2010-01-09

ලක්ෂ සංඛ්‍යාත රූපවාහිනී ප්‍රේක්ෂක පිරිසකගේ ඉහ මොළ සූරා කෑ ස්වර්ණවාහිනී, දයාසිරි, විමල් හා රාජිත සිව්කට්ටුවේ මහා දූෂණය

(2010 ජනවාරි 09 -W3Lanka) විපක්ෂ පොදු අපේක්ෂක සරත් ෆොන්සේකාගේ යුද අවි ගනුදෙනු දූෂණ පිළිබඳ විවාදයක් ලෙස හැඳින්වුණු ඊයේ රාත්‍රී ස්වර්ණවාහිනිය විසින් විකාශය කිරීමට නියමිතව තිබුණු රතුඉර විශේෂ වැඩසටහන ආණ්ඩුවත්, විපක්ෂයත්, ස්වර්ණවාහිනියත් එක්ව ජනතාව ගොනාට ඇන්දූ මගඩි නාටකයක් විය. 


දූෂණ සම්බන්ධයෙන් සිදු විය යුතුව ඇත්තේ විවාද නොව විධිමත් පරීක්ෂණ හා නීතිය ක්‍රියාත්මක කිරීමයි. එකට හොරකම් කර, තමන්ගේ ෆයිල් හංගාගෙන සරත් ෆොන්සේකාගේ ෆයිල් එළියට ඇද, ඒ සොරකම් සිදු වූ බව කියන කාලයේ සරත් ෆොන්සේකාත් සමග සම්බන්ධයක් නොතිබුණු එක්සත් ජාතික පක්ෂය සමග විවාද කරන්නට යාම ගෙදර ඉන්න කාලේ පතිවෘත්තාව නැති කර ගත් කෙල්ල ගැන පසුව ඇය කසාද බැඳගත් බෑණාගෙන් විමසීම වැන්නකි. බෑණා කෙල්ල දකින විටත් ඇගේ පතිවත කෙළෙසී තිබිණි. කෙල්ලට කන්‍යාභාවය නොතිබූ බව දන්නා බෑණා ඒ ගැන කන්‍යාභාවය නැති වූ ආකාරය ගැන හොඳටම දන්නා මාමණ්ඩිලා සමග විවාදයට යාම අමු ගොන්කමකි.


අනෙක් පැත්තෙන් යුද අවි ගනුදෙනු දූෂණ පිළිබඳ චෝදනා මහින්ද රාජපක්ෂටද විරුද්ධව නැඟී තිබියදී සරත් ෆොන්සේකාගේ ඒවා ගැන පමණක් විවාද කරන්නේ කුමටද? මේ දෙපළගේ හා වාද විවාද කරන්නට එන සියල්ලන්ගේම කෙරුවාව ගැන දැනුවත් ජනතාව දනිති. ජනතාව දේශපාලනයෙහිදී දූෂණයෙන් සම්පූර්ණයෙන් ම මිදුණු සුපිරිසිදු චරිත අපේක්ෂා නොකරති. පවත්නා ධනවාදී ක්‍රමයේ සර්වාංගයම දූෂිතය. ජනතාවද මෙම දූෂණයේ කොටස්කරුවෝ වෙති. එහෙයින් සුපිරිසිදු පාලකයන් ඉල්ලා සිටීමට ඔවුන්ට අයිතියකුදු නැත. 


සරත් ෆොන්සේකා පිරිසිදු චරිතයක් වන්නේ සාපේක්ෂවය. ඇමති මහින්දානන්ද පාර්ලිමේන්තුවේදී කී පරිදි ජනාධිපතිතුමා ෆොන්සේකාගේ දරුවන්ට අධ්‍යාපනය සඳහා මසකට ඩොලර් 2500 බැගින් ඇමරිකාවට යවා ඇත. එසේ යැව්වේ කාගේ මුදල්ද? ජනාධිපතිවරයාගේ මාසික වැටුපද ඩොලර් 2500ට වඩා අඩු බැවින් මේ මුදල් එක්කෝ මහජන මුදල් විය යුතුය. නැතිනම් අප නොදන්නා වෙනත් ආකාරයකින් උපයා ගන්නා ලද ඒවා විය යුතුය. මේවා දුන් කෙනා මෙන්ම ගත් අයද දූෂිතය. ජනාධිපතිතුමාගේම වචනවලින් කියනවා නම් මේ වනාහි එකට කාපු අයයි.



ලංකාවේ ඡන්ද දායකයන් පිරිසක් සරත් ෆොන්සේකා තෝරා ගන්නේ ඔහුගේ ප්‍රතිවාදියා වන මහින්ද රාජපක්ෂගේ දූෂිත පවුල් පාලනය පිළිබඳ හෙම්බත් වීම නිසා මිස සරත් ෆොන්සේකා සුපිරිසිදු චරිතයකැයි ඔවුන් සිතන නිසා නොවේ. ඔවුන් ස්වර්ණවාහිනිය ඉදිරියේ වාඩි වන්නේ එකිනෙකා රෙදි ගලවා ගන්නා ආකාරය බලා සතුටු වීමටයි. ‍මෙවැනි විවාද හේතුවෙන් මේ වන විටත් බෙදී සිටින ඡන්ද දායකයන් සිය තීරණ වෙනස් කර ගන්නේ නැත. පාවෙන ඡන්දවලට නම් මෙහි බලපෑමක් තිබිය හැකිය.

මේ වන විටත් අධිකරණය හමුවට ගොස් තිබෙන කරුණක් පිළිබඳව ස්වර්ණවාහිනිය විසින් පවත්වන්නට ගිය මෙම විවාදය මාධ්‍ය සදාචාරයන්ට පටහැණි එකකි. එයට සහභාගි වන්නට පැමිණි දයාසිරි ජයසේකර, විමල් වීරවංශ හා රාජිත සේනාරත්න ද ඒ බව දැන සිටියහ. ස්වර්ණවාහිනියට මෙන්ම ඔවුන්ටද මෙම විවාදය කිරීමේ උවමනාවක් නොතිබිණි. එහෙත් ස්වර්ණවාහිනිය මෙම විකාශ කාලය පිළිබඳ පුළුල් ලෙස ප්‍රචාරය කර වැඩි මිළට දැන්වීම් විකුණා තිබිණි. අදාළ දෙපැය කෙසේ හෝ ගත කර දැන්වීම් ටික ප්‍රචාරය කිරීම ඔවුන්ගේ අභිප්‍රාය වූ අතර තමන් කෙසේ හෝ රාත්‍රී 12 දක්වා වැඩසටහන ගෙන යා යුතු බව නිවේදකයාම කීවේය.


මේ විවාදය පිළිබඳ දයාසිරි, විමල් හා රාජිත මුල සිටම කටයුතු කළේ දැනුවත්වය. විවාදය ඇත්තෙන්ම කරගෙන යාමට අවශ්‍යතාව තිබිණි නම් රාජිත හෝ විමල් යන දෙදෙනාගෙන් එක් අයෙකු ඉවත් වන්නට තිබිණි. මේ තිදෙනා විවාදය වෙනුවට වෙනත් නාට්‍යයක් රඟ දැක්වූයේ දැනුවත්වය. ඒ වෙනුවෙන් ඔවුන්ට ස්වර්ණවාහිනියෙන් මුදල් ගෙවන බව රූපවාහිනී ප්‍රේක්ෂකයන් බොහෝ දෙනෙක් දන්නේ නැත. 



ලක්ෂ සංඛ්‍යාත රූපවාහිනී ප්‍රේක්ෂක පිරිසකගේ ඉහ මොළ සූරා කෑ ස්වර්ණවාහිනී, දයාසිරි, විමල් හා රාජිත සිව්කට්ටුවේ මහා දූෂණය පිළිබඳ විවාදයක්ද දැන් ඕනෑ නම් කළ හැකිය.

11 comments:

  1. I agreed with you. This is what happened yesterday

    ReplyDelete
  2. ජනාදිපතිතුමාගෙ වචන අනුව එකට කාපු අයගෙ පයිල් ලග තබාගන,දුශන එලිකරනවා යයි කියමින් එකට කාපු අයගෙ පයිල් වලින් ඔවුන්ව නටවන බව අපට පෙනේ. මෙය ජෙ. ආර්. ඉල්ලා ගත් අස්වීම් ලියුම් වලට සමාන වුවද තිරිසන් ක්‍රමයකි

    ReplyDelete
  3. මේකෙ පුද්ගලයින් දෙදෙනෙකු අතර පමණක් සිදුවන වැදගැම්මකට නැති විවාදයක් නොවීමට නම් පක්ෂ දෙක විසින් නම් කල පුද්ගලයින් පැමිණිය යුතුව තිබුනු නමුත් දයාසිරි හා විපක්ෂය විසින් එය මඟහැර දයාසිරි ව පමණක් එවීමෙන් මේ අවි ගනුදෙනුව පිලිඔද අපගේ සිත්තුල ද කුකුසක් ඇතිවේ.

    විපක්ෂයේ අපේක්ෂාව නම් මෙයට දයාසිරිව පමණක් හොරරහසේ ම එවා යම් හෙයකින් ඔහුට නිවැරදි භාවය ඔප්පු කරගැනීමට අසමත් වුවහොත් එය දයාසිරිගේ හිතුමතයට වූ දෙයක් පමණක් බවත් ඒකාබද්ධ විපක්ෂය එ‍යට සම්බන්ධ නැති බවත් ‍පෙන්වා ඇග බේරා ගැනීමට උත්සාහ කිරීමයි!!!

    ReplyDelete
  4. This is true... ස්වර්ණවාහිනිය මෙය හිතලා කරපු දෙයක්.

    ReplyDelete
  5. ඔබ කියන්නක් සමඟ සම්පූර්ණයෙන් එකඟ වෙමි. ඊයේ සිදුවූයේ ආණ්ඩුවත්, විපක්ෂයත්, ස්වර්ණවාහිනියත් එක්ව ජනතාව ගොනාට ඇන්දූ මගඩි නාටකයක්මය.

    මුල සිට මෙය නැරැඹූවන්ට පැහැදිළිව පෙණුනේ දෙපාර්ශවයටම මේ ගැන කතා කරන්නට ඕනෑකමක් නැති බවයි. මවිල් පුප්පාගෙන දබරයට සැරසෙන, එහෙත් දබර නොකර පැය ගණනක් ඥාවෝ, ඥාවෝ කියමින් සිට අවසානයේ දෙපසට පැන දුවන බළලුන් දෙදෙනෙකි මට සිහිවුනේ.

    මේ ඇයි?

    සරත් ෆොන්සේකාට නැඟෙන දූෂණ චෝදනා, ඔහුගේ ප්‍රතිවාදියාගේ දූෂණ හා සංසන්දනය කර බලන කළ නොගිණිය හැකි තරම්ය. ඉරිදා පත්තර වල දමා ඇති දැන්වීම් වලින් කියැවෙන හැටියට ෆොන්සේකා බෑනාගේ සමාගම් වලින් මිළට ගෙන ඇති සියලු ද්‍රව්‍ය වල මිළ රුපියල් (ඩොලර් නොව)මිලියන 30-40ක් වත් නැති තරම්ය. (විමල්ගේ හෝකන්දර මාළිගාව හදන්නටත් මීට වඩා වැය වේ.) 10%ක දූෂණයක් උපකල්පනය කළ කල්හි මෙසේ උපයාගෙන ඇති මුදල (එසේ කළේ නම්) රුපියල් (ඩොලර් නොව) මිලියන 4කට නොවැඩිය. මෙය අදාළ වෙළෙඳ දැන්වීම් පළ කරන්නට වැය කරනවාටත් වඩා අඩු මුදලකි!

    මේ නිසා වීරවංශලාටත් කේස් එකක් නැති අතර ෆොන්සේකා මේවා ඇත්තටම කර තියෙනවා නම්, ගාණ කුඩා වුවත් දයාසිරිටත් නෝණ්ඩි වීමට සිදුවේ. එහෙයින් දෙපක්ෂයටම වාද නොකොට සිටීම වාසි දායකය.

    ඉතාම ජඩ විදිහට මාධ්‍ය සදාචාරය කෙලෙසීම ගැන මූලික වගකීම ස්වර්ණවාහිණිය භාරගත යුතුය. දේශපාලකයන් එහි වග උත්තරකරුවන් පමණකි.

    ReplyDelete
  6. //විවාදය ඇත්තෙන්ම කරගෙන යාමට අවශ්‍යතාව තිබිණි නම් රාජිත හෝ විමල් යන දෙදෙනාගෙන් එක් අයෙකු ඉවත් වන්නට තිබිණි.//

    දයාසිරිගේ තර්කය (ඔහුගේ පැත්තෙන්) සාධාරණය. ආණ්ඩුව එවා තිබුණේ තමන්ට සිටින දක්ෂතම මඩ කථිකයින් දෙදෙනාය. (මෙය මහින්ද කොයි තරම් සීරියස් ගෙන ඇතිද යන්න මෙයින් පෙනේ.) දයාසිරිට තියා විපක්ෂයේ කිසිවකුට මොවුන් සමඟ තනිව හැප්පෙන්නට බැරිය. (වාදයේ කාරණ මොනවා වුනත්) වාදය දින්නද ඉන් අහිමි විය හැකි ඡන්ද සංඛ්‍යාව විශාලය.

    වීරවංශ කියන හැටියට කාරණා සියල්ලම ඔවුන් සතුව තිබිණි නම් ජෝඩු දමාගෙන වාදයට එළඹෙන්නට කිසිම උවමනාවක් නැත. දෙන්නාගෙන් කෙනකු ඊට කැමති වූයේ නම් වාදය ඉදිරියට ගෙන යා හැකිව තිබිණි. එහෙත් එවන් අවශ්‍යතාවයක් නොවූ නිසා ඔවුහු වල්පල් කතා කරමින් කාලය නාස්ති කළහ.

    ReplyDelete
  7. @ටැටූ

    විවාදයට දයාසිරි පැමිණියේ පක්ෂය විසින් ආ නියෝජිතයකු ලෙස නොවේ එසේනම් එහිදී සාකච්ඡා වන කරුණු සම්බන්ධයෙන් (පරාජය වුවහොත්) එම පක්ෂය කිසිදු වග කිමක් ගනු නොලබයි නම්

    එවිට පුද්ගලික විවාදයක ඇති ඵලය කුමක්ද?

    දයාසිරි පමණක් පැමිණිම විපක්ෂයේ කූඨ උපක්‍රමයක් පමණි....

    ReplyDelete
  8. @ටැබූ

    #උඔ ගනන් දන්න එකෙක් තම් ඔහොම මෝඩ ගනන් දාන්නෙ නෑ. අවුරුදු 4‍ට මිලියන 4 ක් නම් රජයේ සේවකයෙකුට අවුරුද්දට මිලියනයක දූෂණයක් කල හැකි නම් අවු 20ක් දේශපාලනේ ඉන්න විමල් මිලියන 40 ක ගෙයක් සැදීම ඔබ සාධාරනීකරනය කර ඇත.

    ReplyDelete
  9. දයාසිරි කල දේ හරි.විමල් තනියම ආවානම් කමක් නෑ.මොනවා උනත් මේක හවුලේ කාපු එකක්. මේකට විවාද ඕනා නෑ. අනික මේක පොඩි ගානක් සාපේක්ෂව බලපුවාම. ගුවන් සහ නාවික හමුදාවේ අය මේ වගේ කරන්න නැතිව ඇති නේද? සුනාමියේ සහ එල්ටීටී එකෙන් හම්බවෙච්ච ඒවා කෝ........වීරවංශ, දයාසිරි හොද කථිකයින්.ඒත් දයාසිරිගෙ තියෙන උගත් කම වීරවංශට නෑ.

    ReplyDelete
  10. දොඩන දෙමළෙහි ඇති හුරතලය:
    http://beyondframe.wordpress.com/2010/01/07/10jan072/

    බෑනාගේ කොම්පැනිය:
    http://beyondframe.wordpress.com/2010/01/08/10jan082/

    ReplyDelete
  11. ස්වර්ණවාහිනියේ තොත්ත බබාලා බබා දෙශපාලුවන් නළවයි,අපි දොයියා ගත්තා good night කියලා.

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.