2010-01-05

දෙමළ ජන සහාය 'අඩු දුෂ්ඨයාට'


(2010 ජනවාරි 05 -W3Lanka) විපක්ෂ අපේක්ෂක සරත් ෆොන්සේකාට සහාය පළ කිරීමටදෙමළ ජාතික සන්ධානය තීරණය කිරීම සරත් ෆොන්සේකාගේ මැතිවරණ ව්‍යාපාරයේ තීරණාත්මක ජයග්‍රහණයකි.


2005 ජනාධිපතිවරණයේදී ද වර්තමානය හා සමාන තියුණු තරගයක් තිබුණු අතර එයින් රනිල් වික්‍රමසිංහ පරාජය වූයේ තද සිංහල ජාතිකවාදියකු වන මහින්ද රාජපක්ෂට නො ලැබී බොහෝ දුරට ඔහුට ලැබෙන්නට ඉඩ තිබුණු දෙමළ ඡන්ද කොටි සංවිධානයේ මැතිවරණ වර්ජනය හේතුවෙන් නො ලැබී යාම නිසා ය.


සරත් ෆොන්සේකාගේ ඉදිරිපත් වීමත් සමග සිංහල ඡන්ද පදනම දෙකට බෙදී තිබේ. කඳුරට දෙමළ ජනයා නියෝජනය කරන ප්‍රධාන පක්ෂ ආණ්ඩුව සමග සන්ධානගත වී සිටිය ද එක්සත් ජාතික පක්ෂය කඳුරටදී ශක්තිමත් බව 2009 මධ්‍යම පළාත් සභා මැතිවරණයෙන් පෙන්නුම් කෙරිණි. නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් තොන්ඩමන්, චන්ද්‍රසේකරන් හා අනෙක් සියලු වතු කම්කරු නියෝජිතයන්ගේ සහයෝගයෙන් සන්ධානය ඡන්ද 146,418ක් ලබා ගනිද්දී එක්සත් ජාතික පක්ෂය ඡන්ද 128,289ක් ලබා ගත්තේ ය.

වතුකරයේ හදවත වන් නුවරඑළිය - මස්කෙළිය ආසනය වැඩි ඡන්ද 10,000කින් එජාපය ජය ගත්තේ ය.


මුස්ලිම් කණ්ඩායම් රැසක් ආණ්ඩුව සමග සිටිය ද ප්‍රධාන මුස්ලිම් පක්ෂය වන මුස්ලිම් කොංග්‍රසය සහාය දක්වන්නේ සරත් ෆොන්සේකාට ය.


දෙමළ අතුරු හමුදා හා සම්බන්ධ දේශපාලන කණ්ඩායම් කීපයක් ද ආණ්ඩුවට සහාය දක්වයි. එහෙත්, පාර්ලිමේන්තුවේ ප්‍රධාන දෙමළ පක්ෂය වන්නේ දෙමළ ජාතික සන්ධානයයි. නැ‍ඟෙනහිර පළාත් සභා මැතිවරණයට දෙමළ ජාතික සන්ධානය තරග නො කළ අතර එහි බලය හිමි වූයේ ආණ්ඩුව සමග සන්ධානගත වී සිටින දෙමළ මහජන විමුක් ති කොටි හෙවත් ටී.එම්.වී.පී නම් කලින් අතුරු හමුදාවක් වූ දේශපාලන කණ්ඩායමටයි. එම කන්ඩායමෙන් කැඩී පාලක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක් වී සිටින විනායගමූර්ති මුරලිදරන් සමග ඇති ගැටුම් හා පළාත් සභාව සතු බලතල මධ්‍යම ආණ්ඩුව විසින් ලබා නො දීම නිසා ටී.එම්.වී.පී. සංවිධානය ජනාධිපති මහින්ද රාජපක්ෂට සහාය පළ කර ඇත්තේ මුළු හදවතින් නොවේ.


මෙම පසුබිම තුළ සුළු ජාතික ඡන්ද පදනම් අතර ජනාධිපති මහින්ද රාජපක්ෂ එතරම් ශක්තිමත් නො වන බව පැහැදිලි ය.


කලින් කොටි සංවිධානයේ බළල් අතක් ලෙස හැඳින්වුණු දෙමළ ජාතික සන්ධානය පසුගිය කොටින් පරාජයට පත් වූ අලුත, පූරණ වශයෙන් නිදහස් නො වූ වටපිටාවක් තුළ අගෝස්තුවේදී පැවති පළාත් පාලන ඡන්දයේදී යාපනය මහ නගර සභාවෙන් දෙවන තැනට පත් වෙමින් වවුනියා නගර සභාවේදී විශිෂ්ඨ ජයක් වාර්තා කළේය. වවුනියාවේදී ප්ලොට් සංවිධානය දෙවන තැනට පත් වූ අතර පාලක සන්ධානය තුනට වැටිණි. යාපනයේදී හා වවුනියාවේදී ද ආණ්ඩු පක්ෂය මැතිවරණ ව්‍යාපාරයේ යෙදුණේ අද මෙන් ම අතිශය දූෂිත අන්දමින් රාජ්‍ය සම්පත් යොදා ගනිමිනි. 

දෙමළ ජාතික සන්ධානය සරත් ෆොන්සේකාට සහාය දැක්වීමට තීරණය කරද්දී අප ඉහත දක්වා තිබුණු පෝස්ටරය කැනඩාවේ ලංකා තානාපති කාර්යාලය අවට අලවා තිබුණේ ෆොන්සේකා ද යුද අපරාධකරුවකු ලෙස දක්වමිනි. දෙමළ ජාතික අරගලයේ උච්ච ම සන්නද්ධ අවධිය සඳහා නායකත්වය දුන් කොටි සංවිධානය පරාජය කිරීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ හා විපක්ෂ පොදු අපේක්ෂක සරත් ෆොන්සේකා යන දෙදෙනා ම එක හා සමාන ජවයකින් දායක වූහ. 



යුද්ධයේ අවසන් අවධිය නිරීක්ෂණය කරන යාපනය විශ්වවිද්‍යාලයේ මානව හිමිකම් පිළිබඳ ආචාර්යවරු සංවිධානය පවසන්නේ දෙපාර්ශවයට ම යුදමය ආධිපත්‍යය සඳහා යතුර තිබුණේ දක්ෂ යුද මූලෝපායන් තුළ නොව මුළු හිතින් ම පෞද්ගලික බලය හඹා ගිය නායකයන් විසින් සිවිල් වැසියන්ගේ හා සටන්කරුවන්ගේ ජීවිත ආරක්ෂාව එක ලෙස නො තකමින් ගෙන ගිය ක්‍රියාකලාපය තුළ බවයි.


එහෙත්, ලංකාවේ සුළු ජාතීන් සිංහල අධිපතිවාදී මහින්ද රාජපක්ෂ පාලනයෙන් හෙම්බත්ව ඇති බවක් ද, එතරම් ප්‍රතිඵලයක් අපේක්ෂා නො කරමින් හෝ වෙනසක් බලාපොරොත්තු වන බව ද පෙනේ. කැනඩාවේ තිබෙන ලංකාවේ යුද්ධය නැවැත්වීම සඳහා සන්ධානයේ ප්‍රකාශක සෙන්දන් නඩා ඩිජිටල් ජර්නල් වෙබ් අඩවියට පවසා තිබුණේ දෙමළ ජනයා යක්ෂයා හා ගැඹුරු මහ සයුර අතර සිර වී සිටින බවයි. දෙමළ ජනයාට වෙනසක් අවශ්‍යව ඇති බව ද දුෂ්ඨයන් දෙදෙනෙකු අතරින් අඩු දුෂ්ඨයා තේරීමට තීරණය කර ඇති බව ද ඔහු පවසයි. 

2 comments:

  1. ටින්ඒ තීන්දුව දේශපාලන සංවේදීභාවයකින් යුතුව ගත් තීරණයක් බව පැහැදිලියි. අපේ සුභ පැතුම්....

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.