන්න බෑ කිව්වා. දෙසැම්බර් මාසෙත් දවස්‌ අටෙන් රැස්‌ වුණේ එක දිනයයි. ජනවාරි මාසෙත් එක දවසයි. පෙබරවාරිත් එහෙමයි," යි ඊයේ පාර්ලිමේන්තු රැස්වීමේදී පෙන්වා දීමට සිදු වූයේ ජවිපෙ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක අනුර කුමාර දිසානායකටයි. 


දැන් දැන් පාර්ලිමේන්තුව රැස් වන්නේ හදිසි නීතිය මසකින් දීර්ඝ කරවා ගැනීමට පමණක් බව පෙනේ. රටේ ප්‍රජාතන්ත්‍රවාදය අනතුරට ලක් වී තිබෙන තරම පෙන්වා දීම සඳහා මීටත් වඩා නිදසුනක් තවත් අවශ්‍ය නැත. 

මේ ප්‍රජාතන්ත්‍රවාදය නිර්වචනය කරන රුවන් වැකියක් ඇමති නිමල් සිරිපාල ද සිල්වා ප්‍රකාශ කළේ ය. "ජනාධිපතිවරණයට සෑම පක්‌ෂයක්‌ම දේශපාලන ක්‍රියාවල යෙදී සිටිනවා. විපක්‌ෂයටත් මේ කාලය අවශ්‍යයි. එහෙම කාලය ලබාදීම තමයි ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ."

වර්තමාන පාර්ලිමේන්තුවේ සිටින බොහෝ දෙනෙක් ඔවුන් දැන් කරන කාර්යයන් සඳහා ජනවරමක් ඇති අය නො වෙති. වාසි තකා ආණ්ඩුවට එක් වී සිටින මොවුහු ප්‍රජාතන්ත්‍රවාදය අත්හිටුවීමේ ක්‍රියාමාර්ග සඳහා සිග්නල් කණු මෙන් අත් ඔසවති. එවැන්නක් ඊයේ ද සිදු විය. සාමාන්‍ය නීතිය අභිභවා යාමේ බලතල රජයට ලබා දෙන හදිසි නීතිය මසකින් දීර්ඝ කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව පෙබරවාරි 5දා දක්වා කල් තබන ලදී.


සෙසු මහජන නියෝජිත සභාවල තත්වය ද මෙසේ ම ය. නිදසුනක් ලෙස ඊයේ පැවැත්වීමට නියමිතව තිබුණු දකුණු පළාත් සභා රැස්වීම ගණපූරණය නොමැතිකම නිසා නො පැවැත්විණි. මෙවැනි රැස්වීමක් සංවිධානය කිරීමටත්, ආරක්ෂාව හා වෙනත් පහසුකම් සැපයීමටත් මහජන මුදල් ලක්ෂ ගණනක් වැය වේ.


මෙවැනි ප්‍දේශපාලනයක් හැඳින්වීම සඳහා කාලකන්නිකම යන වචනය සුදුසු ය. කාලකන්නි සභා සඳහා කාලකන්නි නියෝජිතයන් පත් කර යවන කාලකන්නි ජනතාවගේ අනාගතය කාලකන්නි වීම වැළැක්විය නො හැකි ය. 




3 comments:

  1. කාලකන්නි නොවන අනාගතයක් අවශ්‍ය ලාංකිකයන්ට විකල්ප 2ක් ඇත
    1. ලංකාව වෙනස් කර ගැනීමට සබුද්දික ක්‍රියාකාරී දේශපාලනයේ යෙදීම
    2. පිට රටකට පැන යෑම

    ReplyDelete
  2. මහින්ද ජනාධිපති යටතේ පාර්ලිමේන්තු සම්ප්‍රදායන් ඉතා හොඳින් ක්‍රියාත්මක වනවා,මිනිහා සුපිරි ප්‍රජාතන්ත්‍රවාදියේක්.

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.